පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් විභාග වූ නඩු, ලබා දුන් තීන්දු සහ වර්තමාන නීතිමය තත්ත්වය පිළිබඳ මේ අදහස් දැක්වීම මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා.

2019 පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වන විට අපරාධ නඩු, මූලික අයිතිවාසිකම් නඩු සහ විමර්ශන මට්ටමේ පවතින ක්‍රියාමාර්ග කිහිපයක්ම ක්‍රියාත්මක වී ඇත. ඉන් ප්‍රධාන නඩු කිහිපයක තීන්දු මේ වන විටත් ප්‍රකාශයට පත් කර අවසන්ය.

​ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සහ අභියාචනා නීතිය

​පාස්කු ප්‍රහාරයට අදාළ ප්‍රධාන අපරාධ නඩු විභාග කරනු ලැබුවේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු (Trial-at-Bar) හමුවේය. 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ සංශෝධන අනුව, මෙවැනි ත්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුවකට එරෙහිව අභියාචනාධිකරණය මඟහැර කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට දින 28ක් ඇතුළත අභියාචනා ඉදිරිපත් කිරීමේ නීතිමය හිමිකම විත්තිකරුවන්ට හිමි වේ.

​එවැනි අභියාචනයකදී ශ්‍රේෂ්ඨාධිකරණය නැවත සාක්ෂි විභාග කිරීමක් සිදු නොකරන අතර, මුල් නඩු වාර්තාවේ අඩංගු නීතිමය හෝ කරුණුමය දෝෂ පදනම් කරගනිමින් නීතිඥ තර්ක සලකා බලා පෙර තීන්දුව තහවුරු කිරීම හෝ සංශෝධනය කිරීම සිදු කරයි.

​අපරාධමය නොසැලකිල්ල පිළිබඳ නඩුව සහ තීන්දුව

​ප්‍රහාරය පිළිබඳ පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම (අපරාධමය නොසැලකිල්ල) සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු විභාග විය. අනතුර දැන සිටියදීත් එය වළක්වා නොගැනීමෙන් මනුෂ්‍ය ඝාතන සිදුවීමට ඉඩහැරීම යන චෝදනා මත ඔවුන්ට මරණ දඬුවම නියම කෙරිණි.

​ඔවුන් දැනට පසුවන්නේ අභියාචනා කාලසීමාවට යටත් වූ රැඳවියන් (Appeal Prisoners) ලෙස වන අතර, දින 28ක කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කිරීමට ඔවුන්ට නීතිමය ඉඩකඩ පවතී.

​ප්‍රහාරයට ආධාර අනුබල දීමේ නඩුව සහ සිරදඬුවම්

​සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම සහ පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව තවත් අපරාධ නඩුවක් විභාග විය. දහස් ගණනක් වූ අධිචෝදනා විභාග කිරීමෙන් අනතුරුව, සාක්ෂි මඟින් වරද ඔප්පු වූ විත්තිකරුවන්ට වසර 200 සිට 264 දක්වා වූ දීර්ඝ සිරදඬුවම් නියම කෙරුණු අතර, සාක්ෂි නොමැති වූවන් නිදහස් කෙරිණි. මෙම විත්තිකරුවන්ට ද ඉහත නීතිමය ප්‍රතිපාදන යටතේ දින 28ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ හැකිය.

​සිරදඬුවම් ගෙවී යාම සහ මරණ දඬුවම පිළිබඳ නීතිමය තත්ත්වය

​ලංකාවේ නීතිය අනුව එක් විත්තිකරුවෙකුට චෝදනා කිහිපයකට දඬුවම් නියම වූ විට, එම දඬුවම් එකවර ගෙවී යන පරිදි (concurrently) හෝ එකිනෙක පසුපස ගෙවී යන පරිදි (consecutively) ක්‍රියාත්මක කිරීමට අධිකරණයට නියෝග කළ හැකිය. අධිකරණයෙන් කරන ඉල්ලීමක් මත දඬුවම් එකවර ගෙවී යාමට නියම කළහොත්, විත්තිකරුට ගෙවීමට සිදුවන්නේ නියම වූ උපරිම දඬුවම් කාලය පමණි.

​මරණ දඬුවම: ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බැවින්, සාමාන්‍යයෙන් එය වසර ගණනාවකට පසු ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත් කෙරේ.

 

​බන්ධනාගාර ආඥාපනත: සිරකරුවන්ගේ යහපත් කල්ක්‍රියාව සහ පිරිසිදු චරිතය මත වසරකට ලැබෙන මාසික සමාවන් ගණනය කර දඬුවම් ලිහිල් වීම් සිදුවේ.

 

​ජනාධිපති සමාව: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන නිසි නීතිමය ක්‍රමවේදය (විනිසුරු, නීතිපති සහ අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ) අනුගමනය නොකර ලබා දෙන ජනාධිපති සමාවන් මූලික අයිතිවාසිකම් පෙත්සම් හරහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කළ අවස්ථා මෑතකදී වාර්තා විය.

​මූලික අයිතිවාසිකම් (FR) නඩු තීන්දුව

​ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික නියෝගයක් ලබා දුන්නේය. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති, හිටපු ආරක්ෂක ලේකම් සහ බුද්ධි ප්‍රධානීන් ඇතුළු වගඋත්තරකරුවන්ට වින්දිතයන් උදෙසා තම පෞද්ගලික මුදලින් මිලියන සිය ගණනක වන්දි ගෙවීමට නියෝග කෙරුණු අතර, එම වන්දි මුදල් පියවීම මේ වන විට සිදු කර ඇත.

​ප්‍රහාරයේ "මහ මොළකරුවන්" පිළිබඳ ඉදිරි විමර්ශන

​දැනට අවසන් වූ නඩු වලට අමතරව, සහරාන්ලා මෙහෙයවූ සැබෑ මහ මොළකරුවන් සහ ඊට පසුපසින් කිසියම් දේශපාලන හෝ බුද්ධි අංශ කුමන්ත්‍රණයක් පැවතියේද යන්න පිළිබඳ විශේෂ විමර්ශන තවමත් ක්‍රියාත්මක වේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම්, විදේශීය තාක්ෂණික සහ ඩිජිටල් සාක්ෂි එක්රැස් කිරීම් තවමත් සිදු කෙරෙමින් පවතින අතර, හුදු ප්‍රකාශ මත පමණක් නොව විද්‍යාත්මක හා තහවුරු වූ සාක්ෂි සම්පූර්ණ වූ පසු එම ප්‍රධාන කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධිචෝදනා ගොනු කිරීමට නියමිතව ඇත.

D.N. අභයවර්ධන.