උග්‍ර වන මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක තෙල් මිල ඉහළ යද්දී, එහි බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වන්නේ කෙසේද? හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගැටලුව, ලංකාව අසල සිරවී ඇති නෞකා පිළිබඳ මතුව ඇති රාජ්‍යතාන්ත්‍රික අර්බුදය සහ මෙරට ආර්ථිකය හමුවේ ඇති ඉදිරි අභියෝග පිළිබඳ විමසා බැලීමක්.
මැදපෙරදිග කලාපය තුළ පවතින ප්‍රධාන ගැටලුවක් වන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ප්‍රකෝපකාරී තත්ත්වයයි.ඇමරිකාව ද මෙයට මැදිහත් වී මාස කිහිපයක් තුළ, විශේෂයෙන්ම එල්ල වූ ප්‍රහාරවලින් අධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි ඇතුළු ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ නායකයන් මරණයට පත් විය. අනතුරුව ඔවුනොවුන් අතර නිල නොවන සටන් විරාමයක් ඇති විය. මේ වන විට හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, මේ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළට දැඩි බලපෑම් එල්ල වී තිබේ. මෙම තත්ත්වය ජාත්‍යන්තර වෙළෙඳපොළට මෙන්ම ජාත්‍යන්තර දේශපාලනයට ද දැඩි බලපෑමක් ඇති කර ඇත. මෙහිදී මතුව ඇති බරපතළම ගැටලුකාරී තත්ත්වය වන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශයයි. ඔහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේ තමන් නැවත වරක් විශේෂයෙන්ම ඉරානයට ප්‍රහාරයක් එල්ල කරන බවයි. කෙසේ වෙතත්, මෙම ආරක්ෂක මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා ඉරාන ජනාධිපතිවරයා මෙන්ම ඉරාන විදේශ අමාත්‍යවරයා ද ඇමරිකාවට පැමිණ සමුළුව ඇමතූහ. නමුත් ඇමරිකාවේ පවතින දැඩි ප්‍රතිපත්තිය හේතුවෙන් තත්ත්වය සංකීර්ණ වී ඇති අතර, ඇමරිකාව කුමන මොහොතක ඉරානයට පහර දීමක් සිදු කරනු ඇත්දැයි පැවසිය නොහැක.
මීට ඊශ්‍රායලයේ දැඩි පෙළඹවීමක් පවතින අතර, ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් ඊශ්‍රායලයේ සහයට පෙනී සිටින බවයි. එවන් පසුබිමක කටාර් රාජ්‍යයේ මැදිහත්වීම මත ඉරානය සමඟ පහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇත. මේ අතර යේමනයේ ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන්ගේ ක්‍රියාකලාපය නිසා තවත් අර්බුදයක් මතුව තිබේ. මෙම කැරලිකරුවන් සහ සෞදි අරාබිය අතර දැවැන්ත ගැටුමක් නිර්මාණය වී ඇති අතර, හූති කැරලිකරුවන් සෞදි අරාබියට ප්‍රහාර එල්ල කර ඇත. විශේෂයෙන්ම සෞදි අරාබියේ තෙල් සහ බලශක්ති මර්මස්ථාන වෙත එල්ල වූ ප්‍රහාර හේතුවෙන් සෞදි අරාබිය ද හූති කැරලිකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරයි. සෞදි අරාබිය, පකිස්ථානය සහ තුර්කිය අතර අත්සන් කර ඇති විශේෂ ගිවිසුමක් මඟින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කර ඇති බැවින්, ඉදිරියේදී එම රටවල් ද මෙම ගැටලුවට මැදිහත් වීමේ හැකියාවක් පවතී.
මෙම වාතාවරණය හමුවේ ඉදිරියේදී ගැටලුව තවත් උග්‍ර විය හැකිය. අපට වැදගත් වන්නේ මෙම මැදපෙරදිග අර්බුදය ශ්‍රී ලංකාවට කෙසේ බලපාන්නේද යන්නයි. එහිදී ප්‍රධාන කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ ඉරාන නෞකා විස්සකට ආසන්න ප්‍රමාණයක් නවත්වා තිබීමයි. මෙම නෞකාවලට යම් ආකාරයකින් ශ්‍රී ලංකාවෙන් තෙල් හෝ ආහාර සැපයුමක් සිදු කළහොත් සම්බාධක පැනවීමට නියමිත බව ඇමරිකානු පුවත්පත් වාර්තා කර තිබිණි. එම රටවල් කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇති බවට ද මාධ්‍යවල සඳහන් විය. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා රජය තීන්දු තීරණ ගනු ලබන්නේ මෙරට ස්වෛරීභාවය අනුව බවත්, සුදුසු ඕනෑම මැදිහත්වීමකට සූදානම් බවත්ය. හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් ආශ්‍රිතව නෞකා නවතා ඇති බවත්, ඉන් නෞකා 47ක් පමණ ශ්‍රී ලංකා මුහුදු තීරය ආසන්නයේ නවත්වා ඇති අතර ඉන් 19ක් ඉරාන නෞකා බවත් සඳහන් වේ. මෙම නෞකාවලට ඉන්ධන හෝ ආහාර සැපයුවහොත් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති විය හැකි බවට ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක්ව ඇත.
ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ නතර කර ඇති නෞකා 47න් 19ක් පමණ ඉරාන නෞකා වන බැවින්, ඒවාට ඉන්ධන හෝ ජලය සහ ආහාර සැපයුවහොත් ශ්‍රී ලංකාවට අහිතකර ප්‍රතිවිපාක එල්ල විය හැකි බවට කතාබහක් පවතී. මේ සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති කාර්යාලය පවසා ඇත්තේ ඒ පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශ කළ නොහැකි බවයි. මෙම තත්ත්වය ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී, ශ්‍රී ලංකාව මෙම අවස්ථාවේදී උපකාර කළහොත් ඇමරිකාවෙන් සම්බාධක පැනවීමේ අවදානමක් මෙන්ම ජාත්‍යන්තර අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් ද පවතී. මගේ පෞද්ගලික මතය වන්නේ ශ්‍රී ලංකාව මෙම අවස්ථාවේදී උපායශීලීව කටයුතු කළ යුතු බවයි. ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිරවී සිටින ඉරාන නොවන සෙසු නෞකාවලට ඉන්ධන සහ ආහාර සැපයිය හැකි වුවද, ඉරානයට පක්ෂපාතීව කටයුතු කිරීමට ගියහොත් ශ්‍රී ලංකාවට විශාල බලපෑමක් එල්ල විය හැකිය. කෙසේ වෙතත්, විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ තීරණ ගැනීමේ ස්වාධීන අයිතිය රජය සතු වේ. මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති වුවද, ඉදිරියේදී ගන්නා තීරණ මත ඇමරිකානු සම්බාධක පැනවුවහොත් එය අපේ ආර්ථිකයට, විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තයට දැඩි ලෙස බලපානු ඇත. එබැවින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඇමරිකාව සමඟ සාකච්ඡා කර, අපේ රටට අහිතකර තත්ත්වයක් ඇති නොවන පරිදි උපක්‍රමශීලීව මෙම ගැටලුව නිරාකරණය කරගත යුතුව තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත. ඔක්තෝබර් මස පළමු වන දා මෙරට ඛනිජ තෙල් මිල ඉහළ දැමීමක් සිදු විය. අරාබි කලාපයේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ යා හැකි අතර, ඒ සමඟ මෙරට තෙල් මිල ද නැවත වරක් ඉහළ යාමට වැඩි ඉඩකඩක් පවතී. එසේ වුවහොත් එය ශ්‍රී ලංකාවට දැඩි ආර්ථික බලපෑමක් එල්ල කරනු ඇත. තවද, පළමු සහ දෙවන කාර්තුවලදී මෙරටට වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් හිමි වූයේ මැදපෙරදිග ශ්‍රමිකයන්ගෙනි. මෙවන් ගැටුම්කාරී වාතාවරණයක් තුළ එම ආදායම් මාර්ගවලට ද බලපෑම් එල්ල විය හැකිය. අනෙක් කරුණ නම් සංචාරක කර්මාන්තයයි. ඉදිරියට පැමිණෙන ශීත ඍතුව මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කාලසීමාව වන අතර, මැදපෙරදිග කලාපය හරහා පැමිණෙන සංචාරකයන්ගේ ගමනාගමනයට බාධා එල්ල වීමෙන් සංචාරක ව්‍යාපාරයට ද ගැටලු මතු විය හැකිය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ හත්වන සමාලෝචනය සිදු කරමින් සිටින අතර, ඊළඟ ණය වාරිකය ලබා ගැනීමට සාකච්ඡා පවත්වයි. මෙහිදී ජාත්‍යන්තර වෙළෙඳපොළ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල තීරණය විය යුතු බවට IMF කොන්දේසි පවතින බව මාධ්‍ය වාර්තා කර ඇත. ඉදිරි අයවැය ලේඛනය සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඊළඟ ණය වාරිකය මුදාහැරීම පිළිබඳව IMF විධායක මණ්ඩලය තීරණය කරනු ඇත. ජාත්‍යන්තර තෙල් මිල ඉහළ යාමත් සමඟ මෙරට තෙල් මිල ද ඉහළ දැමීමට සිදු වන බව පැහැදිලිය.
ඊයේ දිනයේදී ද හූති කැරලිකරුවන් සෞදි අරාබියේ බලශක්ති මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කර ඇති පසුබිමක, ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි අනුමාන කළ හැකිය. හූති කැරලිකරුවන් සහ සෞදි අරාබිය, ඉරානය සහ ඇමරිකාව, මෙන්ම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් හේතුවෙන් සමස්ත මැදපෙරදිග කලාපයේම නිර්මාණය වී ඇති අර්බුදය මෙරට ඉන්ධන මිලට අනිවාර්යයෙන්ම බලපානු ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබුවහොත් මැදපෙරදිගට තේ අපනයනය කරන මෙරට වැවිලි ක්ෂේත්‍රයට ද දැඩි පාඩු සිදුවිය හැකිය.
මෙම අර්බුදයට විසඳුමක් ලෙස, පිරිපහදු කළ ඉන්ධන ගෙන්වීම වෙනුවට තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කර ගබඩා ධාරිතාව ඉහළ නංවා ගැනීමත්, සූර්ය බලය, සුළං බලය සහ ජල විදුලිය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමත් අත්‍යවශ්‍ය වේ. ගල්අඟුරු සහ පොසිල ඉන්ධන මත යැපීම අවම කිරීමෙන් ඉදිරියේදී මතුවන ජාත්‍යන්තර අර්බුදවලට සාර්ථකව මුහුණ දීමට හැකි වනු ඇත. මෑතකදී රජය විසින් සූර්ය බලශක්ති බලාගාර සඳහා ප්‍රමුඛතාවක් ලබා දී ඇති අතර, එම වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොවුණහොත් ඉදිරියට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇත.
ජාත්‍යන්තර දේශගුණික විපර්යාස මෙන්ම මැදපෙරදිග පවතින අස්ථාවරත්වය හේතුවෙන් ලෝකය තුළ නැවතත් ආහාර අර්බුදයක් මතුවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා මඟින් ද පෙන්වා දී තිබේ. මීට අමතරව එල් නිනෝ (El Niño) තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු වී ඇති අතර, එහි සැබෑ තත්ත්වය ජනතාවට නිසි පරිදි දැනුම් දිය යුතුය. අවසාන වශයෙන් කිව හැක්කේ, මැදපෙරදිග කලාපයේ අර්බුදය තවදුරටත් උග්‍ර වුවහොත් මෙරට ඛනිජ තෙල් මිල අනිවාර්යයෙන්ම ඉහළ යන බවත්, ඉන්ධන මිල ඉහළ යාම යනු මෙරට සමස්ත භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමට සෘජුවම බලපාන කරුණක් බවත්ය.

M.R.කලන ගයන්ත
කතිකාචාර්ය (ජාත්‍යන්තර සබඳතා සහා දේශපාලන විද්‍යාව)
සමාජ විද්‍යා අධ්‍යයනඅංශය
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
D.N.අභයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd