විශිෂ්ට ගීත රචකයකු, ලේඛකයකු, මෙන්ම ප්‍රකට සාහිත්‍ය දේශකයකු ද වන මහින්ද දිසානායක 80 දශකයේ මුලභාගයේ පටන් මේ දක්වා අගනා නිර්මාණ රැසක් මෙරට රසික සමාජයට දායාද කළ ප්‍රතිභා සම්පන්න නිර්මාණ රචකයෙකි.
ඔහුගේ ගීත රචනා සංග්‍රහ කරමින් කෘති කිහිපයක්ම එළිදුටු අතර ඇසට අසුවන මායිමේ (රාජ්‍ය සාහිත්‍ය සම්මාන), වී පැදුරෙන්, බැන්ද අමුණ, සිතක සතුට (බෞද්ධ සාහිත්‍ය සම්මාන) යන කෘති ඒ අතර කැපී පෙනේ. එසේම ඔහුගේ ගී නිර්මාණ ඇතුළත් සංයුක්ත තැටි පහක් ද මේ වන විට එළිදක්වා තිබේ. සුනිල දියේ, පින්සර ඔබ හැර, ආවාදෝ සංසාරේ, සිලිල ඔබ නම් වැනි සංයුක්ත තැටි අදටත් රසිකයන් අතර වඩාත් ජනප්‍රියය.
වෘත්තීය ජීවිතය තුළ ගුරුවරයකු, ගුරු උපදේශකවරයකු, මෙන්ම සිංහල විෂයය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර ඇති මහින්ද දිසානායක මහතා සතුව පැවැති සාහිත්‍ය ඥානය ඔහුගේ නිර්මාණවලටද විශේෂයෙන් බලපා ඇති බව පෙනේ. නෙතට උළෙලක්, ඇසට අසුවන මායිමේ, මුදු මුහුණේ සුව දැනුණේ, රුවක් ඇදෙනවා කවුදෝ එනවා, ඔබ අසා සිටීනම්, මල් නොතලා මල් පැණි බොන, වී පැදුරෙන් ඉගිලී යන, ආවාදෝ සංසාරේ, පින් සර ඔබ හැර ආදී ගීත ඔහුගේ ගීතාවලියේ වඩාත් කැපීපෙනෙන ගීතවලින් කිහිපයක් පමණි.
මේ බොහෝ ගීත රචනා නිර්මාණය වීම පිටුපස අසිරිමත්, වටිනා, අපූර්ව පසුබිම් කතා බොහොමයකි. ඒවායින් තවමත් ප්‍රමාණාත්මක ලෙස සාකච්ඡාවට ලක් නොවූ ගීත නිර්මාණ කිහිපයක අත්දැකීම් මහින්ද දිසානායකයන් සමග සැකැවින් හෝ සාකච්ඡා කිරීමත් එම අත්දැකීම් පාඨක ඔබ සමග බෙදාහදා ගැනීමත් මේ සටහනේ අරමුණ වේ.
මහින්ද දිසානායකයන් පවසන්නේ තමන් ගීත රචකයකු වීමේ වාසනාව අහම්බයක් බවයි.
ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ගේ ආරාධනය අනුව රජරට සේවා නව පදමාලා වැඩසටහනට මහින්ද ලියූ මුල්ම ගීතය වන්නේ
නදින් බමර ගී
නම් ගීතයයි. ඊට පදනම් වූයේ රජරට ප්‍රදේශයේ නියඟයයි. එම ගීතයේ ඇති අනෙක් විශේෂත්වය නම් කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියාගේ ප්‍රථම ස්වතන්ත්‍ර ගීතය ද මෙය වීමය. එම ගීතය සංගීතවත් කළේ සිරිල් පෙරේරා මහතාය. මහින්ද දිසානායකයන් සිහිපත් කරන පරිදි ඒ වන විට රජරට සේවයේ සංගීත අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ සේන ගුණසේකර මහතාය. විශාරද ගුණදාස කපුගේ රජරට සේවයට සම්බන්ධ වන්නේ ඉන් පසුවය. ඒ 80 දශකයේ මුල භාගයේය. රජරට සේවය කේන්ද්‍ර කරගනිමින් ගීතයේ විශාල ප්‍රබෝධයක් ඇතිවන්නේ ඉන් පසුවය.
පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව මහතා ගායනා කරන සොඳුරු වූ මිනිසා නම් ගීතය මහින්ද දිසානායකයන්ගේ විශිෂ්ට පද රචනාවකි. එහෙත් එම ගීතය පොදු රසික සමාජය තුළ සාකච්ඡා වූ තරම ප්‍රමාණවත් යැයි කිව හැකි නොවේ.
මේ ගීතය නිර්මාණය වීමේ පසුබිම මහින්ද දිසානායකයන් පැහැදිලි කළේ මෙසේය.
“2000 වසරේ එක දවසක මට වාසනාව හිමිවුණා ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමග කොළඹ පැවැති උත්සවයකට යන්න. මේක සිංහල දෙමළ වාර්ගික යුද්ධය බොහොම තදට පැවැතුණු කාලයක්. අපේ රටේ ප්‍රධාන පෙළේ ගායක ගායිකාවො සියලු දෙනාම පාහේ වාර්ගික සමගිය පිළිබඳ ගීත ගායනා කරලා තිබුණා. මම අමරදේව මහත්තයාගෙන් ඇහුවා ඇයි ඔබතුමා විතරක් වාර්ගික සමගිය පිළිබඳ අලුතින් ගීතයක් කරන්නෙ නැත්තෙ කියලා. එතුමා ටිකක් නිහඬව ඉඳලා ඇහුවා මහින්ද මම කාලෙකට ඉස්සරලා ‘පටු අදහස් නම් පවුරින් ලෝකය’ ගීතය ගායනා කරලා තියෙනවා. ඒ මදිද කියලා. අපි කතා කරන්න ඕනෙ සිංහල දෙමළ සමගිය ගැන ද නැත්නම් මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේම මනුෂ්‍යත්වය ගැන ද කියලා අමරදේව මහත්තයා මගෙන් ඇහුවා. ඊටපස්සෙ ඉතින් මම කට පියාගෙන හිටියා. ඒත් ටික වෙලාවකින් අමරදේව මහත්තයාම කතා කරල ඇහුවා මහින්ද මජ්ඣිම නිකායේ වාසෙට්ඨ සූත්‍රය කියවලා තියෙනවද කියලා. මම කිව්ව නෑ කියලා. එතුමා මට පැහැදිලි කළා වාසෙට්ඨ සූත්‍රයේ තියෙන්නෙ මේ ලෝකයේ සියලු තෘණ ලතා වර්ගවලත් අපා දෙපා සිවුපා බහුපා සියලු සත්වයනුත් උපදිනකොටම ලිංග භේදයක් හෙවත් ජාති භේදයක් ඇතිවයි උපදින්නෙ. හැබැයි උපදිනකොට එහෙම ජාති භේදයක් නැත්තෙ මනුෂ්‍ය වර්ගයාගේ විතරයි. මිනිස්සු ඉපදුණාට පස්සෙ තමයි ඒ භේද හදාගන්නෙ. මහින්දට පුළුවන්නම් වාසෙට්ඨ සූත්‍රය කියවලා පද රචනාවක් කරන්න. මම ඒක ගායනා කරන්න කැමතියි කියලා අමරදේව මහත්තයා කිව්වා.
පස්සෙ මම මාස තුනක විතර කාලයක් අරගෙන මජ්ඣිම නිකායේ බුද්ධ ජයන්ති සිංහල පරිවර්තනය කිහිප වාරයක් කියවල පද මාලාවක් ලිව්වා.. අමරදේව මහත්තයා මගෙන් ඇහුවා කොහොමද ඔයා මේක ලිව්වෙ කියලා. මම කිව්වා මජ්ඣිම නිකායේ බුද්ධ ජයන්ති සිංහල පරිවර්තනය බලලා කියලා. ඊට පස්සෙ එතුමා මට කිව්වා ඒ පොතේ ඡායා පිටපතකුයි අලුත් පද මාලාවයි දෙකම එවන්න කියලා.
සොඳුරු වූ මිනිසා
අඹර පියඹා යන සියොත් පෙළ
දියඹ පීනා යනෙන මින් රැල
නෙක් රුවින් නෙක් වණින්
බෙදී ගිය විලසා
බෙදෙනු කිම එක ඉර හඳක් යට
උපත ලද මිනිසා
අමරදේවයන් මේ ගීතය හතර පස් වතාවක් විවිධ තාලවලට ගායනා කළා. සංගීතය විවිධ ආකාරයෙන් වෙනස් කළා. කොහොම හරි එතුමාගේ අවසන් සංගීත තැටිය නම් කළෙත් සොඳුරු වූ මිනිසා කියලා. ඒක මගේ ජීවිතයේ ලබපු ලොකුම භාග්‍යයක්. මේ වාගේ බෞද්ධ මූලාශ්‍රයක් අපිට පෙන්වා දීලා ඒ ඇසුරින් නිර්මාණයක් කරන්න අපව පොළඹවන්න තරම් එතුමාට මොනතරම් භාෂා සාහිත්‍ය ඥානයක් ප්‍රඥාවක් තියෙන්න ඕනැද? ඔහු හුදු සංගීතඥයෙක් පමණක් නොවෙයි.”
රජරට ගුවන්විදුලියට ගුණදාස කපුගේ මහතා පැමිණීමෙන් පසු මහින්ද දිසානායකයන් සහ කපුගේ අතර සබඳතාව වර්ධනය වන අතර ඒ ඇසුරින් අගනා නිර්මාණ කිහිපයක් ද නිර්මාණය විය. මුල් කාලයේම බිහිවූ ඉන් එක් ගීතයක් නම් රුවක් ඇදෙනවා කවුදෝ එනවා ගීතයයි. මේ ගීතය නිර්මාණය වුණේ කොහොමද? මහින්ද දිසානායකයන් ඒ පසුබිම් කතාව විස්තර කළේ මෙලෙසිනි.
“1982 දි පමණ කපුගේ මහත්තයා රජරටට ආවාම අප අතර සබඳතා ගොඩනැගුණා. ඒත් ඒ ආපුම කාලෙ අපි කපුගේ සමීපව දන්නෙ නෑ. කොහොමත් මට ආසාවක් තිබුණා මම ලියපු ගීතයක් කපුගේ මහත්තයා ගායනා කරනව දකින්න. මගෙ අතින් ගීතයක් ලියැවුණා. දවසක් මමයි දනසේන කඹුරුගමුවයි, ජයතිලක බණ්ඩාරයි, කරුණාරත්න දිවුල්ගනෙයි කට්ටියම හිටි තැනක කඹුරුගමුව මහත්තයා තමයි මේ ලියපු ගීතය කපුගේ මහත්තයාට දුන්නෙ. ඇත්තටම එතන පොඩි සාදයක් තිබුණෙ. කපුගේ මහත්තයත් එක එක ගීත ගයමින් හිටියෙ. කපුගේ මේ ගීතය දිහා බලාන ඉඳලා මගෙ මූණ දිහාත් කිහිප වරක් බැලුවා. අන්තිමට මගෙන් ඇහුවා ඔයා මොකද්ද මේ කියන්න හැදුවෙ කියලා. මම කිව්වා එක්තරා මැදිවියේ කෙනෙක් අවන්හලක සුරා පානය කරමින් ඉද්දි ප්‍රේමයෙන් පැරදුණු තවත් තරුණයෙක් සුරා පානය සඳහා ඒ මැදිවියේ පුද්ගලයා සිටි තැනටම එන කතාවක් කියලා. මම මුලින්ම මේ ගීතය ලියල තිබුණෙ
මීවිතෙන් ගිනි කන වැටුණු ඇස
කාගෙ රුවදෝ ඇදෙන්නේ
කියලා. මේක දිහා බලාගෙන ඉඳලා කපුගේ මහත්තයා කිව්වා මහින්ද මේක කවියක් වෙන්න පුළුවන්. හැබැයි ගීතයක් නම් නෙවෙයි කියලා. ඔහු උපදෙස් දුන්නා ආයෙම මේක ලියන්න. මම පැත්තකට ගිහින් ඒ වෙලාවෙම ආයෙම මේ වචන වෙනස් කළා.
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දිය කර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා
එහෙම වෙනස් කරල මම ආයෙම කපුගේ මහත්තයාට දුන්නා. ඒක බලලා කපුගේ කිව්වා අන්න.. ගීතය කියලා. මුළු ගීතයම මේ විදියට හැදුවා. කපුගේ එදා රෑම මේ ගීතයේ තනුව හා සංගීතය නිර්මාණය කරලා ඊළඟ සතියේ සරල ගී වැඩසටහනේ මේක කපුගේ මහතා දිවුල්ගනේ සමග ගායනා කළා. මේ ගීතයෙන් තමයි පද රචකයෙක් විදියට මම වැඩි දෙනෙක් හඳුනා ගත්තෙ. කපුගේට මම අදත් ගෞරව කරන්නෙ කවිය සහ ගීතයේ වෙනස හඳුනා දුන්න නිල නොලත් ගුරුතුමා නිසයි.”
මීට අමතරව ආචාර්ය නන්දා මාලිනී ගායනා කරන මල් නොතලා මල් පැණි බොන ගීතය එකල රසිකයන් අතර වඩාත් ජනප්‍රිය විය. ජාතික රූපවාහිනියේ විකාශය වූ දෙරණ ටෙලිනාට්‍යයේ තේමා ගීතය වූයේ මේ ගීතයයි.
මල් නොතලා මල් පැණි බොන බඹරුන් වේනම්
ඒ බඹරුන් මල් යායට ගීයක් අන්දම්
ගීයක් අන්දම් බඹරුන් ගීයක් අන්දම්
මේ ගීතයට සංගීතය නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහ මහතාය. මහින්ද දිසානායකයන් මේ ගීතය මුලින්ම රචනා කර ඇත්තේ ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරාධනාවක් අනුවය. එකල රටේ නිතර නිතර බාල අපචාර සිද්ධි වාර්තා විය. ඒවා වළක්වා ගැනීම අරමුණු කරගෙන සංගීත තැටියක් නිර්මාණය විය. මේ ගීතය මුලින්ම ඇතුළත් වූයේ එම සංගීත තැටියටය. රූපවාහිනී සංස්ථාවේ සංගීත අංශයේ ප්‍රධානියා ලෙස එකල කටයුතු කළ විමලරත්න අධිකාරි මහතාගේ මැදිහත්වීමකට අනුව එය පසුව දෙරණ ටෙලිනාට්‍යයේ තේමා ගීතය ලෙස යොදා ගැනිණ. එම ගීතයට වසරේ හොඳම ටෙලිනාට්‍ය ගීතය ලෙස 2002 වසරේ සුමති සම්මානය හිමි විය. මෙම ගීතයේ පද භාවිතයන්ගේ විශේෂතා පිළිබඳව මහින්ද දිසානායකයන් පැහැදිලි කරන්නේ මෙසේය.
“මේ ගීතයෙන් කියැවෙන්නෙ නිසි කාලෙ යමක් ලබන්න අයිතිය තියෙනව. හැබැයි ඒ නිසි කාලෙ එළැඹෙන්න පෙර රසවිඳින්න යාම අපචාරයක් නොහොබිනාකමක් අවැඩක් කියන එකයි. මේ ගීතයේ යොදාගන්නා අන්දම් කියන වචනෙ මට ආවෙ ජන කවියේ තල මල වරුණෙන්.
ආරා තල් ගස ගොන් වැඩුණා සේ
මෝරා තල මල එන අන්දම්
අපචාර ගැන කියද්දි මට මතකයට ආවෙ බුදුගුණ අලංකාරයේ කවියක්.
රොන් අරගෙන සෙමින්
යන බිගු ලෙසින් කුසුමින්
ඒ අදහසම තමයි වෙන ආකාරයකින් ගීතයේ කියන්නෙ. මල් නොතලා මල් පැණි බොන බඹරුන් වේනම් කියලා. මලක රොන් ගැනීමේ අයිතිය බඹරකුට තියෙනවා. ඒත් මල තලලා මලට හිංසා කරලා පෙති කඩා දාල රොන් ගැනීමේ අයිතියක් බඹරකුට නෑ. අනෙක් අතට සාමුවයානම් වගේ වචන මට ආවෙ ගිරා සංදේශයෙන්.
මහින්ද දිසානායකයන් ලියා නෙලූ අධිකාරි ගායනා කරන ඔබ අසා සිටීනම් ගීතය එදා මෙන්ම අදත් මෙරට රසික ජනයා අතර වඩාත් ජනප්‍රිය ගීතයකි.
ඔබ අසා සිටී නම් - මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන - ආදරේ තරම්
මහින්ද දිසානායකයන් මේ ගීතය පිළිබඳව කියා සිටින්නේ මෙවන් කතාවකි.
“ඒ කාලෙ ජනප්‍රිය කාන්තා පුවත්පතක තිබූ එක්තරා ප්‍රකාශයක් මට අහම්බයෙන් වගේ කියවන්න ලැබුණා. ඒ ලිපිය ලියල තිබුණෙ අර්නස්ට් වඩුගේ නමැති ලේඛකයා. ඒ ලිපියේ තිබුණා ප්‍රේමය ආදරය පිරිමියකුට වැදගත් වෙන්නෙ ලබාගන්න තෙක් පමණයි කියලා. ලබාගත්තට පස්සෙ ඒ ප්‍රේමය ක්‍රමයෙන් ක්ෂය වෙලා යනවා. ඒත් කාන්තාවකට එහෙම නොවෙයි. ස්ත්‍රිය ආදරය ප්‍රේමය කියන එක ඇගේ ජීවිතය තරම්ම වැදගත්. ජීවිතය තිබෙන තුරා ඇය ආදරය ප්‍රාර්ථනා කරනවා කියලා. මෙන්න මේ අදහස මගේ සිත් ගත්තා.
මේ ගීතය පුරාම තියෙන්නෙ කාන්තාවකගේ ඉල්ලීමක්. ව්‍යංගයෙන් මේකෙදි පුරුෂයාට කියන්නෙ ආදරේ කියන එක අද වන විට ඔබට සාමාන්‍යකරණය වෙලා තිබුණාට මට එහෙම නෑ. මට ඒ ආදරේ එදා වාගේම නැවුම්. එහෙම ආදරයක් තමයි මම ප්‍රාර්ථනා කරන්නෙ වගේ අදහසක්. එහෙත් සමහර මිත්‍රයෝ මට මුල් කාලෙ කිව්වා මහින්ද ඇසට අසුවන මායිමේ වගේ ගීතයක් ලියපු ඔයා මොනවද මේ සිල්ලර භාෂාවෙන් ලියල තියෙන්නෙ කියලා. මම හිතන්නෙ බොහෝ දෙනෙක් මුලින් මේකෙ ව්‍යංග්‍යාර්ථ තේරුම් ගත්තෙ නෑ. හැබැයි රසිකයන් මේ ගීතය තදින් වැළඳගත්තා.”
නෙලූ අධිකාරි මෙන්ම ක්‍රිෂාන්ත එරන්දක ද ගායන ලෝකයේ වඩාත් රසික ප්‍රසාදයට ලක්වීමට මහින්ද දිසානායකයන්ගේ ගී පද රචනා බලපෑ බව කිව හැකිය. ක්‍රිෂාන්ත මාලිනී බුලත්සිංහල සමඟ ගයන මෙම ගීතය එවැන්නකි.
මගෙ ආදර පවසට ඔබ
නියං කලට හඬන අහස
මගෙ ආදර වරුසාවට
යටිකුරු කළ කලසකි ඔබ
මහින්ද මේ ගැන කියන්නේ මෙවැන්නකි.
“මේ ගීතයේ දී මම ගත්තෙ පවුල් සංස්ථාවක් තුළ ඇතිවන ගැටුමයි. අඹු සැමි ගැටුම අද විෂයයක් හැටියටත් උගන්වනවා ගැටුම් නිරාකරණය කියලා. පවුලක ගැටුමක් ඇතිවීම ස්වභාවිකයි. පවුල විසිරෙන්නට නොදී තබා ගැනීම ආරක්ෂා කරගැනීම කළ හැකි වන්නේ අඹු සැමියන්ගේ නුවණ අනුවයි.
ගීතය ආරම්භයේ දී කියන්නේ දෙදෙනාගේ අදහස්වල නොගැලපීමයි. සැමියා කියනවා මට ආදරය තිබහක් නම් ඔබේ ආදරය නියං කාලෙට හඬන අහසක් වාගෙ. බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්නෙ නෑ. නියං කාලයට හඬන අහසක් වගේ කියන උපමාව එන්නෙ ථුල්ලතිස්ස තෙරුන්ගේ කතා වස්තුවේ. බිරිඳ කියනවා මගේ ආදරේ වරුසාවක්. එහෙත් ඔබ හරියට මුනින් අතට හරවපු කළයක් වාගෙ. එතකොට දෙන්නට දෙන්නා තමන්ව තේරුම් ගන්නෙ නෑ. ඊටපස්සෙ කියනවා,
මගෙ ආදර සිලිලාරට
ගිම්හානයෙ සැඩ හිරු ඔබ
මේක වැදගත් තැනක්. හරියට ඔබ සැඩ ඉරක් වගේ මගේ ආදරය වියළලා දානවා ඔබේ සැර පරුෂ බව නිසා. ගොඩක් අය හිතනවා පුරුෂ මූලික සමාජයේ පුරුෂයා මුදුන්පත් වී කාන්තාව යටත් වෙන්න ඕනෙ කියලා. ඒත් මෙතන එහෙම නෙවෙයි. මේ සැමියා නුවණක්කාරයි. එයා කියනවා
ගිම්හානය වෙනුවට මම
වස්සානය වී එන්නද කියලා. එතකොට බිරිඳගෙ හිතත් හැදෙනවා. බිරිඳ කියනවා
ඒ වැස්සෙන් පෙම්වත් වූ මිහිලිය වී මම ඉන්නද
කියලා. දුක් කසාදය දික්කසාදයක් නොකර පවුල් ජීවිතය යහපත් කරගන්න අවශ්‍ය පරිසරය මේ ගීතයේ තිබෙනවා.
මෙබඳු ගීත ගණනාවක් මහින්ද දිසානායකයන්ගේ පද රචනා සහිතව මෙරට ගීත සාහිත්‍යය පෝෂණයට දායක වෙමින් තිබෙන අතර උසස් රසවින්දනයකින් හෙබි රසික පරම්පරාවක් මෙරට නිර්මාණය කිරීම සඳහා ඒ ගීත අප්‍රමාණ ලෙස දායක වූ බවද සඳහන් කළ යුතුය.
(*** සටහන - ගාමිණී කන්දේපොළ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd