පසුගිය සති කිහිපය තුළ රටවල් කිහිපයකම පැවැති මැතිවරණ ප්‍රතිඵලවලින් පිළිඹිබු වන්නේ ජාත්‍යන්තර දේශපාලනයේ වෙනස්කම් රැසකට එම ප්‍රතිඵල හේතුවන ආකාරයයි. දකුණු ඇමෙරිකාවේ ප්‍රධානම රටක් වන බ්‍රසිලයේ පැවැති ජනාධිපතිවරණයේ දෙවැනි අදියරේ දී එරට හිටපු ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) ජයග්‍රහණය කළේය. ඇමරිකාවේ පැවැති නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභිකයන් තෝරා ගැනීමේ සහ සෙනෙට් සභා සභිකයන් තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීම්වල දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පරාජය වී ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කළේය. ඊශ්‍රාලයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අගමැති බෙන්ජමින් නෙදන්යාහු පරාජයට පත් ව විපක්ෂය ජයග්‍රහණය අත් කර ගත්තේය. මෙම ප්‍රතිඵලවලින් පසු ජාත්‍යන්තර මට්ටමින් සිදුවිය හැකි දේශපාලන වෙනස්කම් ශ්‍රී ලංකාව කෙරෙහි මෙන්ම අනෙක් රටවල් බොහොමයක් කෙරෙහි ද බලපානු ඇත.

බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වා ජනාධිපතිවරණයේ පළමු වටයේදී දෙවැනි තැනට පත් වූ නමුදු දෙවැනි වටයේ දී වැඩි ඡන්ද හතළිස් පන්ලක්ෂයක් ලබා ජයග්‍රහණය කළේය. ඔහු බොහෝ අවස්ථාවල දී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් ට්‍රම්ප් විරෝධියකු ලෙස පෙනී සිටී බව දැකගත හැකිවිය. ජනාධිපති ට්‍රම්ප්  බ්‍රසීල ජනාධිපතිවරණය අවස්ථාවේ දී ලුලාට එරෙහිව ඡන්දය ලබාදෙන ලෙස ප්‍රකාශ කළ අතර විවිධ අයුරින් ජනාධිපතිවරණයට බලපෑම් එල්ල කළ බව ද ප්‍රකාශ වේ. ඇමෙරිකානු ඩොලරය ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය තුළ සිදු කරන බලපෑම පිටුදැකීම සඳහා ගොඩ නගා ගෙන තිබෙන බ්‍රික්ස් (BRICS) සංවිධානයේ ප්‍රබල කාර්යභාරයක් ලුලා විසින් ඉටු කරනු ලබයි. එවැනි පසුබිමක් තුළ ලුලාගේ ජයග්‍රහණය ට්‍රම්ප්ගේ පරාජයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයේ දී ඩොලන්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පරාජය වී තිබේ. දැන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල සහ සෙනෙට් සභා යන මන්ත්‍රී මණ්ඩල දෙකේම බහුතර බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමි වී ඇත. මීට පෙර නියෝජිත මන්ත්‍රී මණ්ඩල සහ සෙනෙට් සභා බලය රිපබ්ලිකන් පක්ෂයට හිමිව තිබූ බැවින් ට්‍රම්ප්ට විරුද්ධව ගෙන එන බොහෝ යෝජනා පරාජය කිරීමට හැකිව තිබුණි. ඔහුට විරුද්ධව ගෙනා දෝෂාභියෝග යෝජනා ද පරාජයට පත් විය.

ට්‍රම්ප් ිසින් ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කරන ලද්දේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ගේ අවශ්‍යතාව සහ බල කිරීම මත බව යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ දීම ප්‍රකාශ විය. යුද්ධයේ දී ඇතැම් අවස්ථාවල නෙදන්යාහු, ට්‍රම්ප් ගේ ඉල්ලීම්වලට එරෙහිව ගිය අවස්ථා පිළිබඳව ද වාර්තා විය. නෙදන්යාහු අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව ට්‍රම්ප් පූර්ණ එකඟතාවක් නොදැක්වුව ද මහමැතිවරණයේ දී නෙදන්යාහු පරාජය කිරීමට කටයුතු කළ බවක් හෝ ඔහුගේ ප්‍රතිවාදීන්ට සහයෝගය දැක් වූ බවක් වාර්තා නොවේ. ඊශ්‍රායල ජනාධිපතිවරයා නෙදන්යාහුගේ ප්‍රතිවාදියා වූ ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) වෙත එරට අගමැති ධූරය බාර ගන්නා ලෙස මුලින්ම ආරාධනා කර ඇත. මැතිවරණ ප්‍රතිඵලය මගින් ඇතිව තිබෙන අවිනිශ්චිතතාව හේතුවෙන් ඔහුට අගමැති ධූරයට පත් වීමට ඉඩක් ලැබේ ද යන්න ගැටලුවක් වී ඇත. ඉරාන යුද්ධයේ ඇමෙරිකානු සගයා වූ නෙදන්යාහු මහමැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටි.

බ්‍රසීලයේ ලුලා ද සිල්වාගේ ජයග්‍රහණය දකුණු ඇමෙරිකාව තුළ ට්‍රම්ප් විරෝධය ශක්තිමත් වීම සඳහා ද, බ්‍රික්ස් සංවිධානයේ ක්‍රියාකාරිත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා ද ආධාර වෙනු ඇත. ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේ දී ට්‍රම්ප්ගේ පරාජයත්, ඊශ්‍රායල මහමැතිවරණයේ දී නෙදන්යාහුගේ පරාජයත් ඉරාන යුද්ධය කෙරෙහි මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර කටයුතු කෙරෙහි ද කවර බලපෑමක් ඇති කරනු ඇත් ද යන්න බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇත.

ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් පසු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇමෙරිකාව වාර්ෂිකව ඊශ්‍රායලට ලබා දෙන යුද ආධාර අත්හිටුවීමට කටයුතු කරන බවයි. මීට පෙර ට්‍රම්ප් එම මැතිවරණය අවසන් වනතුරු ඉරානයට පහර දීමක් සිදු නොකරන බව ප්‍රකාශ කළේය. ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (J.D. Vance) මැතිවරණයෙන් පසු ප්‍රකාශයක් කරමින් ඉරාන යුද්ධය රිපබ්ලිකන් පක්ෂයේ පරාජයට හේතු වූ බව සඳහන් කළේය. මේ වනවිට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති වෑන්ස් අතර ගැටුමක් ඇතිව තිබේ. ට්‍රම්ප් ප්‍රසිද්ධියේම වෑන්ස් දරුණු ලෙස විවේචනය කරමින් සිටී. එවැනි කරුණුවලින් පැහැදිලි වන්නේ ඉරාන යුද්ධය ආරම්භ කළ ඇමෙරිකාව මෙන්ම ඊශ්‍රායලය ද දැඩි දේශපාලන අර්බුදයකට සහ දේශපාලන අස්ථාවරත්වයකට ගොදුරු වී ඇති ආකාරයයි.

ඊශ්‍රායලය තුළ එවැනි අස්ථාවරත්වයක් ගොඩනැගී තිබීය දී ට්‍රම්ප් ඊට පෙර ප්‍රකාශ කළ පරිදි මධ්‍යවාර ඡන්දයෙන් පසු ඉරානයට නැවත පහරදීම ආරම්භ කිරීම සඳහා වූ සුදුසු වාතාවරණයක් නොපවතී. ස්ථීර අගමැතිවරයකු පත්වන තුරු නෙදන්යාහු වැඩබලන අගමැතිවරයා ලෙස කටයුතු කරන නමුදු නැවත වරක් ඉරානයට එරෙහිව යුද්ධයකට යෑමට තරම් වන දේශපාලන පසුබිමක් ඊශ්‍රායලයේ ද නොපවතී. එවැනි තත්වයක් තුළ යුද්ධය නැවත වරක් වහාම ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.

ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රී මණ්ඩල දෙකේම බලය ට්‍රම්ප්ට අහිමිව ඇති නමුදු රටේ විධායක ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප්ට හිමිව ඇති විධායක බලතල ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට ඔහුට හැකියාව තිබේ. අනෙක් අතට ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරනු ලබන අණපනත් ප්‍රතික්ෂේප කිරීමේ නිෂේධ බලයක් ද ඔහුට හිමිව ඇත. එසේ වුවද ව්‍යවස්ථාදායකයේ අනුමැතිය අපේක්ෂා කරන ඔහුගේ යෝජනා සහ අණපනත් පරාජය කිරීමට ද ව්‍යවස්ථාදායකයට හැකියාව තිබේ. මුදල් පිළිබඳ සම්පූර්ණ වගකීම ව්‍යවස්ථාදායකයට පැවැරී ඇති නිසා යුද ආධාර ආදිය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායකයෙන් ඩිමොක්‍රටික් පක්ෂයට අවස්ථාව ලැබී ඇත. එහි ප්‍රතිඵලය වන්නේ පසුගිය කාලය තුළ ට්‍රම්ප් යුද කටයුතු සම්බන්ධයෙන් සහ විදේශ සබඳතා සම්බන්ධයෙන් අනුගමනය කළ බොහෝ ක්‍රියාමාර්ග ව්‍යවස්ථාදායකයේ වාරණයට ලක් වීමට ඉඩ ඇති බවයි.

ට්‍රම්ප් විදේශ සම්බන්ධතාවලදී මෙන්ම ආර්ථික කටයුතුවල දී ද අනුගමනය කළ අත්නෝමතික ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය වී ඇත්තේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර මට්ටමෙන් ගොඩ නැගුණු පිළිවෙත් සහ සම්මුති සියල්ලම පාහේ දැඩි අර්බුදයකට ලක්වීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ ආයතනවලට ලබා දුන් දායක මුදල් ඔහු විසින් නවතා දමනු ලැබ ඇති අතර සමහර ආයතනවල සාමාජිකත්වයෙන් ඇමෙරිකාව ඉවත් කර ගෙන ඇත. ට්‍රම්ප් වෙනිසියුලාව වැනි රටවල් බලය මගින් යටපත් කර ගෙන, ඒවා තමන්ගේ පාලනයට නතු කර ගෙන ඇත. කියුබාව වැනි රටවලට ද ඒ ආකාරයෙන්ම තර්ජන එල්ල කරමින් සිටී.

ඉරාන යුද්ධය සහ යුක්‍රේන යුද්ධය හේතුවෙන් ඇමෙරිකාව සහ නෙටෝ සංවිධානය අතර පැවැති සම්බන්ධතාව බිඳවැටී ඇති අතර විවිධාකාරයේ වෙළෙඳ තහංචි සහ බදු පැනවීම හේතුවෙන් ඇමෙරිකාව සහ යුරෝපා සංගමය සමග ද පැවැති සබඳතා දුර්වල වී තිබේ. ට්‍රම්ප්ට විවිධ රටවලට වාචිකව තර්ජනය කළ හැකි වුවද ඇමෙරිකාවේ යුද ශක්තිය දුර්වල තත්වයක පවත්නා බව ඉරාන යුද්ධයෙන් පැහැදිලි විය. එවැනි තත්වයක් තුළ ට්‍රම්ප්ගේ බල ආධිපත්‍යය ජාත්‍යන්තර මට්ටමින් තවදුරටත් පැතිරවීමට කොතෙක් දුරට ඉඩ තිබේද යන්න මෙන්ම ඇමෙරිකාවේ යුද සහ ආර්ථික ශක්තිය තවදුරටත් පිරිහෙන තත්වයක් ඇති කිරීමට ඇමෙරිකා ව්‍යවස්ථාදායකය මගින් ඉඩ ලබාදෙනු ඇත් දැයි යන ප්‍රශ්නය පැන නගී.

මාස ගණනාවක යුද්ධයෙන් ඉරානය පරාජය කිරීම ඉතා පහසු කාර්යයක් නොවන බව ඊශ්‍රායලය දැන් වටහා ගෙන ඇති බවට සැකයක් නැත. යුදෙව් ජාතිකයන් සඳහා ඊශ්‍රායලය වෙන් කර දීමෙන් පසුව වරින්වර අරාබී රටවල් සහ පලස්තීනය සමග යුද්ධ ඇති වුවද ඊශ්‍රායලය ලොව යුදෙව් ජාතිකයන් සඳහා වෙන් වූ රටක් වශයෙන් පැවැතුණි. පසුගිය කාලය තුළ එරට ජන ජීවිතය ස්ථාවරත්වයකට පත්වීම නිසාත්, ඊශ්‍රායලය අත් කරගෙන තිබූ ආර්ථික ප්‍රගතියට නිසාත් ලොව පුරා බෙහෝ යුදෙව් ජාතිකයෝ ඊශ්‍රායලයේ පදිංචියට පැමිණියහ. එහෙත් ඉරාන යුද්ධයෙන් පසු යුදෙව් ජාතිකයන් ඊශ්‍රායලයේ අනාගය පිළිබඳව සැක කරන බවත් පෙනෙන්නට ඇත. එවැනි තත්වයක් තුළ නෙදන්යාහු නොමැති රජයක් ඊශ්‍රායලයේ බිහි වුවහොත් යුදෙව් ජාතිකයන් තුළ නැවත බලාපොරොත්තු ඇති කෙරෙන සංහිඳියා යුගයක් ඇති වීමට වුව ද ඉඩ තිබේ.

මෙම මැතිවරණ සියල්ලේම ප්‍රතිඵල සලකා බැලීමේ දී ලෝකය වහා වෙනස් වන තත්වයකට පත් වෙතැයි අපේක්ෂා කළ නොහැකිය. එසේ වුව ද ට්‍රම්ප්ගේ දෙවැනි ජනාධිපති ධුර කාලය ආරම්භවීමෙන් පසු බිඳ වැටුණු ජාත්‍යන්තර සම්මුති සහ පිළිවෙත් නැවත යථා තත්වයට පත්වන ආකාරය ද, රටවල් අතර ආර්ථික සම්බන්ධතා නිදහස් වෙළෙඳ ක්‍රමය මත යළි ප්‍රතිෂ්ඨාපනය වනු දැකීමට ද ඉඩක් විවෘත වී තිබේ. යුද්ධ අවසන් වී, යුද වැදුණු රටවල් අතර සාමකාමී සහජීවනයක් ඇති වන්නේ නම් ලෝක ආර්ථිකය ද වඩාත් ඉහළ මට්ටමකට පත් වෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

 

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ

හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර