ජීවිතය යනු දෛවය විසින් ලියන ලද කතාවක් නොව, අප විසින් කරනු ලබන අරගලයකි. වරෙක දරිද්‍රතාව හමුවේ මහගෙදර උකස් වෙද්දී, තවත් වරෙක පියාගේ අභාවයෙන් මුළු ලෝකයම කඩා වැටෙද්දී, ඒ  මතින් නැගී සිටි ඔහු අද වන විට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ (CA Sri Lanka) 28 වැනි සභාපතිවරයායි. ඔහු නමින් ටිෂාන් සුබසිංහයි.  ඇමරිකාවේ  නිව්‌යෝර්ක්  සහ චිකාගෝ වැනි ලෝක මූල්‍ය බළකොටුවල සිට, අප්‍රිකානු මහද්වීපය දක්වා විහිදුණු ජාත්‍යන්තර අත්දැකීම් සම්භාරයක් ශ්‍රී ලාංකාවට දායාද කළ ටිෂාන් සුබසිංහ යනු, හුදෙක් වරලත් ගණකාධිකාරිවරයෙකු පමණක් නොවේ. ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් (PwC) වැනි ගෝලීය දැවැන්තයන් සමඟ ලැබූ පන්නරයත්, මූල්‍ය MBA රන් පදක්කම්ලාභී විද්වත් දැනුමත්, නීති විශාරදත්වයත් එක්තැන් වූ ඔහුගේ අද්විතීය වෘත්තීය පෞරුෂය, මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ නව දිශානතියක් සනිටුහන් කරයි. 

19 හැවිරිදි වියේදී පියාගේ අභාවයත් සමඟ ඇති වූ දැවැන්ත කඩා වැටීම, තමන්ගේ ජයග්‍රහණයේ පන්නරය බවට පත් කරගත්  ටිශාන් සුබසිංහ අද මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම හඬක් බවට පත්ව සිටී.

ජාත්‍යන්තරයේ අතිශය ඉහළ වෘත්තීය අත්දැකීම් ලැබුවද, තමාට අකුරු කළ මව්බිමේ අගය සහ සාරධර්ම අමතක නොකළ ඔහු, වර්තමාන තරුණ පරපුරට පසක් කර දෙන්නේ ‘අපේකම’ සහ ‘විනය’ රැකගෙන ලෝකය දිනිය හැකි බවයි. දැක්ම, අවධානය සහ කැපවීමෙන් ඕනෑම අර්බුදයක් අවස්ථාවක් කර ගත හැකි බව ටිෂාන් සුබසිංහ නම් වූ මේ  නායකයා සිය ජීවිතයෙන්ම සනාථ කර ඇත. ඔහු පවසන පරිදි, සැබෑ සාර්ථකත්වය යනු සහතික පත්‍ර එකතු කිරීමක් නොව, තමන් ලත් දැනුමෙන් රටට සහ සමාජයට ආලෝකයක් වීමය. මේ සංවාදය ඔහු සමගය.

Q ටිෂාන් සුබසිංහ කියන්නේ ඔබට අනුව කවුද කියා කෙටියෙන් හැඳින්වූවොත්?

මම මුදල් පසුපස හඹා යන කෙනෙක් නෙමෙයි. දැනුම පසුපස හඹා යන සංවේදී පුද්ගලයෙක්. ඉතිහාසයට සහ සාහිත්‍යයට ගොඩක් කැමතියි. ඒ නිසාම මොරටුව විශ්වවිද්‍යාලයේ පාලි සභාවේ පවා මම හිටියා. මම හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න කැමති කෙනෙක්. ඒ වගේම මගේ සේවය ජනතාවට නොපිරිහෙළා ඉටු කරන, පවුලට ආදරය කරන සරල මනුස්සයෙක්.

Q ඔබේ පාසල් කාලය සහ වෘත්තීය ජීවිතයේ ආරම්භය කොහොම ද සිදුවුණේ?

මම කුරුණෑගල නාරම්මල ගමේ ඉපදිලා, මූලික අධ්‍යාපනය කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙනුත්, උසස් අධ්‍යාපනය කුරුණෑගල මලියදේව විද්‍යාලයෙනුත් ලබා ගත්තා. පාසල් කාලයේ මම කැපීපෙනෙන ශිෂ්‍යයෙක් නෙවෙයි, මගේ අවධානය වැඩිපුරම තිබුණේ ක්‍රීඩාවට සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලටයි. මගේ ජීවිතය වෙනස් වුණේ 1995 ඔක්තෝබර් 14 වැනිදා. ඒ වරලත් ගණකාධිකාරි දේශනවලට සහභාගි වුණු දවසක මගේ පියා අභාවයට පත් වීමත් සමග. පියාගේ ලොකුම ආසාව වුණේ මම වරලත් ගණකාධිකාරිවරයෙක් වෙනවා දකින්නයි. ඔහුගේ වියෝවත් සමඟ මම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තා කොහොම හරි ඔහුගේ ඒ සිහිනය ඉටු කරනවා කියලා.

Q පියාගේ අභාවයෙන් පසු ඔබට මොන වගේ අභියෝගවලට ද මුහුණ දෙන්න සිදුවුණේ?

තාත්තා ඉන්න කාලේ නම් අපිට හොඳට සල්ලි තිබුණා. ඒත් ඔහුගේ අභාවයෙන් පස්සේ නරක කාලයක් උදා වුණා. ජීවත් වුණු මහගෙදර පවා සින්න වෙන්න ගියා. ඉගෙනීමේ කටයුතුවලට මුදල් නැති නිසා අම්මට සිද්ධ වුණා තමන්ගේ කනකර බඩු පවා උකස් කරන්න. අද මම මේ ඉන්න තැනට එන්න එදා ඒ ජීවිතයට ලැබුණු ලොකු පන්නරය සහ ඒ කඩා වැටීම ප්‍රධානතම හේතුවක් වුණා යැයි මම විශ්වාස කරනවා.

Q අද වන විට ඔබ වරලත් ගණකාධිකාරිවරයෙකු මෙන්ම නීතිඥවරයෙක්. මේ ක්ෂේත්‍ර දෙකම සමබරව පවත්වා ගෙන යන්නේ කොහොම ද?

මුලින්ම වරලත් ගණකාධිකාරිවරයෙකු වීම පියාගේ සිහිනයක්. නීතිඥ වෘත්තිය ගැන තිබුණු ආසාව නිසා මම පස්සේ නීති විද්‍යාලයට ඇතුළත් වෙලා නීතිඥවරයෙකු විදිහටත් දිවුරුම් දුන්නා. මේ වෘත්තීන් දෙකම මම ඉතාමත් උනන්දුවෙන් කරන්නේ. නීති ක්ෂේත්‍රයෙන් මම ලබන දැනුම මට ගණකාධිකාරිවරයෙක් විදිහට ඉදිරියට යන්න ලොකු පදනමක් වෙනවා. කැමැත්ත සහ කාල කළමනාකරණය තියෙනවා නම් ඕනෑම වගකීමක් සමබරව කරන්න පුළුවන්.

Q ඔබ ජාත්‍යන්තරය පවා ජයගත් පුද්ගලයෙක්. ඒ ජාත්‍යන්තර සේවා පළපුරුද්ද සහ විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ලැබූ අත්දැකීම් කොයි වගේ ද?

මම වරලත් ගණකාධිකාරිවරයෙක් විදියට දකුණු අප්‍රිකාව, ඇමරිකාව වගේ රටවල සේවය කළා. මගේ සේවා පළපුරුද්ද වසර 4 කට වැඩි කාලයක් නිව්‌යෝර්ක්, ෆිලඩෙල්ෆියා, චිකාගෝ සහ බොට්ස්වානාහි ප්‍රයිස්වෝටර් හවුස්කූපර්ස් (PwC) ආයතනය දක්වා විහිදෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේදී මට ‘මූල්‍ය සේවා’ අංශයේ විගණන කටයුතු පිළිබඳ පුළුල් නිරාවරණයක් ලැබුණා. එහිදී SOX 404 (Sarbanes-Oxley Act) සමාලෝචන වැනි සංකීර්ණ විගණන ක්‍රියාවලීන් ගැන අත්දැකීම් ලබාගන්න වගේම බහු වාර්ගික සහ බහු සංස්කෘතික පරිසරයන් තුළ වැඩ කිරීමෙන් මූල්‍ය ගිණුම්කරණය, විගණනය සහ තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් ගෝලීය ප්‍රමිතීන් පිළිබඳව මනා අවබෝධයක් ලබාගන්න මට හැකි වුණා.

Q IFRS (ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්) සම්බන්ධයෙන් ඔබ සතු විශේෂඥ දැනුම ගැන පැහැදිලි කළොත්?

ඔව් ඇත්තටම  ඇමරිකාව, හොංකොං, බැංකොක්, මැලේසියාව සහ ඉන්දියාව වැනි රටවලින් IFRS, විගණන මෘදුකාංග සහ ඒකාබද්ධ විගණන පිළිබඳ ජාත්‍යන්තර පුහුණුව මම ලබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණය ක්‍රියාත්මක කිරීමේ සහ අර්ථකථන කමිටුවේ සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරනවා. එංගලන්තයේ සහ වේල්ස්හි වරලත් ගණකාධිකාරි ආයතනයේ (ICAEW) සහතිකලත් පුහුණුකරුවෙකු ලෙසත් කටයුතු කරනවා.

Q විදේශ රටවල සේවය කිරීමේදී ඔබේ පෞරුෂය වර්ධනය කරගත්තේ කෙසේ ද?

මම විදේශ රටවල ආයතන රැසක සේවය කරද්දී ගොඩක් අත්දැකීම් ලැබුවා. මම පොත් කියවන්න ගොඩක් කැමති කෙනෙක්. කුරාණය, බයිබලය, භගවත් ගීතාව වැනි ආගමික ග්‍රන්ථ පවා පරිශීලනය කරලා තියෙනවා. ඒ වගේම ක්‍රීඩාව සහ විවිධ විෂය බාහිර වැඩ නිසා මට මිනිස්සු එක්ක වැඩ කිරීමේ හැකියාව ලැබුණා. ඒ ලබාගත් දැනුම මගේ පෞරුෂය වර්ධනය වෙන්න හේතු වෙන්න ඇති. ඉතින් මම හිතන විදියට පෞරුෂය කියන්නේ පොතපතේ දැනුම විතරක් නෙවෙයි, සමාජයත් එක්ක සහයෝගයෙන් කටයුතු කිරීමේ කලාවක්.

Q විදෙස් අවස්ථා බොහෝ තිබියදී මව් රටට සේවය කළ යුතුයි කියා ඔබට සිතුණේ ඇයි?

මම වරලත් ගණකාධිකාරිවරයෙක් විදිහට සුදුසුකම් ලබාගෙන ලංකාවේ ටික කාලයක් සේවය කරලා තමයි විදේශගත වුණේ. ඒ කාලේ මම සේවය කළේ ලෝකයේ අංක එකේ වරලත් ගණකාධිකරණ ආයතනයක. නමුත් 2017 දී මම බිරිඳත් එක්ක නැවත ලංකාවට ආවේ මගේ රටට සේවය කරන්න ඕනේ කියන හැඟීම නිසයි. මම ඉගෙන ගත්තේ ලංකාවෙන්. මම නිතරම හිතනවා අපි ඉගෙන ගත්ත රටට සේවයක් කරන්න ඕන කියලා.  ඒ වගේම අපේ සාරධර්ම අනුව අම්මලා, නෑදෑයෝ එක්ක කාලය ගත කිරීම වැදගත් කියලා මම හිතනවා. ඒ කාලය අපට ආයෙ ලැබෙන්නේ නැහැ. ඒ නිසාම මම ලංකාවේ පුහුණුව ලැබූ ආයතනයේම හවුල්කාරයෙකු ලෙස වසර දහයක් සේවය කළා.

Q මූල්‍ය කළමනාකරණය පිළිබඳව  පශ්චාත් උපාධි ලැබූ අයෙකු ලෙස සහ අනෙකුත් අධ්‍යාපනික පසුබිම කොහොම ද ඔබේ වෘත්තීය  ගමන ශක්තිමත් කළේ?

මම ඉගෙනීමට හැමදාමත් ඇලුම් කළ කෙනෙක්. කොළඹ විශ්වවිද්‍යාලයෙන් MBA (මූල්‍ය) උපාධිය හදාරද්දී මම ඒ සඳහා පළමු රන් පදක්කම දිනාගත්තා. ඒ වගේම මම ඇමරිකා එක්සත් ජනපදයේ සහතිකලත් තොරතුරු පද්ධති විගණකවරයෙක් (CISA). මගේ නීති උපාධිය (LLB Hon) ලබාගත්තේ බකින්හැම්ෂයර් නව විශ්වවිද්‍යාලයෙන්. මේ අධ්‍යාපනික සුදුසුකම් මගේ වෘත්තීය ගමන ශක්තිමත් කරන්න විශාල පදනමක් වුණා.

Q වරලත් ගණකාධිකාරී ආයතනයේ 28 වන සභාපති ලෙස ඔබ සියල්ලන්ගේම ඡන්දයෙන් තේරී පත් වූවා. ඒ  නායකත්වය ඔබ දකින්නේ කුමන ආකාරයෙන් ද?

නායකයෙක් කියන්නේ පොදු අරමුණක් වෙනුවෙන් පිරිසක් හසුරුවන්න පුළුවන් කෙනෙක්. මම කවදාවත් තනතුරු පස්සේ ගියේ නැහැ. පාසලේ ශිෂ්‍ය නායකයෙක් වුණෙත්, මේ ආයතනයේ සභාපති වුණෙත් අනෙක් අයගේ ඉල්ලීම මතයි. නායකයෙක් කියන්නේ පෞරුෂයකින් හෙබි, හොඳ දැක්මක් තියෙන, මිනිසුන් සමඟ සුහදව වැඩ කළ හැකි පුද්ගලයෙක්. ඉතින් විවිධ වූ විදේශ රටවලදී මම බොහෝ අත්දැකීම් ලබා ගත්තා. මෙරටදීත් එහෙමයි. ඉතින් මම හිතනවා මගේ වටේ ඉන්න පිරිස මා පිළිබඳව ඉතා හොඳින් දන්නවා. ඒ වගේම මම වැඩ  කරන විදිය ගැනත්. මේ හේතුකාරණා නිසාම මට ඒ තනතුර ලැබෙන්නට ඇතැයි කියා මම විශ්වාස කරනවා. ඒ වගේම ඔවුන් ඒ ලබාදුන් නායකත්වය උපරිම සාධාරණයක් ඉටු කරන්න මම බලාපොරොත්තු වෙනවා.

Q ඕනෑම සාර්ථක මිනිසෙකුට අභියෝග එනවා. ඔබටත් එසේ අභියෝග පැමිණෙන්නට ඇති. මොනවද ඒ අභියෝග සහ ඔබ කොහොමද ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නේ?

මගේ ජීවිතයේ ලොකුම අභියෝගය වයස 19 දී පියා නැති වීම. ඒ රැකියාවලදීත් උසස්වීම් ලැබෙද්දී විවිධ බාධා ආවා. නමුත් මම හැමදාම ප්‍රධාන කරුණු තුනක් අනුගමනය කරනවා. එකක් ‘විෂන්’ (Vision) නැත්නම් දැක්ම, අනෙක ‘ෆෝකස්’ (Focus) අවධානය සහ තුන්වැන්න ‘විනය’ (Discipline). මගේ ජීවිතයේ මට ලැබුණ හැම අභියෝගයකදීම මම අනුගමනය කළේ මෙන්න මේ කරුණු 3.  මේවා තියෙනවා නම් බාහිර අභියෝග, අභියෝග විදිහට පේන්නේ නැහැ. මම දැනට බැංකු අධ්‍යක්ෂවරයෙක්, රක්ෂණ සමාගමක හිටපු සභාපතිවරයෙක් සහ තවත් සමාගම් රැසක අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩ කරනවා. මේ හැම දේම සාර්ථක කරගන්නේ ස්වයං විනය නිසයි.

Q ඔබේ කාර්ය බහුලත්වයත් සමග තමන්ගේ පවුලත් සමබර කරගන්නේ කොහොම ද? 

මගේ බිරිඳ තුෂාරි. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ඔවුන් දෙදෙනාත් එංගලන්තයේ ඉගෙන ගන්නවා. වරලත් ගණකාධිකාරිවරියන් වෙන්න. මම කොච්චර කාර්යබහුල වුණත් පවුලේ අය එක්ක කාලය ගත කරන්න අමතක කරන්නේ නැහැ. මම අද මෙතන ඉන්නේ මගේ පවුල නිසයි. ඒ වගේම  පවුලේ අයගේ අවබෝධය නිසයි මට මගේ රාජකාරි නිදහසේ කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ටිශාන් සුබසිංහ කියන කෙනා රටට කාර්ය බහුල වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ පවුල වෙනුවෙන් ඕනෑම වෙලාවක ඉන්න පුද්ගලයෙක්.

Q ක්ෂේත්‍ර රැසක අත්දැකීම් බොහෝ ඇති ඔබ අනාගත ව්‍යවසායකයන්ට සහ අධ්‍යාපනය ලබන දරුවන්ට ඔබ ලබාදෙන පණිවිඩය කුමක් ද?

මම අධ්‍යාපනය කියන දේ ඉතා ඉහළින් අගයන කෙනෙක්. කිසි විටෙකත් සහතික පත්‍ර සහ විභාග සමත්වීම පමණක් ඔබේ අවසාන ඉලක්කය කරගන්න එපා. දැනුම කියන්නේ පොතපතින් ලබාගන්නා දෙයක් වුණත්, සාර්ථකත්වය කියන්නේ ඒ දැනුම මිනිසුන් සමඟ සහයෝගයෙන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ කලාවයි. ජීවිතයට අභියෝග එන එක සාමාන්‍ය දෙයක්, නමුත් ඒවා දෙස බලා වැටෙන්න එපා. ඒ අභියෝගයම ඔබේ ඉදිරි ගමනේ පන්නරය කරගන්න. සැමවිටම මා පෙර කියූ  දැක්ම (Vision), අවධානය (Focus) සහ ස්වයං විනය (Discipline) යන කරුණු තුන ඔබේ ජීවිතයට බද්ධ කරගන්න. ඔබ කුමන ක්ෂේත්‍රයක නියැළුණත්, මුදල් පසුපස හඹා යනවා වෙනුවට දැනුම සහ මානුෂීය ගුණාංගවලින් පිරිපුන් පුද්ගලයෙකු වීමට උත්සාහ කරන්න. ඔබ අගය කරන සාරධර්ම සහ ඔබේ විනය, දිනක ඔබව ලෝකයම පිළිගන්නා නායකයෙකු බවට පත් කරනු නිසැකයි.

ඡායාරූප: නිසාල් බදුගේ

මදූශා දිල්ශානි