හොඳ බලශක්ති පරිභෝජන රටාවක් රටකට තිබිය යුතුය. ඛනිජ තෙල්, විදුලිය සහ ගෑස් එහි පැතිකඩ වේ. බලශක්ති අංශය තුළ ඇතිවන පරිවර්තනවලට වහා අනුගතවීම වැදගත් සාධකයකි. මෑත භාගය තුළ පොසිල ඉන්ධන ගැන තිබුණ අවධානය වෙනස් කෙරිණ.
පුනර්ජනනීය බලශක්තිය ඉහළ අවධානයකට පත් විය. බලශක්ති ඉල්ලුම සපුරාලීමේ දී එවැනි අලුත් ක්‍රම අඩුම මිලකට සපයන අතර කාර්යක්ෂමතාව ඇති කළේය. ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක තත්වයට පැමිණ තිබේ. බලශක්ති ඉල්ලුම ඉහළ යමින් පවතින අතර හොඳ සැපයුම සහ පාරිභෝගිකයන්ට ඉසිලිය හැකි මිල ඉතා වැදගත්ය. විදුලිය පද්ධති කළමනාකරණ අංශ විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලන මෙරට උපයෝගීතා කොමිසම විදුලිය ගාස්තු වැඩි කිරීමට අනුමැතිය පළකර ඇත.
මෑත භාගය තුළ වරින් වර කරන ලද සංශෝධන හේතු කරගෙන ගෘහස්ථ විදුලිය බිල තරගකාරී රටවල් අතර පවතින සාමාන්‍ය ඉක්මවා ගොස් තිබේ. දකුණු ආසියාවේ ඇතැම් රටවලට වඩා මෙරට විදුලිය ගාස්තු දෙගුණයකින් ඉහළය. ඉන්ධන වියදම ද පාලනය කරගත නොහැකි වී තිබේ. ගෑස් මිල ද සංශෝධනය කරමින් පවතින බව පෙනේ. විදුලිය, ඛනිජ තෙල් හා ගෑස් සම්බන්ධව සලකා බලන ආණ්ඩුව එහි අධික මිල සලකා සහන පිරිනමන බව ද ප්‍රකාශ වෙමින් තිබේ. සාමාන්‍ය පාරිභෝගිකයන්ට සහනයක් වශයෙන් ආණ්ඩුවේ සහන සැපයීම ගැන කරන සඳහන් මිථ්‍යාවකි. අවසානයේ දී එම වියදම මහජනතාවගෙන් අයකරන බදුවලින් පියවන බව මතක තබා ගත යුතුය. ගාස්තු වැඩි කරන්නට යෝජනා කරන ආණ්ඩුව මේවායේ වියදම පාලනය කර නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමට අවධානය යොමු නොකිරීම වරදකි.
නිපදවන මිලට පාරිභෝගිකයන්ට පැවැරීම නුසුදුසුය
විදුලිය ඒකකයක් නිපදවීම සඳහා යම් මුදලක් වියදම් කරන්නට සිදුවේ. ශ්‍රී ලංකාවේ විදුලිය නිපදවන ක්‍රමය අනුව ජල විදුලිය අඩුම පිරිවැය බව දැක්වේ. සූර්ය සහ සුළං බලාගාරවලින් ද ජල විදුලියටත් වඩා අඩු මිලකට ඒකකයක් නිපදවිය හැකිය. ආයෝජන පිරිවැය හා බාහිර පාර්ශවවලින් කරන මිල දී ගැනීම හේතු කරගෙන සැලකිය යුතු වියදමක් සනිටුහන්ය. ගල් අඟුරු, දැවි තෙල් වැනි ප්‍රභව මගින් ඉහළම වියදමක් දරා විදුලිය නිපදවමින් සිටී.
විදුලිය උත්පාදන පිරිවැය බරපතළ වියදමක් බව පෙන්වන අතර එය ද ප්‍රශ්න කළ යුතුව ඇත. දැනට කොටස්වලට වෙන්කර ස්වාධීනව පාලනය වන කලින් විදුලිය බල මණ්ඩලයේ අංශ විදුලිය උත්පාදනය, බෙදාහැරීම හා නඩත්තු කටයුතු සඳහා විශාල ණය ප්‍රමාණයක් දේශීය හා විදේශීය වශයෙන් ලබාගෙන තිබේ. 2025 අවසානයේ දී විදුලිය අංශවල ණය රුපියල් බිලියන 250 කට වැඩිය. ඒවායේ පොලිය හා ණය සේවා ගෙවීම, අධික සේවක පිරිසක් නඩත්තු කිරීම, පද්ධති හානිය හා දුර්වල තාක්ෂණ ක්‍රම භාවිතාව අවසානයේ දී මෙම මිශ්‍ර පද්ධතිය පාලනය කළ පසු සියලු අවාසි විදුලිය පාරිභෝගිකයන්ට උසුලන්නට සිදුවේ. විදුලිය බල මණ්ඩලය අහෝසි කිරීමෙන් පසු ඇති කරන ලද නව පරිපාලන රටාව තුළ පවා ආරම්භයේ දී ඇති කරන ලද විකෘතිතාවලින් නිර්මාණය කරන ලද බරපතළ දෝෂ පවතින බැවින් ඒවා අඛණ්ඩව විදුලිය පාරිභෝගිකයන්ට පැවැරෙන බව සඳහන් කළ යුතුය.
විදුලිය ඒකකයක් නිපදවීම සඳහා අඩුම වියදමක් කරන තැනට මෙරට උත්පාදන අංශවල පරිවර්තනයක් ඇති කළ යුතුවේ. ඉහළම මිලකට නිපදවා, බැංකු හා විදේශ ණයවලට ද හිලව් කර පසුව එම මිලට ආණ්ඩුවේ බදු ද එකතු කිරීමෙන් පසු විදුලිය විකිණීමට මිලක් නියම කිරීම සාධාරණ තත්වයක් නොවේ. නියාමන කොමිසමට මෙම කරුණු කොපමණ වාර ගණනක් අවධාරණයෙන් දක්වා ඇති නමුත් මිල වැඩි කිරීමට අනුමැතිය හැර අභ්‍යන්තර ප්‍රතිව්‍යුහකරණයකට බල නොකිරීම බරපතළ වරදකි.
විදුලිය ගාස්තු සමග බිඳ වැටෙන ආර්ථිකය
බලශක්ති පරිභෝජන රටාව රටක දියුණුවේ දර්ශකයකි. පරිහරණය කරන තරම පමණක් නොව එම මිල ගෙවන හැකියාව ද රටක සමත් බව දක්වයි. මෙරට ජන කොටස් දින තිහක් ඇතුළත විදුලිය බිල පියැවිය යුතු තැනට බලකර ඇත. පියැවීම ප්‍රමාද වන පසු පොලියක් අය කෙරේ. මාසයක් දෙකක් ගෙවීම ප්‍රමාද වූ පසු විදුලිය විසන්ධි කරනු ඇත. ඒකක 180ට අඩු පාවිච්චියක් කරන පාරිභෝගිකයන්ට ඊයේ (මැයි 11 වැනි දා) සිට ඉහළ නංවන ලද සියයට දහ අටක ගාස්තුව වැඩි නොවන බව නියාමන කොමිසම දක්වයි. එහෙත් එය වක්‍ර බලපෑමක් ඇති කරන බව පිළිගත යුතුය. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. ඉහළ පරිභෝජනයක් සහිත පිරිස, මෙම වැඩි මිලට විදුලිය භාවිත කර නිෂ්පාදන හෝ සේවා කරන අයවලුන් ඇතුළු අංශ සමස්ත පීඩනය පහළට කාන්දු කරවනු ඇත. අවසානයේ දී මෙරට සියලුම දෙනාට විදුලිය සඳහා ගෙවන්නට සිදුවේ.
ගාස්තු වැඩි කළ පසු පරිභෝජනයේ දී තාවකාලික අඩුවීමක් අපේක්ෂා කළ හැකිය. දෙවැනුව එය මෙරට නිෂ්පාදන සාධකවලට ඇතුළු වේ. මිල ඉහළ ගිය පසු ඕනෑම දෙයක ඉල්ලුම යම් ප්‍රමාණයකින් පාලනය වනු ඇති අතර එය ආර්ථික වර්ධන වේගය තරමක ප්‍රතිශතයකින් පාලනය කිරීම දක්වා පැතිරෙන චක්‍රයකි. ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන ආණ්ඩුව, දැනට පවතින අඩු වර්ධන වේගය වෙනුවට වෙනස් පැතිකඩක් කරා ගමන් කරන්නේ නම් වහාම බලශක්ති පිරිවැය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගත යුතුව ඇත.
විදුලිය උපකරණ අලෙවිය අඩුවීම, මිල දී ගෙන ඇති විදුලිය උපකරණ භාවිත කිරීම සීමාවීම හා විදුලිය භාවිත කර නිපදවන ඇතැම් අපනයන ද්‍රව්‍යවල මිල සම්බන්ධයෙන් ඇති විය හැකි තත්ව ආර්ථිකය නොසන්සුන් කරන්නට හේතු විය හැකිය. අවසානයේ දී රජයේ ආදායම සීමාවන සාධකයක් බව ද දැක්විය යුතුය.
ලාබ ලැබූ විදුලිය පාඩු හා සැපයුම්කරුවන්ට නොගෙවීම
පසුගිය වසරේ දී නියාමන කොමිසමට කරුණු දක්වන එවකට තිබුණ විදුලිය බල මණ්ඩලය කල් ඉකුත් වී ඇති ණය හා ඒවායේ පොලිය ගෙවා අවසන්වන තුරු විදුලිය ගාස්තු අඩු කළ නොහැකි බව දක්වා ඇත. අවුරුදු තුනක් ඇතුළත සියයට තිහකින් විදුලිය ගාස්තු අඩු කරන බව වත්මන් ආණ්ඩුව ආරම්භයේ සිට ම කියා සිටියේය.
විදුලිය බල මණ්ඩලය 2024 වසරේ පමණක් මාස දහයක් තුළ රුපියල් බිලියන 132ඉක්මවන ලද ලාබයක් උපයාගෙන ඇත. 2025 වසරේ අලාභය රු. බිලියන 38.7 කි. විසි හත් දහසක් පමණ වන විදුලිය කාර්ය මණ්ඩයක් සහ මිලියන 5.43 ක් පමණ වන පාරිභෝගිකයන් පිරිස සලකා බැලූ පසු මෙවැනි අවාසිදායක තැනකට තල්ලු වූයේ කෙසේ ද? විදුලිය බිල වියදම ආවරණය කරගත යුතු තැනක තිබිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කර ඇති නියෝගයකි. එයට අනුව මිල සූත්‍ර සකස් කර තිබේ. එසේ තිබිය දී පවා ලාබයත් විනාශ කර පාඩු එකතු කරගන්නා තැනකට පත් වූයේ කෙසේ දැයි පැහැදිලි කළ යුතුව ඇත.
අභ්‍යන්තර කරුණු අනුව විදුලිය මිල දී ගැනීමේදී අක්‍රමිකතා පවතී. මෙරට විගණන වාර්තා පෙන්වා දෙන පරිදි තත්වයෙන් බාල ගල් අඟුරු මිල දී ගෙන භාවිත කිරීම නිසා රු. බිලියන 7.9 ක පාඩුවක් වී තිබේ. තොග සැපයුම්කරුවන්ගෙන් සූර්ය තාප විදුලිය මිල දී ගන්නා අතර ඒවාට ගෙවීම් කර නැත. ගෙවිය යුතු හිඟ මුදල රු. බිලියන100 ඉක්මවා ඇති බව සැපයුම්කරුවෝ පෙන්වා දෙති. අනෙක් අතට සූර්ය තාප විදුලිය පද්ධතියට සම්බන්ධ කිරීමෙන් වළකින සේ ඉල්ලීම් ද වරින් වර නිකුත් වෙමින් තිබේ. විදුලිය පාරිභෝගිකයන්ගෙන් අය කරගන්නා ධනය ගලන්නේ කොතැනට ද යන්න හෙළිදරව් කළ යුතුය. පැරැණි ක්‍රම අහෝසි කර අලුතින් රට ගොඩ නගන බව සඳහන් කරන ලද නමුත් පසුගිය වසර දෙක තුළ විදුලිය අංශවල පරිහානිය ඉතාම නරක තත්වයක බව අවධාරණය කළ යුතුව තිබේ.
ආණ්ඩුවේ ලාබ සහ ඉදිරි අවදානම
බලශක්ති අංශය මෙරට ආර්ථිකයේ මර්මස්ථානයකි. එය කර්මාන්ත සහ ව්‍යවසාය සඳහා තීරණාත්මක සේ බලපාන බව සඳහන් කළ යුතුවේ. සාමාන්‍ය පාරිභෝගිකයන්ට ගාස්තු බලපෑමක් නැති බව දක්වන නමුත් රටට එන ආයෝජන අංශ විදුලිය, ශ්‍රමයට ගෙවන මිල, බදු හා අනෙක් යටිතල පහසුකම් ගැන ප්‍රශ්න කරනු ඇත. අලුත් වාර්තා පෙන්වා දෙන පරිදි ආයෝජන දුර්වලය. පෞද්ගලික අංශයේ කර්මාන්ත හා ව්‍යාපාර පවා ලෝකයේ අනෙක් තැන්වල ඇති අවස්ථා ගැන අවධානය යොමු කරමින් සිටි. ආයෝජන අඩුවන අතර එම අංශවලින් නිෂ්පාදනය කර අපනයනය කරන කොටස අඩුව පසු රජයේ විදේශ සංචිත පිරිහේ. එය විනිමය අනුපාතිකයට පීඩනයකි.
විදේශ විනිමය සංචිත අඩුවන නමුත් ආණ්ඩුව දේශීය වශයෙන් අයවැය හිඟය පියවා ගෙන තිබේ. පසුගිය වසරේ මුල් මාස දෙක තුළ රු. බිලියන 86.6 ක හිඟයක් සහිතව ගෙන ගිය අය වැය මෙම 2026 වසරේ මුල් මාස දෙක තුළ රු. බිලියන 169.7 ක අය වැය අතිරික්තයක් සහිතව පවත්වාගෙන යන බව දක්වයි. තවත් ආදායම් එකතු කරගැනීමේ අරමුණ ඇතිව සිටින ආණ්ඩුව වැට් බද්ද සංශෝධනය කර යෝජනා ක්‍රියාත්මක කරමින් සිටී. ලබන මාසයේ වැට් බද්ද ඉහළ නංවන අතර ගෙවන පදනම වෙනස් කිරීමෙන් තවත් වටයකින් ජනතාවට බර පැටවෙන බවට අනතුරු ඇඟවිය යුතුවේ. විදුලිය ගාස්තු වැඩි කරන අතර ඛනිජ තෙල්, ගෑස්, තිරිඟු පිටි හා සියලුම අංශවලට බලපාන වැට් බදු සංශෝධනය සමග රට තුළ පැවැත්ම අර්බුදකාරී විය හැකිය. දේශීය වශයෙන් අය වැය පියවා ගත හැකි නමුත් එයින් ඇති කරන විෂමතා මුල්‍ය අර්බුදය වෙනත් පැත්තකට තල්ලු කරනු ඇත.
දැනට ඇති තොරතුරු අනුව ඉදිරියේ දී විදුලිය අවශ්‍යතා දෙගුණ වේ. කොළඹ වරාය නගරයට විදුලිය සැපයිය යුතු අතර තවත් සංවර්ධන ව්‍යාපාර ඇතිවන විට ඒවා සඳහා අඩු පිරිවැය විදුලිය සැපැයීම අවශ්‍ය කෙරේ. පාරිභෝගිකයන්ට ගාස්තු ගෙවන්නට බල කරන නමුත් විදුලිය ක්ෂේත්‍රයේ සිදුවිය යුතු සංවර්ධනය මග හැරී තිබේ. අඩු මිලට විදුලිය දෙන අතර එය මෙරට සංවර්ධන අභිලාෂ සඳහා ආවරණය වන ආකාරය ගැන විද්වත් අවධානයක් අවශ්‍යය. අධික වියදම, එය පියවා ගැනීමට කරන ගාස්තු වැඩි කිරීම, ඒම ගාස්තු සාමාන්‍ය පාරිභෝගිකයන්ට නොවන බවට නිවේදනය කිරීම වැනි පැතිවලින් රටක ජන කොටස් මුසපත් කළ හැකිය. එහෙත් අභ්‍යන්තර විකෘතිවලින් ඇති කරන තෙරපුම ආර්ථිකය විකෘති කරන අතර එහි බර නැවත නැවතත් ආර්ථික වර්ධනය අවහිර කරන බව පෙන්වා දිය යුතුය.
(*** සාරා කන්දෙගොඩ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd