ආර්ථිකය තවමත් පඹගාලක? - හිටපු අමාත්‍ය ඩියු ගුණසේකර
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කිරීමට නාම යෝජනා ලබා දීමෙන් පසු පළමු වැනි රැස්වීම පැවැතියේ මාතර ය. එම රැස්වීම සංවිධානය කළේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙනි. ඉදිරියේ දී මේ රටේ ආර්ථිකයට අප මුහුණ දිය යුත්තේ කෙසේදැයි පැහැදිලි යෝජනාවලියක් අපි එහිදී ඉදිරිපත් කළෙමු.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වීමෙන් පසු මහ මැතිවරණය ද පැවැති අතර ඉන් පසු කොරෝනා වසංගතයට මුහුණ දෙන්නට අප රටට සිදු විය. මෙම වසංගතය පැමිණෙන්නට පෙර පක්ෂ නායකයන් රැස් කිරීමට හැකි වූයේ එක් වරක් පමණි. කොරෝනා වසංගත සමයේ රැස්වූ පක්ෂ විපක්ෂ හමුවලදී දිගින් දිගටම සියලුදෙනා කතා කළේ එම කොරෝනා වසංගතය පිළිබදවය. මෙම වසංගතයත් සමග ඉදිරියේ දී රට මුහුණ පාන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමට අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය යුතු බවට එම රැස්වීම්වල දී කතා කළේ මා පමණි. අප පෙන්වා දුන් පරිදිම 2022 වසරේ දී ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නට අපට සිදු විය.
2022 ආර්ථික අර්බුදය මතු වූයේ ප්‍රධාන කාරණා තුනක් පදනම් කරගෙනය. ඉන් පළමු වැන්න නම් ඩොලර් හිගයයි. දෙවැන්න රුපියල් හිගයයි. තුන් වැනි කරුණ ලබාගත් ණය ආපසු ගෙවාගන්නට නොහැකි වීමය. ඒ අනුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් බවට 2022 අප්‍රේල් මාසයේ 12 වැනිදා මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට එය හේතු කාරකයක් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් කාලයකට සීමා වන ලෙස ණය මුදලක් ලබාදුන්නත් එහි අරමුණ රට සංවර්ධනය කිරීම නොවේ. ඒ අනුව එම කාල සීමාව 2027 මාර්තුවලින් අවසන් වේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වන්නේ මේ කාලය තුළදීය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙවර ඉදිරිපත් කළේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ තුන්වැනි අයවැයයි. ජනාධිපතිවරයාම ප්‍රකාශ කරන පරිදි ඔහු මීට පෙර ඉදිරිපත් කළ අයවැය දෙකෙහිම අරමුණ වූයේ රටේ ආර්ථිකයෙහි ස්ථාවරයත්වයක් ඇති කිරීමය. 2027 අයවැයෙන් අපේක්ෂා කරන්නේ එම ස්ථාවරත්වයේ සිට පරිවර්තනීය ආර්ථිකයක් කරා ගෙන යාමය.
මගේ නිරීක්ෂණය අනුව නම් ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයේ සිටි වසර කිහිපය තුළ ඔවුන් එක් ජයග්‍රහණයක් ලබා තිබේ. ඒ අනුව භාණ්ඩාගාරයට ගලා ආ රුපියල් ප්‍රමාණය වැඩිකර ගැනීමට සමත් වී ඇත. ඒ පිළිබදව ආණ්ඩුවට ගෞරවය හිමි විය යුතුය. මේ වසර දෙක තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත්, රේගුවත් ,සුරා බදු දෙපාර්තමේන්තුවත් අයකරගත් බදු මාර්ගයෙන් මෙම රුපියල් ප්‍රමාණය වැඩි කරගැනීමට සහයෝගය ලබා දී තිබේ. ඒ ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 16කි. මෙහි දී සිහියට එන්නේ 1978 රොනී ද මැල් මහතාගේ පළමු වැනි අයවැයයි. නව ලිබරල් ආර්ථික ක්‍රමය හඳුන්වා දීමේ අවස්ථාව වන විට බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව සමයෙහි භාණ්ඩාගාරයට ගලා ආ රුපියල් ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 24කි. එම සියයට 24 එතැන් පටන් නව ලිබරල් ප්‍රතිපත්තිය යටතේ යම් යම් සහන ලබා දී ඇතැම් බදු අහෝසි කිරීම නිසා රාජ්‍ය ආදායම පහළ බැස ක්‍රමයෙන් අඩුවීමට පටන් ගත්තේය. ඉන් පසුව බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා කාලයේ දී එම ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6කි. එසේ සියයට 6 දක්වා පහළ බැස්සේ 1978 දී සියයට 24ට පැවැති දළ දේශීය නිෂ්පාදිතයයි. ජාතික ජන බලවේග ආණ්ඩුව එසේ අඩුවී තිබූ ආදායම යම් ප්‍රමාණයකට එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති සමයෙහි පැවැති මට්ටමට ගෙනෙන්නට සමත් වී තිබේ. එය අගය කළ යුතු කරුණකි.
අප මුලින් කී ආර්ථික අර්බුදයට බලපෑ අනෙක් හේතුව ඩොලර් ය. එහෙත් ඩොලර් ප්‍රමාණයේ වැඩිවීමක් තවමත් දැකිය නොහැකිය. වැඩි වී ඇත්නම් ඒ සොච්චමකි. රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේ සිටම මේ දක්වාම ඩොලර් සංචිතය පවතින්නේ එකම මට්ටමකිනි. දැනට පවත්නා ඩොලර් බිලියන හතෙනුත් ඩොලර් බිලියන තුනක් පවතින්නේ ස්ථාවරව පැවැතිය යුතු වියදම් කිරීමට නොහැකි තත්වයේය. ඩොලර් වැඩි නොවීමට හේතු වී ඇත්තේ අපනයන වැඩි නොවීමය. අපේ රටට ඩොලර් ලැබීමට ඇත්තේ ප්‍රධාන මාර්ග තුනකි. එකක් අපනයන ක්ෂේත්රයයි. අනෙක ණය මාර්ගයි. තුන්වැන්න සංචාරක කර්මාන්තයයි. එහෙත් මේවායින් දැනට ලැබෙන ඩොලර් ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ. එම නිසා ලංකාවේ ආර්ථිකය තුළ ඩොලර් අර්බුදය තවමත් විසදී නැත. මේ ඩොලර් අර්බූදයෙන් පැහැදිලිවන්නේ ඉදිරියේදී ද අපට ණය ලබාගැනීමට සිදුවන බවයි. මෙම අර්බුදය හමුවේ 2027 මාර්තු පමණ වනවිට නැවත අපට ණය ලබාගැනීමේ තත්වයට එන්නට සිදුවනු ඇත. එසේත් නැතහොත් නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි පිහිට පැතීමට සිදුවනු ඇත.
ආර්ථික අර්බුදයේ තුන්වැනි කාරණය ලෙස පෙන්වා දුන්නේ ලබාගත් ණය ආපසු ගෙවීමට නොහැකිවීමයි. එම ගැටලුව තවදුරටත් පවතින්නකි. සමස්තය දෙස බලන විට පෙනෙන්නේ ආර්ථික අර්බුදයට තුඩු දුන් ප්‍රධාන සාධක දෙකක් නොවිසදී තවමත් එලෙසම පවතින බවයි. එම අර්බුද නොවිසදුණහොත් ලබන වසරේ මාර්තුවලින් පසුව රට නැවතත් ගෝඨාභය රාජපක්ෂ සමයේ මුහුණ දුන් තත්වයට පත් විය හැකිය.
ජාතික ජන බලවේග ආණ්ඩුව අහම්බයෙන් බලයට පැමිණි ආණ්ඩුවකි. ඇතැම්විට ඔවුන්ට බලය ලැබෙනු ඇතැයි ඔවුනුත් අපේක්ෂා නොකළා විය හැකිය. බහුතර ජනතාව ද අපේක්ෂා නොකළා විය හැකිය. ප්‍රධාන වශයෙන් මේ සදහා හේතු වුණේ රට බංකොලොත් වීමෙන් ඇතිවූ තත්වයයි. බලයේ සිටි පෙරමුණු කඩාගෙන වැටුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පහට කැඩුණි. පොහොට්ටුව දෙකට තුනට කැඩී විසිරිණි. මැද පෙළෙහි නායකත්වය ද බිද වැටුණි. දැන් තිබෙන තත්වය අනුව ආණ්ඩුවට වැරැදී ඇත්තේ කොතැනදැයි ඔවුන් සොයා බැලීම වැදගත් ය. ආණ්ඩුව බලය ලබා ගැනීමට සටන් කරන කාලයේ දිගින් දිගටම පෙන්වා දුන්නේ මේ අර්බුදයට හේතුව දූෂණය බවය. එහෙත් දූෂණය අඩු වැඩි වශයෙන් සෑම රටකම පවතින්නකි. එය සම්පූර්ණයෙන් නවතා දැමිය නොහැකිය. අර්බුදය පවත්නේ දූෂණය තුළ නොව ආර්ථිකය තුළය. හොරකම් කළ පමණින්ම රටක් බංකොලොත්වන්නේ නැත. ජාතික ජන බලවේගය රටේ ආර්ථික අර්බුදයට සැබෑ හේතු ඔවුන්ගේ මැතිවරණ ව්යාපාරයේවත් නිවැරැදිව කතා කළේවත් සොයා බැලුවේවත් නැත. දැන් තවමත් මේ ආණ්ඩුව අයිඑම්එෆ් උගුලේ හිර වී සිටියි. මේ උගුල නිසා ඔවුන් අපේක්ෂා කරන ගමනක් යාමට නොහැකිව සිර වී සිටින බවක් පෙනේ.
මෙම ප්රශ්නය දෙස මේ මොහොතේ ගැඹුරින් ජාත්‍යන්තර මට්ටමෙන් සොයා බැලිය යුතුය. අපේ රටේ කුමන ආණ්ඩු බලයට ආවත් ජාත්‍යන්තර අවබෝධය සහ සහයෝගය නොමැතිව රට පාලනය කිරීමට නොහැකිය. ආර්ථිකයක් පවත්වාගෙන යාමට ද නොහැකිය. මේ සාධකය ප්රමුඛවම අවධානය යොමු කළ කරුණ ලෙස අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. දැන් අප ජාත්‍යන්තර වශයෙන් තේරුම් ගත යුතු කරුණ වන්නේ 21 වැනි සියවසේ සිට ලෝක ආර්ථික රටාව වෙනස් වෙමින් පවතින බවය. ක්‍රය ශක්තිය අනුව ඇමෙරිකාව ද අබිබවා යාමට දැන් චීනයට හැකි වී තිබේ. ආසියානු කලාපය මේ වනවිට ලෝකයේ හොදම ආර්ථික කලාපය බවට පත් වී හමාරය. දැන් ආසියානු ආර්ථිකය ලෝක ආර්ථිකයේ පෙරගමන්කරු වී ඇත. එහෙත් මේ ඉතා වැදගත් ප්‍රවණතාව අපේ රටේ ආණ්ඩුවවත් විපක්ෂයවත් තවමත් සැලකිල්ලට ගන්නා බවක් පෙනෙන්නට නැත. ඇමෙරිකාව, රුසියාව, ජපානය, ඕස්ට්‍රේලියාව යන රටවල් සතර එක්වී ගොඩ නැගූ ඉන්දු පැසිපික් සන්ධානයට මේ ආණ්ඩුව යට වී සිටින බවක් පෙනේ. මේ තත්වය දැන් වෙනස් විය යුතුය. වෙනස් වී ඇති ලෝක ආර්ථික රටාවත් වෙනස් වී ඇති ආර්ථික ලෝක බලතුලනයත් තේරුම් ගත යුතුය. මේ වනවිට ගෝලීය දකුණේ ජනගහනය සියයට 87කි. දළ දේෂීය නිෂ්පාදිතයය සියයට 60කි. ගෝලීය උතුරේ ජනගහනය මේ වනවිට සියයට 12කි. දළ දේශීය නිෂ්පාදිතය සියයට 40කි. දැන් ලෝකයේ සිදුවී තිබෙන විශාලතම පරිවර්තනය මෙයයි. එහෙත් තවමත් අපේ රටේ අපනයන යන්නේ ගෝලීය උතුරටය. අප තවමත් ආනයන සිදු කරන්නේ ද ගෝලීය උතුරෙනි. ලෝකය වෙනස් වී තිබේ. ඩොලරය ගලා එන්නේ ගෝලීය දකුණටය. ලෝක වෙළෙදපොළ දැන් තිබෙන්නේ ගෝලීය දකුණේ ය. එහෙත් අප තවමත් සාම්ප්රදායයික තැනකය.
මෙම ප්‍රධාන සාධක හදුනා නොගෙන රටක් පාලනය කළ නොහැකිය. ජාතික ජන බලවේග ආණ්ඩුව දැන් ඒ තත්වයට පත් ව තිබේ. ණය ගත යුතු බව ඇත්තය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඕනෑනම් තව අවුරුදු පහක් පවතිනු ඇත. ලෝක බැංකුව ණය දීම දැනටමත් නවතා දමා තිබේ. මේ තත්වය දැන්ම තේරුම් ගෙන කටයුතු කිරීම ඉතාම වැදගත් වනු ඇත. ආණ්ඩුව තවමත් වටහාගෙන නැති කරුණ වන්නේ ද එයයි.
මේ පසුබිම යටතේ මෙවර අයවැය දෙස නැවත අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වන්නේ වේගවත් ආර්ථික පරිවර්තනයක් කිරීමට මෙම පරිසරය ප්‍රමාණවත් නොවන බවය. විශේෂයෙන් දළ දේශීය නිෂ්පාදිතය සියයට 4ක තරම් පහළ අගයක තබාගෙන එම ඉලක්ක සදහා යාම අභියෝගයකි. ඉදිරි කාලයේ දී අපට මුහුණ දීමට සිදුවන ගැටලුවක් වන්නේ ණය ලබාගත හැක්කේ කොතැනින් ද යන්නයි. නැවතත් අපට අයිඑම්එෆ් කොන්දේසි මතම සිරවී ඉදිරි ගමනක් තීරණය කරගත හැකිද? අපට අවශ්‍ය පරිදි අපේ ආර්ථිකය හැසිරවීමට ඉන් බාධා ඇති වේ. ඒ සීමා තුළ අපේක්ෂිත ආර්ථික පරිවර්තන සිදු කිරීම හිතන තරම් පහසු නොවේ. ජනාධිපතිවරයාගේ අයවැය කතාව තුළවත් ඊට නිසි පිළිතුරක් දුන් බවක් පෙනුණේ නැත. අර්බුදය හමුවේ ඇති ජාත්‍යන්තර සාධකය මේ වන තෙක් කිසිම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයකු මතු කර නැත. මා කල්පනා කරන හැටියට මේ මොහොතේ තීරණාත්මක සාධකය වන්නේ ජාත්‍යන්තර සාධකයයි. ඒ ගැන නිසි අවධානය යොමු නොකර ඉදිරියට යා නොහැකිය.
අනෙක් කාරණය ලෝක බැංකුවේ වාර්තාව අනුව ලංකාවේ දරිද්‍රතාව ඉහළ යාමය. එම වාර්තා අනුව එය සියයට 65 කි. රට බංකොලොත් වූ 2022 ටත් වඩා මේ වනවිට දුප්පත්කම වැඩි වී තිබේ. ඊට විසදුම් කවරේද යන්න මේ අයවැයෙන් අවධානය යොමු කර ඇති බවක් නොපෙනේ. එසේම විධායකය සහ රාජ්‍ය නිලධාරීන් අතර දැන් ඇතිවී තිබෙන පරස්පරතාව, සැකය හා බිය හේතුවෙන් ආණ්ඩුව අයවැයෙන් වෙන් කරන මුදල් සංවර්ධන වැඩවල දී වියදම් නොකරන තත්වයක් දක්නට ලැබේ. එය නරක තත්වයකි. රාජ්‍ය නිලධාරීන් සහ ජනතාව දුරස් කරමින් ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකිය.
දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රධාන කොටස් වන කෘෂි, සේවා හා කර්මාන්ත ආදි ක්ෂේත්රවලින් දැන් සක්‍රීයව ක්‍රියාත්මක වන්නේ මූල්‍ය ක්ෂේත්රය පමණි. රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු, මූල්‍ය සමාගම් ආදිය මීට ඇතුළත් ය. එහෙත් රටේ ඉදිරි ගමන මැන බලන විට කෘෂි ක්ෂේත්රයේ කිසිදු ඉදිරි ගමනක් ඇති බවක් නොපෙනේ. මෙවර අයවැයේ දී පවා ඒ ගැන අවධානයක් යොමු වී ඇති බවක් දක්නට නැත. අනෙක් පැත්තෙන් කර්මාන්ත කෙරෙහි අවධානය යොමු නොකර රැකියා උත්පාදනය කරන්නේ කෙසේද? මේ අර්බුදකාරී තත්වය දැන්වත් තේරුම් ගෙන පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු වී ජාත්‍යන්තර සාධකය මැනැවින් තේරුම් ගෙන ඉදිරියට කටයුතු කිරීම යහපත් වනු ඇති බව අවධාරණය කිරීමට කැමැත්තෙමි.
සටහන : ගාමිණී කන්දේපොළ
(I J)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd