මේ වසරේ අප්‍රේල් 20 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාත පිළිබඳ නිවේදනය අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 320.27ක් විය. මැයි 18 වැනිදා එය රුපියල් 334.26 දක්වා ඉහළ නැග තිබුණි. මාසයක කාලයක් තුළ රුපියල් 14කින් ඩොලරයේ මිල ඉහළ ගොස් තිබේ. මැයි 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනය කරනු ලබන වාහනවල බදු මුදලට සියයට 50ක අධිභාරයක් රජය පනවා තිබේ. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා ගැනීමට එම සිදුවීම්වලින් ඉඩ ලැබෙනු ඇතැයි සිතමි.

අනුර කුමාර දිසානායක මහතා නව වැනි විධායක ජනාධිපති ධුරයට පත්වූ 2024 සැප්තැම්බර් 23 වැනිදා ඩොලරයක විකුණුම් මිල රුපියල් 309ක් විය. එම මට්ටමට රටේ විනිමය අනුපාතය ගෙන ඒම සඳහා බොහෝ පියවර අනුගමනය කිරීමට සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති හැසිරවීමට එවක සිටි රජයට සිදුවිය. ආර්ථික අර්බුදයෙන් පසු ඩොලරයේ අගය රුපියල් 363.95 දක්වා ඉහළ ගියේය. එය 2023 ජනවාරි මාසයේ දී ඩොලරය සඳහා එම ඉහළම මිල ගෙවීමට රටට සිදුවිය. ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය පිළිබඳ ඉතිහාසය පරීක්ෂා කරන විට පැහැදිලි වන්නේ සමහර අවස්ථාවල ඩොලරයේ මිල සත කිහිපයකින් හෝ රුපියල් කිහිපයකින් හෝ අඩු වූ අවස්ථා දක්නට ලැබුණ ද එය සැමවිටම තාවකාලික තත්වයක් වූ බවයි.

1978 දී පාවෙන විනිමය අනුපාත ක්‍රමය හඳුන්වාදීමෙන් පසු ඩොලරයේ මිල අඛණ්ඩව ඉහළ ගියේය. ආර්ථික අර්බුදය අවස්ථාවේ දී ඩොලරය රුපියල් 363.95 දක්වා ඉහළ යෑමට හේතු වූයේ රජය ආර්ථික බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමත්, රටට ලැබෙන විදේශ විනිමය ඉපැයුම් මාර්ග බොහොමයක් අවහිර වීමත්ය. කෙසේ වුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග බංකොලොත්භාවයෙන් අත්මිදීම සඳහා වූ සාකච්ඡා ආරම්භ කර 2023 වසරේ දී විස්තීර්ණ ණය ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එම අර්බුදය තරමක් දුරට විසඳා ගැනීමට හැකි විය. ඒ අතරම විනිමය අනුපාතය ශක්තිමත් කිරීම සඳහා රජය විසින් අනුගමනය කරන ලද මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවලින් සාර්ථක ප්‍රතිඵල අත්විඳීමට හැකි තත්වයක් උදාවිය.

ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අනුගමනය කරන ලද සාර්ව ආර්ථික කළමනාකරණ පිළිවෙත සාර්ථක වීම හේතුවෙන් 1978 සිට එම කාලපරිච්ඡේදය දක්වා විනිමය අනුපාතය සම්බන්ධ‌යෙන් එතෙක් පැවැති ප්‍රවණතාව පරිවර්තනයකට බඳුන් විය. එනම් අඛණ්ඩව රුපියලේ අගය පහළ යෑම වෙනුවට එය ඉහළ යන ප්‍රවණතාවක් ප්‍රථම වරට ඇතිවීම‍යි. ඉහතින් සඳහන් කළ පරිදි 2024 සැප්තැම්බර් මාසය වනවිට ඩොලරයේ අගය රුපියල් 309 දක්වා පහත වැටී ඒ හා සාපේක්ෂව රුපියලේ අගය ද ඉහළ ගියේය.

ගැටලු‍ව වන්නේ මේ වසරේ ඉතා කෙටි කාලයක් තුළදී රුපියල මේ තරම් විශාල ප්‍රමාණයකින් පහළ වැටී ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්නයි. පසුගිය කාලය තුළදී රටේ අපනයන ආදායම වැඩිවූ අතර ණය හා ආධාර ලැබීම්වල ද වැඩිවීමක් සිදු විය. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ද ඉහළ මට්ටමක පැවතුණි. රටට ලැබෙන විදේශ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් ඇති විය. 2023 වසර හා සසඳන විට මෙම ආදායම් වැඩිවීම රුපියල ශක්තිමත් වීම සඳහා හේතු විය. එසේ වුව ද රටේ ආර්ථිකය දැන් මුහුණ දෙමින් සිටින්නේ රුපියල ශක්තිමත් වීම වෙනුවට එය දුර්වල වන අවස්ථාවකටය. ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට ද සැලකිය යුතු ආර්ථික බලපෑමක් ඇති විය. එසේ වුව ද දිගින් දිගටම රුපියලේ අගය පහළ වැටීම සඳහාත්, රජය විසින් අනුගමනය කරනු ලබන මෝටර් රථ ආනයනය ඇතුළු අනෙකුත් බදු වැඩි කිරීම සඳහාත් ඉන්ධන මිල ඉහළ දැමීම සහ විදුලි බිල ඉහළ දැමීම සඳහාත් යුද්ධය හේතුවක් කර ගැනීම කොතෙක් දුරට සාධාරණ ද යන ප්‍රශ්නය පැන නගී.

2026 ජනවාරි - මාර්තු කාලය තුළ අපනයන ආදායම ඩොලර් මිලියන 3460.8ක් විය. අපනයන ආදායම සියයට 3.4කින් වැඩි වී තිබේ. 2025 ජනවාරි - මාර්තු කාලය තුළ රටේ සංචාරක ආදායම ඩොලර් මිලියන 1122.3ක් වුව ද එය 2026 එම කාලපරිච්ඡේදය තුළ ඩොලර් මිලියන 954 දක්වා සියයට 15කින් අඩුවී තිබේ. එයට හේතුව මැදපෙරදිග යුද්ධය නිසා මාර්තු මාසයේ සිට සංචාරක පැමිණීම මදක් අඩුවීමත්, රටේ සංචාරක බලධාරීන් සංචාරකයන්ගේ පැමිණීම වැඩිවීමට සාපේක්ෂව සංචාරක ආදායම වැඩිකර ගැනීම සඳහා වූ නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැතිවීමත්ය. 2025 ජනවාරි - මාර්තු කාලපරිච්ඡේදය තුළ රටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1814.4කි. එය 2026 එම කාලපරිච්ඡේදය තුළ ඩොලර් මිලියන 2294.9 දක්වා සියයට 26.5කින් වැඩි වී තිබේ. යුද්ධය නිසා විදේශ ප්‍රේෂණ ලැබීම්වල කිසිදු අඩුවක් සිදුව නැති අතර ලැබීම් ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

2026 වසරේ පෙබරවාරි මාසයේ දී රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.3ක් වූ අතර මාර්තු මාසයේ එය ඩොලර් බිලියන 7 දක්වා අඩුවිය. අප්‍රේල් මාසයේ දී එය ඩොලර් බිලියන 6.75 දක්වා අඩුවී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව රටේ විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගෙන නිල සංචිත ප්‍රමාණය වැඩිකර ගැනීමට කටයුතු කරයි. ඒ අතරම විනිමය වෙළෙඳපොළේ ඩොලරයේ අගය ඉහළ යනවිට තමන් සතු ඩොලර් විකුණා එය නවත්වා ගැනීමට ද උත්සාහ කරයි. එවැනි ප්‍රයත්නයක් තිබියදී වුව ද දැන් ඩොලරයකට රුපියල් 334 ක් ගෙවීමට සිදුවන අයුරින් රුපියලේ වටිනාකම පහළ වැටී ඇත. අනෙකුත් වාණිජ බැංකු ඩොලර් අලෙවි කරනු ලබන්නේ මීට ඉහළ මිලකටය.

