■ හත්වැනි සමාලෝචනය කාර්ය මණ්ඩල එකඟතාවකින් තොරව අවසන්
■ තවත් ණයක් ඕනෑද කියා තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකාවයි
■ දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ගැන රජය නැවත සිතා බැලිය යුතුයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF ) විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා අනුමත කරන ලද ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකමට අදාළ සත්වැනි සමාලෝචනය සහ මෙම වසර සඳහා වන 4 වැනි වගන්තිය යටතේ වන උපදේශනයට අදාළ ප්‍රතිපත්ති නිර්දේශ සාකච්ඡා කිරීම වෙනුවෙන් එම ආයතනයේ දූත කණ්ඩායමක් පසුගිය 10 වැනි දින සිට 23 වැනි දින දක්වා මෙරට සංචාරයක නිරත විය. සංචාරය අවසන් කරමින් ඉකුත් 23 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝර්ජියෝ (Evan Papageorgiou ) මහතා සත්වැනි සමාලෝචනය සහ මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳව දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.
කාර්ය මණ්ඩල එකඟතාවට තවත් සාකච්ඡා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මීට පෙර සමාලෝචන පැවැත්වීම සඳහා මෙරටට පැමිණි සෑම අවස්ථාවකදීම සාකච්ඡා අවසානයේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවලට පැමිණියද, මෙවර සාකච්ඡා ඒ ආකාරයේ එකඟතාවකින් අවසන් නොවීම විශේෂත්වයකි. කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට නොහැකි වුවද රජයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡා ඵලදායක වූ අතර, මෙම සමාලෝචනය අවසන් කිරීමට අදාළ සෙසු සාකච්ඡා ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
කම්පන හමුවේ ඔරොත්තු දීමේ හැකියාව
අඛණ්ඩ කම්පන හමුවේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කර තිබේ. 2026 වසරේ දෙවැනි කාර්තුවේදීත් දළ ජාතික නිෂ්පාදිතය සියයට 4.2 කින් වර්ධනය වී ඇති අතර, එකදිගටම කාර්තු එකොළහකදී ශක්තිමත් ආර්ථික වර්ධනයක් වාර්තා වී ඇත. නිල සංචිත ඉහළ ගොස් ඇති අතර 2026 වසර අවසන් වන විට සංචිත ඩොලර් බිලියන 6.9 ක් දක්වා ළඟා වී තිබේ. එසේම බැංකු අංශයේ ප්‍රමාණවත් ප්‍රාග්ධන මට්ටමක් හා ලාභදායීත්වයක් පවතින අතර, මෙවසරේ පළමු භාගයේදී රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය ශක්තිමත්ව පැවැති අතර ණය ප්‍රතිව්‍යුහගතකරණයද බොහෝදුරට අවසන් වී ඇත.
ඉහළ ගිය උද්ධමනය පිළිබඳ නිරීක්ෂණ
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 8.1 දක්වා ඉහළ ගියේය. ගෝලීය තෙල් මිල ගණන් ආශ්‍රිත කම්පන හේතුවෙන් මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 8 ක් දක්වා ඉහළ ගියද, උද්ධමන අපේක්ෂා බොහෝදුරට ස්ථාවරව පවතී. උද්ධමනය සියයට 5 ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට සහ රජයට උපදෙස් දී ඇත.
අහිතකර බලපෑම්වල අවදානම
මැදපෙරදිග යුද්ධය පවතින කාලසීමාව හා එහි උත්සන්නභාවයත්, ගෝලීය වෙළෙඳපොළ ප්‍රතිපත්ති සහ එල්නිනෝ සංසිද්ධියේ බලපෑම පිළිබඳව පවතින අවිනිශ්චිතතාවනුත් නිසා මෙරට ආර්ථිකයට අපේක්ෂිත මට්ටමට වඩා අහිතකර බලපෑම් උද්ගත වීමේ අවදානමක් පවතී. නිතර කම්පනවලට නිරාවරණය වන පරිසරයක සාර්ව ආර්ථික ස්ථායීතාව ආරක්ෂා කරගැනීම සඳහාත්, රාජ්‍ය මූල්‍ය හා විදේශ අංශයේ ස්වාරක්ෂක නැවත ගොඩනැගීම සඳහාත්, මිල ස්ථායීතාව පවත්වා ගැනීම සහ පාලනය දියුණු කිරීමේ න්‍යායපත්‍රය ඉදිරියට ගෙනයෑම සඳහාත් කැපවීමෙන් යුතුව කටයුතු කළ යුතුය. එසේම අවදානමට ලක්විය හැකි පිරිස් ආරක්ෂා කිරීම වෙනුවෙන් සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීමද අත්‍යවශ්‍ය වේ.
රාජ්‍ය ආදායම් සහ බදු ප්‍රතිපත්තිය
බදු ක්‍රමයේ කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය වැඩිදියුණු කරන අතරම, ආදායම් රැස්කිරීම ශක්තිමත් කිරීම සඳහා මැදකාලීන රාජ්‍ය ආදායම් උපායමාර්ගයක් සකස් කොට ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. බදු පදනම පුළුල් කිරීමට සහ බදු නිදහස් කිරීම් හා බදු සහන තාර්කික කිරීමට අඛණ්ඩ ක්‍රියාමාර්ග ගැනීමද වැදගත්ය. රාජ්‍ය ආදායම් පරිපාලනය ශක්තිමත් කිරීම මඟින් බදු අනුකූලතාව තවදුරටත් වැඩිදියුණු වන අතර, එමඟින් තිරසර ආදායම් ලබා ගැනීමටද දායකත්වයක් ලැබේ.
බලශක්ති මිලකරණය
විදුලිය සහ ඉන්ධන සඳහා පිරිවැය ආවරණය වන මිල ක්‍රමයක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව මෙම සමාලෝචනයේදීත් යළි අවධාරණය කර ඇත. පිරිවැය ආවරණය කෙරෙන බලශක්ති මිලකරණයක් අඛණ්ඩව පවත්වාගෙන යෑම මඟින් රජය සතු ව්‍යවසායවලින් ඇති වන රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කරගැනීමට හැකියාව ලැබේ.
දූෂණ විරෝධී නෛතික රාමුව
මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා දූෂණ විරෝධී නෛතික රාමුවෙහි සුපිළිපන්භාවය පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය වේ. 2023 දූෂණ විරෝධී පනතට වත්මන් රජය විසින් ගෙන එන ලද සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මඟින් විනිවිදභාවය සහ වගවීම දුර්වල විය හැකි බවට හඳුනාගෙන ඇත. (එම පනත් කෙටුම්පතට අදාළව ශේෂ්ඨාධිකරණය ලබා දුන් අර්ථනිරූපණයේ සඳහන් වූයේද එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත්, ඒවා සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයට අමතරව ජනමත විචාරණයක්ද පැවැත්විය යුතු බවත්ය.) මෙම පනත් සංශෝධනය සම්බන්ධයෙන් අයි.එම්.එෆ්. හි අදහස් සහ නිරීක්ෂණ රජයේ බලධාරීන් වෙත ලබා දී තිබේ.
යෝජිත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ
ලබාගත් ස්ථාවරත්වයේ සිට ආර්ථිකය පරිවර්තනය කිරීම සඳහා හිතකර ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීම සහ ආයෝජන ආකර්ෂණය කිරීම සඳහා වෙළෙඳාම ලිහිල් කළ යුතුය. එසේම ව්‍යාපාරික හා ශ්‍රම වෙළෙඳපොළ සම්බන්ධ නියාමනයන් නව්‍යකරණය කිරීම, මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය පුළුල් කිරීම සහ ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කිරීම ඇතුළු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා තිරසර ප්‍රයත්නයක් අවශ්‍ය වේ.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න සහ දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝර්ජියෝ දුන් පිළිතුරු:
ප්‍රශ්නය: ශ්‍රී ලංකාව යළිත් වතාවක් අයි.එම්.එෆ්. සමඟ ණය වැඩසටහනකට යෑම ශ්‍රී ලංකා රජයේ තීරණයක් බව ඔබ පවසා තිබෙනවා. ඒ ආකාරයේ ණය වැඩසටහනකට යෑමේ අවශ්‍යතාවක් ඇතැයි ඔබ සිතන්නේද?
පිළිතුර: සියල්ලට ප්‍රථමයෙන් මම කිව යුතුයි දැන් තිබෙන ණය වැඩසටහන 2027 මාර්තු මාසයේදී අවසන් වීමට පෙර තවත් සමාලෝචන දෙකක් ඉතිරිව තිබෙන බව. දැන් තිබෙන වැඩසටහන යටතේ වුණත් අපට ප්‍රශ්න ගොඩක් තිබෙනවා. අපි ඒවා ගැන සාකච්ඡා කරමිනුයි ඉන්නේ. තවත් අයි.එම්.එෆ්. වැඩසටහනක් අවශ්‍යද කියන ඉල්ලීම ඉදිරිපත් විය යුත්තේ ශ්‍රී ලංකා රජයෙන්. අලුත් ණය වැඩසටහනක් අවශ්‍ය වුණත් නැතත් ඒක තීරණය වෙන්නේ රජයේ බලධාරීන් ළඟා කරගැනීමට උත්සාහ කරන අරමුණු මත සහ අයි.එම්.එෆ්. ඇතුළු අනෙක් සංවර්ධන හවුල්කරුවන්ගේ සහයෝගය සහ ඒකාබද්ධතාව රජයේ ආර්ථික ප්‍රමුඛතා හා අරමුණුවලට අවශ්‍යද කියන කාරණා මතයි.
ප්‍රශ්නය: ආණ්ඩුව පවසන පරිදි ෆිස්කල් අවකාශයේ (ත්‍සිජ්ක ිච්ජැ) හොඳ වර්ධනයක් සිදුවී තිබෙනවා. මේ සන්දර්භයේ බදු බරින් පීඩාවට පත්ව සිටින මැදි ආදායම් ලබන අයට සහ අවදානම් සහගත කණ්ඩායම් ආරක්ෂා කිරීම සඳහා බදු සහනයක් ලබා දීමට අවස්ථාවක් ඇතැයි කියා අයි.එම්.එෆ්. විශ්වාස කරනවාද?
පිළිතුර: ඔව්, ෆිස්කල් අවකාශය වර්ධනය වී තිබෙනවා. බදු සහනයක් අවශ්‍යයි. ෆිස්කල් අවකාශය වර්ධනය වීමට සමානව ප්‍රාථමික අතිරික්ත ඉලක්ක ඉතා ශක්තිමත්ව ළඟා කරගනිමින් තිබෙනවා. 2025 වසරේදී ප්‍රාථමික අතිරික්තය සියයට 5 ට වැඩියි. මේ වසරේදී මේ දක්වා කාලයේදී පෙනෙන විදියට අපේක්ෂිත මට්ටමට වඩා ප්‍රාථමික අතිරික්තය ළඟා කරගන්න පුළුවන්. මම හිතන්නේ බදු සහනයක් වෙනුවෙන් මේ වර්ධනය ඉතා වැදගත්. විශේෂ දේවල් සාකච්ඡා කරන්න මට අවශ්‍ය නැහැ. අපි තවම ඉන්නේ සාකච්ඡා මට්ටමේ.
ප්‍රශ්නය: රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?
පිළිතුර: 2023 දී බලාත්මක කළ දූෂණ විරෝධී පනත දූෂණ විරෝධය සඳහා නීතිමය රාමුවක් ශක්තිමත් කළ පළමු පනතයි. ඒ වගේම මම මතක් කරන්න කැමැතියි ශ්‍රී ලංකාව තමයි ආසියාවේ පළමු රට ‘ෂඵත් ඨදඩැරබ්බජැ ෘස්ටබදිඑසජ ්ිැිපැබඑ‘ එක ක්‍රියාවට නංවපු. විස්තීරණ අරමුදල් වැඩසටහන යටතේ ආණ්ඩුකරණය සහ වංචා දූෂණවලට විරුද්ධව ක්‍රියාවට නංවන ලද අනෙක් දේවල් අතර වත්කම් බැරකම් ප්‍රකාශන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, දූෂණ විරෝධී නීතිමය රාමුව ආරක්ෂා කිරීම ආදිය වැදගත්. මේ හත්වැනි සමාලෝචනය යටතේ ආණ්ඩුකරණය හා දූෂණ විරෝධය සම්බන්ධයෙන් ව්‍යුහාත්මක මිණුම් ලකුණු තිබෙනවා.
ප්‍රශ්නය: රජය ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මඟින් විනිවිදභාවය හා වගවීමට ගැටලු මතු කරන බව ප්‍රකාශ වෙනවා. ඒ ගැන ඔබගේ අදහස?
පිළිතුර: ඔව්, 2023 දී හඳුන්වා දුන් දූෂණ විරෝධී පනතෙන් ඇති කළ ප්‍රධාන ප්‍රතිපාදන මේ සංශෝධන පනතේ ඇතුළත් ඇතැම් වගන්ති මඟින් දුර්වල වීමේ අවදානමක් තිබෙනවා. රජයේ බලධාරීන්ට සහ අනෙක් හැමෝටම අපි ලබා දෙන පණිවුඩය තමයි මෙම සංශෝධනය ගැන නැවත සිතා බලන්න කියන එක. මේ සංශෝධන පනතේ ඇතැම් වගන්ති වත්කම් ප්‍රකාශන ඉදිරිපත් කිරීම් සීමා කරනවා. එයින් වගවීම නොසලකා හැරීමකුත් සිදු වෙනවා. මෙය සිදු නොවිය යුතුයි.
ප්‍රශ්නය: හත්වැනි වාරිකය ප්‍රමාද වීමේ අවදානමක් තිබෙනවාද?
පිළිතුර: මේ සමාලෝචනය අවසන් කරන්න අවශ්‍යයි. ඒ වගේම එකඟතාවකට පැමිණීම අවශ්‍යයි. ඉන්පසු අපට බලන්න පුළුවන් කටයුතු සිදුවන ආකාරය. මේ සමාලෝචනයේදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට නොහැකි වීමට බලපෑ හේතුව ගැන මම කිව යුතුයි. හේතුව තමයි සාකච්ඡා කිහිපයක් අවසන් කිරීම සඳහා යම් කාලයක් අවශ්‍ය වීම.
- උපුල් වික්‍රමසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd