පසුගිය ජනාධිපතිවරණ‍යේදීත් මහ මැතිවරණ‍යේදීත් ජනතාව මෙරට දේශපාලනික වශයෙන් විශාල වෙනස්කමක් අපේක්ෂා කළ බව පැහැදිලිය. විශේෂයෙන්ම නව පාලනයක් ගෙන ඒමට ජනතාව බලාපොරොත්තු වූයේ ආර්ථික, දේශපාලන, සමාජ සහ ආර්ථික ක්ෂේත්‍රවල එම පැහැදිලි සාධනීය වෙනස වෙනුවෙනි. ජාතික ජන බලවේගය වටා ජනතාව ඒකරාශී වන්නට පටන්ගත්තේ ඒ අරමුණ ඇතිවය. සාමාන්‍ය පොදු ජනතාව පමණක් නොව උගත් බුද්ධිමතුන්, සිවිල් සංවිධාන, කලාකරුවන් පවා මේ ඒකරාශීවීම තුළ දැක ගත හැකි විය.

මේ ඒකරාශීවීමෙන් සියලු‍ දෙනා අපේක්ෂා කළේ සමාජ දේශපාලනයේ පැහැදිලි හා යහපත් වෙනසයි. ජනතාව මාලිමා ආණ්ඩුව බලයට ගෙනාවේ එම වෙනස ඇති කරනු ඇතැයි බලාපොරොත්තුවෙනි. ඔවුනට අසීමිත බලයක් ලැබෙන්නේ ඒ අර්ථයෙනි. අරගල සමයේ පවා ජනතාවගේ ප්‍රධාන සටන් පාඨය වූයේ මෙම දේශපාලන, සමාජ, ආර්ථික හා සංස්කෘතික වෙනසයි. රටක් ඉදිරියට සංවර්ධනය කිරීමට, ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට අවශ්‍ය කරන පරිසරයක් ව්‍යවස්ථානුකූල ආයතනික බාධාවන් නැති කිරීමට වුවමනා පසුබිමක් මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් සැකසිණ. එම ඡන්දය ජනතාව ලබා දුන්නේ එක්තරා කාලවල මෙන් ටකරන් තහඩුව හෝ හාල් මල්ල හෝ බත් පැකැට්ටුව හෝ බලාපොරොත්තුවෙන් නොවේ. ජනතාවට වුවමනා වූයේ මෙතෙක් පැවැති මජර දේශපාලන ක්‍රමය පිටුදැකීමයි. රට ආර්ථික හා දේශපාලන අගාධයෙන් ගොඩගැනීමයි. එය කරන බවට ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන් ද මැතිවරණ වේදිකාවල පොරොන්දු දුන් නිසා මේ ගැන ජනතාව තුළ ප්‍රබල විශ්වාසයක් ඇති විය. එම පාක්ෂිකයෝ ජනතාව හමුවේ පොරොන්දු රාශියක් දුන්හ.

මීට පෙර බලයේ සිටි දේශපාලන කඳවුරු දෙකේම ක්‍රියාකාරකම් ජාතික ජන බලවේගයේ දැඩි විවේචනයට ලක් විය. ජනතාව බලාපොරොත්තු වන දේශපාලන වෙනස තමන්ට කළ හැකි බවට වන විශ්වාසය ජාතික ජන බලවේගයේ නායකයෝ ජනතාව තුළ ඇති කළහ. මාලිමා ආණ්ඩුව බලයට පත්ව මේ වනවිට වසර එක හමාරකට වැඩි කාලයක් ගතවී ඇත. එහෙත් සමාජ ආර්ථික දේශපාලන වශයෙන් තමන් මේ රටේ පැතූ වෙනස ඇතිවී තිබේ දැයි ජනතාව දැන් ප්‍රශ්න කරමින් සිටිති. එහෙත් එබදු වෙනසක් දේශපාලන තලයේවත්, ආර්ථික තලයේවත්, සංස්කෘතික තලයේවත් සිදුවී ඇති බවක් පෙනෙන්නට නැත.

ජනතාව වෙත බලාපොරොත්තු දුන් වෙනස වෙනුවට මේ වනවිට සිදු වී තිබෙන්නේ පැවැති ක්‍රමයම තව දුරටත් දිගේලි කිරීම පමණක් බව දැකිය හැකිය. ඒ පැවැති මජර දේශපාලන ක්‍රමය තවදුරටත් එලෙසම පවතී. රටේ ආර්ථිකය ගතහොත් ආණ්ඩුව බලයට එන්නට පෙර පැවැති තත්වයට වඩා දැන් තත්වය යහපත් යැයි කිව නොහැකිය. තෙල්, විදුලිය, ගෑස් ආදි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල තව දුරටත් ඉහළ යමින් පවතී. භාණ්ඩවල මිල ද වැඩිවෙමින් තිබේ. ඒවා ඍජුවම පොදුජන ජීවිතයට කෙරෙන බලපෑම පුළුල් ය. ඒ නිසාම ජීවන අරගලය සමග පොර බදන ජනතාව තුළ වර්ධනය වෙමින් තිබෙන්නේ කලකිරීමකි.

හොරුන්ට දඬුවම් දෙනවා යැයි කී, අල්ලස දූෂණය පිටු දකිනවා යැයි කී පිරිස බලයට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් කළේ කුමක්දැයි ජනතාව ප්‍රශ්න කරන තැනට සමාජය පත්වෙමින් තිබීම ආණ්ඩුව පැත්තෙන් යහපත් තත්වයක් නොවේ. මේ ආණ්ඩුවත් පරණ ආණ්ඩු කළ දේම කරන එකක්ය යන මතය සමාජයෙන් මතුවන්නේ මේ නිසාය.

අනෙක් පැත්තෙන් දේශපාලනික වශයෙන් සිදුවෙතැයි සිතූ වෙනස සම්බන්ධයෙන් ද මේ වනවිට ජනතා බලාපොරොත්තු බිඳවැටෙන ස්වභාවයක් මතුවෙමින් තිබේ. ඉහළ දේශපාලන තනතුරුවලට නිලධාරීන් පත් කිරීමේ දී පළපුරුද්ද හා සුදුසුකම්වලට වඩා හුදු දැන හැඳුනුම්කම් හිතවත්කම් අනුව කටයුතු කළ බවක් පසුගිය කාලය තුළ නිරීක්ෂණය කළ හැකිය. පළපුරුදු අත්දැකීම් අඩු අවබෝධයකින් තොර නිලධාරීන් පත් කිරීම නිසා යම් යම් ක්ෂේත්‍රවල අර්බුද මතුවූ බව ද රහසක් නොවේ. මේ නිසාම ජනතා අපේක්ෂා ක්‍රමානුකූලව බිද වැටෙන පරිසරයක් නිර්මාණය වෙමින් තිබේ.

රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රමවත් කිරීමට පළපුරුදු දැක්මක් සහිත රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දු තීරණ ගැනීමේ දී අඩුම තරමේ මීට පෙර ආණ්ඩු ක්‍රියා කළ ආකාරයවත් සොයා බැලිය යුතුව තිබුණි. පෙර පැවැති ආණ්ඩුවල කවර අඩුපාඩු පැවැතිය ද රාජ්‍ය සේවයේ ඒ ඒ ක්ෂේත්‍රවලට අත්දැකීම් සහිත ප්‍රවීණයන් පත් කළ බවක් දක්නට ලැබුණි. ඒ නිසාම ඒ ඒ ක්ෂේත්‍රවල උගතුන්ට බුද්ධිමතුන්ට ප්‍රවීණයන්ට සැකයක් ඇති වූයේ නැත. විශේෂයෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ දී මේ තත්වය කැපී පෙනුණි. වත්මන් ආණ්ඩුව යටතේ පසුගිය කාලයේ සිදුවූවා යැයි කියන මූල්‍ය අක්‍රමිකතා, ටෙන්ඩර් කැඳවීම් ආදී සෑම දෙයක් පිටුපසම ඇතිවූ අර්බුද සඳහා විනිවිදභාවයෙන් කටයුතු කරන පරිණත නිලධාරීන් නොසිටීම ද හේතුවූ බවට සමාජ මතයක් නිර්මාණය විය. එබැවින් නිලධාරීන් පත් කිරීමේ දී ගජ මිතුරන්ට හෝ එහෙයියන්ට තැනදීමෙන් පමණක් ප්‍රශ්නය විසඳිය නොහැකි බව තේරුම් ගත යුතුය.

මාලිමා ආණ්ඩුව බලයට එන්නේම වංචාව දූෂණය නැති කරනවාය යන දැඩි මතයේ පිහිටාය. ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන්ට බලයට එන්නට පෙර දූෂණය, වංචාව, හොරකම සම්බන්ධයෙන් චෝදනා පැවැතියේ ද නැත. ඒ නිසාම ඔවුන් බලයට පැමිණියහොත් පිරිසුදු දේශපාලනයක් ඇති කරනු ඇති බවට ජනතාව තුළ තදබල විශ්වාසයක් පැවැතිණ. ඔවුන් මැතිවරණ වේදිකාවල දුන් ආකර්ෂණීය පොරොන්දු ජනතාව විශ්වාස කළහ. අනෙක් අතින් මොවුන් හදගැස්ම හඳුනාගත් අපේම මිනිසුන්ය යන සහෝදරාත්මක බැඳීම දුගී දුප්පත් ජනතාව තුළ පවා තහවුරුවී තිබිණ. ඔවුන් තම ප්‍රශ්න හඳුනාගෙන ඊට විසඳුම් දෙනු ඇතැයි ජනතාව තුළ දැඩි බලාපොරොත්තුවක් තිබිණ. එහෙත් ආණ්ඩුවට අවුරුදු එකහමාරක් පමණ ගතවී ඇතත් ජනතාව අපේක්ෂා කළ සහනය ලැබී ඇති බවක් පෙනෙන්නට නැත.

දැන් සිදුවෙමින් තිබෙන්නේ පරණ දේශපාලකයන් අනුගමනය කළ රටාවම ඒ ආකාරයෙන් අනුගමනය කරමින් ඉදිරියට යාමය. දැන් ක්‍රම ක්‍රමයෙන් පෙර පැවැති ප්‍රභූ දේශපාලනයම කරළියට එමින් තිබෙන බවකි පෙනෙන්නට තිබෙන්නේ. එහෙත් ජනතාව බලාපොරොත්තු වූයේ එය නොවේ.

මෙයින් පැහැදිලි වන්නේ ක්‍රමයේ වෙනසක් සිදුකිරීමට බලයට පැමිණි අය දැන් සාම්ප්‍රදායික දේශපාලකයන්ගේ පැරැණි ක්‍රමයම පවත්වාගෙන යන බවය. පැරැණි දේශපාලකයන් මෙන්ම මොවුන් ද ධනය ඒකරාශී කරමින් සිටින බවය. ඒ නිසාම තමන් පැතූ ක්‍රම වෙනස මේ ආණ්ඩුවෙන් ද බලාපොරොත්තු විය නොහැකි බවට වන මතය ජනතාව තුළ වර්ධනය වෙමින් තිබේ. ජනතාව තුළ ඇතිවන සැකය ජනතාව ප්‍රශ්න කිරීමේ දී ඒ සඳහා සමහර මැති ඇමැතිවරුන් දෙන පිළිතුරුවලින් එම සැකය තවදුරටත් වර්ධනය වන බවකි පෙනෙන්නේ. මෙයින් නිරීක්ෂණය වන දෙය නම් ආණ්ඩුව කෙරෙහිවූ ජනතා විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් පලු‍දුවෙමින් තිබෙන බවය.

80 දශකයෙන් පසුව ආණ්ඩු බලය ගත් බොහෝ ආණ්ඩුවලට රට අභ්‍යන්තරයේ පැවැති අර්බුදවලට මුහුණ දෙන්නට සිදු විය. තිස් අවුරුදු යුද්ධය ඒ අතර ප්‍රධාන වේ. 2010 දක්වාම ආණ්ඩු බලය ලබාගත්තේ රටේ සාමකාමී තත්වයක් නොපවතින පරිසරයකය. ජාත්‍යන්තර මට්ටමේ බරපතළ මැදිහත්වීම් පවා ඒ කාලයේ දක්නට ලැබිණ. එහෙත් මාලිමා ආණ්ඩුව බලයට එනවිට ලංකාවේ සාමකාමී පරිසරයක් පැවැතිණ. අතීතයේ මෙන් වෘත්තීය සමිතිවල බලපෑම්, වැඩවර්ජන උද්ඝෝෂණ ආදියෙන් ද බොහෝවිට මේ ආණ්ඩුවට බලපෑමක් ඇති වූයේ නැත. ඔවුන්ට මුහුණ දෙන්නට තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරමින් ලංකාව ණය බරින් ගලවා ගැනීමට කටයුතු කිරීමය. ඒ සදහා ශක්තිමත් අඩිතාලමක් සැකසෙමින් තිබිණ. දිට්වා සුළිකුණාටුවට මුහුණ දෙන්නට සිදු වූයේ එබදු පරිසරයක් සකස්ව තිබියදීය. එක් අතකින් දිට්වා සුළිකුණාටුව අලු‍ත් ආණ්ඩුවකට අභියෝගයක් බව ඇත්තය. ඒ අභියෝගය හමුවේ වුවත් ජාත්‍යන්තර සහාය ද ලබමින් අර්බුදයෙන් ගොඩ ඒමට වැඩපිළිවෙළක් සකස් කරගැනීමට හැකියාව තිබුණි. ජනාධිපතිවරයා පෞද්ගලිකවම මේ අර්බුදයට විසදුම් සෙවීම සදහා විශාල උනන්දුවක් දැක්වූ බව කිව යුතුය. ජනතා ප්‍රශ්න ඉදිරියේ ඉතා සංවේදීව ක්‍රියා කරන අන්දමක් මුල් කාලයේ පෙනෙන්නට තිබිණ. ආපදා සහන සැලසීම් ආදිය ඉක්මනින් ක්‍රියාත්මක වූ බවක් පෙනිණ. එහෙත් කෙටි කලක් ගතවනවිට ඒ උනන්දුව අඩුවී ගිය බවක් පෙනෙන්නට තිබේ. තවමත් අවතැන්ව පසුවන ඇතැමුන් පීඩාවෙන් දිවි ගෙවන බව පෙනේ. ඔවුහු තවමත් අවදානම් සහිතව දිවි ගෙවති. ඔවුන්ගේ ජනජීවිත තවමත් ක්‍රමවත්වී නැත. මේ නිසා ජනජීවිතයට එල්ලවී ඇති බලපෑම තවමත් පහව ගොස් නැත. ආණ්ඩුව ඒ සදහා ස්ථිර ප්‍රතිසංස්කරණ කඩිනම් කළ යුතුව තිබේ.

ඇත්ත වශයෙන්ම දැන් අපට අවශ්‍ය වන්නේ රෑ දවල් නොබලා කඩිනමින් වැඩ කරන ආණ්ඩුවකි. ජනතාව බලාපොරොත්තුවන්නේ එයයි. පැලැස්තර ප්‍රතිසංස්කරණවලින් ජනතාවට අවශ්‍ය සහනය ලැබෙන්නේ නැත. විශේෂයෙන්ම මේ ආණ්ඩුවට වෙන ආණ්ඩුවලට වඩා ජාත්‍යන්තර වශයෙන් හිතකර තත්වයක් නිර්මාණය වී තිබේ. එය සාධනීය කරුණකි. ඇමෙරිකාව, ඉන්දියාව, චීනය ඇතුළු සෑම රටක් සමගම මිත්‍රශීලීව කටයුතු කිරීමේ පරිසරයක් ආණ්ඩුව නිර්මාණය කර ගෙන තිබේ. ඒ නිසාම අපට අවශ්‍ය තාක්ෂණික උපදෙස් හා වෙනත් ආධාර විදෙස් රටවලින් ලබාගෙන රටේ සංවර්ධනය සඳහා යෙදවීමට ආණ්ඩුව මීට වඩා උනන්දු විය යුතුය. එහෙත් අපට පෙනෙන්නට තිබෙන්නේ එබදු විදෙස් සබඳතාවල පසුගාමී තත්වයකි.

මෙරට සමාජ දේශපාලන තලයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ කෙරෙහි ආණ්ඩුවේ ප්‍රබල අවධානය යොමු විය යුතුය. ආණ්ඩුව කළ යුත්තේ ජනතාව ඉදිරියේ කී දේ ඉටුකිරීමයි. එහෙත් ඒවා ඉටුවන බවක් දැන් නොපෙනෙන බවට ජනතා සැකයක් වර්ධනය වෙමින් තිබේ. විශේෂයෙන් එදා හඬ නැගූ ව්‍යවස්ථා වෙනස ඉන් ප්‍රධාන වේ. එහෙත් දැන් ඒ ගැන උනන්දුවක් ඇති බවක් නොපෙනේ. පුංචි පුංචි කාරණා අල්ලා ගනිමින් යන ගමනක් නොව සංකීර්ණ සමාජ දේශපාලන ප්‍රශ්න හඳුනාගනිමින් ඒවාට විසදුම් සොයන ලොකු වැඩ කරන ආණ්ඩුවකි ජනතාව අපේක්ෂා කරන්නේ. පුංචි පුංචි දේ අල්ලා ගනිමින් එදිනෙදා ප්‍රශ්න විසඳීමට නම් ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ නැත.

දැන් මේ ආණ්ඩුවට තිබෙන ප්‍රධාන අභියෝගය නම් ජනතාව ආණ්ඩුවෙන් ඈත්වෙමින් යාම නැවැත්වීමයි. මැතිවරණවලදී තමන් සමග අත්වැල් බැඳගත් අය තමන්ගෙන් ක්‍රමයෙන් ගිලිහීයන්නේ ඇයිදැයි ආණ්ඩුව සොයා බැලිය යුතුය. ජනතා විශ්වාසය දිනාගැනීමට නම් ආණ්ඩුවට ශක්තිමත් වැඩපිළිවෙළක් තිබිය යුතුය. ජනතාවට පොරොන්දුවූ සහ ජනතාව අපේක්ෂා කළ ක්‍රම වෙනස සිහිනයක් පමණක් වේ නම් ජනතාව ආණ්ඩුවෙන් ඈත්වී යාම නොවැළැක්විය හැක්කකි.

 

(***)

සාකච්ජා සටහන

ගාමිණී කන්දේපොළ