නූතනය, අධ්‍යාපනය පිළිබඳ සමාජ කතිකාව තීරණාත්මක අදියරකට පැමිණ ඇති විවාදාපන්න යුගයකි.. සැබැවින්ම මෙම කතිකාව දෙස අප බැලිය යුත්තේ හුදු විවාදයක් ලෙස බලන ආකාරයෙන් ද? නැත්නම් වීරෝධාකල්ප රැසක එකතුවක් ලෙස පමණක් ද යන කරුණ ඉතා වැදගත්ය..
ඊට හේතුව රටක අධ්‍යාපනය හුදු වැඩසටහනක් නොව ස්ථිරසාර දිගු කාලීන සමාජ ව්‍යාපාරයක් වීමය. ඒ නිසා අපට වැදගත්විය යුත්තේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් අපේක්‍ෂිත සමාජ වෙනස, හෙවත් සමාජ පුනරාවර්තනය අපේ රටේ සමාජ සංස්කෘතික හා ආර්ථීක පසුබිම සමග කවර ආකාරයෙන් ගැලපී යනවාද ? යන්න විමසුමට ලක් කිරීම යයි සිතමි.
කෙටියෙන් දැක්වුවහොත් දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපනය ක්‍රමයෙන් මෙරට සමාජයේ ගොඩ නංවා ඇති සමාජ සංස්කෘතික සහ දේශපාලනික පසුබිම නව ප්‍රතිසංස්කරණ මගින් කවර වෙනසකට බඳුන් වේද? එම වෙනස පෙරළා සමාජ ප්‍රගතියට කෙසේ නම් දායකවේද යන්න විමසීමයි. එහිදී දැනට මෙරටෙහි පැහැදිලිව විද්‍යමාන යම් යම් සමාජ අර්බුද රැසක් පවතින අධ්‍යාපන ක්‍රමය සමග බැඳී පැවැතීමත් සොයා බැලීම වැදගත්ය.
වර්තමාන සමාජය වේගයෙන් නවීකරණය වන සමාජයක් බව අපි දනිමු. එම නවීකරණය තුළ පුද්ගලයන් ඉහළට ගමන් කිරීම හෙවත් ඉහළ සමාජ තත්වයක් කරා යොමුවීම සිරස් චල්‍යතාව අපට පැහැදිලිව හඳුනාගත හැකිය. එහිදී යොදාගත හැකි එකම සහ ප්‍රබල මාධ්‍ය ලෙස අද ඉදිරියට පැමිණ ඇත්තේ අධ්‍යාපනය නොවේ යැයි කිසිවකුට කිව නොහැකිය. වඩාත් විග්‍රහාත්මකව දැක්වුවහොත් මෙම ඉහළට ගමන් කිරීමේ සමාජ අවශ්‍යතාව ඇත්තේ සාමාන්‍ය ජනතාවට, ග්‍රාමීය තරුණයන්ට, පහළ මධ්‍යම පාන්තිකයන්ට සහ පොදුවේ සමාජීය වශයෙන් ආන්තීකරණයට ලක්වූවන්ට බව පැහැදිලි සත්‍යයකි. මෙවැනි තත්වයක් මැද දිගු කලක් විවිධ මට්ටමේ අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ, අත්හදා බැලූ, මෙරට සමාජයේ ඒකාකාරී ලෙසින් එක්තරා ප්‍රභූ පන්තියක්, ආධිපත්‍ය දරමින් සිටින බව ද ඔවුන්ට අභියෝග කළ හැකි එකම සහ ශක්තිමත් අවිය අධ්‍යාපනය බව ද පැහැදිලිව පෙනෙන්නට ඇත. මෙය අද අධ්‍යාපනය පිළිබඳ කරනු ලබන සමාජ කතිකාවකදී පළමුවෙන්ම හඳුනාගත යුතු කරුණකි.
සැබවින්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යය යන හඬ අද සමාජයෙන්ම මතුවී ඇත්තේ ඇයි ද යන්න ද මේ සමගම සලකා බැලිය යුතු තවත් කරුණකි. එහිලා අවධාරණය කළ යුතු මූලික අදහසක් නම් මානව සම්පත පිළිබඳ ගැටලුවකි. එනම් මානව සම්පත නිසි ලෙස සංවර්ධනය කරමින් යුගයට ගැලපෙන නව අදහස් සහ ආකල්පවලින් පිරි අලුත් සමාජයට ඔරොත්තු දෙන පුද්ගලයන් නිර්මාණය කිරීමේ ගැටලුවයි. එය කළ හැක්කේ දේශපාලනයට නොව අධ්‍යාපනයට බව අද අපට පසක් වී ඇත. මෙම නව මිනිසා නිර්මාණය වීම සිදුවීම පිටුපස ඒ නිසාම සිටින ප්‍රමුඛ බලවේගය වන්නේ අන් කිසිවක් නොව අධ්‍යාපනයයි. මෙරටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඉතිහාසය ඉතා දිගු කලක් දක්වා දිවෙන බව අපි දනිමු. 2018 සිට 2024 දක්වා කාලයේ කරනු ලැබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2024 දී සිදු කරනු ලැබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එහිලා කැපී පෙනේ. මේ සමග අවධාරණය කළ යුතු තවත් වැදගත්ම කරුණක් නම් මෙම දීර්ඝ කාලය තුළ ක්‍රියාත්මක වූ සහ ක්‍රියාත්මක වන අධ්‍යාපනය මගින් නිර්මාණය කළ සමාජ ගැටලු රැසක් පවතින බවයි.
ඒවා එකින් එක හදුනාගැනීමත්, ඒ සදහා ප්‍රායෝගික හා වාස්තවික විසදුම් ලබාදීමත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ පැහැදිලිව දක්නට ලැබේ. විභාග තරගය, ලකුණු මූලික කරගත් ඇගයීම, එම ඇගයීම පමණක්ම පුද්ගල පෞරුෂයේ වැදගත්ම සාධකය ලෙස සැලකීම, විභාග තරගය ගුරු සිසු මවුපිය තුන් කොටසටම ඇතිකර ඇති බලවත් පීඩනය ඉහත දැක්වූ ගැටලු අතරින් කැපී පෙනෙයි. අප දන්නා පරිදි අද පවතින සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපනික රටාව යොමු වී ඇත්තේ බලාපොරොත්තු ගොන්නක් බලෙන් පටවනු ලැබූ, කර තබා ගත්, දරුවකු බිහි කිරීමට බව නොරහසකි. ඒ බලාපොරොත්තු සැබැවින්ම ඔවුන්ගේ දක්‍ෂතා සහ ආකල්ප සමග ගැලපී ඇතැයි කීමට නුපුළුවන.
අද සිසුන්ගෙන් අතිමහත් බහුතරයේ ඒකායන අරමුණ ජීවවිද්‍යා අංශය තෝරාගෙන වෛද්‍යවරයකු වීමේ සිහිනය බව සත්‍යයකි. මෙම සිහිනය පසුපස ලුහු බැඳ යෑමට අවශ්‍ය වාස්තවික පසුබිම සැබවින්ම නිර්මාණය වූයේ ඔවුන්ගේ සැබෑ දක්‍ෂකම්, ඕනෑකම් මත නොව ගුරු දෙගුරුන්ගේ ආශාව සහ ඕනෑකම් නිසා බව පැහැදිලි කරුණකි. පහේ ශිෂ්‍යත්වය උසස් ලෙස සමත්වන දරුවා පවා අද ජනමාධ්‍යයට කියා සිටින්නේ තමාගේ එකම අරමුණ වෛද්‍යවරයකුවීම බවය. සැබැවින්ම සියලුම දරුවන්ට මෙලෙස වෛද්‍යවරුන් විය හැකිද? එසේ නොවන පිරිසක් ඉන් පසුව යන්නේ කොතැනටද? අද මේ ගැටලුව විවිධ මුහුණුවරින් විවිධ සමාජ ගැටලු රැසක් ඇති කර නැද්ද? නව අධ්‍යාපනික යෝජනා මෙම තත්වය මැනවින් තේරුම් ගෙන ඇති බවක් පෙනේ. සිසුන් බලහත්කාරයෙන් එක්තරා සුපිරි තලයකට තල්ලු කර දැමීම වෙනුවට එහිදී එම සිසුවා සතු ශක්‍යතාව සැබවින්ම තේරුම් ගැනීමේ වෘත්තීමය ප්‍රවේශයක් ඉන් ඇතිකර දී තිබීම මෙහිදී අවධාරණය කළ යුතුය. නව වැනි ශ්‍රේණියට පැමිණි දරුවන් සදහා තමාගේ සැබෑ ශක්‍යතාව කුමක්දැයි සිසුවාටම තේරුම් ගැනීමට හැකි ලෙසත්, සිසුවාගේ සහජ දක්‍ෂතා මැනවින් තේරුම් ගෙන එය වර්ධනය කර ගැනීමටත්, වෘත්තිමය ප්‍රවේශයක් මෙමගින් නිර්මාණය කර ඇත.
6 සිට 9 ශ්‍රේණි අවසන් කළ පසු දරුවන්ගේ සැබෑ දක්‍ෂතා සැබෑ ලෙස හදුනා ගැනීමට මෙමගින් විභවතා මනින පරීක්‍ෂණයක් යෝජනා කෙරේ. ඒ නිසාම 10-11 ශ්‍රේණි වන විට තමා තෝරාගත යුත්තේ ශාස්ත්‍රීය උසස් අධ්‍යාපනය ද නොඑසේ නම් වෙනත් තාක්‍ෂණික හෝ භාෂාමය අංශයක් ද, යන්න නිදහසේ තේරුම් ගැනීමට, දරුවාටත්, මවුපියන්ටත් මෙයින් ඉඩ සැලසේ. මෙය හඳුන්වා ඇත්තේ ශාස්ත්‍රීය පථය හා කුසලතාවක් යන ලෙසිනි. වර්තමානයේ ඇති වී තිබෙන ප්‍රධානතම සමාජ අසහනය වූ තමන්ගේ හැකියාවට නිසි තැනක් තමා උපන් රටෙන් නොලැබේය යනුවෙන් පවතින පරාදීන අදහස් අපේ තරුණ පරපුර වෙතින් මේ නිසාම ඉවත් වෙතැයි සිතිය හැකිය.
මෙම ප්‍රතිසංස්කරණවල විභාග තරගය සහ ලකුණු මත කරන ඇගැයුම් නොමැතිවීම ද තවත් වැදගත් ලක්‍ෂණයකි. ප්‍රථම වරට මොඩියුල ක්‍රමය හෙවත්, සම්භාව ක්‍රමය හඳුන්වාදීමෙන් හා ලකුණු වෙනුවට ක්‍රෙඩිට් හෙවත් සම්භාර උපයා ගැනීමට ඉඩ කඩ සලසා දීමෙන් මෙම තත්වය ඇති කර ඇත. මේ යටතේ උසස් ලකුණු ලබා ගැනීමේ තරගය එසේ නොවූ විට ඇතිවන පරාජය, දක්‍ෂයන් සහ අදක්‍ෂයන් ලෙස දෙයාකාර වූ පිරිසක්, විභාග අසමත් වූ පිරිස්, බිහිවීම මුළුමනිම වළක්වා ඇත. එයට හේතුව පන්ති කාමරයට හා විභාගයට පමණක් සීමා නොවූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රාශියක් මගින් “තමා උපයා ගන්නා ලද“ ක්‍රෙඩිට් මගින් හැම දරුවකුටම ජය පරාජය වෙනුවට පන්ති කාමරය තුළ එක්තරා නිශ්චිත ස්ථානයක් ලැබී තිබීමයි. එම ස්ථානය පන්ති කාමරය තුළදිත් ඉන් පිටතදීත් සිසුන් විසින් කරනු ලැබූ ක්‍රියාකාරකම් තුළින් ඔවුන් විසින්ම උපයා ගත් තත්වයකි.
මෙම මොඩියුල ක්‍රමයෙහි ඇති තවත් වාසිදායක තත්වයක් වනුයේ දැනට විෂය ක්‍ෂේත්‍රවල පවතින අධික බර සෑහෙන පමණ අඩු කිරීමය. අද පාසල් දරුවාගේ බෑගය ද බර එකකි. මෙසේ එම අනවශ්‍ය බර අඩු කරන්නේ අදාළ විෂයට අදාළ සමස්තයම සිසු මනසට ඔබ්බවීම වෙනුවට අදාළ විෂයයෙහි ඒ ඒ අවධිවලට අදාළ මූලිකාංග පමණක් සිසුන් වෙත ලබා දීමෙනි. එය ඔස්සේ තවදුරටත් කරුණු සෙවීමට සොයාගත් කරුණු නැවත නැවතත් පරීක්‍ෂා කිරීමට සිසු මනස හුරු කෙරේ.
අනෙක් අතට නූතන අධ්‍යාපනය මගින් ඇති කර ඇති පාසල් අතර පවතින අසමානතාවට ද මෙමගින් විසඳුමක් යෝජනා කර තිබීම වැදගත්ය. දිළිදු ගම්බද පාසල් වේගයෙන් වැසී යන තත්වයක් අද දක්නට ඇත. මුලික අධ්‍යාපනික පහසුකම් නොමැතිකම නිසාම ඉගෙනුම අතහැර දමන අඩුආදායම්ලාභී ගමේ දරුවන් රැසක් අද හඳුනාගත හැකිය. මෙරටෙහි දක්නට ලැබෙන දස දහස් අනූ හයක් තරම් වන පාසල් අතරින් මවුපියන්ගේ ආකර්ෂණීය අවධානය යොමු වී ඇති පාසල් ඇත්තේ ප්‍රාදේශීක වශයෙන් බලතොත් 100 කටත් අඩු ගණනක්ය යන අදහස මෙම ප්‍රතිසංස්කරණවලින් පැහැදිලිව තේරුම් ගෙන තිබීම වැදගත්ය. මෙසේ නොතකා හරිනු ලැබූ පාසල් “තේරුණු දරුවන් සහිත දුර්වලයන්ගේ” පාසල් ලෙස හදුනා ගැනීම නව ප්‍රතිසංස්කරණවලින් මුළුමනින්ම ඉවත් කර ඇත.
මෙයින් පැහැදිලිව පෙනී යන්නේ ඉතා වැදගත් කරුණකි. අද මෙරටෙහි දැකිය හැකි නිරන්තර සංවාදයට ලක් වන ප්‍රබල සමාජ ගැටලු රැසක් සහ අසහනකාරී තත්ව කිහිපයක්ම නිර්මාණය කිරීමට දැනට මෙරටේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය එක එල්ලේම බලපා ඇති බවයි. විභාග සහ ලකුණු මූලික කර ගත් පද්ධතියක් ලෙස අද අධ්‍යාපනය මගින් ඇති කරනු ලැබූ එම ගැටලුවලට විසදුම් සෙවීමේ ප්‍රශංසනීය සහ අර්ථවත් උත්සාහයක් ලෙස මෙම ප්‍රතිසංස්කරණ පැහැදිලිවම හදුනා ගැනීම සහේතුකය.
ඉහත දැක්වූ පරිදි වැඩි ලකුණු ලබා ගැනීමට ගුරුවරුන් මවුපියන් සහ දරුවන් අතර ඇතිවන තරගය ඒ තුළින් හටගත් පීඩනය සමාජයේ විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ පැතිර ගිය අයුරු අපි අත්දුටුවෙමු. අනෙක් අතට පෞද්ගලික උපකාරක පන්තිවල අවශ්‍යතාව ද අද පවතින අධ්‍යාපන ක්‍රමය මගින් ඇති කර ඇති තරගය සහ සම්පත් බෙදීයාමේ අසමානතාව මත මතුවූ තවත් ප්‍රබල සමාජ ගැටලුවක් වී ඇත. මෙබදු ගැටලු නිර්මාණය කළ, පවතින අධ්‍යාපන රටාව, තවදුරටත් මෙරටෙහි සමාජ අසාධාරණත්වය එක දිගටම පවත්වා ගෙන යමින් අඛණ්ඩව මෙරටේ පවතින්නට තවදුරටත් ඉඩ දෙනවාද? සීමිත පිරිසකගේ ප්‍රභූ ආධිපත්‍යයට නතු වූ සමාජයක අතිමහත් බහුතරයකට තවදුරටත් මෙරට සිටීමෙන් පලක් නැතැයි සිතමින් රට හැරයාමට ඉඩ දෙනවාද? අප මෙම ප්‍රශ්නය ඇසිය යුත්තේ අද අධ්‍යාපනයෙන් නව සමාජයක් බිහිකිරීමට කැපවී සිටින යුගයකය. ඒ නිසාම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, දුර්වලතා මැදද උදාර අරමුණු සහ දිගු කාලීන සමාජ ප්‍රගතියක් අරමුණු කර වසර ගණනාවක් මුළුල්ලේ දරනු ලැබූ පරිශ්‍රමයක ප්‍රතිඵලයක්ය යන අදහස යළි යළිත් පෙන්වා දිය යුතුය.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd