ඉන්දියාවේ විශේෂයෙන්ම තමිල්නාඩුවේ මැතිවරණ පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව විශාල වශයෙන් උනන්දුවක් දැක් වූ කාලයක් තිබිණි. ඒ එම කාලයේ මෙරට රජයේ හමුදා තමිල් ඊළාම් විමුක්ති කොටි සංවිධානය සමග යුද්ධයක පැටලී සිටි තත්වය යටතේ තමිල්නාඩුව මෙරට දේශපාලනය කෙරෙහි විශාල හා අනවරත බලපෑමක් කරමින් සිටි හෙයිනි.
ඒ කාලයේ මාරුවෙන් මාරුවට තමිල්නාඩුවේ බලයට පත් වූයේ මුත්තුවේල් කරුණානිධිගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ මුන්නේට්‍ර කළහම් පක්ෂය හා ජයලලිතා ජයරාම් නායකත්වය දැරූ සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේට්‍ර කළහම් පක්ෂයයි. එම පක්ෂ දෙකේ නායකයෝ එදා මෙරට දෙමළ බෙදුම්වාදී සංවිධානවලට යම් යම් සහන සලසන ලෙසට ශ්‍රී ලංකාවට බල කරන්නැයි ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට විවිධාකාරයෙන් නිතරම බලපෑම් කරමින් සිටියහ.
ඔවුන් එමගින් තමන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව කියා සිටිය ද ඇත්ත වශයෙන්ම ඔවුන් එදා එසේ කළේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමට බව මේ වන විට පෙනී ගොස් තිබේ. එහෙත් ඔවුන්ගේ අරමුණ කුමක් වුව ද ඔවුන්ගේ එම කටයුතු නිසා ඉන්දියාවේ හා තමිල්නාඩුවේ දේශපාලනය පිළිබඳව මෙරට ජනතාව එදා දැක්වූයේ විශාල උනන්දුවකි.
කරුණානිධි හා එම්.ජී. රාමචන්ද්‍රන් යන තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන ඇමැතිවරුන් ශ්‍රී ලංකාවේ දෙමළ සන්නද්ධ කණ්ඩායම්වලට ප්‍රසිද්ධියේ ආධාර උපකාර කිරීම හා මෙරට යුද්ධය පැවැති කාලයේ තමිල්නාඩුවේ දේශපාලනඥයන් මෙරට ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීම ද එම ප්‍රාන්තයේ දේශපාලනය පිළිබඳව මෙරට ජනතාව එදා විශාල උනන්දුවක් දැක්වීමට හේතු විය.
එහෙත් පසුගිය මාසයේ ඉන්දියාවේ ප්‍රාන්ත හතරක හා සාංගමික ප්‍රදේශයක පැවැති මැතිවරණ සම්බන්ධයෙන් හා පසුගිය සඳුදා ප්‍රකාශයට පත් කරනු ලැබූ එම මැතිවරණවල ප්‍රතිඵල සම්බන්ධයෙන් මෙරට ජනතාව දැක්වූයේ අසාමාන්‍ය ලෙස ඇල්මැරුණු උනන්දුවකි. ඒ 2009 දී මෙරට බෙදුම්වාදී යුද්ධය අවසන් වීමත් සමග මෙරට දේශපාලනය කෙරෙහි ඉන්දියාවේත් විශේෂයෙන්ම තමිල්නාඩුවේත් බලපෑම විශාල වශයෙන් අහෝසි වී ගොස් ඇති නිසාය.
මෙවර තමිල්නාඩු මැතිවරණයෙන් වසර 60ක් පමණ එම ප්‍රාන්තයේ බලයේ සිටි ද්‍රවිඩයානු මතවාදී දේශපාලන පක්ෂවල දේශපාලන ඒකාධිකාරය අහෝසි වී යාමත්, අනපේක්ෂිත ලෙස කොලිවුඩ් සිනමාවේ තවත් සුපිරි තරුවක් ජයග්‍රාහී ලෙස ඉස්මතුවීමත් නොවේ නම් මෙවර තමිල්නාඩු මැතිවරණ ප්‍රතිඵල බොහෝවිට මෙරට පුවත්පත්වල ඇතුළු පිටුවල කුඩා ඉඩකට පමණක් සීමා වන්නට ඉඩ තිබිණි.
පසුගිය මාසයේ ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වුණේ ඇසෑමය, කේරළය, තමිල්නාඩුව හා බටහිර බෙංගාලය යන ප්‍රාන්තවල හා පුදුච්චේරි හෙවත් පොණ්ඩිචේරි සාංගමික ප්‍රදේශයේ (Union Territory) ය. මේවායින් පුදුච්චේරියේත් කේරළයේත් ඇසෑමයේත් මැතිවරණ අප්‍රේල් 9 වැනිදාත් බටහිර බෙංගාලයේ මැතිවරණ අප්‍රේල් අප්‍රේල් 23 හා 29 යන දිනවලත් තමිල්නාඩුවේ මැතිවරණ අප්‍රේල් 23 වැනිදාත් පැවැත්විණි. සියල්ලේම ප්‍රතිඵල මැයි 4 වැනිදා නිකුත් කෙරිණි.
ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විය හැකි භූ-දේශපාලන බලපෑම් මුල්කරගෙන මෙම ප්‍රතිඵල පිළිබඳව මේ රටේ එතරම් උනන්දුවක් ඇති නොවුණ ද අඩු තරමින් ප්‍රාන්ත තුනක, එනම් තමිල්නාඩුව, බටහිර බෙංගාලය හා කේරළයේ දේශපාලන තලයේ ඇතිවී තිබෙන බරපතළ පෙරළි හේතුවෙන් මේ රටේ දේශපාලන වශයෙන් සවිඥානක පිරිස් තුළ උනන්දුවක් ඇති වී තිබෙන බව පෙනේ. මෙම ප්‍රාන්ත තුනේම ප්‍රතිපත්තිවලට වඩා පවතින පාලනයට එරෙහි වීමේ ප්‍රවණතාව මෙම පෙරළිවලට හේතු වී තිබේ.
ලෝකයේ ප්‍රථම කොමියුනිස්ට් පාලකයා බිහි කළේ කේරළයයි. ඒ 1957 දී කොමියුනිස්ට් පක්ෂ නායක ඊ.එම්.එස්. නම්බූද්රිපාද් ප්‍රධාන ඇමැති වශයෙන් පත්වීමෙනි. 1960 ගණන්වල දී ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ මූලික ප්‍රතිපත්තිවලට ද ඔහුගේ ඉඩම් ප්‍රතිසංස්කරණය හා ගොවි ජන ප්‍රතිපත්තිය වැනි ප්‍රතිපත්ති විශාල බලපෑමක් කළේය. එහෙත් ඔහුගේ එම ප්‍රතිපත්ති නිසාම එවක ඉන්දියාවේ අගමැති වූ ජවහර්ලාල නේරු 1959 දී ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ඔහුගේ ආණ්ඩුව විසුරුවා හැරියේය.
පසුව කොමියුනිස්ට් පක්ෂ යළි 1977 දී බලයට පත් වූ අතර ඔවුන්ගේ පාලනය යටතේ 1990 ගණන්වල මුල දී කේරළය ඉන්දියාවේ පූර්ණ සාක්ෂරතාව අත්කර ගත් පළමු ප්‍රාන්තය විය. දැන් ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂවල එනම් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ හා ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ පාලනය අවසන් වී ඇත්තේ ද කේරළයෙනි. කොංග්‍රස් පක්ෂය කේරළයේ යළි බලයට පත්වී සිටී.
බටහිර බෙංගාලය ද කොමියුනිස්ට් පක්ෂ දීර්ඝ කාලයක් බලයට පත්ව සිටි තවත් ප්‍රාන්තයකි. 1977 සිට 2011 දක්වා වූ එම පාලනය අහෝසි වූයේ 2011 දී ත්‍රිනමූල් කොංග්‍රස් පක්ෂය බලයට පත්වීමෙනි. කිසිදා එම ප්‍රාන්තයේ බලයට පත් නොවූ භාරතීය ජනතා පක්ෂය මෙවර එහි බලයට පත්ව සිටී. දැන් භාරතීය ජනතා පක්ෂයට ඉන්දියාවේ ප්‍රාන්ත හා සාංගමික ප්‍රදේශ 28 න් 22 ක බලය හිමිව තිබේ.
ඉන්දීය දේශපාලනය පිළිබඳව උනන්දුවක් දක්වන සියල්ලන් පුදුමයට පත්කළ මැතිවරණ ප්‍රතිඵලයක් ලැබුණේ තමිල්නාඩුවෙනි. එහි වැදගත් කාරණා දෙකක් දක්නට ලැබේ. එකක් නම් එහි දශක හයක් පුරා පැවැති ද්‍රවිඩ මුන්නේට්‍ර කළහම් හා සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේට්‍ර කළහම් යන පක්ෂවල ද්‍රවිඩයානු දේශපාලනය අවසන් කරමින් වසර දෙකක් පමණක් පරණ පක්ෂයක් ඡන්ද ප්‍රතිඵල අනුව මුල් තැනට පත්ව සිටීමයි.
අනෙක් කාරණය වන්නේ අඩසිය වසකට වඩා දීර්ඝ වූ තමිල්නාඩුවේ සිනමාකරුවන්ගේ පාලනය මෙවර මැතිවරණයෙන් ද තවදුරටත් දීර්ඝ වීමයි. මෙවර වැඩිම ආසන ගණනක් දිනා සිටින්නේ කොලිවුඩ් සිනමාවේ මේ වන විට ජනප්‍රියත්වයේ උච්ඡතම ස්ථානයේ සිටින “තලපති විජේ” යනුවෙන් පොදුවේ හැඳින්වෙන ජොසෆ් විජයි චන්ද්‍රසේකර්ගේ තමිලග වෙට්‍රි කළහම් (ටීවීකේ) පක්ෂයයි. (තලපති යනු දෙමළෙන් හමුදාපති හෝ නායකයා යන්නයි.)
1969 ජනවාරි මස තමිල්නාඩු ප්‍රධාන ඇමැති වශයෙන් පත් වූ සී.එන්. අන්නාදුරයි දෙමළ සාහිත්‍යකරුවකු මෙන්ම චිත්‍රපට තිර රචකයෙක් විය. ඉන්පසු බලයට පත් වූ කරුණානිධි, එම්.ජී. රාමචන්ද්‍රන් හා ජයලලිතා දෙමළ සිනමාවේ දැවැන්තයෝ වූහ. පසුගිය සඳුදා වන විට බලයේ සිටි කරුණානිධිගේ පුත් එම්.කේ. ස්ටාලින් ද 1980 ගණන්වල දී චිත්‍රපට නළුවෙක් විය. දැන් සුපිරි නළු විජයි තමිල්නාඩු පරිපාලනයේ මූලස්ථානය වන වසර 400 ක් පමණ පැරැණි බ්‍රිතාන්‍යයන්ගේ ශාන්ත ජෝර්ජ් බළකොටුවේ දොරකඩට පැමිණ බලා සිටී.
මෙම අඩසිය වසකට වැඩි කාලය තුළ සිනමාවට සම්බන්ධ නොවූ දෙදෙනකු මහ ඇමැති ධුරය හෙබවූ මුත් ඔවුන් එතැනට ගෙන එනු ලැබුවේ “දෙමළ සිනමාවේ රැජින” යැයි හැඳින්වෙන ජයලලිතා විසිනි.
තලපති විජේ සාම්ප්‍රදායයික පක්ෂ පරාජය කරමින් මුල් තැනට පත් වී සිටිය ද ඔහුගේ ටීවීකේ පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234න් බහුතරය වන ආසන 118ක් ලැබුණේ නැත. ඊට ලැබුණේ ආසන 108කි. විජේ ආසන දෙකකින් ජයග්‍රහණය කර ඇති හෙයින් ඔහු ඉන් එක් ආසනයකින් ඉල්ලා අස් විය යුතුය. එවිට ඔහුගේ පක්ෂයට තවත් ආසනයක් අඩුවේ.
ශ්‍රී ලංකාවේ මෙන් නොව, ඉන්දියාවේ හා පාකිස්තානයේ මැතිවරණයකින් පසු ජය ගත් පක්ෂය අදාළ සභාවේ පළමු රැස්වීමේ දී සිය බහුතර බලය ඔප්පු කර පෙන්විය යුතුය. ඒ සඳහා විජේට අඩු වශයෙන් තවත් ආසන 10ක් හෝ අවශ්‍ය වේ. මේ වන විට ආසන පහක් හිමි කොංග්‍රස් පක්ෂය ඔහුට සහාය දීමට ඉදිරිපත් වී සිටී. අනෙක් ප්‍රධාන පක්ෂ දෙකේ නායකත්වයෙන් ඇති සන්ධානවල සිටින කුඩා පක්ෂ සමග ද විජේගේ පක්ෂය සාකච්ඡා කරමින් සිටී.
මේ අන්දමට බහුතරය සොයා ගත නොහැකි වුවහොත් සාම්ප්‍රදායයික ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් ටීවීකේ පක්ෂයට ආණ්ඩුවෙන් පිටත සිට සහාය දිය යුතුය. එනම් ඇමැති ධුර නොගෙන සහාය දීමයි. එහෙත් එවිට වල්ගය බල්ලා නටවන තත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකිය. එසේම පිටත සිටින පක්ෂය ඕනෑම අවස්ථාවක තම සහාය ඉල්ලා අස් කරගෙන ආණ්ඩුව පෙරළා දැමිය හැකිය. 1989 සිට 1999 දක්වා කාලය තූළ ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ අගමැතිවරුන් වූ වී.පී.සිං, චන්ද්‍රසේකර්, අතල් බිහාරි වජ්පායි, දෙවේ ගවුඩා සහ ඉන්දර් කූමාර් ගුජ්රාල් යන්නන්ගේ ආණ්ඩු හයක් (වාජ්පායි දෙවරක්) පිටතින් සහාය දුන්නවුන් විසින් එසේ පෙරළා දැමිණි.
මේවායින් අඩු තරමින් ආණ්ඩු දෙකක් (ගුජ්රාල්ගේ හා වජ්පායිගේ ආණ්ඩු) බිඳ වැටුණේ ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ප්‍රශ්නය හා සම්බන්ධ මතභේද නිසාය.
තලපති විජේ සිය මැතිවරණ ප්‍රචාරයේ දී කොටි සංවිධානයට පක්ෂව අදහස් දැක්වීය. පසුගිය වසරේ ඔහු කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් යළි පවරා ගන්නා ලෙස ඉන්දීය මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ඊට නිහඬ ප්‍රතිචාරයක් වශයෙන් ජනාධිපති අනුර කූමාර දිසානායක මහතා පසුගිය වසරේ සැප්තැම්බර් 1 වැනිදා එම දූපතේ සංචාරයක නිරත විය. එහෙයින් විජේ තමිල්නාඩුවේ බලයට පත්වීම මෙරටට අහිතකර ලෙස බලපානු ඇතැයි ඇතැම් පිරිස් බිය පළ කරන බවක් පෙනෙන්නට ඇත.
එහෙත් දේශපාලන වේදිකාවේ කරන ප්‍රකාශ සැබෑ දේශපාලනයේ දී සෑමවිටම ප්‍රායෝගික නොවේ. එය විජේ සම්බන්ධයෙන් ද සත්‍ය වේ. කොටි සංවිධානය හෝ දෙමළ බෙදුම්වාදී අරගලය අතීතයට එක් වී හමාරය. එහෙයින් ඒ ගැන තවදුරටත් කතා කරන්නන් කරන්නේ ලෝකය රැවටීමය. දෙවැනුව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඇතුළත් කලාපයේ භූ-දේශපාලනය විශාල වශයෙන් වෙනස් වී තිබේ. ඉන්දියාව තවදුරටත් ඉන්දු-ලංකා ගිවිසුම වෙනුවෙන් හෝ තීරණාත්මක ලෙස පෙනී සිටින්නේ නැත. ඉන්දියාව අද උනන්දුවක් දක්වන්නේ ශ්‍රී ලංකාවේ සිය ආර්ථික ඵල ප්‍රයෝජන ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙනි.
තුන්වැනුව, අතීතයේ දී මෙන් නොව, තමිල්නාඩු ධීවරයන් තම මුහුදු සම්පත් කොල්ලක කෑම හා විනාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ ජනතාවගෙන් බහුතරයක් සිටින්නේ තමිල්නාඩු දේශපාලනඥයන් සමග නොමනාපයෙනි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සම්පත් කොල්ල කෑමට එරෙහි නොවී විජේට එම ජනතාව වෙනුවෙන් කොටි හිතවාදී කතා පැවැත්වීම සාධාරණීකරණය කළ නොහැකිය.
සිව්වැනුව, ඉන්දියාවේ එක්සිම් බැංකුවේ වාර්තා අනුව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳාමෙන් සියයට 40ක් සිදුවන්නේ තමිල්නාඩුව ඔස්සේය. ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට හෝ තමිල්නාඩු ආණ්ඩුවට හෝ එම කරුණ නොතකා හළ නොහැකි තරම් වැදගත්ය. එසේම මෙවර මැතිවරණයෙන් තමිල්නාඩුවෙන් අතු ගෑවී ගොස් සිටින භාරතීය ජනතා පක්ෂයේ නායක අගමැති නරේන්ද්‍ර මෝදිට තවදුරටත් එම ප්‍රාන්තයේ නැති වන්නට දෙයක් නැත. තම ආර්ථික ඵල ප්‍රයෝජන වෙනුවෙන් තමිල්නාඩු නායකයන් කියන දේ අසන්නට ඔහුට තවදුරටත් කිසිදු හේතුවක් නැත. එහෙයින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තලපති විජේට කළ හැකි දෙයක් දැනට නැත.
(*** එම්.එස්.එම්. අයුබ්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd