ළමයින් 50 ට අඩු පාසල් වැසීමට මේ ජවිපෙ - මාලිමා ආණ්ඩුව විසින් ඉකුත් වසරේ ගනු ලැබූ තීන්දුවට අනුව නිකුත් කළ 34/2025 චක්‍රලේඛය ප්‍රකාරව මේ 2026 වසරේ දී පාසල් 1,506 ක් වසා දමන්නට නියමිත යැයි වාර්තා විය. ළමයින් අඩු පාසල් වැසීම පසුගිය අවුරුදු ගණනාවක් පුරා කතා බහට ලක් වූ මාතෘකාවකි.
ඒ බොහෝ පාසල් ළමයින් දුසිමක් දෙකක් පමණ වූ පාසල්ය. පසුගිය වසරවල වැඩි අවධානයක් නොමැතිව ළමයින් අඩු යැයි අතහැර දමා තිබූ එවැනි පාසල් වසා ඇත. බොහෝ විට ඒවා ගැන කියනු ලැබුවේ අහඹු ලෙස “පාසල් වැසී ගියා” වැනි කතා ය.
පාසල් වසන්නට කොළඹ සිට තීන්දු ගැනීමට පෙර, ඒ ප්‍රදේශවල ගුරු දෙගුරුන් සමග ආණ්ඩුවේ බලධාරීන් කතා කළ යුතු යැයි මා තරයේ කියන්නකි. ඒ සඳහා ඉතා සංවේදී හේතු දැක්වීම් ඇත. පළමු කාරණය, සිසුන් 50 ක සීමාව තීන්දු කෙරුවේ කවුරුන්ද, මන්ද යන්නය. එහි කිසියම් වැදගත් අධ්‍යාපනික නැතිනම් පරිපාලනමය හේතුවක් තිබේද? එය ළමයින් 25 ක් හෝ 100 ක් නොවූයේ ඇයි?
ඒ ප්‍රශ්නය ද සංවාදයට තබමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ “වාර්ෂික පාසල් සංගණන වාර්තා” වලින් කියන්නා වූ කතාවට අපි යොමු වෙමු. එම වාර්තා අනුව මීට අවුරුදු 10කට කලින් 2015 දී සමස්ත පාසල් සංඛ්‍යාව වූයේ 10,144 කි. 2020 දී ඒ පාසල් සංඛ්‍යාව 10,155 ක් දක්වා වැඩි වී ඇත. එවගේම 2015 දී ළමයින් 50 ට අඩු පාසල් 1,515 ක් වූ අතර, 2020 දී ඒ සංඛ්‍යාව 1,439 දක්වා පාසල් 76 කින් අඩු වී ඇත. එලෙසින්ම 2015 දී ගුරුවර ගුරුවරියන් 10 ට අඩු පාසල් 3,113 ක් වූ අතර, වසර 05 ට පසු ගුරුවර ගුරුවරියන් 10 ට අඩු පාසල් සංඛ්‍යාව 3,044 දක්වා අඩු වී තිබිණ
මේ වසර 05 දී, (2015 සිට 2020 දක්වා) පාසල් අධ්‍යාපනයෙහි දැකිය හැකි ප්‍රවණතාව එවැනි ය. සමස්ත පාසල් සංඛ්‍යාව වැඩි වීමත් ළමයින් අඩු පාසල් සංඛ්‍යාව අඩු වීමත් සමග ගුරුවර ගුරුවරියන් 10 ට වඩා අඩු පාසල් සංඛ්‍යාව ද අඩු වීම ය. එය පාසල් අධ්‍යාපනයෙහි අනෙක් සියලු අඩු පාඩු, පිරිහීම් හමුවේ වූවත් වැදගත් වර්ධනයකි.
ඉකුත් 2025 වසරේ දෙසැම්බර් අවසානය දක්වා, ඒ වසර සම්පූර්ණයෙන් සංගණනය කිරීමට කාලයක් නොවන්නට ඇත. එබැවින් සම්පූර්ණ කෙරුණු 2024 වසරේ සංගණන වාර්තාව සලකතොත්, 2020 න් පසු 2024 වසර අවසන් වන විට තත්වය වූයේ 2020 දී තිබූ පාසල් 10,155, ඊළඟ සිව් වසර තුළ 2024 අවසන් වන විට පාසල් 10,047 දක්වා අඩු වී තිබීමය. ඒ අඩුවූ පාසල් 108 වසා දැමුවේද? වැසී ගියේද? ඒ කෙසේද? ඉතිරි වූ පාසල් 10,047 න් ළමයින් 50 ට වඩා අඩු පාසල් සංඛ්‍යාව 1,645 දක්වා ඉහළ ගියේ කෙසේද? සමස්ත පාසල් සංඛ්‍යාව 108 කින් අඩු වන විට, ගුරුවර ගුරුවරියන් 10 ට අඩු පාසල් සංඛ්‍යාව 3,065 දක්වා පාසල් 21 කින් වැඩි වූයේ කෙසේද? මේවා විමසිය යුතු කාරණා ය.
මෙවැනි වෙනස්කම් සිදුව ඇති පසුබිමක, 2015 - 2020 දක්වා වන වසරවල වර්ධනයක් තිබෙන්නටත් ඉන් පසු වසර 04 හි ඒ වර්ධනය කඩා වැටෙන්නටත් අවගමන් යන්නටත් සැලකිය යුතු හේතු සාධක තිබිය යුතුය. ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් කෙරුණු විමසීම්, අධ්‍යයන තිබේද? තිබේ නම්, ඒ මගින් හඳුනාගත් හේතු කාරණා කවරේද? විසදුම් ලෙස ඒවායේ ඇති නිර්දේශ මොනවාද? මා දන්නා තරමින් එවැනි සොයා බැලීම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන්වත් ජාතික අධ්‍යාපන ආයතනයෙන්වත් සිදුව නැත. සිදුව තිබුණ ද, ඒ කිසිත් ප්‍රසිද්ධ කර නැත. ළමයින් සංඛ්‍යාව 50 ට අඩු යැයි පාසල් වසා දැමීම, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට හා ආණ්ඩුවට පහසු වූවත් එය ළමයින්, මවුපියන් හා ගුරුවර ගුරුවරියන් හමුවේ අතිශය පීඩාකාරී අසාධාරණ, හිතුවක්කාරී තීන්දුවකි. සියලු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සහතික කළ යුතු ජාතික අධ්‍යාපන ක්‍රියාවලියක පාසල් වැසීමට තීන්දු ගැනීම තාර්කික, ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික එළැඹුමක් නොවේ.
මේ ජවිපෙ - මාලිමා ආණ්ඩුව 34/2025 චක්‍රලේඛය නිකුත් කරමින් වසා දමන්නට තීන්දු කළ පාසල් 1,506 ඇත්තේ කවර ප්‍රදේශවල දැයි විමසීමේදී ළමයින් 50 ට අඩු පාසල් අතිබහුතරයක් නාගරික ප්‍රදේශවලින් බැහැර බැව් දැකිය හැකිය. කොළඹ අධ්‍යාපන කලාපයේ පාසල් 122 කින් ළමයින් 50 ට අඩු පාසල් ඇත්තේ 02 කි. හෝමාගම හා පිළියන්දල කලාපවල පාසල් 184 කින් එවැනි පාසල් ඇත්තේ 11 බැගින් 22 කි. ඒවා වැඩිමනත් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ ය. ශ්‍රී ජයවර්ධනපුර පාසල් 85 කින් වැසිය යුත්තේ 06 කි.
බස්නාහිර පළාතෙන් පිටතට ගිය විට, මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 03 හි තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ පාසල් 96 න් පාසල් 31 ක්ද, විල්ගමුව අධ්‍යාපන කලාපයේ පාසල් 45 න් 15 ක්ද, වලපනේ පාසල් 89 න් 29 ක්ද ළමයින් 50 ට අඩු පාසල් හෙයින් 34/2025 චක්‍රලේඛයට අනුව වසා දැමිය යුතුය. ඌව පළාතේ පාසල් 892න් පාසල් 172ක් වැසිය යුතුය. මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් 132 කින් පාසල් 40 ක් වැසිය යුතුය. මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ පාසල් 58 න් 25 ක් වැසිය යුතුය. කෑගල්ල දිස්ත්‍රික්කයේ කලාප 03 හි පාසල් 498 න් 120 ක් වැසිය යුතු ය. මේ ග්‍රාමීය ප්‍රදේශ සැලකූ විට ඔවුන්ගේ පාසල්වලින් සියයට 20 - 25 ත් අතර සංඛ්‍යාවක් පීඩිතයන් රැක බලා ගැනීමට පත් කෙරුණු මේ ආණ්ඩුව විසින් වසා දැමීමට නියමිතය.
මෙහිදී ආණ්ඩුව හා අධ්‍යාපන නිලධාරීන් අනිවාර්යයෙන් අවධානය යොමු කළ යුතු වැදගත්ම කාරණා තුනක් වන්නේ, (1) වැසීමට නියමිත පාසල පිහිටි ප්‍රදේශයේ පාසල් යන ළමයින්ගෙන් කොපමණ සංඛ්‍යාවක් වෙනත් පාසල් වෙත යන්නේද සහ ඒ මන්ද? (2) ප්‍රදේශයේ ළමයින්ගෙන් සුළු හෝ ළමයින් සංඛ්‍යාවක් වැසීමට නියමිත පාසලට එන්නේ මන්ද? සහ (3) ප්‍රදේශයෙන් පිටත පාසල් වෙත යන ළමයින්ගෙන් වැදගත් සංඛ්‍යාවක් ප්‍රදේශයේ පාසල දියුණු කරන්නේ නම්, එයට මාරු වනු ඇතිද? යන්න ය.
ඒ සමග ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය වන්නේ, මේ පාසල් වැසීමේ මුඛ්‍ය පරමාර්ථය කුමක්ද? එය වාර්ෂික අධ්‍යාපන වැය ශීර්ෂය පිළිබඳ ප්‍රශ්නයක් වන්නේද? නැතිනම් එම පාසල් වසන්නේ වැදගත් හා තිරසාර අධ්‍යාපනයක් නොලබන ළමයින්ට යහපත් අධ්‍යාපනයක් දීමටද? එසේ නම්, තිබෙන්නාවූ පාසල ද අහිමිවන දරුවන්ගේ අධ්‍යාපනය සහතික කිරීමේ ආණ්ඩුවේ වගකීම ඉටු කෙරෙන්නේ කෙසේද? දැනට ද ඔවුන්ට අධ්‍යාපනය යැයි වැදගත් ඉගෙනීමක් නොමැති බැව් ඔවුන්ගේ ජීවිත යථාර්ථය වන්නකි. බොහෝවිට පානීය ජලය හා වැසිකිළියක් වැනි අත්‍යවශ්‍ය පහසුකම් කිසිවක් ද නැති, අවශ්‍ය ගුරුවර ගුරුවරියන් නැති, පාසලක් යැයි නම් කෙරුණු අඩි 80 - 20 භාග බිත්ති ඇති ඩෙස් බංකු ටිකක් අඩුක් කෙරුණු නිවාස ආසන්නයේ පයින් යා හැකි දුරක ගොඩනැගිල්ලකට ළමයින් යවන්නේ, ඒ මවුපියන්ට ඊට වැඩි කිසිවක් සඳහා ආර්ථික ශක්තියක් නොමැති හෙයිනි. එනිසා ඔවුන් නිවෙසේ සිට බසයකින් යා යුතු කිලෝ මීටර කිහිපයක් දුර පාසලකට යොමු කළහොත් එය ඇත්තටම, “ඔන්න ඔහෙ ගෙදර හිටහං” යැයි කියන්නකි. එනිසා මේ ළමයින්ගේ පාසල් අධ්‍යාපනය දැනට වඩා යහපත් කෙරෙන ආණ්ඩුවේ විසඳුම් යෝජනා ප්‍රසිද්ධ කළ යුතුය.
මෙතුවක් කල් ඔවුන්ගේ අධ්‍යාපනය ගැන නිල සොයා බැලීමක් සිදු නොකෙරුණු හා ඒ වගකීම ඉටු නොකළ අධ්‍යාපන නිලධාරීන්ගේ කීමට පාසල් වැසීම සඳහා තීන්දු ගන්නට ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නැත. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ නොවන්නේ නම්, පාසල් වැසීමේ හදිසි අවශ්‍යතාවක් කලබලයක් ද තිබිය නොහැකිය. එනිසා, (අ) නවතම 34/2025 චක්‍රලේඛය වහා අත්හිටුවා පාසල් වැසීම ද ඒ සැණෙන් නතර කරන ලෙසත් (ආ) පාසලෙහි විදුහල්පති/පතිනිය, දැනට පාසලේ සේවය කරන ගුරුවර ගුරුවරියන් හා ළමයින්ගේ මවුපියන් සමගත් ප්‍රදේශයේ සෙසු මවුපියන් සමගත් (ඇ) පාසල පිහිටි ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය (ප්‍රාදේශීය හා නගර සභා) සමගත් ඉදිරි මාස 03 ඇතුළත සාකච්ඡා කර, ඒ අනුව එළැඹිය හැකි නිගමන හා නිර්දේශ ඇතුළත් වාර්තා මවුපියන්ට සහ පළාත් පාලන ආයතනයට ලබා දෙන ලෙසත්, එම නිර්දේශ සැලකිල්ලට ගනිමින් පළාත් පාලන ආයතනය විසින් සම්මත කරනු ලබන යෝජනාව අනුව පියවර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක් අනුගමනය කරන මෙන් ආණ්ඩුවට යෝජනා කරමි.
වැසීමට සූදානම් පාසල්වල ළමයින්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් විසදුම් සෙවීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් අප ඉල්ලා සිටිය යුතුය. ගුරුවර ගුරුවරියන්ගේත් මවුපියන්ගේත් එකඟතාව අත්‍යවශ්‍ය හෙයින් එය ලබා ගැනීම වෙනුවෙන් එවැනි ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක් අවශ්‍ය වන බැව් අධ්‍යාපන නිලධාරීන්ටත් ගුරු සංගම් සහ සමාජ ක්‍රියාකාරීන්ටත් අවධාරණයෙන් කියමි.
(*** කුසල් පෙරේරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd