ශ්‍රී ලංකාව පුරා යළිත් වරක් ආගමික මුහුණුවරක් ගත් කලහකාරීත්වයේ අසුබ ගිනි පුපුරු මතුවෙමින් තිබේ. වඩාත්ම ඛේදනීය කරුණ නම්, මෙම අවුල් ජාලාවන් මෙහෙයවන පුද්ගලයන් ලොව සාමකාමීම සහ අවිහිංසාවාදීම දර්ශනය වන බුදු දහමට මුවා වී, තමන්ගේ නීති විරෝධී ක්‍රියා, අහංකාරය සහ දේශපාලන අභිලාෂයන් සාධාරණීකරණය කිරීමට උතුම් ශ්‍රී සද්ධර්මය පළිහක් ලෙස භාවිත කිරීමයි. මෙම ගිනි පුපුරු මුළු දිවයිනම වසර ගණනාවක් දවමින් අළු කරමින්, රට අවම වශයෙන් වසර පනහකින්වත් ආපස්සට ඇද දමන මහා ගිනි ජාලාවක් බවට පත්වීමේ අවදානමක් පවතී. එවැන්නක් සිදු වුවහොත්, උපනූපන් පරම්පරාවන්ට පවා ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇති බව ලෝක මෙන්ම ලංකා ඉතිහාසය ද අපට හොඳින් මතක් කර දී ඇත.

 

“බුද්ධාගම බේරාගැනීමේ” මංමුළා වූ ව්‍යාපාර ලෙස වේදිකාගත කෙරෙන මෙම නාටක ශාසනය ආරක්ෂා කිරීම සමඟ කිසිදු සම්බන්ධයක් නැත. මේවායේ සැබෑ අරමුණ මහජන අවධානය දිනා ගැනීම, දේශපාලන වාසි ලබා ගැනීම සහ රට තුළ අරාජිකත්වයක් නිර්මාණය කිරීම බව පැහැදිලිය. නොවැම්බර් 7 වන දින අනුරාධපුර රුවන්වැලි මහා සෑය අබියස සිවුරු දරාගත් කලහකාරීන් පිරිසක් විසින් ආරම්භ කළ උපවාසයේ ප්‍රධාන ඉල්ලීම් දෙක දෙස විමසිල්ලෙන් බලන්න. පළමුවැන්න නම්, දැනට සිරදඬුවම් විඳින අන්තවාදී භික්ෂුවක නිදහස් කර ගැනීම සඳහා මහානායක හිමිවරුන් මැදිහත් විය යුතු බවයි. දෙවැන්න නම්, අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් නිවේදනය රජය විසින් වහාම අවලංගු කළ යුතු බවයි. එම සැලැස්ම හරහා පූජා භූමියට තර්ජනයක් එල්ල වන බවත්, විදේශීය වාණිජකරණයකට ඉඩ සැලසෙන බවත් ඔවුහු චෝදනා කරති.

 

නමුත් මූලික කරුණු පරීක්ෂා කිරීමේදී පවා මෙම ඉල්ලීම් දෙකම කිසිදු පදනමක් නොමැති ඒවා බව පැහැදිලි වේ. සිරගතව සිටින භික්ෂුවගේ ගැටලු‍ව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් දැනටමත් අවධානය යොමු කර ඇති අතර, භික්ෂූන් වහන්සේලාට අදාළ කරුණු පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා ද පවත්වා තිබේ. දෙවන ඉල්ලීම මතු කරන වේලාව ඊටත් වඩා සැකසහිතය. 1984 මුල් සැලැස්ම යාවත්කාලීන කරමින්, ආරක්ෂිත පූජා කලාපය වර්ග කිලෝමීටර 28 සිට 38 දක්වා පුළුල් කිරීමටත්, යටිතල පහසුකම්, වන්දනාකරුවන්ගේ පහසුකම් සහ පුරාවිද්‍යා සංරක්ෂණය වැඩිදියුණු කිරීමටත් සකස් කළ අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ 2026 පෙබරවාරි 27 වන දින නිකුත් කළ අංක 2477/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගිනි. මාස අටක් පුරා නිහඬව සිටි පිරිසකට, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී හදිසියේම මෙය “බුදු දහමට එල්ල වූ මාරාන්තික තර්ජනයක්” ලෙස පෙනෙන්නට පටන් ගත්තේ ඇයි? පිළිතුර ඉතා පැහැදිලිය; මෙය පටු දේශපාලන න්‍යාය පත්‍රයක් වෙනුවෙන් නිර්මාණය කළ ව්‍යාජ විරෝධයකි. ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුරය දක්වා රටේ කොතැනක හෝ ආගමික හෝ වාර්ගික ගැටුමක් ඇවිළෙන සෑම විටම, එම කුණාටුවේ මැද සිටින්නේ මේ එකම මුහුණු කිහිපයයි.

 

මෙම නාටකය මීට පෙර ද රඟදක්වනු අපි දැක ඇත්තෙමු. ජාතිවාදී වෛරය වැපිරීමට සහ, විශේෂයෙන්ම ඉස්ලාම් දහම සහ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින්, ප්‍රධාන පෙළේ වාර්ගික හා ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිළවීමට මූලික වූ දැනට සිරගතව සිටින පුද්ගලයා වසර ගණනාවක් හැසිරුණේ තමන්ට නීතිය අදාළ නොවන අයෙකු මෙනි. සාමකාමී රැස්වීම්වලට කඩා වැදී ඒවා කඩාකප්පල් කළ ඔහු, වෛරී ප්‍රකාශ පතුරුවමින්, ප්‍රසිද්ධියේ මෙන්ම අධිකරණ ශාලා තුළදී පවා පුද්ගලයන්ට තර්ජනය කරමින් “චණ්ඩියෙක්” ලෙස හැසිරුණි. අවසානයේ නීතිය ඔහු පසුපස හඹා ආවේය. 2018 වසරේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී වසර හයක සිරදඬුවමක් නියම වූ ඔහුට පසුව ලබා දුන් ජනාධිපති සමාව ව්‍යවස්ථා විරෝධී බව 2026 සැප්තැම්බර් මාසයේදී ශේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර, ඒ අනුව ඔහුට ඉතිරි සිරදඬුවම විඳීම සඳහා යළි බන්ධනාගාරගත වීමට සිදු විය. ඔහු පැවසුවේ තමන් “බුද්ධාගම බේරාගන්නා” බවයි; නමුත් සැබෑව නම් ඔහු සිදු කර තිබුණේ වාර්ගික හා ආගමික අන්තවාදය වෙනුවෙන් බුදු දහම ආයුධයක් කර ගැනීමයි.

 

ඔහුගේ අඩුව පුරවන්නට, දැන්, සිවුරු පොරවා ගත් නව කලහකාරීන් පිරිසක් පන්දම අතට ගෙන ඇත. අනුරාධපුර විරෝධතාවයේ ප්‍රධාන මෙහෙයුම්කරු ප්‍රසිද්ධියේ සහ උද්ධච්ච ලෙස ප්‍රකාශ කර ඇත්තේ තමන් විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට බිය නොවන බවයි. ශ්‍රී ලංකාවේ නීතිය තමන්ට අදාළ නොවන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇති අධිකරණවලට තමන් සම්බන්ධයෙන් නඩු විභාග කිරීමට බලයක් නොමැති බවත් පවසන ඔහු, තමන් යටත් වන්නේ ආගමික නීතියට පමණක් බව කියා සිටී. නීත්‍යනුකූල පොලිස් නියෝග, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ මගින් නිකුත් කළ වාරණ නියෝග, සිතාසි සහ වරෙන්තු පිළිකුල් සහගත ලෙස ප්‍රසිද්ධියේ උදම් අනමින් හෙළා දකින ඔවුහු, මහේස්ත්‍රාත්වරුන්ට සහ අගවිනිසුරුවරයාට පවා නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනුමක් නොමැති බවත් තමන් ඔවුන් හට නීතිය ඉගැන්වූ බවත් පවසමින් පාරම්බාති.

 

2026 නොවැම්බර් 12 වන දින අනුරාධපුරයේදී මෙම නාටකය “වීදි සටනක්” මට්ටමට පිරිහී ගියේය. සිය හැසිරීම හේතුවෙන් 2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් නිල වශයෙන් නෙරපා හරින ලද තවත් ආන්දෝලනාත්මක පුද්ගලයෙකු, මැර පිරිසක් සමඟ විරෝධතා භූමියට කඩා වැදීමත් සමඟ සිවුරු දරාගත් දෙපිරිසක් සහ ගිහියන් අතර දරුණු ගැටුමක් හට ගත්තේය. එහිදී විරෝධතා කුටි කඩා බිඳ දැමුණු අතර දෙපිරිස අතර ගුටිබැට හුවමාරු විය. ලී පොල්ලකින් පහර කෑමට ලක් වූ පිටතින් පැමිණි කලහකාරියාගේ හිස තුවාල වී ලේ ගලන්නට වූ අතර, බෞද්ධ චීවරය පොරවාගත් විරෝධතාවයේ නායකයා මුගුරක් කරකවමින් ප්‍රතිවාදීන්ට සටනට අභියෝග කරන අයුරු කැමරාවල සටහන් විය. වඩාත්ම ජුගුප්සාජනක සිදුවීම නම්, මහජනතාව සහ කැමරා ඉදිරියේ සිවුරු දරාගත් පුද්ගලයන් එකිනෙකා සමඟ පොරබදමින් සිවුරු බලහත්කාරයෙන් ගැලවී යන තෙක් පහර දී ගැනීමයි.

 

මේ සමඟම අපේ ඇස් ඉදිරිපිට දිගහැරෙන ගැඹුරු අධ්‍යාත්මික ඛේදවාචකයක් ද තිබේ. එම ගැටුමේ සෑම අංගයක්ම බෞද්ධ දර්ශනයට කරන ලද මහා නිගරුවක් වන අතර, භික්ෂූන් වහන්සේලාගේ විනය සහ බෞද්ධාගමේ මූලිකම හරය සෘජුවම උල්ලංඝනය කිරීමකි. රුවන්වැලි මහා සෑය අබියස පූජනීය භූමිය යුද පිටියක් බවට පත් කරමින් සහ වීදි සටනක් මැද බුදු පිළිමයක් ඔසවාගෙන යමින් මෙම කලහකාරීන් මුළු ලෝකයටම ප්‍රදර්ශනය කරන්නේ බුදු දහම පිළිබඳ විකෘති වූ, ප්‍රචණ්ඩකාරී චිත්‍රයකි. බුදුරජාණන් වහන්සේගේ ශාන්ත දර්ශනය මුගුරු අතින් ගත් ගුටිබැට හුවමාරු සමඟ ජාත්‍යන්තර පුවත් සිරස්තලවලට එක් වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට මුහුණ දෙන්නේ කෙසේද? තම ආගම ඇතුළතින්ම කෙළෙසෙන අයුරු දකින මෙරට සැදැහැවත් බෞද්ධයන් සිටින්නේ දැඩි කලකිරීමකින් සහ වේදනාවකිනි. ඊටත් වඩා භයානක දෙය නම්, දශක ගණනාවක දේශපාලන දූෂණය නිසා “සියලු‍ දේශපාලකයන් දූෂිතයි” යන පොදු මතය සමාජගත වූවාක් මෙන්, මෙම ව්‍යාජ පුද්ගලයන්ගේ පාලනයකින් තොර ක්‍රියාකලාපය නිසා සමස්ත මහා සංඝරත්නය කෙරෙහිම ඇති මහජන ගෞරවය විනාශ වී, සියලු‍ භික්ෂූන් වහන්සේලා දෙස එකම කෝණයකින් බැලීමට ජනතාව පෙළඹීමයි.

 

මෙම හැසිරීමේ ආසන්නතම අනතුර භික්ෂු විනය පිරිහීමට වඩා බොහෝ දුර දිග යන්නකි; එය නීතියේ ආධිපත්‍යයට එල්ල කරන සෘජු ප්‍රහාරයකි. කිසිදු කඩිනම් දඬුවමකින් තොරව පුද්ගලයන් ප්‍රසිද්ධියේ පොලිසියට සමච්චල් කරන විට, අධිකරණ නියෝග නොසලකා හරින විට සහ විනිසුරුවරුන් හෑල්ලු‍වට ලක් කරන විට, රටේ නීතිය, යුක්තිය පසිඳලන ආයතන හා අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාසය බිඳ වැටීම වැළැක්විය නොහැක. ආගමික පූජකවරයෙකු වීම මත නීතියේ මුක්තිය ලැබෙන බව පුරවැසියන් දුටුවහොත්, ආගමික මැර කණ්ඩායම් නීතිය අතට ගන්නා අරාජික සමාජයක් කරා රට ඇදගෙන යනු ඇත. ආර්ථිකය ස්ථාවර කර ගැනීමට තවමත් වෙහෙසෙන රටකට තවත් වාර්ගික හෝ ආගමික අස්ථාවරත්වයක් ඇති වුවහොත් විදේශ ආයෝජකයන් රට හැර යනු ඇත; මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකික පවුල්වල ජීවනාලිය බඳු සංචාරක ව්‍යාපාරය එක රැයකින් බිඳ වැටෙනු ඇත; ජාත්‍යන්තර කීර්තිනාමය විනාශ වී යනු ඇත. එමගින් සිදුවන ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික පාඩුව අපේ ජීවිත කාලය තුළ යළි කිසිදා පියවා ගත නොහැකි වනු ඇත. එමඟින් වැඩිම පීඩාවක් විඳීමට සිදු වන්නේ මේ ගිනි දල්වන්නවුන් හට නොව රටේ අහිංසක ජනතාවටය.

 

අන්තවාදී සුළු පිරිස් හුදු විහිළුකාරයන් හෝ අහිංසක කරදරකාරයන් ලෙස නොසලකා නොහරින ලෙස ලෙයින් ලියූ පාඩම් ඉතිහාසය අපට කියා දෙයි. ශ්‍රී ලංකාව කැබලිවලට ඉරා දැමූ සෑම මහා ව්‍යසනයක්ම ආරම්භ වූයේ සමාජය විසින් මුලදීම නතර කිරීමට ඕනෑ තරම් ඉඩ තිබියදීත් එසේ නොකළ අන්තවාදීන්ගෙනි. 1983 කළු ජූලියේදී, සිංහල බහුතර ප්‍රදේශ පුරා පැතිර ගිය රාජ්‍ය අනුග්‍රහය ලත් දරුණු දෙමළ විරෝධී කෝලාහල හේතුවෙන් පුද්ගලයන් 3,000කට අධික පිරිසක් මිය ගිය අතර, දහස් ගණනක් තුවාල ලබා, 150,000කට අධික පිරිසක් නිවාස අහිමි වී අවතැන් වූහ. ඉන් නොබෝ කලකට පසු, ලේ පිපාසිත අන්තවාදී වේළුපිල්ලේ ප්‍රභාකරන් ගොඩනැගූ ත්‍රස්තවාදී සංවිධානය විසින් රට වසර තිහක බෙදුම්වාදී යුද්ධයකට ඇද දැමූ අතර, එමගින් ඇස්තමේන්තුගත මරණ 100,000ක්, තුවාල ලැබූ සහ සදාකාලික ආබාධිත වූවන් 111,655කට අධික පිරිසක් සහ අවතැන් වූවන් 800,000ක් පමණ ඉතිරි විය.

පශ්චාත් යුද සමයේදී පවා ජාතිවාදීන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ දුන් සෑම අවස්ථාවකම එම ඛේදනීය රටාව යළි යළිත් මතු විය. 2014 ජූනි මාසයේදී වෛරී ප්‍රකාශ සහ මැර උසිගැන්වීම් හේතුවෙන් ඇවිළුණු අලු‍ත්ගම සහ දර්ගා නගරයේ කෝලාහලවලින් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස්, 80කට අධික පිරිසක් තුවාල ලැබීය. ඉන් වසර හතරකට පසු, 2018 මාර්තු මාසයේදී දිගන සහ මහනුවර ඇති වූ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 3 දෙනෙකු මිය ගිය අතර, 10ත් 20ත් අතර පිරිසක් තුවාල ලබා, නිවාස, වෙළඳසැල් සහ පල්ලි 200ක් පමණ හා වාහන 40ක් පමණ ප්‍රමාණයක් විනාශ විය. ඉන් වසරකට පමණ පසු, 2019 පාස්කු ඉරිදා දින නවුෆර් මවුලවි සහ සහරාන් හෂීම් විසින් මෙහෙයවන ලද ඉස්ලාමීය අන්තවාදීන් එල්ල කළ සංවිධානාත්මක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 279 දෙනෙකු ඝාතනය වූ අතර, 500කට අධික පිරිසක් තුවාල ලබා, දුසිම් ගණනක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වී, සරණාගතයින් 1,000කට අධික පිරිසක් තාවකාලිකව අවතැන් වූහ. මේ සියලු‍ සිදුවීම්වලින් පසු රටට සිදුවූ ආර්ථික හානිය ඩොලර් බිලියන ගණනකි. සමාජ සංස්කෘතික හානිය ගණනය කළ නොහැක.

 

මෙම සෑම ඛේදවාචකයක්ම අවුළුවනු ලැබුවේ මුලදී හුදු කටකාරයන් හෝ විහිළුකාරයන් ලෙස සලකා නොසලකා හරින ලද උමතු ජාතිවාදීන් සහ ආගමික අන්තවාදීන් විසිනි. නමුත් ඔවුන් ඇවිළූ ගින්න බුර බුරා නැගෙන්නට පටන් ගත් විට උපදින්නට සිටින දරුවාගේ සිට සාමාන්‍ය පුරවැසියන්ට තම ජීවිතවලින්, ජීවනෝපායන්ගෙන් සහ තම දරුවන්ගේ අනාගතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අතර, මෙම විනාශයන් සැලසුම් කළ බොහෝ සැබෑ මහමොළකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රට තුළ ඔවුන් නිර්මාණය කළ දුක්ඛිත තත්ත්වයන්ගෙන් කිසිදු බලපෑමක් නොලබා විදේශගතව කමින් බොමින් බාල් නටමින් සුරක්ෂිතව ජීවත් වූහ.

 

මෙම නව ආගමික ප්‍රකෝප කිරීම ද මුට්ටිය දැමීමකි. නමුත් එය හුදු විගඩමක් ලෙස සලකා නොසලකා අතහැර දැමීමට රජයට කිසිසේත්ම නොහැකිය. දෙදෙනෙකුගෙන් හෝ තිදෙනෙකුගෙන් ආරම්භ වන මෙම ආගම මුවාවෙන් කරන විගඩම වටා ආපසු හැරවිය නොහැකි විනාශයක් කළ හැකි අවස්ථාවාදීන් රැළක් එක්රැස් වීම වැඩි ඈතක නොවේ. තරාතිරම, දේශපාලන පිටුබලය හෝ ආගම කුමක් වුවත් කිසිවෙකුට නීතියට ඉහළින් සිටීමට ඉඩ නොදිය යුතුය. ෂක්‍ක්‍ඡඍ පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත වැනි නීති පනවා ඇත්තේ රාක්කවල දූවිලි වැදීමට හෝ කවියක්, කතාවක් හෝ නාට්‍යයක් ලියූ කොල්ලෙක් කෙල්ලෙක් අල්ලා හිරේ දමන්නට නොවේ; ලේ වැගිරීමකට පෙර වෛරී ප්‍රකාශ, කලහකාරී උසිගැන්වීම් සහ අධිකරණයට අභියෝග කිරීම් මැඩපැවැත්වීම සඳහාමය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන පැකිලීමකින් තොරව දැඩි ලෙස මෙම නීති ක්‍රියාත්මක කළේ නම් 2014 අලු‍ත්ගම කෝලාහල, 2018 දිගන ප්‍රචණ්ඩ ක්‍රියා සහ 2018 මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම්වලදී අසංඛ්‍යාත ජීවිත, දේපළ, බිලියන ගණනක ආර්ථික නිෂ්පාදනය සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගෞරවය බේරා ගැනීමට හැකිව තිබුණි.

 

අවසානයේ පැවසීමට ඇත්තේ මෙපමණකි. නොවැම්බර් 12 වන දින අනුරාධපුරයේදී විරෝධතා නායකයා සහ තවත් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීම තවත් හිස් පටිපාටිමය රංගනයක් ලෙස අවසන් නොවිය යුතුය. නීතිය සිය උපරිමයෙන් සහ කිසිදු සමාවකින් තොරව ක්‍රියාත්මක විය යුතුය. බුදු දහම සැබෑ ලෙසම ආරක්ෂා කිරීමට කැමති ඕනෑම අයෙකු පළමුව කළ යුත්තේ කහ සිවුරට මුවා වී සිටින දේශපාලන අවස්ථාවාදීන්ගෙන් ශාසනය මුදා ගැනීමයි. ගිනිකූරක් මහා ගිනි ජාලාවක් බවට පත්වීමට ගත වන්නේ කෙතරම් සුළු කාලයක්ද යන්න ශ්‍රී ලංකාව ඕනෑවටත් වඩා අත්දැකීමෙන් දනී. රට බේරා ගැනීම සඳහා රජය මේ මොහොතේ බුද්ධිමත්ව හා තීරණාත්මකව ක්‍රියා කිරීම ඉතා වැදගත් වන්නේ එබැවිනි.

 

ශේෂ්ඨාධිකරණයේ නීතිඥ නිරෝෂන් පත්බේරිය ( I J )