එක අතකින් ඩොලරයේ මිල ඉහළ යන අතර අනෙක් අතින් ඉන්ධන මිල සහ විදුලි බිල ඉහළ නංවා ඇත. රුපියලේ අගය අඩුවීම මුලින්ම දැනෙනුයේ රටේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ගණන්වලටය. රටේ මහජනතාවගෙන් වැඩි පිරිසකගේ පරිභෝජනයට අදාළ ආනයන ද්‍රව්‍ය වන සහල්, සීනි, කිරිපිටි, පරිප්පු, අර්තාපල්, ලූනු සහ මිරිස් වැනි සියලු‍ ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යනු ඇත. ඒ අතරම විදුලි බිල සහ ඉන්ධන මිල ඉහළ දැමීම නිසා දැනටමත් රටේ නිෂ්පාදන වියදම් ඉහළ ගොස් ඇති අතර විනිමය අනුපාතයේ ඉහළ යෑම හේතුවෙන් තවදුරටත් එම මිල ගණන් වැඩි කිරීමට සිදුවනු ඇත. මහජනතාවගේ පරිභෝජන වියදම් ද, රටේ භාණ්ඩ හා සේවා මිල ගණන් ද අතිවිශාල ලෙස ඉහළ ගොස් ඉතා ඉහළ උද්ධමනයකට මුහුණදීමට රටට සිදුවනු ඇත.

සියල්ල යුද්ධයට බාරදී ආණ්ඩුවට නිහඬව සිටීමට හැකි ද යන ප්‍රශ්නය මෙහිදී පැන නගී. 2022 වසරේ ඇතිවූ මහා ආර්ථික අර්බුදය හා සසඳන විට සමහර ආර්ථික අංශ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට ද හැකි වී තිබේ. බදු ආදායම ඉලක්කගත ප්‍රමාණයටත් වඩා වැඩි වී ඇත. ආණ්ඩුවේ සමහර නායකයන් ප්‍රකාශ කරන ආකාරයට භාණ්ඩාගාරය පිරි ඉතිරී ගොස් තිබේ. වසර කිහිපයකට පසු 2024 වස‌රේදී ආර්ථික වර්ධන වේගය ධන මට්ටමකට ගෙන ඒමට හැකිවිය. එම වසරේ ආර්ථිකය සියයට 5කින් වර්ධනය විය. 2025 වසරේ එය සියයට 5ක් විය. 2025 වසරේ ද ආර්ථික වර්ධනය සියයට 5 ක් විය. අපනයන ආදායම ද වැඩි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්, ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ විවිධ රටවලින් ණය සහ ආධාර ලෙස විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලැබුණි. එසේ වුව ද රුපියලේ අගය 2024 වසරේදී පැවැති මට්ටමට වඩා විශාල ප්‍රමාණයකින් දැන් පහළ බැස තිබේ. එවැනි තත්වයක් තුළ එයට හේතුව ලෙස දැකිය හැක්කේ ආණ්ඩුවේ සාර්ව ආර්ථික කළමනාකරණයේ පවත්නා දුර්වලතාව මිස, ආර්ථිකයේ ගමන් මග පිළිබඳ ගැටලු‍වක් නොවේ.

සාර්ව ආර්ථික කළමනාකරණය රටේ ඉදිරි ගමන සම්බන්ධයෙන් කොතරම් වැදගත් වන්නේ ද යන්න ආණ්ඩුවේ බොහෝ දෙනකුට අවබෝධ වී තිබේ ද යන්න මෙහිදී පැන නගින ප්‍රශ්නයයි. රටේ රාජ්‍යතන්ත්‍රය තුළ ද, පෞද්ගලික අංශයේ ද රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ මෙන්ම ආර්ථික ප්‍රතිපත්ති හැසිරවීම පිළිබඳව අත්දැකීම්, පළපුරුද්ද සහ අවබෝධයක් ඇති විශාල පිරිසක් සිටිති. එහෙත් ඒ පිළිබඳව නොසලකා හැර සියලු‍ වගකීම් දේශපාලන සම්බන්ධතා මත පැවැරීමට කටයුතු කිරීමේ ආදීනව භුක්ති විඳීමට සිදුව ඇත්තේ මහජනතාවටය.

(***)