පසුගියදා ඔස්ට්‍රේලියාව සහ ප්‍රංශය යන රටවල් විසින් ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පනවන ලදි. ළමා අයිතිවාසිකම් තහවුරු කරන අතරම ළමයාගේ ආරක්ෂාව පිළිබඳ කතිකාවෙහි ළමයාගේ උපරිම යහපත තකා ක්‍රියා කිරීමට රජයන්ට ඇති වගකීම මෙම පියවර ගැනීමෙහි ලා හේතු විය. මුහුණපොත, ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය තුළ ළමයෙක් නිරාවරණය වන නියාමනයෙන් තොර පරිසරයේ ළමයා මුහුණ දිය හැකි අන්තරාය හමුවේ ආරක්ෂක උපක්‍රමයක් ලෙස මෙම පූර්වාදර්ශය ශ්‍රී ලංකාවද අනුගමනය කළ යුත්තේ ඇයි දැයි යන්න විමසා බැලීම සුදුසුය. 
 
ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය වේදිකා බොහෝ විට වගකීමක් නොමැතිව ක්‍රියාත්මක වන තැනකි. ඇතැම් විට එය ළමයෙකුගේ නොව වැඩිහිටියකුගේ පවා සෞඛ්‍යවත් පැවැත්මට අහිතකර වන අන්තර්ගතයන් අඩංගු තැනකි. මාගරට් මීඩ් පවසන පරිදි අප ළමයකුට ඉගැන්විය යුත්තේ සිතන්නේ කෙසේද කියා මිස සිතන්නේ මොනවා ද කියා නොවේ. සමාජ මාධ්‍ය බලපෑම්සහගත ලෙස මතවාද සකස් කරන බෙදා හරින වේදිකා වේ. මේවාහි බලපෑම ළමයකුගේ චින්තනයට බලපෑම් කළ හැකි අතර ළමයකුගේ යහවර්ධනයට අවශ්‍ය “සුරක්ෂිත අවකාශය”‍ එහි නොවේ.
 
ශ්‍රී ලංකාවද අත්සන් තබා එකඟ වූ එක්සත් ජාතීන්ගේ ළමා හිමිකම් පිළිබඳ සම්මුතිය පරිදි දරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී අදාළ කරගන්නා ප්‍රධාන මූලධර්මයක් වනුයේ ළමයාගේ උපරිම යහපත සැලසීමයි. ඒ අතරම ළමයාගේ පැවැත්ම සහ සංවර්ධනයට ඇති අයිතියද එමගින් තහවුරු කර තිබේ. ජාත්‍යන්තර සම්මුතියෙන් මෙන්ම ලංකාවේ නීතියෙන්ද වයස අවුරුදු 18ට අඩු සියලු‍ මනුෂ්‍යයන් ළමුන් ලෙස සැලකේ. 
 
මානසික වශයෙන් දරුවාගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම  
 
එක්සත් ජාතීන්ගේ ළමා හිමිකම් පිළිබඳ සම්මුතියේ (UNCRC) 19 වන වගන්තිය යටතේ, රාජ්‍යය සියලු‍ ආකාරයේ ”‍ශාරීරික සහ මානසික වශයෙන් වන ප්‍රචණ්ඩත්වයෙන් සහ හානියෙන්”‍ දරුවන් ආරක්ෂා කළ යුතුය. සමාජ මාධ්‍ය වේදිකා බොහෝ විට වාචික ත්‍රස්තවාදය පෝෂණය කරන ස්ථාන වේ. බිය හෝ කැමැත්ත හෝ පක්ෂපාතීත්වය ඇති කිරීම සඳහා ආක්‍රමණශීලී, තර්ජනාත්මක මෙන්ම හිංසාකාරී භාෂාව භාවිත කිරීම, විවිධ පාර්ශ්ව අරබයා සිදු වන වෛරී කථනය (කාන්තාවන් සහ ගැහැනු ළමුන්)  උදාහරණ වශයෙන් පෙන්වා දිය හැකිය. එවන් පරිසරයක කටයුතු කිරීමට අවශ්‍ය ආචාරධාර්මික සංවර්ධනය සහ චිත්තවේගීමය නිපුණතාව ඇති කර ගැනීමට පෙර ළමයින් මෙම ධ්‍රැවීකරණය වූ පරිසරයකට නිරාවරණය කිරීම මානසික වශයෙන් දරුවාගේ යහපැවැත්මට ඉතා හානිකරය. ළමුන් වින්දිතභාවයට පත් විය හැකි අතර, දිනපතා ස්මාර් ට්ෆෝන් භාවිත කරමින්, සමාජ මාධ්‍යවල පැය ගණන් කාලය ගෙවා දැමීම හේතුවෙන් ළමුන් තුළ කාංසාව, විෂාදය, හීනමානය වැනි තත්ව මෙන්ම පෞරුෂ අක්‍රමිකතා, ආහාර ගැනීමේ සහ නින්දෙහි අක්‍රමිකතා ඇති වීමට හේතු වේ. 
 
ළමුන් වැඩිහිටිකරණය වැළැක්වීම 
 
සමාජ මාධ්‍යවල වඩාත්ම දරුණු බලපෑම්වලින් එකක් වන්නේ ළමුන් වැඩිහිටිකරණයයි. ළමුන් තම වර්ධන ක්‍රියාවලිය තුළ ක්‍රමක්‍රමයෙන් පරිණත වෙමින් වැඩිහිටියන් බවට පත් වීමට පෙර වැඩිහිටියන්ගේ තේමා, රූපය පිළිබඳ ප්‍රමිති සහ ලිංගිකමය අන්තර්ගතයන් ඇතුළු වැඩිහිටි ලෝකය සමඟ සම්බන්ධ වීමට මානසිකව බලපෑම් කෙරේ. මේවායේ ඇල්ගොරිතම පරිශීලකයින් වැඩිවැඩියෙන් සම්බන්ධ කර ගැනීම සඳහා අන්තර්ගතයන් සදාචාර විරෝධී ලෙස හසුරුවයි. මෙය, අධ්‍යාපනය විසින් දරුවකු බුද්ධිමය, චිත්තවේගීය, ආචාරධාර්මික සහ ශාරීරික වශයෙන් සමස්ත වර්ධනයක් ඉලක්ක කරනු ලැබිය යුතු බව කියන UNCRC හි 29 වන වගන්තිය උල්ලංඝනය කිරීමකි. සමාජමාධ්‍ය ඔස්සේ ලැබෙන විශ්වසනීයත්වයක්, සදාචාරභාවයක් සහ වගවීමක් නොමැති තොරතුරු සහ අවිධිමත් දැනුම ළමයාගේ ඉහත කී වර්ධනය සඳහා ඇති කරන්නේ ඍණාත්මක බලපෑමකි. තමන්ගේම අනන්‍යතා වර්ධනය කිරීම වෙනුවට, ඇල්ගොරිතම මගින් ළමයින් පරිභෝජනවාදී සමාජයෙහි “කුඩා වැඩිහිටියන්”‍ බවට පත් කර ඇත.
 
ඉතාම මෑතකදී, ප්‍රංශය විසින් වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරන ලද්දේ ළමුන් “මානසිකව යටත් විජිතකරණය”‍ වීම  වැළැක්වීම සඳහාය. ඩෙන්මාර්කය ද ළමුන්ගේ ළමා කාලය ආරක්ෂා කිරීමට TikTok,, Instagram සහSnapchat වැනි යෙදුම් ළමුන් සඳහා තහනම් කර ඇත.
 
ආචාරධාර්මික ඌණතාව 
 
දරුවකුගේ සදාචාර සංවර්ධනය යන්න අධ්‍යාපනයෙහි එක් මුඛ්‍ය තේමාවකි. UNCRC හි 17 වන වගන්තියෙහි දක්වා ඇති පරිදි ළමයකුට හානිකර තොරතුරු ළමයකු වෙත සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට අවශ්‍ය නියාමනය සිදු කිරීම රජයේ වගකීමකි.  එසේම, එහි 29 වන වගන්තියෙන් සංස්කෘතික සහ ආචාරධාර්මික වටිනාකම් මත පදනම් වූ අධ්‍යාපනයක් ලබා දී එමගින් පූර්ණ සහ වගකීම් සහගත වැඩිහිටියකු නිර්මාණය කිරීම රජයේ වගකීමක් බවට පත් කර තිබේ. සදාචාර සංවර්ධනය දරුවකුගේ පෞරුෂය සංවර්ධයෙහි ලා අත්‍යවශ්‍ය කුලු‍නකි. එසේ වුවද ඇල්ගොරිතම නිර්මාණය කර ඇත්තේ අධ්‍යාපනය සඳහා නොව ලාභය සඳහා ය. එයින් ළමයකුට පෙන්වන්නේ මොනවා ද යන්න සදාචාර විරෝධී ලෙස හසුරුවයි. බොහෝ විට අන්තවාදී අදහස් හෝ අයුතු අන්තර්ගතයන් වෙත දරුවන්ට ප්‍රවේශය සලසයි. චර්යාමය හෝ වාචික ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කෙරෙන අන්තර්ගතයෙන් ළමයාගේ හැසිරීම තුළට ප්‍රචණ්ඩත්වය ආරෝපණය කරයි. එම හැසිරීම් සම්බන්ධයෙන් වගවීමක් හෝ වගකීමක් පැවරෙන බවට අවබෝධයක් ළමයා තුළ නොවේ. පුද්ගලයන්ගේ මානව අයිතිවාසිකම් සහ සිවිල් අයිතිවාසිකම් කඩ කෙරෙන පරිසරයක් සමාජ මාධ්‍යවල වේ. ඒ සඳහා  බලපෑම්සහගත නියාමනයක් නොපවතී. මෙරට පරම්පරාගත වූ අශිෂ්ටත්වය සහ සහකම්පනයෙන් තොර ක්‍රියාකාරිත්වය අනාගත පරපුර වෙතින් මුලිනුපුටා දැමිය යුතු වේ. ඒ වෙනුවෙන් ළමයා ආචාරධාර්මික සහ වගකීම්සහගත වැඩිහිටියකු ලෙස ගොඩනැංවීම අත්‍යවශ්‍ය කරුණකි.  
 
සයිබර් හිරිහැරය, ලිංගික සහ වෙනත් ආකාරයේ හිංසන සහ වින්දිතභාවය 
 
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජමාධ්‍ය තහනම් කිරීමට හේතු වූයේ තරුණ ළමුන්ගෙන් සීයට52 ක් සයිබර් හිරිහැරයට ලක් වීමයි. අධ්‍යයනවලින් පෙනී යන්නේ ලංකාවේ ළමුන්ගෙන් දළ වශයෙන් සියයට 3.5 සිට සියයට 4 දක්වා සයිබර් හිරිහැරයට මුහුණ දෙන බවත්, තරුණ ප්‍රජාවගෙන් සියයට 11.7ක් ලිංගික නොවන වෙනත් ආකාරයේ හිංසනවලට මුහුණ දෙන බවත්ය. කාන්තාවන් සියයට 57.1ක් හිංසනයට මුහුණ දෙන අතර, එහි හිංසකයන් ප්‍රධාන වශයෙන් පිරිමි (සියයට 61.9) ය. මෙයින් වින්දිතභාවයක් නිර්මාණය වන අතර, වින්දිතයෝ බොහෝ විට බිය, ලැජ්ජාව, කාංසාව, ක්ලමථය ආදී මානසික තත්වවලට සහ අක්‍රමිකතාවලට ගොදුරු වෙති. බොහෝ වින්දිතයන් වැඩිහිටියන්ට වාර්තා කිරීමට වඩා මිතුරන්ට පමණක් පැවසීමට පෙලඹෙන හෙයින් බොහෝ සිදුවීම් සංඛ්‍යාලේඛනවල අන්තර්ගත නොවේ. මේ හිංසනය නින්දිතය. විශේෂයෙන්ම වාචික හිංසනය, අපහාසය, වෙනස් කර සැලකීම්, කොන්කිරීම්, අපවාදය මෙ’තුළ අන්තර්ගතය. මෑතම සිද්ධිය යම් පාසලක පාසල් සිසුවකු සහ ගුරුවරුන් අරබයා ගෙන ගිය නින්දිත ප්‍රහාරයයි. තම පෝස්ටුවලට ලැබෙන ප්‍රතිචාර වැඩිකර ගැනීම සහ මුදල් ඉපැයීමේ අභිප්‍රායෙන් ප්‍රහාරය ක්‍රියාත්මක වූ බැව් පෙනෙන්නට තිබිණ. කෙනෙකුගේ පෞද්ගලිකත්වයට, ආත්ම ගරුත්වයට හෝ කීර්ති නාමයට එරෙහිව සිදු කෙරෙන ප්‍රකාශයක වගකීම නොපැවරෙන මෙම අනාරක්ෂිත පරිසරයෙහි දරුවන්ගේ අනන්‍යතා හෙළිදරව් වීම සියලු‍ දෙනාගේ අවධානය යොමු විය යුත්තකි. තම දරුවා මෙම අතථ්‍ය පරිසරයෙහි අනාරක්ෂිත වන බව හඳුනා ගැනීම දෙමව්පියන්ගේ වගකීමකි. එසේම, අවදානමට ලක් විය හැකි වයස් කාණ්ඩයේ ළමුන් සඳහා මෙම පරිසරවලට ප්‍රවේශය නියාමනය කිරීම රජයේ යුතුකමකි. ලංකාවේ ලිංගික හැසිරීමක් සම්බන්ධයෙන් කැමැත්ත පළ කිරීමේ වයස අවුරුදු 16කි. තම ශරීරය පිළිබඳ ස්වයං තීරණයක් ගැනීමට හැකි වන්නේ එම වයසට එළැඹීමෙන් අනතුරුවය. එබැවින් අවුරුදු 16න් පහළ දරුවන් හට සමාජ මාධ්‍ය තහනම් කිරීම ආචාරධාර්මික වශයෙන් හායනයට පත්ව ඇති අප සමාජයේ ළමුන් ආරක්ෂා කර ගැනීම උදෙසා ගත යුතු කඩිනම්  පියවරක් වනු නිසැකය. 
 
ප්‍රකාශනයේ අයිතිය 
 
UNHCR හි 13 වන වගන්තියෙන් ළමයකුට ප්‍රකාශනයට සහ තොරතුරු සඳහා තහවුරු කර ඇති අයිතිය සහ නිදහස සමාජ මාධ්‍ය නියාමනයෙන් අභියෝගයට ලක් කෙරෙන බවට කෙනෙකු තර්ක කරන්නට හැකිය. එහෙත් මෙම ප්‍රකාශනය සිදුවන සන්දර්භය ඉතා වැදගත් වේ. ධ්‍රැවීකරණයට ලක් වූ අනාරක්ෂිත සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රකාශනයෙන් හිංසාව වැනි ඍණාත්මක අත්දැකීම්වලට ළමුන් නිරාවරණය විය හැකි බැවින් ඔවුන්ට නිදහසේ සහ ආරක්ෂිතව තම අදහස් ප්‍රකාශ කිරීමට හැකි දැයි යන්න ප්‍රශ්නගත වේ. එබැවින් ළමුන්ට තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ආරක්ෂිත පරිසරයක් අත්‍යවශ්‍ය වේ. ළමුන් සමාජමාධ්‍ය තුළදී ඍණාත්මක ප්‍රතිචාරවලට මුහුණ දෙන විට, අදහස් ප්‍රකාශනය පිළිබඳ ඔවුන්ගේ කැමැත්තට පවා බලපෑම් ඇති විය හැකිය.
 
”‍ළමයාගේ උපරිම යහපත”‍ මූලධර්මය  
 
UNHCR හි 3 වන වගන්තිය අනුව සියල්ලට පළමුව සැලකිය යුත්තේ ළමයකුගේ උපරිම යහපතයි. තහනමක් තුළ “නිදහස”‍ සීමා කෙරෙන බවට තර්ක කළ හැකි නමුත්, දරුවෙකු සඳහා වන සැබෑ නිදහස යනු වගකීමක් හෝ වගවීමක් නොමැති පරිසරයක හිරිහැරයට හෝ භීතියට පත් කිරීමකින් තොරව නිදහසේ ධනාත්මකව වැඩීමට ඇති අයිතිය නොවේ ද? 
 
ළමුන්ට සමාජ මාධ්‍ය සඳහා වයස් අනුකූල වාරණයක් පැනවීම, ළමුන්ගේ කායික සහ මානසික යහපැවැත්මට මෙන්ම, මානසික, ශාරීරික, බුද්ධිමය සහ චිත්තවේගීය යහවර්ධනය උදෙසා සුරක්ෂාව සපයන ඩිජිටල් පළිහක් වනු ඇත. තාක්ෂණික ලෝකයේ දැවැන්ත ව්‍යාපාරිකයන්ගේ ලාභය නොව අප තෝරා ගත යුත්තේ අපගේ ළමා පරපුරේ සුරක්ෂිත භාවයයි.
මනෝවිද්‍යා උපදේශිකා නීතිවේදී 
නර්මදා වික්‍රමආරච්චි