මම මෘදුකාංග ඉංජිනේරුවෙකු වුණා නම්, අද මම යම් ආයතනයක මාසික වැටුපට සීමා වුණු සේවකයෙක් පමණයි. හැබැයි ව්‍යවසායකයෙකු වීම නිසා අද මට මිලියන සංඛ්‍යාත ජනතාවකට මගේ උපරිම සේවය ලබා දෙන්න පුළුවන් වී තියෙනවා. ඒක තමයි මම ජීවිතේ ගත්ත සතුටුම තීරණය!

එක්තරා කලෙක ශ්‍රී ලංකාවේ ඩිජිටල් අවකාශය සිංහල භාෂාවට විවර නොවී, හුදෙක් ඉංග්‍රීසි අකුරට පමණක් සීමා වූ කාලයක් තිබුණි. ස්මාර්ට් ජංගම දුරකථන තිරය මත ස්වකීය මව් භාෂාවෙන් ‘අම්මා’ යැයි ලියන්නට සිංහලයාට එදා වරම් තිබුණේ නැත. බොහෝ දෙනා තාක්ෂණයේ හැඩයට හැඩගැසෙමින් ‘සිංග්ලිෂ්’ වලින් අදහස් හුවමාරු කරගනිද්දී, එක් තරුණයෙකු පමණක් මව්භාෂාවේ අභිමානය ඩිජිටල් තිරය මත ප්‍රතිෂ්ඨාපනය කිරීමට සිහින මැව්වේය. ඔහු අන් කිසිවකු නොව අද වන විට ලාංකේය ඩිජිටල් ලෝකයේ ‘යෝධයකු’ බඳු වූ හෙළකුරු නිර්මාතෘ ධනික පෙරේරාය.

ලාංකේය ඩිජිටල් අවකාශයෙහි සිංහල භාෂාවට අභිමානවත් අනන්‍යතාවක් ලබාදුන් සුවිශේෂ ව්‍යවසායකයෙකු ලෙස ධනික පෙරේරා හැඳින්විය හැකිය. කළුතර ග්‍රාමයේ උපත ලද ඔහු කළුතර සිරිකුරුස විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව මොරටුව විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු අංශයට තේරී පත් වූ දක්ෂ සිසුවෙක් විය. මොරටුව විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු අංශයේ උපාධිධාරියෙකු වී පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය (Masters) ද හදාරමින් සිය වෘත්තීය දැනුම ඔප්නංවා ගත්තේය. වසර දහහතරකට පෙර ඔහු විසින් නිර්මාණය කරන ලද ‘හෙළකුරු’ මෘදුකාංගය, වර්තමානය වන විට මිලියන 4.4 කට අධික පරිශීලකයින් පිරිසක් වැළඳගත් මෙරට ප්‍රමුඛතම ‘සුපිරි ඇප්’ (Super App) එකක් බවට පත්ව ඇත.

ධනික පෙරේරා ඒ වන විට මොරටුව විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි. තමන්ගේ අධ්‍යයන කටයුතු සඳහා වූ එක්තරා ව්‍යාපෘතියකට (Project) නිර්මාණය කළ ඇප් එකක් ලෙසයි හෙළකුරු ඇප් එක ඔහු විසින් නිර්මාණය කරනු ලැබ ඇත්තේ. ඉන්පසු   2011 වර්ෂයේදී තමන්ගේම සරසවි මිතුරන් තිදෙනකු සමඟ එකතුව ඔහු “භාෂා ලංකා”  නම් ආයතනය ආරම්භ කළේය. වසර දෙකක පමණ කාලයක් ඔවුන්ට ස්ථිර කාර්යාලයක් පවා තිබුණේ නැත. නමුත් 2013 වසරේදී ස්ථිර ආයතනයක් ලෙස ලියාපදිංචි වී සිය ගමන ආරම්භ කළ ධනික, අද වන විට සිය ආයතනයෙහි මෘදුකාංග ඉංජිනේරුවන්, අලෙවි නිලධාරීන් සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 50 කට අධික පිරිසකට රැකියා අවස්ථා උදාකර දී ඇත.

ධනික පවසන පරිදි ඔහු ව්‍යවසායකයෙකු වීමට බලපෑ ප්‍රධාන ‘කම්පනය’ අසාර්ථකත්වයයි. සරසවි සිසුවකු ලෙස සීමාවාසික පුහුණුව සඳහා රැකියාවක් සෙවීමේදී අවස්ථා තුනකදී ඔහු ප්‍රතික්ෂේප විය. එම පරාජය පන්නරයක් කර ගත් ඔහු, අනුන් යටතේ සේවය කරනවා වෙනුවට තමන්ගේම මාවතක් තැනීමට තීරණය කළේය. වසර දෙකක් යනතුරු ස්ථිර කාර්යාලයක් පවා නොතිබූ ඔහුගේ ආයතනය අද වන විට   දැවැන්ත ව්‍යාපාරයකි.

ධනික පෙරේරාගේ ව්‍යවසායකත්ව දැක්ම නිරන්තරයෙන් සමාජයේ පවතින ගැටලුවලට තාක්ෂණික විසඳුම් ලබා දීම මත පදනම් වීය. මීට වසර දහහතරකට පෙර ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය ආරම්භයේදී, ඩිජිටල් අවකාශයෙහි සිංහල භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමට නිසි ක්‍රමවේදයක් නොතිබීම ජනතාව මුහුණ දුන් ප්‍රධානතම ගැටලුව විය. බොහෝ දෙනා ඒ වෙනුවට  ‘සිංග්ලිෂ්’ ක්‍රමය භාවිතා කළද, මව්භාෂාවේ අභිමානය ඩිජිටල් තිරය මත ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණින් ඔහු ප්‍රථම වරට සිංහල යතුරු පුවරුව (Keyboard) හඳුන්වා දුන්නේය. මුලදී දුරකථන සඳහා වූ සිංහල ලියන යන්ත්‍රයක් ලෙස මෙය,  ක්‍රියාත්මක වූ අතරම  අද වන විට එම හෙළකුරු ඇප් එක සන්නිවේදනයෙන් ඔබ්බට ගිය පුළුල් අවස්ථා රැසක් හිමිකර දුන්නේය.

ඔහු හෙළකුරු හරහා විවිධ වූ සේවා ලබාදුන් අතරම එමගින් දායාද වූ ක්ෂේත්‍ර මෙසේ විස්තර කළ හැකිය. 

1. එසැණ (Esana) - ක්ෂණික පුවත් සේවාව හරහා වර්තමාන කාර්යබහුල සමාජයෙහි තොරතුරු දැනගැනීමේ පිපාසයෙන් පසුවන ජනතාවට, විශ්වාසදායක පුවත් ක්ෂණිකව ලබා දීම මෙම සේවාවේ මූලික අරමුණයි. ඊට අමතරව සිදුවීමක් සිදුවූ සැණින් එම පුවත සාරාංශගතව සිය පරිශීලකයන් වෙත ජංගම දුරකථන නිවේදනයක් (දැනුම්දීම) ලෙස යොමු කෙරේ. ඒ අනුව පොදු මහජනතාවට  සමාජ මාධ්‍ය හරහා පැතිරෙන සාවද්‍ය හෝ විකෘති කරන ලද තොරතුරු වෙනුවට, තහවුරුවේ කරන ලද සත්‍ය තොරතුරු පමණක් මහජනයා වෙත ගෙන ඒමට කටයුතු කෙරේ. ඊට අමතරව පසුදින පුවත්පතක් හෝ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයක් එනතුරු රැඳී නොසිට, ලෝකයේ සහ දේශීයව සිදුවන වැදගත් සිදුවීම් එසැණින් දැනගැනීමට මහජනයාට අවස්ථාව උදා වී ඇත.

2. හෙළපේ (HelaPay) - දේශීය ඩිජිටල් සේවාව හරහා රටේ ව්‍යාපාරික ප්‍රජාවට සහ සාමාන්‍ය ජනතාවට මුදල් හුවමාරු කර ගැනීමට පවතින ගැටලුවලට තාක්ෂණික වශයෙන් මෙය හඳුන්වා දී ඇත. ඊට අමතරව අමතර ජාත්‍යන්තර ඉන්ද්‍රියයන් හරහා ගනුදෙනු කිරීමට අවශ්‍ය බව ඔබට දැනගත හැකිය. බදු මුදල ගෙවීමක් වැනි අවම මට්ටමක් දක්වා අඩු කර ගැනීමටද ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබේ.

විදේශ විනිමය ආරක්ෂා කිරීම: මෙහිදී දේශීය මුදල් ගනුදෙනු සඳහා ජාත්‍යන්තර අතරමැදියෝ සහභාගී නොවෙති. රටේ විදේශ විනිමය අනවශ්‍ය ලෙස පිටරටට ගලා යාම වැළැක්වීමට මෙමගින් විශාල දායකත්වයක් ලැබේ.

පහසුව සහ ආරක්ෂාව: බැංකු පද්ධතිය හරහා ක්ෂණිකව සහ ආරක්ෂිතව මුදල් ගෙවීමට හෝ හුවමාරු කර ගැනීමට ඇති පහසුව නිසා කුඩා ව්‍යාපාරිකයන්ට පවා මෙම සේවාව මහඟු රුකුලක් වී ඇත.

3. හෙළරූ (Helaroo) - ඩිජිටල් සිනමා සේවාව  නම්වූ දේශීය සිනමාකරුවන්ට සහ ප්‍රේක්ෂකයන්ට නවතම අත්දැකීමක් ලබාදීම සඳහා නිර්මාණය කර ඇත. වීඩියෝ ප්‍රවාහන (ප්‍රවාහය) සේවාව සැපයීම, සිනමා ශාලාවකට යාමට අපහසු හෝ තිරගත වන විට චිත්‍රපටයක් තම ජංගම දුරකථනය හරහා ඕනෑම වේලාවක එය නැරඹීමේ අවස්ථාව ලබා දී ඇත. ඊට අමතරව සිනමා ශාලා ප්‍රදර්ශනයෙන් පසුවද සිය නිර්මාණ මහජනයා අතරට ගෙන ගොස් ඉන් අමතර ආදායමක් උපයා ගැනීමට සිනමා නිෂ්පාදකයන්ට මෙමගින් මාවතක් විවර කරදීමටද ඔහු කටයුතු කළේය. මෙම සේවාව හරහා ලැබෙන තවත් එක් වාසියක් වන්නේ දේශීය චිත්‍රපට සහ නිර්මාණ එකම වහලක් යටදී ඩිජිටල් තිරයකට රැගෙන ඒමෙන් ශ්‍රී ලාංකික සිනමා කලාව ඩිජිටල් යුගයට ගැළපෙන ලෙස නව්‍යකරණය කිරීමට මෙයින් හැකියාව ලැබීමය.

මෑත කාලීනව මෙරට මගී ජනතාව මෙන්ම රියැදුරන් ද මුහුණ දුන් ප්‍රධානතම ගැටලුවක් වූයේ කුලී රථ (Taxi) සේවාවන් ලබාගැනීමේදී සහ සැපයීමේදී මතුවූ අසමතුලිතතාවයයි. විශේෂයෙන්ම පවතින තාක්ෂණික මෙවලම් හරහා ගාස්තු තීරණය කිරීමේදී, රියැදුරන්ට මෙන්ම මගීන්ට ද අසාධාරණකම් සිදුවන බවට නිරන්තරයෙන් මැසිවිලි නැගුණි. රියැදුරන් පෙන්වා දුන්නේ තාක්ෂණික සේවා සපයන අතරමැදි පාර්ශවයන් විසින් අයකරනු ලබන අධික කොමිස් මුදල් හේතුවෙන් තමන්ට සිදුවන ලාභය අවම වන බවයි.

මෙම ද්විපාර්ශවික ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින්, ධනික පෙරේරා ඇතුළු කණ්ඩායම පසුගිය වසරේ මැයි මස 01 වන දින විශේෂ තීරණයක් ගනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස මගියාට සහ රියදුරාට යන දෙපාර්ශවයටම උපරිම සාධාරණයක් ඉටු කෙරෙන ‘හෙළගෝ’ (HelaGo) නවතම ප්‍රවාහන සේවාව මෙරටට හඳුන්වා දීමට ඔවුන්ට හැකියාව ලැබුණි. මෙහි ඇති සුවිශේෂී විශේෂාංගයක් වන්නේ මගියෙකු තමන්ගේ අවශ්‍යතාවය පරිදි රථයක් වෙන් කරගැනීමේදී (Booking) ඔහුට විකල්ප අවස්ථා තුනක් හිමි වීමයි. මෙමගින් මගියා සහ රියදුරා අතර සාධාරණව බෙදාහදා දීම හරහා 'හෙළගෝ' සේවාව අද වන විට මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවමු මාවතක් විවර කර තිබේ.

මෙම සේවා හරහා හෙළකුරු යෙදුම හුදු යතුරු පුවරුවක සිට ලාංකික ජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා සපයන ‘සුපිරි ඇප් එකක්’ දක්වා වර්ධනය වී තිබේ. ධනික පවසන්නේ මෙවන් අදහසකි. 

“මම සාමාන්‍ය මෘදුකාංග ඉංජිනේරුවෙක් වුණා නම්, මම මාසික පඩියට පිරිසකට පමණක් සේවය කරන සේවකයෙක් පමණයි. නමුත් ව්‍යවසායකයෙකු වීම නිසා අද මට මිලියන සංඛ්‍යාත ජනතාවට මගේ උපරිම සේවය ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා.”

අද වන විට ලක්ෂ සංඛ්‍යාත මහජනතාවට සේවය සපයමින් තම දැනුමේ උපරිමය මහජනතාව වෙනුවෙන් යෙදවූ ව්‍යවසායකයෙකු ලෙස ලෝකයක් නම් දැරූ ධනික පෙරේරා ආදරණීය සැමියෙකු මෙන්ම, දරුවන් තිදෙනකුගේ පියෙකි. ඔහුගේ මෙම සාර්ථකත්වය පසුපස තම ආදරණීය බිරිඳ නොමඳ ශක්තියක් වූ බව ඔහු අප සමග පැවසීය.

ධනික පෙරේරා යනු හුදෙක් තාක්ෂණික මෙවලම් නිපදවූ මෘදුකාංග ඉංජිනේරුවෙකු පමණක් නොවේ. ඔහු වෘත්තීය නිපුණතාව, දේශීයත්වය සහ ව්‍යවසායකත්ව නිර්භීතකම යන ත්‍රිත්වයම එකට මුසු කළ අපේ යුගයේ සැබෑ දක්ෂයෙකි. සරසවි සමයේ ව්‍යාපෘතියකින් ඇරඹි ඔහුගේ මේ ගමන, අද වන විට මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ඇඟිලි තුඩු මත ජීවමාන වන ජාතික මෙහෙවරක් බවට පත්ව තිබේ. ඔහු සිය ජීවිතයෙන් අපට කියා දෙන  පාඩම නම්, සාර්ථකත්වය යනු රැකියාවක් සොයා යාම නොව, ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා සහ සේවා සපයන ‘රැකියා උත්පාදකයෙකු’ (Job Creator) වීම බවයි.
ඔහුගේ ජයග්‍රහණයේ රහස පවතින්නේ තාක්ෂණය තුළම පමණක් නොව, ඔහුට ඇති ‘මිනිසුන්ගේ ගැටලු හඳුනාගැනීමේ’ සුවිශේෂ හැකියාව තුළයි. සිංහල අකුරෙන් ඇරඹි එම මෙහෙවර, අද වන විට ජනතාවගේ පුවත් දැනගැනීමේ පිපාසය සංසිඳුවන, මුදල් ගෙවීම් පහසු කරන සහ ගමනාගමනයේදී රියදුරාටත් මගියාටත් සාධාරණත්වය ඉටුකරන දැවැන්ත සේවා ජාලයක් දක්වා විහිදී තිබේ. ධනික පෙරේරා යන නාමය අද ඩිජිටල් අවකාශය තුළ නොමැකෙන සලකුණක් වී ඇත්තේ, ඔහු ලාභය පරම අරමුණ කරගත් ව්‍යාපාරිකයෙකු නොවී, ජනතාවගේ හදගැස්ම හඳුනාගත් සංවේදී ව්‍යවසායකයෙකු වූ නිසාමය.

ධනික පෙරේරාගේ මේ ජයග්‍රාහී වෘත්තාන්තයෙන්, වර්තමාන ශ්‍රී ලාංකීය තරුණ ව්‍යවසායකයන්ට සහ ව්‍යවසායිකාවන්ට ලබා දෙන උතුම්ම ආදර්ශය වන්නේ, “අධ්‍යාපනයෙන් පන්නරය ලබා, කැපවීමෙන් සහ නිවැරදි දැක්මෙන් යුතුව කටයුතු කරන්නේ නම්, තමන්ගේම රටේ සිට ලෝකයම දිනිය හැකි සැබෑ වීරයෙකු විය හැකි” බවයි. ධනික පෙරේරා යනු ඩිජිටල් යුගයේ හෙළ අභිමානය ලෝකය ඉදිරියේ ඔසවා තැබූ සැබෑ දේශීය සලකුණකි.

මදූශා දිල්ශානි.