ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පසුගිය සතියේ රට පුරා මැයි රැලි සහ රැස්වීම් විශාල සංඛ්‍යාවක් පැවැත්වුණි. ආණ්ඩුවේ පාර්ශ්වයත් ප්‍රධාන විපක්ෂයත් තම තමන්ගේ දේශපාලන බලය, ජන පදනම සහ අනාගත අරමුණු ජනතාවට පෙන්වීමට උත්සාහ කළේය.
මෙවර මැයි රැලිවල දී විවිධ ප්‍රකාශ සමාජයේ දැඩි කතාබහට ලක් විය. නුවරඑළියේ පැවැති රැස්වීමේ දී ජනාධිපතිවරයා කළ “මේ මාසයේ නඩු තීන්දු” ප්‍රකාශයත්, කළුතර රැලියේ දී ආණ්ඩුවේ ප්‍රධාන නායකයකු කළ “මේකෙන් පස්සේ වෙන ආණ්ඩු නැහැ” යන ප්‍රකාශයත් එහි ප්‍රධාන තැනක් ගත්තේය.
අද කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම “අවසාන ආණ්ඩුව” කතාව පිළිබඳවය. මන්ද, එය සාමාන්‍ය දේශපාලන වේදිකාවක කියන සටන් පාඨයක් පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය, මැතිවරණ සහ ජනතා අයිතිවාසිකම් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කරන ප්‍රකාශයක් බවට පත් වී ඇති නිසාය. ඒ වගේම මේ ප්‍රකාශයේ අර්ථය තේරුම් ගැනීම රටට ඉතාමත් වැදගත්ය.
රූපවාහිනි තිරය ඔස්සේ අප දුටු එම ප්‍රකාශයේ සාරය වූයේ “මේකෙන් පස්සේ වෙන ආණ්ඩු නැහැ” යන අදහසයි. එහි තේරුම කුමක්දැයි මම සමාජ මාධ්‍යයේ ප්‍රශ්න දෙකක් ද පසුගිය දිනයක මතු කළෙමි.
මම ඇසුවේ, 1. එයින් අදහස් කරන්නේ “මෙතැනින් එහාට මැතිවරණ පවත්වන්නේ නැහැ. ඒ නිසා වෙනත් ආණ්ඩුවක් එන්නේ නැහැ” යන්නද?
එසේත් නැත්නම්, 2. “ඉදිරියේ මොන මැතිවරණයක් තිබුණත් ජනතාව මේ ආණ්ඩුව සමග සිටින නිසා වෙන කාටවත් දිනන්නට බැහැ” යන්නද? කියාය.
මේ ප්‍රශ්න දෙක ඇසීම නිසා ආණ්ඩුවට සහාය දක්වන සමාජ මාධ්‍ය කණ්ඩායම් මට දැඩි ලෙස බැණ වැදුණි. ඔවුන් සමහරුන් කියන්නේ විපක්ෂයේ අයට එවැනි ප්‍රශ්නයක්වත් අසන්නට අයිතියක් නැත කියාය. එහෙත් මට තේරෙන ආකාරයට මේ ප්‍රශ්න දෙකම ඉතාමත් වැදගත් ප්‍රශ්න දෙකකි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ දේශපාලන නායකයකු කළ ප්‍රකාශයක තේරුම ජනතාවට විමසීමේ අයිතියක් ඒ රටේ ජනතාවට තිබිය යුතුය. ඒ වෙනුවට එවැනි ප්‍රශ්න ඇසීමම ද්‍රෝහී ක්‍රියාවක් සේ සැලකීම භයානක ප්‍රවණතාවකි.
ඇත්තටම අද රටේ දේශපාලනය තුළ වර්ධනය වෙමින් තිබෙන්නේ ප්‍රශ්න අසන මිනිසා සතුරකු ලෙස දැකීමේ සංස්කෘතියකි. ආණ්ඩුවේ අදහසට එකඟ නොවන ඕනෑම අයකු “රටට විරුද්ධ” ලෙස ලේබල් කිරීමට උත්සාහ කරන ප්‍රවණතාවක් මතු වී තිබේ. එය සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක් නොවේ.
යළිත් ඡන්ද නැද්ද?
මෙම කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් පාක්ෂිකයන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන විට පෙනෙන්නේ “මෙතැනින් පස්සේ වෙනසක් නැහැ” යන මානසිකත්වයකි. සමහර ඇමැතිවරුන්ගේ කතාවලින් පවා එවැනි හැඟීමක් මතු වේ. ඔවුන්ට අනුව ජනතාවගේ තීරණය දැන් අවසන්ය. රටේ දේශපාලන ඉතිහාසය නවතා දමා තිබෙනවා වැනි හැඟීමක් එම කතාවලින් මතු වේ.
එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්පය වන්නේ ජනතාවට ආණ්ඩු පත් කිරීමටත්, අවශ්‍ය අවස්ථාවක ආණ්ඩු ඉවත් කිරීමටත් තිබෙන අයිතියයි. මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදයේ හදවතයි. ජනතාවගේ කැමැත්ත නිරන්තරයෙන් අලුත් වන දෙයකි. ඒ නිසා “අපට පස්සේ වෙන කවුරුවත් නැහැ” යන මතය දේශපාලන සටන් පාඨයක් වශයෙන් කීවත් එය අවසානයේ ගෙන යන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට නොව බලය සදාකාලික කිරීමේ අදහසකටය.
ජවිපෙ 1988-89 සමයේදීත් මෙවැනි අදහස්වලට සමීප වූ ඉතිහාසයක් රටට තිබුණි. එදා දේශපාලන විරුද්ධවාදීන්ට ඉඩක් නැති සමාජයක් ගොඩනැගීමට උත්සාහ කළ ආකාරය ජනතාවට අමතක නැත. අද නැවතත් “අපට පස්සේ කවුරුවත් නැහැ” යන වාතාවරණයක් නිර්මාණය වන්නේ නම් එය රටට හොඳ ලකුණක් නොවේ.
ඇත්තටම බලය ලැබුණු ඕනෑම ආණ්ඩුවකට ඇති විශාලතම අවදානම වන්නේ තමන්ට ජනතා අනුමැතිය සදාකාලික බව විශ්වාස කිරීමයි. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය බලන විට ජනතාව අතිශය බලවත් ආණ්ඩු පවා කෙටි කාලයකින් ගෙදර යවා ඇති බව පැහැදිලිය. 1977 ආණ්ඩුව, 1994 වෙනස, 2015 වෙනස, 2022 ජන අරගලය මේ සියල්ල ජනතාවගේ මතය ස්ථාවර නොවන බව පෙන්වන උදාහරණය.
ජවිපෙ පක්ෂයට මීට පෙර කවදාවත් බලය ලැබී තිබුණේ නැත. ඒ නිසා ඒ අයට බලය නොමැතිවීම පිළිබඳව කිසිම අත්දැකීමක් ලැබී තිබුණේ නැත. ඒ නිසා ඒ අය හිතන්නේ ලැබූ බලයක් නැවත ආපසු යන්නේ නැත කියාය. දේශපාලනයේ සිදු කරගත හැකි නරකම දේ මේකය.
ආණ්ඩුවට යළිත් දිනිය හැකිද?
බිමේ තිබෙන යථාර්ථය නම් ආණ්ඩුවේ වේදිකා කතාවලට වඩා වෙනස්ය. පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ ආණ්ඩුවට තිබූ ඡන්ද පදනමෙන් ලක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවක් ගිලිහී ගොස් ඇති බවයි. එය සුළු අඩුවීමක් නොවේ.
දේශපාලනයේ දී ජනතාවගේ මනෝභාවය කියවිය හැක්කේ මහජන ඡන්දයෙන්ය. එම ප්‍රතිඵල පෙන්වන්නේ ජනතාව තුළ යම් කලකිරීමක් වර්ධනය වෙමින් තිබෙන බවයි. ආණ්ඩුව බලයට පත් වූ අවස්ථාවේ තිබූ විශාල බලාපොරොත්තු අද බොහෝ දුරට අඩු වී තිබේ. ජීවන වියදම ඉහළය. බදු බර වැඩිය. මධ්‍යම පන්තිය දැඩි පීඩනයකට ලක් වී තිබේ. තරුණ පරපුරට රැකියා පිළිබඳ විශ්වාසයක් නැත. කුඩා ව්‍යාපාර බොහොමයක් වැසී යමින් තිබේ. රටේ බොහෝ පවුල් අද ජීවත් වන්නේ අනාගතය පිළිබඳ බියකින්ය.
මේ තත්වය තුළ ජනතාව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ වෙනස තමන්ට ලැබුණාදැයි යන ප්‍රශ්නය මතු වේ. ආණ්ඩුවට අදත් විශාල ජනතා කැමැත්තක් තිබෙන බව ප්‍රකාශ කළත්, බිමේ යථාර්ථය එයට සම්පූර්ණයෙන් ගැළපෙන්නේ නැත. එහෙත් ආණ්ඩුවේ ඇතැම් නායකයන් කතා කරන්නේ ඡන්ද අඩුවන තරමට තමන් තවත් ශක්තිමත් වන ආකාරයටය. එය දේශපාලන ගණිතයක් නොව, දේශපාලන මායාවක් වැනිය.
“කමින් කලර් නෝ ගුඩ්”
ඉංග්‍රීසියේ “Coming color no good” කියා ජනප්‍රිය කියමනක් තිබේ. ඉදිරියේ එන්නේ හොඳ තත්වයක් නොවන බව එයින් අදහස් කෙරේ. අද රටේ දේශපාලන සංස්කෘතිය දෙස බලන විට එවැනි හැඟීමක් ඇති වේ. විවේචනයට ඉඩ අඩුවෙමින් තිබේ. ප්‍රශ්න අසන මිනිසුන්ට සමාජ මාධ්‍ය හරහා ප්‍රහාර එල්ල වේ. වෙනස් අදහස් දරන්නෝ “විරුද්ධවාදීන්” ලෙස නම් කෙරෙති.
ප්‍රජාතන්ත්‍රවාදයක විවේචකයා සතුරෙක් නොවේ. විවේචනය යනු ආණ්ඩුවකට නිවැරැදි වීමට ලැබෙන අවස්ථාවකි. එහෙත් විවේචනය දරාගත නොහැකි දේශපාලන සංස්කෘතියක් බිහි වූ විට අවසානයේ එය රටටම අනතුරක් වේ.
ඉතිහාසය පෙන්වන්නේ බලය සදාකාලික යැයි සිතූ බොහෝ ආණ්ඩු අවසානයේ ජනතාවගේ විරෝධයට මුහුණ දුන් බවයි. ඒ නිසා අද පාලකයන් මතක තබාගත යුතු වැදගත්ම කාරණය වන්නේ ජනතාව නිහඬව සිටිනවා කියන්නේ ඔවුන් සතුටින් සිටිනවා යන්න නොවන බවයි.
ආර්ථිකය හා දේශපාලනය
රටක් පාලනය කිරීමේ මූලික වගකීම වන්නේ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමයි. දේශපාලන වේදිකාවල උණුසුම් කතා පැවැත්වීමෙන් පමණක් රටක් ගොඩනැගිය නොහැකිය. ජනතාවට අවශ්‍ය වන්නේ බලාපොරොත්තු සහිත ජීවිතයකි.
ඒ සඳහා අවශ්‍ය වන්නේ ශක්තිමත් ආර්ථිකයක් සහ නිදහස් දේශපාලන පද්ධතියකි. ජනතාවගේ බඩ පිරවෙන්නේ “අපිට පස්සේ කවුරුවත් නැහැ” කියන කතාවලින් නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ රැකියා, ආදායම් සහ ජීවිතයේ ස්ථාවරත්වයයි. රටක ආර්ථිකය සහ දේශපාලනය එකිනෙකට සම්බන්ධය. දේශපාලන ස්ථාවරත්වයක් නැති රටක ආර්ථිකයක් ශක්තිමත් වන්නේ නැත. ඒ වගේම ජනතාවගේ ජීවිත අසීරු වන විට දේශපාලන ස්ථාවරත්වයත් කඩා වැටේ.
ආර්ථිකයේ ඇත්ත තත්වය
අද ආණ්ඩුව ආර්ථිකයේ යම් යම් සංඛ්‍යාලේඛන පෙන්වමින් සාර්ථකත්වයක් ගැන කතා කළත් සාමාන්‍ය ජනතාවට දැනෙන යථාර්ථය වෙනස්ය. වෙළෙඳපොළට ගිය විට භාණ්ඩ මිල ඉහළය. විදුලි බිල්, ජල බිල් සහ බදු බර වැඩිය. පඩි වැඩි නොවූවත් වියදම් ඉහළ ගොස් තිබේ.
මධ්‍යම පන්තිකයෝ අද බරපතළ පීඩනයකට ලක්ව සිටිති. අධ්‍යාපනය, සෞඛ්‍යය සහ නිවාස වියදම් පාලනය කර ගැනීම බොහෝ පවුල්වලට අපහසු වී ඇත. තරුණ පරපුර විදේශගත වීමට උත්සාහ කරන්නේ රට තුළ අනාගතයක් නොපෙනෙන නිසාය. මෙවැනි තත්වයක් තුළ ජනතාව දේශපාලන වේදිකාවේ කතාවලට වඩා තමන්ගේ දෛනික ජීවිතය මත පදනම්ව තීරණ ගනිති. ඒ නිසා ආණ්ඩුවක් දිගුකාලීනව පැවැතීමට නම් ප්‍රධාන වශයෙන් ජනතාවගේ ආර්ථික ජීවිතය ශක්තිමත් කළ යුතුය.
දේශපාලන ප්‍රතිසංස්කරණ හැකියාවක් තිබේද?
ජනතාව මෙම ආණ්ඩුවට ඡන්දය දුන්නේ වෙනසක් බලාපොරොත්තුවෙනි. දූෂණයට එරෙහි පාලනයක්, විනිවිදභාවයක් සහ නව දේශපාලන සංස්කෘතියක් ඔවුහු බලාපොරොත්තු වූහ.
එහෙත් අද ජනතාව අසන ප්‍රශ්නය වන්නේ ඒ වෙනස සැබවින්ම සිදුවී තිබේද යන්නයි. පැරැණි දේශපාලන සංස්කෘතිය වෙනුවට අලුත් සංස්කෘතියක් බිහි වී තිබේද? නැත්නම් බලය ලැබුණු පසු පෙර පැවැති රෝගම නැවතත් මතුවී තිබේද?
දේශපාලන ප්‍රතිසංස්කරණ යනු විරුද්ධ අදහස් මර්දනය කිරීම නොවේ. ඒවා අසාගෙන නිවැරැදි වීමට හැකියාව ඇති කර ගැනීමයි. ජනතාවගේ විශ්වාසය දිනාගත හැක්කේ බලයෙන් නොව, විවෘතභාවයෙනි.
අවසානයේ ඕනෑම ආණ්ඩුවක ඉරණම තීරණය කරන්නේ ජනතාවය. “අවසාන ආණ්ඩුව” බවට පත්වන්නේ ජනතාවගේ ආදරය දිනාගත් ආණ්ඩුවක් නොව, ජනතාවගේ විශ්වාසය අහිමි කරගත් ආණ්ඩුවක් විය හැකි බව අද පාලකයන් මතක තබාගත යුතුය.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd