
වැලිගම මිරිස්ස මුහුදු තීරයේ සිට ඈත ක්ෂිතිජය තෙක් දිග හැරුණු විසල් ජල තලයේ දෙස අපි බලා සිටින්නෙමු. දහස් ගණනක් ජනී ජනයා මෙහි රොද බැඳ සිටිති. බහුතරය විදේශීය ජාතිකයෝ වෙති. විදේශීය තරුණ පිරිසක් අපේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටිති. බොහෝ දෙනෙක් ‘දිය මං දිය ගති දැනගත් අය මෙන්’ ජල ක්‍රීඩාවේ නිරතව සිටිති.
අප සිටින්නේ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ආරක්ෂක මුර කපොල්ලෙහි බිම් මාලයෙහිය. එහි උඩු මහලේ ඕනෑම හදිසි අවස්ථාවක දී පිහිට වීමට බලා සිටින තරුණ වෙරළාරක්ෂක භටයෝ මුහුද දෙසම ඇසපිය නොහෙළා බලා සිටිති.
මොහොතකින් සියල්ල වෙනස් විය. එතැන මහා කලබලයක ස්වරූපයක් හට ගත්තේය. එකම කෑකෝ ගැසීමකි. වෙරළාරක්ෂක මුර කපොල්ලේ සිටි තරුණ වෙරළාරක්ෂකයෝ හදිසි පිටමං වීමට ඇති ආධාරකය දිගේ බිමට පීනූහ. සැණෙකින් ඔවුහු චණ්ඩ රළ පිරි මුහුදු වතුරේ නොපෙනී ගියහ.
සිදුව ඇත්තේ කුමක්දැයි අප දැනගත්තේ ඉන් අනතුරුවය. තරුණ විදේශීය ජාතික යුවළක් වත්තම් කරගත් වෙරළාරක්ෂක භටයෝ වෙරළට ළඟා වූහ.
‘ගැහැනු කෙනා දිය සුළියකට හසු වෙලා ගහගෙන යනකොට පිරිමි කෙනා එයාව බේරගන්න පැනලා. අන්තිමට දෙන්නවම ගහගෙන යනවා. තව පොඩ්ඩෙන් ඒ ජීවිත දෙකම අනතුරේ’ විදේශීය යුවළ බේරාගත් වෙරළාරක්ෂක භටයෙක් කීවේය. ඔහුගේ හඬ ජයග්‍රාහීය. බොහෝ වේලාවක් වෙරළේ වැතිර සිටි යුවළ නැගී සිටියහ. ඔවුන්ගේ කෘතවේදීත්වය පිරි දෑස් ජීවිත ගලවාගත් ගැලවුම්කරුවන් දෙස බොහෝ වේලාවක් යොමු වී තිබිණි.
‘දවසකට ඔය වගේ සිද්ධි දෙක තුනක් වෙන අවස්ථාත් තියෙනවා. අපි ඉතින් ‘ෆුල් ඇලට්’ එකේ ඉන්නවා.’ වෙරළාරක්ෂක භටයෙක් කීවේය.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ගැන එහි කාර්ය භාරය ගැන ලිවිය යුතු යැයි අපට හැඟුණේ ඒ මොහොතේදීය. ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රියද් අද්මිරාල් රොහාන් ජෝශප් ගෙන් අපි ඒ සඳහා අවසර පැතිමු.
&‘ඒක ඉතාම හොඳ දෙයක්. මං ගැන මුකුත් ලියන්න එපා. ඒත් මගේ ළමයින් ගැන ලියන්න. ඒ ළමයින් සෑහෙන කැපවීමකින් තමයි මේ වැඩේ කරන්නේ.* රියද් අද්මිරාල් රොහාන් ජෝශප් කීවේය.
ඒ අනුමැතිය අපට ප්‍රමාණවත්ය. වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ පුද්ගල හා පරිපාලන වැඩබලන අධ්‍යක්ෂ කොමාන්ඩර් අනුරුද්ධ කුලගේ හමුවී අපි වැඩි විස්තර කතා කළෙමු.

‘වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසුව මුහුදේ ගිලෙමින් සිටි දේශීය පුද්ගලයන් 2547 දෙනෙක් හා විදේශීය ජාතිකයන් 1163 ක් බේරාගෙන තියෙනවා.’ කොමාන්ඩර් අනුරුද්ධ කුලගේ කීවේය.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉතිහාසය අපි පිරික්ෂා බැලීමු.
2007 මාර්තු මස 7 වැනි දින එවකට ජනාධිපතිවරයා විසින් රාජ්‍ය ආරක්ෂක මහජන ආරක්ෂාව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ගෙන ඇත.
2008 ජනවාරි 23 වැනි දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව 2008 මාර්තු 27 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දෙපාර්තමේන්තුව, ‘සන්නද්ධ නොවන බළකායක්’ වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ ප්‍රධානත්වයෙන් පරිපාලනය කිරීමට අනුමැතිය ලබාගෙන ඇත.
2009 අංක 41 දරන වෙරළ ආරක්ෂක පනත 2009 ජූලි මස 9 වැනි දින පාර්ලිමේන්තුවේ දී සම්මත කරගෙන ඇති අතර 2010 මාර්තු 4 වැනි දින වෙරළ ආරක්ෂක මෙහෙයුම් බළකාය එවකට සිටි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගාලු වාරයේ දී උත්සවාකාරයෙන් දියත් කර ඇත.
වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සන්නද්ධ සේවා ගණයට අයත් නොවන නීතිය පසිඳලීමෙහිලා ක්‍රියාත්මක වන ආයතනයක් වන අතර මෙමගින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කලාපයේ සමුද්‍රීය නීතිය බලාත්මක කිරීම හා සම්බන්ධ වෙරළ ආරක්ෂක සේවාවන් ඉටුකරනු ලබයි.
පොලිසිය ගැන අපි හොඳාකාරවම දනිමු. ඒ ගමේ පොලිස් ස්ථානයක් පිහිටුවා තිබෙන හෙයින් හා මහ පාරෙදී පොලිස් නිලධාරීන් බහුලව දක්නට ලැබෙන හා අපේ ජීවිතවලට බොහෝ සමීප ආයතනයක් වන හෙයිනි.
මුහුදේද පොලිසියක් තිබේ. ඒ පොලීසිය නම් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වේ.
ඉන්දියානු සාගරයේ ඉන්දීය උප මහද්දීපයට ආසන්නයේ උපාය මාර්ගික වශයෙන් වැදගත් සන්ධිස්ථානයක පිහිටි දිගින් කිලෝ මීටර් 1340 ක වෙරළ කලාපයේ ආරක්ෂාව මෙම මුහුදු පොලිස්කාරයට පැවරී තිබේ. එම මුහුදු කලාපය ශ්‍රී ලංකාව, වෙරළ කලාපය මෙන්ම ගොඩ බිම මෙන් විසිහත් ගුණයකින් විශාලය.

ඒ තරම් විශාල මුහුදු කලාපයක වගකීම තියෙන වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට රට හා රටට අයත් සමුද්‍රීය කලාපයේ සුරක්ෂිතතාව හදිසි තෙල් විසුරුම් කාන්දුවීම් කළමනාකරණය කිරීම මුහුදේ දී ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම කියන වගකීම් පැවරිල තියෙනවා.’ කොමාන්ඩර් අනුරුද්ධ කුලගේ පවසයි.
‘අපේ රට දූපත් රාජ්‍යයක්. ඒ නිසාම ජාත්‍යන්තර බැඳීම් වැඩියි. දේශීය ජල තීරයේ ඉඳලා ජාත්‍යන්තර සාගරය දක්වා පුළුල් සමුද්‍රීය වපසරියක නීතිමය භාවිතය රැක ගැනීම අපට පැවරිලා තියෙනවා. මුහුද උපයෝගී කරගෙන නීති විරෝධි කටයුතු වැඩ පැවැත්වීමත් අපේ දෙපාර්තමේන්තුවට පැවරුණු වගකීමක්. ඉන්දියන් සාගරය හරහා ගමන් කරන බොහෝමයක් නැව් මාර්ග අපේ රට ආසන්නයේ පිහිටා තිබෙනවා. අපේ රට භූගෝලීය වශයෙන් ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටීමක් මේකට ප්‍රධාන හේතුවක්.
ඒ අනුව විවිධ භූ විෂමතාවයන්ගෙන් යුත් වෙරළ තීරයකින් ස්වභාවික දූපත් සමූහයකින් සහ ආකර්ෂණීය ස්වභාවික කොරල් පර කලාප කිහිපයකින් යුත් අපේ මුහුදු තීරය ජාත්‍යන්තර සමුද්‍රීය ප්‍රවාහනයේ දී ඉතා වැදගත් බොහෝ දෙනෙකුගේ අවධානය මේ සඳහා යොමු නොවීමත් ප්‍රශ්නයක්’ කොමාන්ඩර් අනුරුද්ධ කුලගේ වැඩිදුරටත් පැවසීය.
සංඛ්‍යා ලේඛනවලට අනුව අප රට තුළ දියේ ගිලීමෙන් වසරකට මිය යන සංඛ්‍යාව 800 කට වැඩිය. දියේ ගිලීම් වැඩියෙන්ම සිදුවන්නේ මුහුදු කලාපයේ නොව රට අභ්‍යන්තරයේය. ඒ දිය ඇලි, ගංගා, ඇළදොළ ආශ්‍රිතවය. එමෙන්ම හෝටල්වල, සංචාරක නිකේතනවල ඇති පිහිණුම් තටාක ආශ්‍රිතවය. අනාරක්ෂිත ළිංවල වැටී මිය යෑම් මෙන්ම සියදිවි නසා ගැනීම් අමතර වශයෙනි.
වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රියද් අද්මිරාල් රොහාන් ජෝශප් ගෙන් අප විමසුවේ රමණීය දූපතක් වන අප රටට අත්වී ඇති මෙම ඉරණම වෙනස් කිරීමට වැඩපිළිවෙළක් තිබේ ද යනුවෙනි. මේ ඔහු දුන් පිළිතුරය.
ඇත්තටම මේ ප්‍රශ්නයට විසඳුමක් තියෙනවා. ඒ විසඳුම තමයි පිහිණුම් පුහුණුවීම් ලබා දීම. 2012 වසරේ දී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ජීවිතාරක්ෂක පුහුණු පාසලක් බලපිටියේ ආරම්භ කළා. එදා ඉඳලා මේ මොහොත වන විට පන්දාහකට වැඩි පිරිසක් මෙහි පුහුණුවීම් ලබලා තියෙනවා. ත්‍රිවිධ හමුදාවට අයත් පිරිස් වගේම සාමාන්‍ය පුරවැසියන් ද පාසල් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ද මේ පිරිසට අයත් රාජ්‍ය සේවකයන් ද ඉන්නවා. ජීවිතාරක්ෂක සංගමයත් මේ සමග සම්බන්ධයි.’
මෙම පුහුණුවෙන් පස්සෙ අපි සහතිකයක් ලබා දෙනවා. මේ සහතිකය ජාත්‍යන්තරව ඉතාම ඉහළින් පිළිගන්නවා. ඉතා ඉහළ වැටුපකට විදේශ රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව මෙමගින් ලැබෙනවා. ඒ වගේම මේ රටේ හෝටල් ක්ෂේත්‍රයට පිවිසීමේ අවස්ථාව ලැබෙනවා. අපි දන්නවා හෝටල් ආශ්‍රිත තියෙන බොහෝ පිහිනුම් තටාකවල ආරක්ෂකයෙක් හිටියට ඇතැම් විට ඔහුට මනා පුහුණුවක් නෑ. මේ සහතිකය තියෙන කෙනෙකුට ඕනෑම හෝටලයකට ඉහළ වැටුපකට රැකියාවක් ලබාගන්න පුළුවන්. අපි දන්නා වෙරළ ආශ්‍රිතව තරුණයන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගෙන් ලබාගන්නා ප්‍රයෝජනය ගැන සතුටු වෙන්න බෑ. ඒ තරුණ ශ්‍රමය අපරාදේ නාස්ති වෙනවා. ඒ අර්ථයෙන් ගත්තම මේ පුහුණු පාසල අතිශයින්ම වැදගත්.’

‘මුළු රටේම මුහුදු කලාපය ආවරණය වන පරිදි වෙරළාරක්ෂක ඒකක පිහිටුවිය හැකි නම් හොඳයි. ඒ වගේම රට මැද තියෙන ගංගා, දිය ඇළි ආශ්‍රිතවත් මෙම ඒකක පිහිටුවිය යුතුයි. ඒ හරහා ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. නමුත් අපට දැන් තියෙන පිරිස් බලය ඒ සඳහා ප්‍රමාණවත් නෑ. සංචාරක ව්‍යාපාරයෙන් රට ගොඩනැගීමට වෙරළාරක්ෂිත වැඩපිළිවෙළක් ඉතා ඉහළ ප්‍රමිතියකින් තිබිය යුතුයි. ඒ අනුව ගත්තත් පුහුණු වෙරළාරක්ෂකයන් ජාතික ආර්ථිකයට ඉතාම හොඳ ශක්තියක්.’
‘යුද, නාවික, ගුවන් හා වෙරළාරක්ෂක සාමාජිකාවන් වෙනුවෙන් රියද් අද්මිරාල් රොහාන් ඩේවිඩ් වෙරළාරක්ෂක විශේෂ පුහුණු පාඨමාලාවක් ආරම්භ කර ඇත. මෙම පාඨමාලාව තුළ මූලික ජීවිතාරක්ෂක පාඨමාලාව සහ ප්‍රථමාධාර පාඨමාලාවන් අතරමැද ජීවිතාරක්ෂක පාඨමාලාව, ලෝකඩ පදක්කම් ජීවිතාරක්ෂක පාඨමාලාව, රිදී පදක්කම් පාඨමාලාව යනුවෙන් අංශ 4ක් ඇත. සාමාන්‍ය පුරවැසියන්ට මෙන්ම පිහිනීමට හැකියාවක් නැති අයට ද මෙම පාඨමාලාවට ඉල්ලුම් කළ හැකියි.
එමෙන්ම වයස් සීමාවක් නොමැතිවීම ද විශේෂත්වයකි. ත්‍රිවිධ හමුදාවේ සහ වෙරළාසන්න ජීවිතාරක්ෂක පුහුණුව වෙනුවෙන් හමුදා සේවයට අදාළ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය. සාමාන්‍ය පුරවැසියන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගන්නා අයැදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් මෙම පාඨමාලාවලට සම්බන්ධ විය හැකිය.
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කොමදෝරු ප්‍රසාද් චම්පික ජයසිංහ පැවසුවේ මුහුද ආශ්‍රිතව විශාල ආර්ථිකයක් තිබෙන බවය. මුහුදු ආරක්ෂාව සැපයීමෙන් මෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය ආරක්ෂාව සැපයීමෙන් එම ආර්ථිකය ගොඩනැගිය හැකි බවත් මුහුද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඩලීමේ කටයුතුවල දී විශාල දායකත්වයක් සැපයිය හැකි බවත් ඔහු පැවසුවේය.
ලෝකයේ වඳ වෙලා යන සත්ව විශේෂයක් වන කැස්බෑවන් අපේ රටට සම්පතක්. කැස්බෑවන් දැක බලා ගැනීමටම සංචාරකයන් ලංකාවට එනවා. නමුත් කැස්බෑවන් ආශ්‍රිතව විශාල ජාවාරම් වෙනවා. වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හැටියට කැස්බෑ සංරක්ෂණයට අපේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.* කොමදෝරු ප්‍රසාද් චම්පික ජයසිංහ පැවසීය.
අප රට නිධානයක් බවත් අප ඒ නිධානය දෙස බලා සිටිනවා පමණක් යනුවෙන් නිතර කියැවේ. ඒකාන්ත සත්‍යයකි. අප රටට මුහුදෙන් පමණක් වුවද ගොඩ යා හැකිය. අවශ්‍ය වන්නේ එයට අවශ්‍ය පහසුකම් සැපයීමය. මිරිස්සෙන් නික්ම එද්දී සිතට දැනුණ එම හැඟීම මෙහි අවසාන ඡේදය වශයෙන් සටහන් කරමි.
විශේෂ ස්තූතිය - වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලුතිනන් එම්. සාලින්ද මහතාට
සටහන - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
සේයාරු - රුෂිරු කොළඹ තන්ත්‍රිගේ



COMMENTS