
මෙම වකවානුවේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව සහ උණ වැනි රෝග සංකූලතා බහුල වශයෙන් පැතිරයාමක් නිරීක්ෂණය වන අතර, ඔබ මෙන්ම ඔබ දන්නා හඳුනන බොහෝ දෙනෙකු ද මෙම රෝගී තත්ත්වයන් ගෙන් පීඩා විඳිනවා විය හැකිය. එබැවින් මෙයින් මිදීමට ගත හැකි පියවර මෙන්ම රෝගී තත්ත්ව ඇතිවීමෙන් වැළකී සිටීමේ ක්‍රමවේදයන් මොනවාද යන්න විමසා සිටීම සඳහා අප කායික සහ ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක සම්බන්ධ කර ගතිමු.
මේ දිනවල බහුල වශයෙන් පැතිරයන කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ ඇඟපත වේදනාව වැනි රෝගාබාධ සැම විටම ඇතිවන්නේ වෛරස් නිසාවෙනි. වෛරස් කාලානුරූපිව වෙනස් වනු ලබන්නකි. නමුත් වෛරස් රෝග නොසලකා හැරියහොත් ඒවා බැක්ටීරියා ආසාධන බවට පත්වීමට ඉඩ ඇති අතර එතුළ රෝගී තත්ත්වය දරුණු වීමට ඉඩ තිබේ. බොහෝ පුද්ගලයන්ට වැළදෙන කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ ඇඟපත වේදනාව වැනි රෝග තත්ත්ව ඉබේම නැති වී ගියත් ප්‍රතිශක්තිය අඩු වැඩිහිටියන්, කුඩා දරුවන් සහ දියවැඩියාව හෝ ඇදුම වැනි පෙණහලු රෝග වලින් සහ දීර්ඝකාලීන රෝග වලින් පෙළෙන පුද්ගලයන්ට පවතින රෝගී තත්ත්වය වඩාත් උත්සන්න වී බැක්ටීරියා ආසාදනයක් බවට පත්වීමේ අවකාශ පවතී.
වෛරස් රෝග ඇතිවීම කාලානුරූපීව ඕනෑම රටක දේශගුණයත් සමග ඇතිවන තත්ත්වයකි. විශේෂයෙන් ශ්‍රී ලංකාව යනු කුඩා රටක් වුවත් ඉහළ ජනගහනයක් සිටීම, ඉක්මන් දේශගුණික වෙනස්කම් සිදුවීම, වායු දූෂණය(දූවිලි අංශු සහිත වායුව පැවතීම) පැවතීම, අපිරිසිදු පරිසරයක් පැවතීම යන ආදි කරුණු නිසා වර්තමානයේ වෛරස් රෝග බහුල වශයෙන් පැතිර යාමට හේතු වී තිබේ.
මුව ආවරණ පැලදීම
මේ නිසා ජනගහනය වැඩි වශයෙන් සිටින ස්ථානවලට හෝ වායු දූෂණය සහිත පරිසරයකට ගමන් කරන්නේ නම් මුව ආවරණයක් පැලදීම(Mask), අත්‍යවශ්‍ය කරුණකට හැර සෙනග ගැවසෙන ස්ථාන වලට ගමන් කිරීමෙන් වැළකීම, විශේෂයෙන් වයෝවෘද්ධ සහ විවිධ රෝග තත්ත්ව වලින් පෙළෙන අයවළුන් බාහිර පරිසරයට නිරාවරණය වන සෑම අවස්ථාවකම මුව ආවරණ පැලඳීම සිදුකිරීම වඩාත් සුදුසු වේ.
එසේම කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, නාසයෙන් සොටුදියර ගැලීම, උණ, ඇඟපත වේදනාව වැනි රෝග තත්ත්ව ඇතිවූ විට නිවසේදීම තමන්ට සුළු ප්‍රතිකාර ක්‍රම මගින් හා නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනයෙන් සුවකර ගැනීමේ හැකියාව පවතී.
කොත්තමල්ලි
විශේෂයෙන් ශීතකළ ජලය, ශීතකළ බීම පානය කිරීම හා ශීතකළ ආහාර පරිභෝජනයෙන් වැළකීම ඉතාමත් වැදගත් වේ. ශීතකළ ආහාරපාන ගැනීමෙන් මෙම රෝගි තත්ත්ව උත්සන්න වනු ලබයි. වෛද්‍යවරුන් ලෙස අප මෙහිදී උපදෙස් දෙනු ලබන්නේ හැකි සෑම අවස්ථාවකම උණුසුම් ජලය භාවිත කරන ලෙසය. එසේම හුමාලය ආඝ්‍රාණය කිරීමද රෝගී තත්ත්වය සමනය කරගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වේ. මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ අප කුඩා කල සිටම හොඳින්ම දන්නා “කොත්තමල්ලි” පානය කිරීම ද ඔබගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට බෙහෙවින් ඉවහල් වන බවය. මේ ආකාරයට ඔබ කටයුතු කරන්නේ කරන්නේ නම් ප්‍රතිශක්තිකරණ ප්‍රතිදේහ ශරීරයෙන්ම නිෂ්පාදනය වී වෛරසය ශරීරයෙන් ඉවත්වී යනු ලබයි. මේ සඳහා යම් පරිස්සමක් අප විසින් පවත්වා ගෙන යායුතුව තිබේ. එසේම ඔබ දුම් පානය කරන්නෙක් නම් හෝ මත්පැන් පානය කරන්නෙක් නම් එය සහමුලින් නවතා දැමීම රෝග පාලනයට අත්‍යවශ්‍ය වේ. ඇඟපත වේදනාව සහ උණ පවතින්නේ නම් පැරසිටමෝල් භාවිතය සහ දින කිහිපයක් විවේකීව සිටීම සහ යන ඕනෑම තැනක මුව ආවරණ පැලඳ සිටීමද රෝගී බවින් මිදීමට හේතු වනු ලබයි.
පාසල් ළමයින් අතර වෛරස් රෝග පැතිරයාම බහුලව සිදුවූවත් ඔවුන්ට ඉන් ලොකු ගැටලුවක් ඇතිවීමේ සම්භාවිතාව ඉතා අවම මට්ටමක පවතී. නමුත් දරුවන් ගෙන් නිවසේ සිටින වැඩිහිටියන්ට මෙම රෝගය ආසාදනය වීම ගැටලුකාරී තත්ත්ව ඇති කිරීමට හේතුවීමට ඉඩ තිබේ .
කෙසේ නමුත් මේ අතරතුර රෝගී තත්ත්වය උත්සන්න වූ රෝගීන් පිරිසක් ද දැකිය හැක. විශේෂයෙන් කතා කරගත නොහැකි මට්ටමේ අධික කැස්ස සහිත පුද්ගලයන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට සිදුවන අතර, සෙම ගතිය සහ නාසයේ ඇති අවහිරතා ඉවත් කිරීමට අවැසි ඖෂධ ලබාදීම ද සිදුකරනු ලබයි. මෙම රෝගී තත්ත්වය නිව්මෝනියා තත්ත්වයට පත්වීමේ සම්භාවිතාව ඉතා අවම මට්ටමක පවතී. එහෙත් පවතින රෝගී තත්ත්වය නොසලකා හරින සහ දියවැඩියාව හෝ පෙණහළු ආශ්‍රිත රෝගී තත්ත්ව පවතින වයොවෘද්ධ පුද්ගලයන්ට නිව්මෝනියා තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී. එවන් අවස්ථාවක තත්ත්වය තරමක් දරුණු වීමටද ඉඩතිබේ.
වෛරස් රෝග අවම කරන එන්නත
කෙසේ නමුත් කලින් කලට ඇතිවන වෛරස් රෝගී තත්ත්ව මැඩ පවත්වාගැනීමට වසරින් වසර භාවිත කළ හැකි එන්නතක් ද පවතී. මෙය Flu Vaccing (ෆ්ලූ වැක්සින්) ලෙස හඳුන්වනු ලබයි. මින් සියලු වෛරස් රෝග වලින් මිදී සිටීමට හැකිබව අදහස් නොවන අතර, රෝග වැලඳීමේ ප්‍රවණතාව අඩුවීම සහ රෝග වැලඳුණත් රෝගයේ තීව්‍රතාව අඩුවීම සිදුවේ. බටහිර රටවල බොහෝ දෙනා වසරින් වසර මෙම එන්නත ලබා ගන්නා අතර විශේෂයෙන් පෙණහලු ආශ්‍රිත රෝග පවතින පුද්ගලයන්, ශරීරයේ ප්‍රතිශක්තිකරණය අවම මට්ටමක පවතින පිළිකා රෝගීන්ට ලබාදීම සිදුකෙරේ.
මෙම එන්නත වසරින් වසර අලුතින් නිපදවන්නක් වන එන්නතක් වන අතරම ඒ ඒ වසරේ පවතින වෛරස් වර්ගයට මුහුණ දියහැකි පරිදි නිෂ්පාදනය කෙරෙන මෙය අපේ රටේ පුද්ගලයන්ටද ගැටලුවකින් තොරව භාවිත කළ හැකි එන්නතකි.
ඉවරයක් නැති කැස්ස
සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ ඇඟපත වේදනාව වැනි රෝගී තත්ත්ව සම්පූර්ණයෙන් සුව වීමෙන් පසුව කැස්ස තවත් සතියක පමණ කාලයක් පැවතීමට අවකාශ ඇතත්, ඒ සඳහා ප්‍රතිකාර ගැනීම අවශ්‍ය නොවේ. මන්දයත් ශ්වසන පද්ධතියේ පටක නැවත වර්ධනය වනතෙක් කැස්ස ඇතිවීම සිදුවේ. මන්දයත් එම පටක දිනපතා වර්ධනය වී විනාශ වෙමින් පවතින චක්‍රයක් පවතී. එම චක්‍රය සම්පූර්ණයෙන් නැවත සෑදෙන තෙක් කැස්ස ඇතිවීම සිදුවේ. කැස්ස පැවතීම තුළින් රෝගය පවතිනවාය යන්න අදහස් නොවන අතර, ඒ පිළිබඳව අනිසි බියක් ඇති කරගත යුතු නොවේ. අප හමුවට එන ඇතැම් රෝගීන් පවසන කාරණයක් වන්නේ “අනේ ඩොක්ටර්, අනික් අසනීප ඔක්කොම සනීප වුණත් කැස්ස තවම සනීප නැහැනේ“ යන්නයි. එලෙස කැස්ස පැවතීම ගැන කලබල නොවී උණු ජලය පානයට පෙළමී දින කිහිපයක් ගතකරන විට එම කැස්ස ඉබේම සුව වී යනු ඇත.
කිසිදු රෝගයක් නොමැති නිරෝගී පුද්ගලයෙකු වුවද එම පුද්ගලයා නොදැන්වත්වම කිහිපවරක් කසිනු ලබයි.
කැස්ස යනු අප ශරීරයේ පවතින ආරක්ෂිත මෙවලමකි. අප කතාකරන විට, සිනාසෙන විට, ආහාර ගන්නාවිට, වතුර බොනවිට වායු ගෝලයේ ඇති විෂබීජ අපගේ ශරීරය තුළට ඇතුළු වේ. එසේ යන විෂබීජ මූලිකව රැඳෙන ස්ථානයක් වනු ලබන්නේ උගුරයි. එවිට උගුර මගින් එම විෂබීජ කැස්ස නම් ප්‍රතික්‍රියාව හරහා එළියට දැමීම සිදුකරනු ලබයි. මේ නිසා ඕනෑම නිරෝගී පුද්ගලයෙක් දිනකට කීපවතාවක් කැස්ස යුතුය. එය ඇහිපිල්ලම් ගැසීම වැනි ස්වභාවික ක්‍රියාවලියකි. එම නිසා කැස්සට බිය විය යුතු නොවේ.
ඉන්ෆ්ලුවන්සා
කෙසේ නමුත් දිගටම කැස්ස පවතින පුද්ගලයන්ගේ ඉන්ෆ්ලුවන්සා තිබේදැයි පරීක්ෂා කිරීම සිදුකරනු ලබනවා. විශේෂයෙන් ඉන්ෆ්ලුවන්සා A&B තරමක් දරුණු රෝගී තත්ත්වයක් වන අතර, එවැනි රෝගීන් සඳහා වෙනම ඖෂධ පවති.
අප වෙත එන සියලු රෝගීන් ඉන්ෆ්ලුවන්සා පරීක්ෂා කිරීමක් සිදු නොකරන අතර, ඔහුට පවතින වෙනත් රෝග හා රෝග ලක්ෂණ නිරීක්ෂණයෙන් පසුව පමණක් ඉන්ෆ්ලුවන්සා පරීක්ෂා කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ.
අනෙක් අතට කැස්ස කිව් සැණින් අපට මතක් වන කාරණය වන්නේ කොවිඩ් රෝගී තත්ත්වයයි. තවමත් කෝව්ඩ් රෝගීන් ඉඳහිට මුණ ගැසුණත් එය එතරම් ගැටලුවක් නොවේ.
ප්‍රායෝගික ජීවිතය
සමාජයේ සිටින සියල්ලන්ටම රථ වාහන නොමැති හෙයින් පොදු වාහනවල යාමටත්, සියල්ලන්ටමAC කාමර නොමැති හෙයින් - ඒ ඒ අවස්ථාවේ පවතින වායු දූෂණය යටතේ ජීවත්වීමටත්, එකම රැකියා ස්ථානයක සේවය කිරීමටත්, එක්ව ආහාරපාන භාවිතා කිරීමටත් සිදුවන හෙයින් බොහෝ රෝග වැලඳීමෙන් වැලකීමට ගතහැකි හොඳම පියවර වන්නේ මුව ආවරණයක් පැලඳීමය. එසේම වැඩිපුර සෙනඟ ගැවසෙන ස්ථාන වලට අත්‍යවශ්‍ය නොවේ නම් නොයා සිටීම, දුම්පානය හා මත්පැන් පානයෙන් වැළකීම, ශීතකළ පානයන් ගෙන් වැළකීම, හැකියාවක් පවතී නම් රාත්‍රී කාලයේ ස්නානයෙන් වැළකීම, උණුසුම් ජලය පානය කිරීම, හැකි පමණ ප්‍රෝටීන සහිත ආහාර ගැනීම වෛරස් රෝග වැලඳීම අවම කිරීමට හේතු වනු ඇත.
නිරෝෂාන් ප්‍රේමරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd