
අසන සවනට- දකින දෙනෙතට- සිතන සිතුමට මිහිර ගෙන දෙන යමක් ලොව පැවතියේද මානව ඉතිහාසය පුරාම යුගයෙන් යුගයට යාවත්කාලීන වෙමින් ඒ සියල්ල නොනැසී පැවතුණේය. ධාතු වන්දනය සහ පෙරහර ඓතිහාසිකමය පුරාවතක නොහිම් වටිනාකම් ලෙස සිංහල බෞද්ධ සංස්කෘතිය දෙඋර දරා ගන්නේ එනිසාමය.
ගංගාරාම ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේද සොයා යන පුනරාවර්ජනයකදී නවම් පෙරහර සහ වරින් වර පැවැත් වූ ධාතු වන්දනාමය පුණ්‍යකර්ම කිසිසේත් අපට අමතක කළ නොහැකිය. දැයෙන් සමුගත් ගංගාරාමයේ පොඩි හාමුදුරවන්යැයි සුවහසක් ජනයාගේ අපමණ ගෞරවයට පාත්‍ර වූ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද රටම ආසිරිමත් ආසිරි වර්ෂාවකින් ප්‍රබෝධනයට පත් කරන ගංගාරාමයේ නවම් පෙරහර මෙවර පවත්වනු ලබන්නේ 48 වැනි වතාවටය.
හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්, දෙවුන්දර ශ්‍රී ජිනරතන හිමියන් ඇතුළු ස්වර්ණවත් පෞරුෂයන් දෙඋර දැරූ මහා යතිවර පරපුරක දුල රන් මුද්‍රාවක් වූ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සංකල්පයකට අනුව ඇරඹි ගංගාරාමයේ නවම් පෙරහරේ වත්මන් වගකීම් දෙවුර දරන්නේ ආචාර්ය කිරින්දේ අස්සජී හිමි, ආචාර්ය පල්ලේගම රතනසාර හිමි ප්‍රමුඛ යතිවරයාණන් වහන්සේලාය. පොඩි හාමුදුරුවන් ජීවමාන සමයේදීම ගංගාරාමය සෙවණේ දියත් කළ අප්‍රමාණ ආගමික, ශාසනික, සමාජීය උත්තරීතර විසල් මෙහෙවර යාත්‍රාවේ වගකීම් අද දෙවුර දරන්නේ උන්වහන්සේලාය.
ගංගාරාම නවම් පෙරහර යනු කොළඹට හෝ ගංගාරාමයේ දායක දායිකාවන්ට පමණක් සීමා වූ පෙරහරක් නොවන අතර එය දේශදේශාන්තරයන්හි වෙසෙන බෞද්ධාගමික මෙන්ම බෞද්ධ නොවන ජනතාවගේ පවා ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ අපූර්වතම පෙරහර මංගල්‍යයකි.
පෙරහර මංගල්‍යයේ සමාරම්භයට පෙරාතුව සුමධුර සෙත් පිරිතෙන් ගංගාරාම පුදබිම නැහැවෙන්නේ ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදාත්මක සුගන්ධය භක්ත්‍යාදරයෙන් විහිදුවාලමිනි.සාම්ප්‍රදායික පෙරහර චාරිත්‍ර ප්‍රමුඛව මංගල හස්තියාගේ පිට මත කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහරේ සමාරම්භය සිදුවන අතර පේවී සිදු කරන එම සත්චාරිත්‍ර සමුදාය කන්ද උඩරට දළදා මාලිගාවේ පෙරහර මංගල්‍ය චාරිත්‍ර අබිමුවටද අප හදවත් ස්නේහයෙන් කැටුව යයි. කන්ද උඩරට දළදා මාළිගා පෙරහරේදී මංගල හස්ති රාජයා මත කරඬුව තැන්පත් කර එම කරඬුවට දෑ සමන් මල් පුද දී පෙරහරේ සමාරම්භය සනිටුහන් කරනු ලබන්නේ අතීත සාම්ප්‍රදායික චාරිත්‍රයන්ට අදටත් ඉහ මුදුනින් ගෞරවාදරය පිරිනමමිනි.
ගංගාරාම පෙරහර දේශ දේශාන්තරයන්හි පතල වෙන්නේ සිරි විසිතුරු වෑස්සෙන හස්ති රාජවරැන් පෙරටු කරගත්, දකින දෙනෙත් ඇසිල්ලක් ඇසිල්ලක් පාසා පිනවනු ලබන මහා පෙරහරක් ලෙසය.
සැබැවින්ම ගංගාරාම පෙරහර මංගල්‍යයේ සාර්ථකත්වය උදෙසා තිරයෙන් එහා ස්නේහයෙන් අත්වැල් බැඳගත් පාර්ශ්ව බොහෝ වෙත්. ගංගාරාමයේ වැඩ වෙසෙන යතිවරයාණන් වහන්සේලා, ප්‍රධාන දායකයා ප්‍රමුඛ දායක සභාව මෙන්ම ගංගාරාමයට හිතෛෂී විදේශීය සම්භාවනීයන් මෙන්ම අනුග්‍රහකත්වය භක්ත්‍යාදරයෙන් පිරිනමන සමාගම් ඇතුළු බොහෝ පාර්ශ්ව ගංගාරාම පෙරහරෙහි ස්නේවන්ත වගකීම් දරයි. රන් හුයක දවටාලූ මුතු සේ මේ සියලු පාර්ශ්ව එකම පූජනීය හැඟීමෙන් පෙරහර හා බැඳී සිටීම අසිරිමත්ය.
තවත් වෙසකින් ගංගාරාමයේ නවම් පෙරහර යනු ජාති ආගම් පන්ති කුලභේදයකින් විමුක්තව කොන්දේසි විරහිත මානුෂිකත්වයකින් සියලු ජාතීන් සංහිඳියාවේ සිතුවිලි වෙත කැටුව යන අසිරිමත් යාත්‍රාවකි.
ගංගාරාම නවම් පෙරහර නැරඹීමටම ලංකාවට පැමිණෙන විදේශිකයෝ පිරිසක් සිටිති. ගම්භීර ලීලාවෙන් පෙරහරේ ගමන් කරන විසිතුරු ඇඳුමින් සරසන ලද හස්තියන්ගේ දසුන මෙන්ම සාම්ප්‍රදායික නර්තන කණ්ඩායම් නෙක විසිතුරු ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු දර්ශනය විදේශිකයන්ගේ නෙතට රසදුනක් වග හැඟෙන්නේ ඔවුන් පෙරහර අප්‍රමාණ සතුටකින් භුක්ති විඳින දර්ශනය සිහිපත් වෙද්දීය.
මෙවර හුණුපිටිය ගංගාරාම නවම් පෙරහර පවත්වනු ලබන්නේ ජනවාරි මස 31 වැනි දින සහ පෙබරවාරි 01 වැනිදා යන දෙදින තුළය.සුබ නැකතින් පේවී මංගල මොහොතින් ඇරඹෙන පෙරහර සරසන්නට පුරා හතළිස් අට වසරක් මුළුල්ලේ විවිධ පාර්ශ්ව විසින් දක්වන ලද කැපවීම මෙවරද ඒ අයුරින්ම පෙරහර සාර්ථකත්වයේ රහසක් වෙසින් පවතිනු ඇත. ගංගාරාම පෙරහර ඔස්සේ සිදුවන තවත් අනගි මෙහෙවරක් වෙන්නේ සාම්ප්‍රදායික නර්තන කලාවන් කාලයේ වෙනස්වීම් සමඟ තවදුරටත් දේශීය උරුමයන් ලෙස සුරක්ෂිත කරලීමට සපයනු ලබන පිටුබලයයි. එය සාම්ප්‍රදායික නර්තනයේ යෙදෙන නර්තන වේදීන්ගේ මනසටද ප්‍රබල අභිප්‍රේරණයක් සහ උත්තේජකයක් සපයනු ලබන අතර ඔවුන්ගේ ජීවිත ආර්ථික වශයෙන් සවිබලගැන්වීමටද මහත් ආධාරකයක් සපයයි.
මෙවර ගංගාරාම නවම් පෙරහරට තවත් විශේෂ අංග රැසක් එක් කර තිබීම ද සුවිශේෂත්වයකි.
එනම් ඉන්දියානු, බුරුම සහ චීන නර්තන කණ්ඩායම් අටක් මෙවර ගංගාරාම පෙරහරේ නර්තන විලාසයන් රඟ දැක්වීම උදෙසා එක්ව සිටී. තවද ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසය නිරූපණය කරන රථ හතරක්ද පෙරහර වර්ණවත් කිරීම සඳහා සූදානම් කර ඇත. මහින්දාගමනය, දළදාගමනය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම සහ ත්‍රිපිටකය ගන්ථාරූඩ කිරීම යන ඓතිහාසික අවස්ථා එම රථ පෙරහර ඔස්සේ විද්‍යමාන වෙයි. එමෙන්ම හින්දු, සහ මුස්ලිම් ආදි සංස්කෘතීන්ට අයත් අංග ත්‍රිත්වයක්ද පෙරහර ස්වර්ණවත් කිරීම උදෙසා එක් කර තිබීම විශේෂත්වයකි. මෙවර පෙරහර මංගල්‍යයේ පළමු දිනයේ විශේෂ ආරාධිතයන් ලෙස හිටපු ජනාධිපතිවරුන් සහ විපක්ෂ නායකවරුන් පැමිණීමට නියමිත අතර දෙවැනි දිනයේදී අගමැතිනිය සහ ඇමතිවරුන් කිහිප දෙනකුද පැමිණීමට නියමිතය.
පෙරහර පවත්වා දින දෙකක් ගතවීමෙන් පසු ගංගාරාමය සෙවණේ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම ඇරඹෙයි. ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වන පෙබරවාරි හතර වැනිදා සිට පෙබරවාරි 11 වැනිදා දක්වා මෙම ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන අතර සුවහසක් ජනතාවගේ ආශීර්වාදාත්මක හිත සුව පිණිස ගංගාරාමය සෙවණේ ධාතු ප්‍රදර්ශනයක් මේ අයුරින් පවත්වනු ලබන්නේ සිව් වැනිවරටයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය සහ ඇමති සහ නියෝජ්‍ය ඇමති පාර්ශ්වයන්ට මෙන්ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිටද මෙම ධාතු ප්‍රදර්ශනය නැරඹීම සඳහා සපැමිණෙන ලෙස ආරාධනා කර ඇත්තේ සුවිශේෂ අමුත්තන් ලෙස ඔවුන් පිළිගැනීමට සූදානමින්ය. අගමැති නරේන්ද්‍ර මෝදිගේ පැමිණීම තවමත් නිල වශයෙන් තහවුරු වී නැති අතර ඉන්දියානු සම්භවයක් සහිත සුවිශේෂී ආරාධිතයන් අතරට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ඇතුළු කාර්ය මණ්ඩලයද සිටී.
ධාතු වන්දනාව අතර දළදා වහන්සේ වන්දනය මහා ආනිශංස සහ කුසල ධර්මයන්ගෙන් පරිපූර්ණ බව පිළිගැනෙන්නේ දන්ත ධාතූන් වහන්සේලා යනු බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මයේ ස්පර්ශය ලද ධාතූන් වහන්සේලා වන හෙයින් යැයි පිළිගැනීමක් තිබේ. සැබැවින්ම බුදුන් වහන්සේ ජන්මලාභය ලද බිම අසිරිමත් ඉන්දියාව වුවත් වැඩි වශයෙන් ධාතුන් වහන්සේලා වැඩ හිඳින්නේ ශ්‍රී ලංකාවෙහිය. එම සර්වඥ ධාතුන් වහන්සේලා අතරින් ශ්‍රී දළදා වහන්සේ, වාම දක්ෂිණ ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ ඇතුළු ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ නිදන් කර ඇත. බෞද්ධ පිළිගැනීමට අනුව ධාතූන් වහන්සේලා වන්දනා කිරීම මහත්ඵල මහානිශංස ලැබීමට හේතු වන පුණ්‍ය කර්මයකි.
නිර්වාණ සම්පත්තියේ ද්වාර විවර කර ගැනීම උදෙසාද එය මඟ විවර කරන අතර ලෝකෝත්තර වශයෙන් නිදුක් නිරෝගී සුව ලැබීමටත් දීර්ඝායු ලැබීමටත් පිරිවර සැප සම්පත් ලැබීමටත් පිරිසුදු මනසින් පිරිසිදු චේතනාවෙන් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම හේතුවන බව පැවසේ. ධාතු ප්‍රදර්ශනයේදී ධාතූන් වහන්සේලාට ආරක්‍ෂාව සපයනු උදෙසා සංඝයා වහන්සේලා එය වටා සිටින අතර ධාතූන් වහන්සේලා සහ සංඝයා වහන්සේලාගේ ආරක්ෂාව පිණිස හමුදා ආරක්ෂාවක් යොදනු ලැබේ. ධාතූන් වහන්සේලා වෙනුවෙන් මල් පූජා කිරීම දායකයන්ට සිදුකළ හැක. ධාතු වන්දනය සැලකෙන්නේ ජීවමාන බුදුන් වහන්සේ වන්දනා කිරීම හා සමාන කුසල කර්මයක් ලෙසය.
ධාතුන් වහන්සේලා උදෙසා විශේෂ තේවාවන් පවත්වනු ලබන අතර දෙවිවරුන්ට පින් අනුමෝදන් කර පූජාව අවසානයේ මහා සමය සහ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනු ලැබේ. බුදු දහම අනුව කිලි සංකල්පය බලගන්වන්නේ නැති වුවත් ධාතූන් වහන්සේලා උදෙසා විශේෂ තේවා පැවැත්වීමේදී එම ස්ථානයෙන් මහජනයා ඉවත් කෙරෙන්නේ, හින්දු බලපෑම මෙම චාරිත්‍රයන්හිදී බලපෑමක් වී ඇති නිසා වග පිළිගැනේ. එනම් කිලි සහ මාංශ අනුභවය සහිත අය ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට පැමිණි සිටිය හැකිය යන විශ්වාසය පදනම් කරගෙනය.
මෙවර ධාතු වන්දනය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට වන්දනා කිරීමට ලැබෙන්නේ අගමැති මෝදිගේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය සඳහා ලබාදුන් ඉන්දියාවේ තැන්පත් කර ඇති බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ කේශ ධාතූන් වහන්සේලාය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සදාතනික මිත්‍රත්වයේ සංකේතයක් ලෙස ධාතු වන්දනය උදෙසා එම ධාතුන් වහන්සේලා ලබාදීමට අගමැති මෝදි කටයුතු කර තිබේ.
නිසැකයෙන්ම කල්‍යාණත්වයේ මනුදම් ඔස්සේ රාජ්‍යතාන්ත්‍රිකත්වය යා වෙන තැන සංහිඳියාව ගොඩනැංවෙන වගටද එය කදිම සංනිදර්ශනයකි.
සංජීවිකා සමරතුංග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd