මහජන මතය බොහෝ විට සමාජ අත්දැකීම් මත ස්වභාවිකව ගොඩනැගෙන සාමූහික විනිශ්චයක් ලෙස සැලකේ. එහෙත් නූතන දේශපාලනය තුළ එය මහජන විශ්වාසයක් බවට පත්වන්නේ සරල ක්‍රියාවලියකින් නොවේ. පුවත් සිරස්තල, දේශපාලන කතා, රූපවාහිනී සංවාද, සමාජ මාධ්‍ය, පක්ෂ ජාල, වෘත්තීයවේදීන්ගේ නිහඬතාව සහ චිත්තවේගීය පුනරුච්චාරණයන් මගින් කරුණු නිරන්තරයෙන් රාමුගත වෙයි. එබැවින් වැදගත් ප්‍රශ්නය වන්නේ යමක් සිදුවූවා ද යන්න පමණක් නොව, එම සිදුවීමට අර්ථය කවුරුන් විසින්, කෙසේ හැඩගස්වන ලද්දේද යන්නයි.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන මොහොත තුළ මෙම ප්‍රශ්නය තීරණාත්මකය. 2022 ජනතා නැගිටීමෙන් පසු මහජන අභිලාෂවල පෝෂණය වී, ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ ප්‍රතිසංස්කරණවාදී රජයක්, අතීතයෙන් උරුම වූ පරිපාලන දුර්වලතා, පැරැණි ආයතනික පුරුදු සහ දූෂණ අවදානම් සහිත රාජ්‍ය පද්ධතියක් තුළ ඉදිරියට යාමට උත්සාහ කරමින් සිටී. එමෙන්ම, රාජ්‍ය බලය අහිමි වූ බලවත් ස්වාර්ථ පාර්ශ්ව මහජන අවකාශයෙන් අතුරුදන් වී නැත. ඔවුන් තවදුරටත් මාධ්‍ය බලපෑම්, නිලධාරි සබඳතා, ප්‍රභූ සන්ධාන සහ ආඛ්‍යාන (කතා) ගොඩනැගීම මගින් ක්‍රියාත්මක වේ. මෙයින් අදහස් වන්නේ රජයට එල්ල වන සෑම විවේචනයක්ම අසත්‍ය බව නොවේ. සෑම ආන්දෝලනාත්මක සිදුවීමක්ම ගොතන ලද්දක් බවද නොවේ. වඩාත්ම බලවත් දේශපාලන ආඛ්‍යාන බොහෝ විට සම්පූර්ණ බොරු නොව, යථාර්ථයේ කොටස් සන්දර්භයෙන් ඉවත් කර, චිත්තවේගීයව විශාල කර, සමස්ත සත්‍යය ලෙස ඉදිරිපත් කිරීමකි.

 

ආඛ්‍යාන යනු අහඹු දේ නොවේ

සන්නිවේදන න්‍යායට අනුව, කරුණු මහජන අවකාශයට පිවිසෙන්නේ තම මූලික ස්වරූපයෙන්ම නොවේ. ඒවා පැමිණෙන්නේ විවිධ රාමු තුළිනි. රාමුවක් යථාර්ථයේ සමහර කොටස් තෝරාගෙන වඩාත් දෘශ්‍යමාන කරන අතර, අනෙක් කොටස් අඳුරට තල්ලු‍ කරයි. එය ගැටලු‍ව නිර්වචනය කරයි, හේතුව හඳුනා ගනී, වරද පවරයි, අවසානයේ විසඳුමක් ද යෝජනා කරයි. එකම සිදුවීම දෙස පුද්ගලයන් දෙදෙනකු බලා වෙනස් නිගමනවලට එළැඹෙන්නේ ඒ නිසාය. ඔවුන් දකින්නේ වෙනස් කරුණු පමණක් නොව, කරුණු දකින්නේ වෙනස් රාමු හරහාය.

“න්‍යාය පත්‍ර සැකසීම” තවත් ස්ථරයක් එක් කරයි. මාධ්‍ය සහ දේශපාලන ක්‍රියාකාරීන් මිනිසුන්ට සිතිය යුතු දේ සෑම විටම නොකියයි. එහෙත් ඔවුන් සිතිය යුතු මාතෘකා කුමක්ද යන්නට දැඩි බලපෑමක් කරයි. ආන්දෝලනාත්මක කරුණක් දිනපතා පුනරුච්චාරණය වූ විට, එය මහජන මනස තුළ වැදගත් කරුණක් බවට පත්වේ. විගණන වාර්තා, අධිකරණ ලේඛන හෝ තාක්ෂණික පැහැදිලි කිරීම් කියවීමට බොහෝ පුරවැසියන්ට කාලය නැති නිසා, ඔවුන් දේශපාලකයන්, මාධ්‍යවේදීන්, විචාරකයන් හෝ හුරුපුරුදු මාධ්‍ය සන්නාම මත රඳා පවතී. එම පාර්ශ්ව එකම අර්ථකථනය නැවත නැවත කියන විට, එය සාක්ෂියක් ලෙස දැනෙන්නට පටන් ගනී.

සමාජ මාධ්‍ය මෙම රාමුවට තටු ලබා දෙයි. සිරස්තලයක් පෝස්ට් එකක් බවටත්, පෝස්ට් එකක් වට්ස්ඇප් පණිවිඩයක් බවටත් පත්වේ. එවිට මුල් ලේඛනයට වඩා මතකයේ රැදෙන්නේ කතාවය. ආඛ්‍යාන ව්‍යවසායකයෝ සැමවිටම සිදුවීම් නිර්මාණය නොකරති. ඔවුන් කරන්නේ සිදුවීම් වටා අර්ථය නිර්මාණය කිරීමයි. පුනරුච්චාරණය විශ්වාසය බවට පත්වන අතර, විශේෂඥයන්ගේ නිහඬතාව එය තවත් ශක්තිමත් කරයි. සමාජීය හෝ ප්‍රතිරූපමය පිරිවැය නිසා වෘත්තිකයන් ඉදිරිපත්වීමට පැකිළෙන විට, වැඩිපුරම ඇසෙන අර්ථකථනයම ප්‍රමුඛ අර්ථකථනය ලෙස පෙනෙන්නට පටන් ගනී.

 

අසම්පූර්ණ සත්‍ය ප්‍රබල ඇයි?

ශ්‍රී ලංකාවේ ඩිජිටල් වටපිටාව මෙම යාන්ත්‍රණයට අතිශය හිතකරය. 2025 ඔක්තෝබර් වන විට සක්‍රීය සමාජ මාධ්‍ය ගිණුම් මිලියන 9ක් පමණ වූ අතර, ෆේස්බුක් සහ යූටියුබ් මිලියන 8කට අධික ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා විය. ටික්ටොක් වැඩිහිටි ප්‍රේක්ෂක සංඛ්‍යාව ද මිලියන 6කට ආසන්න විය. මේ සංඛ්‍යා පෙන්වන්නේ සරල කළ දේශපාලන ආඛ්‍යාන වේගයෙන් ගමන් කළ හැකි තොරතුරු පරිසරයේ විශාලත්වයයි. එවැනි පරිසරයක පළමුව සමාජගත වන ප්‍රබල රාමුව මහජන මනස අත්පත් කරගැනීමට හැකිය. පසුව ඉදිරිපත් වන නිවැරැදි කිරීම සත්‍ය වුවද, මහජන මතකයේ වැඩි කාලයක් රැදෙන්නේ බොහෝ විට පළමු චෝදනාවය.

 

මෙම රටාව පිටුපස ඇති දේශපාලන කාර්යභාරය

මෙම ආඛ්‍යාන ශූන්‍ය අවකාශයක පවතින්නේ නැත. ඒවා ක්‍රියාත්මක වන්නේ දේශපාලන සටන්බිමක් තුළය. බොහෝ විට ඒවායේ කාර්යය වරදක් හෙළිදරව් කිරීම පමණක් නොව, ප්‍රතිසංස්කරණ, දූෂණ විරෝධී ක්‍රියාදාමයන් සහ නීතිමය වගවීම් මුහුකුරා යාමට පෙර රජය කෙරෙහි පවතින මහජන විශ්වාසය ඛාදනය කිරීමය. වර්තමානයේ දූෂණ විමර්ශන, ප්‍රසම්පාදන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් පරිවර්තනය, මූල්‍ය අපරාධ සහ අනෙකුත් සංවේදී පරීක්ෂණ දේශපාලනිකව ඉතා වැදගත් වේ. රජයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය අකාලයේ බිඳවැටුණහොත්, වගවීමට බිය වන පාර්ශ්වවලට හිතකර දේශපාලන පරිසරයක් නිර්මාණය වේ. එබැවින් ආඛ්‍යාන යුද්ධයට උපායමාර්ගික භූමිකාවක් ඇත. ඉලක්කය රජයේ ජනප්‍රියත්වය පමණක් නොව, ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කෙරෙහිම පවතින විශ්වාසය දුර්වල කිරීමය. නිතර ඇසෙන්නට සලස්වන සරල පණිවුඩය මෙයයි. “ඔවුන් ද එලෙසමය. කිසිදු වෙනසක් නැත. මහජනතාව ඇන්දවීමකි” මෙම ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය බැලීමට පහත සිදුවීම් තුන සලකා බලමු.

 

කන්ටේනර් 323 සිද්ධිය

බහාලු‍ම් 323 සිද්ධිය ආරම්භ වූයේ සැබෑ පටිපාටිමය ගැටලු‍වකිනි. එහෙත් ආඛ්‍යානය ඉක්මනින්ම රජයේ ප්‍රබල අමාත්‍යවරයකු ඉලක්ක කරමින්, “ඔවුන් ද පැරැණි පාලකයන් මෙන්ම දූෂිතය” යන සදාචාරාත්මක සමානකරණයට (moral equivalence මාරු විය. මෙහිදී ගැටලු‍ව “පටිපාටිමය අසාර්ථකත්වය” යන ආයතනික ප්‍රශ්නයෙන් “මත්ද්‍රව්‍ය හෝ රත්‍රන් තිබිය හැකිය” යන චිත්තවේගීය නිශ්චිතභාවය දක්වා ගෙන යන ලදී. නිවැරැදි මහජන ඉල්ලීම විය යුත්තේ දත්ත මත පදනම් වූ වගවීම වුවද, ආඛ්‍යානය තල්ලු‍ කළේ පූර්ව නිගමන සහිත දේශපාලන චෝදනාය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක්‍රියාවලිය වැනි ආයතනික විමර්ශන හමුවේ ආඛ්‍යානවල චිත්තවේගීය බලය හීන වන අතර, සාක්ෂි මතු වන විට ඇතැම් චෝදනා වඩාත් පරිස්සම් ස්වරූපයක් ගන්නා බව දක්නට ලැබේ.

 

ගල්අඟු‍රු ප්‍රසම්පාදන සිද්ධිය

මෙහිදී ද ආරම්භක ගැටලු‍ව සැබෑවකි. එහෙත් එය “ආණ්ඩුව බාල ගල්අඟු‍රු ගෙන්වීය” යන දේශපාලන සංක්ෂිප්තයට ලක් කිරීමෙන් ආයතනික සන්දර්භය යටපත් කෙරිණි. විවෘත ලංසු තැබීමකදී සැපයුම්කරුවකු ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වීම, ප්‍රසම්පාදන දාමයේ ගැටලු‍වක් මිස රජය හිතාමතා කළ වංචාවක් ලෙස පූර්වයෙන් නිගමනය කළ නොහැක. 2009 සිට ගල්අඟු‍රු ආනයනය විමර්ශනය කිරීමෙන් මෙම රාමුව තවදුරටත් පුළුල් වන අතර, ප්‍රශ්නය වත්මන් රජයේ අසාර්ථකත්වයකට පමණක් සීමා නොවී, පද්ධතියේ දිගුකාලීන ව්‍යුහාත්මක දුර්වලතාවක් දක්වා විහිදෙන බව පෙනේ.

 

ඩොලර් මිලියන 2.5 අතුරුදන්වීම

මුදල් වෙනතකට යොමු වීම සැබෑ සිදුවීමකි. එය බරපතළය. එය සයිබර් ආරක්ෂාව, ගෙවීම් සත්‍යාපනය සහ අභ්‍යන්තර පාලනය පිළිබඳ හදිසි ප්‍රශ්න මතු කරයි. එහෙත් මෙහිදී ගොඩනැගීමට උත්සාහ කළ මහජන ආඛ්‍යානය වූයේ, මෙම සිදුවීම ආණ්ඩුවේ දූෂණයක් ලෙස කියවමින්, “ඔවුන් ද පැරැණි පාලකයන් මෙන්ම දූෂිතය” යන සදාචාරාත්මක සමානකරණයට මාරු කිරීමයි. මෙහි දේශපාලන අර්ථය වඩාත් සංවේදීය. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා පමණක් නොව, මුදල් අමාත්‍යවරයා ද වන අතර, ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ සංකේතාත්මක කේන්ද්‍රස්ථානය ද වේ. එබැවින් භාණ්ඩාගාර මුදල් සම්බන්ධ ඕනෑම සිදුවීමක්, ජනාධිපතිවරයාගේ පාලන හැකියාව සහ විශ්වාසනීයත්වය වෙත එල්ල කරන සෘජු ප්‍රහාරයක් බවට පරිවර්තනය කළ හැකිය. මෙහි ඉලක්කය ඩොලර් මිලියන 2.5ක මුදල පමණක් නොව, ජනාධිපතිවරයා කෙරෙහි තබා ඇති සංකේතාත්මක විශ්වාසයයි. එබැවින් සත්‍යය සොයා ගත හැක්කේ ආඛ්‍යාන මීදුමෙන් ඔබ්බට ගිය, සාක්ෂි මත පදනම් වූ ආයතනික ක්‍රියාවලියකින් පමණි.

 

නිලධාරි යාන්ත්‍රණය සහ දේශපාලන වගකීම

ගල්අඟු‍රු, භාණ්ඩාගාර ගෙවීම් මාරුව සහ පාස්පෝට් ටෙන්ඩරය වැනි සිද්ධි පෙන්වන්නේ, පරිපාලන ප්‍රමාද, අභිමත තීරණ සහ ව්‍යතිරේක සාමාන්‍යකරණය තවමත් ජනවරමට අවදානමක් බවයි. එබැවින් රජය කළ යුත්තේ නිලධාරීන්ගේ ලිපිවලින් පමණක් ආරක්ෂා වීම හෝ නිලධාරීන් අසීමිතව ආවරණය කිරීම නොව, සෑම සංවේදී ප්‍රසම්පාදනයකටම වේගවත්, විනිවිද සහ විගණනයට සූදානම් පාලන ක්‍රමවේදයක් හඳුන්වා දීමයි. එවැනි ක්‍රමවේදයක් නැති විට, පරිපාලන දුර්වලතාවක් පවා ආණ්ඩුවේ සදාචාරමය විශ්වාසයට පහර දෙන දේශපාලන ආඛ්‍යානයක් විය හැකිය. එබැවින් අවශ්‍ය වන්නේ ආරම්භයේ සිටම සත්‍යය සටහන් වන, විගණනය කළ හැකි සහ මහජනතාවට පැහැදිලි කළ හැකි පද්ධතියකි.

එවැනි පද්ධතියක් ප්‍රමාද, ව්‍යතිරේක සහ පද්ධතිමය දුර්වලතා මුල් අවස්ථාවේදීම හඳුනාගෙන, දත්ත, සම්බන්ධීකරණය සහ විශේෂඥ සහාය මගින් විසඳිය යුතුය. එවැනි වැඩපිළිවෙළක් රාජ්‍ය කාර්යක්ෂමතාව, වගවීම සහ මහජන විශ්වාසය එකවර ශක්තිමත් කරයි. ඝෝෂාකාරී තොරතුරු වටපිටාවක රජයේ ආයතන වේගයෙන් ප්‍රතිචාර දැක්විය යුතුය. වෘත්තිකයන් ද පාර්ශ්වීය යැයි හංවඩු ගැසීමට බිය නොවී සත්‍යය වෙනුවෙන් හඬ අවදි කළ යුතුය. නිහඬතාව බොහෝ විට පරාජය පිළිගැනීමක් ලෙස කියවෙයි. අවසාන වශයෙන්, ප්‍රතිසංස්කරණයේ අනාගතය රඳා පවතින්නේ, අසම්පූර්ණ සත්‍ය මගින් දූෂණ විරෝධී පදනම අපකීර්තියට පත් කරන රාමු හඳුනාගෙන, සත්‍යයේ සන්දර්භය විමසීමට පුරවැසියා දක්වන විචාරශීලී හැකියාව සහ වගකීම මතය. මන්ද, සත්‍යය කැබලිවලට කපා නිශ්චිතභාවයක් ලෙස මහජනතාවට විකුණන විට, එය හඳුනාගැනීමට සමාජයට හැකිද යන්න මතද ප්‍රතිසංස්කරණයේ අනාගතය තීරණය වන බැවිනි.

 

(***)

රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව

පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය

චන්දික ගුණසිංහ