ලොස් ඇන්ජලීස් හි K.G.M. v. Meta et al (Google +Mark Zuckerberg) නම් නඩුවේ 2026 මාර්තු 26 වැනිදා ඓතිහාසිකව දුන් තීන්දුව, එක්සත් ජනපදයෙන් ඔබ්බට කම්පන තරංග යවමින් සමාජ මාධ්‍ය ඉතිහාසය තුළ බරපතළම බලපෑම කර තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා සෑම සමාජයකටම පාහේ ගැඹුරු ඇඟවුම් මෙම නඩු තීන්දුව රැගෙන විත් ඇත. ඉහත නඩු තීන්දුවෙන් සමාජ මාධ්‍යය පරිශීලකයන්ගේ ඇබ්බැහි වීමට සහ මානසික විකෘති කිරීමට දායක වූ සමාජ මාධ්‍ය වේදිකා නිර්මාණය කිරීම සඳහා අධි වේදිකාව (Meta Platforms) සහ Google නීත්‍යනුකූලව වගකිව යුතු බව ජූරි සභාවක් තීරණය කළේය. එමෙන්ම මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජූරිය ප්‍රකාශ කර සිටියේ, සමාජ මාධ්‍ය නිර්මාණය වී තිබෙන ආකාරය පරිශීලකයන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීමේ උපස්ථම්භක සාධකයක් වන බවය. එම නිසාම නඩුවේ පැමිණිලිකාර කාන්තාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක වන්දියක් ගෙවීමට මාර්ක් සකර්බර්ග්ට නියම විය. තාක්ෂණය, ආයතනික වගකීම සහ තරුණයන්ගේ මානසික සෞඛ්‍යය අතර සම්බන්ධතාව ලෝකය තේරුම් ගන්නා ආකාරයෙහි කැඩපතක් වශයෙන් ඉහත නඩුව සැලකීම කාලෝචිතය.

වසර ගණනාවක් තිස්සේ, ඉන්ස්ටග්‍රෑම්, යූටියුබ් සහ මුහුණු පොත  වැනි සමාජ මාධ්‍ය වේදිකා සන්නිවේදනය, අධ්‍යාපනය සහ විනෝදාස්වාදය සඳහා මෙවලම් වශයෙන් පුළුල් ලෙස පිළිගෙන ඇත. ශ්‍රී ලංකාව වැනි රටවල, විශේෂයෙන් තරුණයන් අතර, මෙම සමාජ මාධ්‍ය වේදිකා එදිනෙදා ජීවිතයට ගැඹුරින් කා වැදී අවසන්ය. ඇත්ත වශයෙන්ම මිනිසුන් භෞතික වශයෙන් නොව වැඩි වශයෙන් ළංව ඇත්තේ තාක්ෂණික ලෙසය. අප ජීවත් වන්නේ ජාල සමාජයකයැයි හඳුනා ගත්ත ද නූතනයේ එම ජාල වන්නේ පුද්ගලයන් නොව උපකරණය. COVID-19 වසංගතය අතරතුර සහ ඉන් පසුව මාර්ගගත ඉගෙනීමේ සිට සමාජ අන්තර් ක්‍රියා සහ ස්වයං ප්‍රකාශනය දක්වා, මෙම වේදිකා දැන් පරම්පරාවක අත්දැකීම් හැඩ ගැස්වීමේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින් ඇත. එහෙත්, ලොස් ඇන්ජලීස් තීන්දුව මගින් ගෝලීය වශයෙන් තීරණාත්මක ප්‍රශ්නයක් නැවත සලකා බැලීමට බල කර තිබීම විශේෂත්වයකි. මෙම අධිවේදිකා හුදෙක් මෙවලම් ද, නැතහොත් ඒවා පරිශීලකයන්ගේ දෘඪ ඇබ්බැහියට සහ ඒ මගින් මානසික විකෘතිය ඇති කර තබා ගැනීමට හිතාමතාම නිර්මාණය කර ඇති බලවත් පද්ධති ද? යන ප්‍රශ්නය දැඩිව මතු කිරීමට මෙම නඩු තීන්දුව සමත්ව තිබේ.

ගැටලු‍ව පුද්ගල හැසිරීම්වලට වඩා බොහෝ දුරකට යොමු වන බවයි. ජූරි සභාව නිගමනය කළේ අනන්ත අනුචලනය (infinite scrolling) හෙවත් නිරන්තර පරිශීලනය, ස්වයංක්‍රීය වීඩියෝ සහ ඇල්ගොරිතම (Algorithm) මත පදනම් වූ අන්තර්ගත නිර්දේශ වැනි ඇතැම් නිර්මාණ විශේෂාංග අහම්බයක් නොවන බවය. එය හිතාමතාම සකසා ඇත්තේ පරිශීලක සහභාගීත්වය උපරිම කර ගැනීම අරමුණු කර ගනිමිනි. එසේ කිරීමෙන්, මෙම වේදිකා පරිශීලකයන් නැවත නැවත ඒ තුළට ඇද ගනිමින් එහි ගිල්වා තැබීමට සමත් ගාමක බලයකින් සම්ප්‍රයුක්තය. ළමයින් සහ තරුණයන් මෙලෙස සමාජ මාධ්‍ය පිළිගැනීම නැතිනම් ”‍ස්වයං පාලනයක් නොමැතිකම”‍ සඳහා පුද්ගලයන්ට දොස් පැවැරීමෙන් ඉවත් විය යුතු වේ. ඒ වෙනුවට ඩිජිටල් වේදිකාවල ව්‍යුහාත්මක බලය ඉස්මතු කර ඇත.

ශ්‍රී ලංකාවට ද මෙම පණිවිඩය විශේෂයෙන් වැදගත් වේ. රට වේගවත් ඩිජිටල් වර්ධනයක් අත්විඳිමින් සිටින අතර, විශේෂයෙන් කොළඹ වැනි නාගරික ප්‍රදේශවල ස්මාර්ට්ෆෝන් භාවිතය සහ පුළුල් අන්තර්ජාල ප්‍රවේශය වැඩි වෙමින් පවතී. තරුණයන් පෙරට වඩා අන්තර්ජාලය හරහා වැඩි කාලයක් ගත කරන අතර, බොහෝ විට මෙවැනි විභවවල අවදානම් පිළිබඳ ප්‍රමාණවත් දැනුවත්භාවයක් ද නොමැතිය. සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම පිළිබඳ පුළුල් ජාතික දත්ත සීමිත වුව ද, ගුරුවරුන්, මවුපියන් සහ මානසික සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් ලැබෙන විවිධ සාක්ෂි කනස්සල්ලට කරුණක් බව පෙන්නුම් කරයි. සිසුහු වැඩි වැඩියෙන් අවදානම් සහගත පරිසරයන් වෙතට යොමු වෙති. මානව ජීවිත තුළ පැවැතිය යුතු ස්වාභාවික චලනය සහ රටාව ද වෙනස් වෙමින් පවතී. විශේෂයෙන් නින්දට බාධා පමුණවන අතරම, කාංසාව, අඩු ආත්මාභිමානය සහ සමාජ සංසන්දනය වැනි ගැටලු‍ වඩාත් දෘශ්‍යමාන වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ තත්වය තවත් සංකීර්ණ කරන්නේ තාක්ෂණික දියුණුව සහ ඒ සඳහා සමාජය සූදානම අතර පැහැදිලි වශයෙන් පවතින පරතරයයි. සමාජ විද්‍යාඥයන් බොහෝ විට මෙය ‘‘සංස්කෘතික පරතරය”‍ ලෙස විස්තර කරන අතර, එහිදී ස්මාර්ට්ෆෝන් සහ සමාජ මාධ්‍ය වේගයෙන් භාවිත කිරීම වැනි ද්‍රව්‍යමය වෙනස්කම් සමාජ සම්මතයන්, රෙගුලාසි සහ දැනුවත්භාවය වර්ධනයට වඩා වැඩිය. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් උපකරණ වේගයෙන් වර්ධනය වන අතර, ඒ උදෙසා පවතින දැනුවත්භාවය වර්ධනය වන්නේ අවම වශයෙනි. මෙම නඩුව නීතිමය සහ ප්‍රතිපත්තිමය විවාද ඇති කර තිබෙන එක්සත් ජනපදයේ මෙන් නොව, ඇල්ගොරිතම වගවීම, ළමා මාර්ගගත ආරක්ෂාව සහ ඩිජිටල් යහපැවැත්ම වැනි ගැටලු‍ විසඳීම සඳහා පුළුල් රාමුවක් ශ්‍රී ලංකාවේ තවමත් නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලාංකික පරිශීලකයන්, විශේෂයෙන් ළමයින්, එකම මට්ටමේ ආයතනික ආරක්ෂණ ක්‍රම නොමැතිව මත එක සමාන බලවත් තාක්ෂණයට නිරාවරණය වේ.

මෙවැනි පරිසරයක් නිර්මාණය වෙමින් පවතින අතරතුර ලොස් ඇන්ජිලීස්හී නඩු තීන්දුව මවුපියන්ට ගැඹුරු මෙන්ම ඉවත දැමිය නොහැකි පණිවිඩයක් ද ගෙන එයි. බොහෝ ශ්‍රී ලාංකික නිවෙස්වල, දරුවකුට ස්මාර්ට් ජංගම දුරකතනයක් ලබා දීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන යුගයක පමණක් නොව, එය බොහෝ විට අධ්‍යාපනික අවශ්‍යතා හෝ සමාජ පහසුව මගින් යුක්ති සහගත ද කර තිබෙන අවධියක මෙම නඩු තීන්දුව අප වෙනම දිශාවක් වෙත යොමු කර තිබේ. එනම් ලොස් ඇන්ජලීස් නඩුවෙන් පෙන්නුම් කරන්නේ සමාජ මාධ්‍යවලට මුල් කාලීනව සහ නියාමනය නොකළ ලෙස නිරාවරණය වීම දිගුකාලීන වශයෙන් අහිතකර ප්‍රතිවිපාක ඇති කළ හැකි බවයි. නඩුවේ තරුණ විත්තිකාරිය ඉතා කුඩා අවධියේ දී මෙම වේදිකා භාවිත කිරීමට පටන් ගත් අතර, මෙම මුල් නිරාවරණය ඇගේ පසුකාලීන මානසික සෞඛ්‍යය දැඩිව පිරිහීමට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ බව අධිකරණය හඳුනා ගත්තේය. මෙය ශ්‍රී ලාංකික පවුල් සඳහා අවදි කිරීමේ ඇමැතුමක් විය යුතුය. අවදි කිරීම යනුවෙන් මා මෙහිදී අදහස් කරනුයේ අවදානම පිළිබඳව අවදි කිරීමය.

සමාජ මාධ්‍ය හානිකර නොවන විනෝදාංශයක් ලෙස සැලකීමට මවුපියන්ට තවදුරටත් ඉඩ දිය නොහැකිය. ඒ වෙනුවට, ඔවුන් එය හැසිරීම් සහ හැඟීම් ක්‍රියාකාරීව හැඩගස්වන බලගතු පරිසරයක් ලෙස හඳුනාගත යුතුය. ප්‍රබල සමාජානුයෝජන උපාංගයකි. එය වැරැදි දිශානතියකට යොමුවුවහොත් එළියට එන්නේ දුෂ් සමාජානුයෝජක චරිතයකි. මෙයින් අදහස් කරන්නේ තාක්ෂණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු බව නොවේ. ඒ වෙනුවට, එය වඩාත් සවිඥානික සහ සමබර ප්‍රවේශයක් ඉල්ලා සිටින බවය. මවුපියන් තම දරුවන්ගේ ඩිජිටල් ජීවිතවලට ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතු අතර, සීමා නියම කිරීම, භාවිතය නිරීක්ෂණය කිරීම සහ ක්‍රීඩා, කියවීම සහ මුහුණට මුහුණ අන්තර්ක්‍රියා වැනි විකල්ප ක්‍රියාකාරකම් දිරිමත් කිරීම ද අත්‍යවශ්‍ය බවය. දඬුවම් හෝ වරදවා වටහා ගැනීම්වලට බිය නොවී දරුවන්ට තම මාර්ගගත අත්දැකීම් සාකච්ඡා කිරීමට පහසු වන විවෘත සන්නිවේදනයේ අවශ්‍යතාව ද ඒ හා සමානව වැදගත් වේ.

ඒ අතරම, ශ්‍රී ලාංකික සමාජයේ “සංස්කෘතික ශක්තිය” මෙම අභියෝගයට මුහුණදීමේ දී අද්විතීය වාසියක් ලබා දිය හැකිය. එය අමතර වාසියක් වන නමුත් ප්‍රබල ලෙස අර්ථ දැක්විය හැකි වේ. එනම් බොහෝ බටහිර සමාජ මෙන් නොව, ශ්‍රී ලංකාව සාම්ප්‍රදායයිකව ශක්තිමත් පවුල් බැඳීම් සහ සාමූහික වටිනාකම් අවධාරණය කරයි. විස්තෘත පවුල් ඒකකයෙන් මිදී න්‍යෂ්ටික පවුල වෙත ප්‍රවේශ වුව ද යට සඳහන් කළ සාම්ප්‍රදායයික ශක්තිය සම්පූර්ණයෙන්ම හීන වී නොමැත. එමනිසා දැනට ‍ශේෂව පවතින පවුල් පරිසරයන් තුළ පවා දැකිය හැකි සහයෝගය අධික සමාජ මාධ්‍ය භාවිතයේ ඍණාත්මක බලපෑම් සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත. මෙයින් ඇඟවෙන්නේ විසඳුම තාක්ෂණික හෝ නීතිමය පමණක් නොව සමාජීය ද වන බවයි. සංස්කෘතික ද වන බවයි. පවුල් සබඳතා ශක්තිමත් කිරීමෙන් සහ අර්ථවත් අන්තර් ක්‍රියා පෝෂණය කිරීමෙන්, ශ්‍රී ලාංකික සමාජයට ඩිජිටල් ලෝකයේ පීඩනයට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව ගොඩ නගා ගත හැකිය. එය එක්තරා ආකාරයේ ඩිජිටල් ලෝකයේ පීඩනයෙන් මිදීමේ යකඩ වැස්මක් සේ හඳුනාගත හැකිවේ.

ගෘහස්ථ කටයුතුවලින් ඔබ්බට, ඇඟවුම් ප්‍රතිපත්ති සම්පාදකයන්, අධ්‍යාපනඥයන් සහ පුළුල් ප්‍රජාව දක්වා මෙහි වගකීම විහිදේ. අධික තිර කාලයෙහි අවදානම් සහ ඩිජිටල් යහපැවැත්මේ වැදගත්කම පිළිබඳව පුරවැසියන් දැනුවත් කරන මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාර සඳහා හදිසි අවශ්‍යතාවක් පවතී. දිනක් හෝ ප්‍රමාද වීම නොපෙනෙන විශාල අගාද වෙතට සමාජය තල්ලු‍ කිරීමක් ය. පාසල් නව විෂය මාලාවට ඩිජිටල් සාක්ෂරතාව ඇතුළත් කළ යුතු අතර, තාක්ෂණය භාවිත කරන ආකාරය පමණක් නොව එය වගකීමෙන් යුතුව භාවිත කරන ආකාරය ද සිසුන්ට ඉගැන්විය යුතුය. ඩිජිටල් ඇබ්බැහිවීම හා සම්බන්ධ නැගී එන අභියෝගවලට මුහුණ දීම සඳහා මානසික සෞඛ්‍ය සේවා ද කඩිනමින් සූදානම් විය යුතුව තිබේ. විශේෂයෙන් තරුණයන් ඉලක්කර ගැනීම අත්‍යවශ්‍ය ය.

ලොස් ඇන්ජලීස් තීන්දුව මගින්, තාක්‍ෂණ සමාගම් තම නිෂ්පාදන භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් සුළු වගකීමක් දරන බවට දිගු කලක් තිස්සේ පැවැති උපකල්පනයට අභියෝග කරයි. ඔවුන්ගේ වේදිකා නිර්මාණය සඳහා සංස්ථා වගකිව යුතු බවට පත් කිරීමෙන්, අධිකරණය ඩිජිටල් පාලනයේ නව යුගයකට දොර විවර කර ඇත. ශ්‍රී ලංකාව සඳහා මෙය අභියෝගයක් සහ අවස්ථාවක් යන දෙකම එකවර ඉදිරිපත් කරයි. වේගයෙන් වෙනස් වන තාක්ෂණික භූ දර්ශනයක සුදුසු ප්‍රතිපත්ති සහ රෙගුලාසි සංවර්ධනය කිරීමේ දී අභියෝගය පවතී. කෙසේ වෙතත්, වඩාත් වැදගත් වන්නේ ගෝලීය අත්දැකීම්වලින් ඉගෙන ගෙන ගැටලු‍ව වඩාත් දරුණු වීමට පෙර ක්‍රියාශීලී පියවර ගැනීමයි.

මෙම ඓතිහාසික තීන්දුවේ ඇඟවුම් පිළිබඳව ලෝකය මෙනෙහි කරන විට, පැහැදිලිවම එක් පණිවිඩයක් කැපී පෙනේ. එනම් ඩිජිටල් යුගයේ දරුවන් ආරක්ෂා කිරීමේ වගකීම අහම්බයක් නොවන බවයි. ඒ සඳහා දැනුවත්භාවය, සහභාගීත්වය සහ සාමූහික ක්‍රියාමාර්ග අවශ්‍ය වේ. විශේෂයෙන්ම මෘදු කුසලතා වර්ධනය කළ යුතුය.

ඉහත ලොස් ඇන්ජලීස් නඩු තීන්දුව අපට වැදගත් සහ මේ වනවිටත් අධි වේදිකා සමග සම්බන්ධව ඩිජිටල්කරණය කේන්ද්‍රය කර ගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක ද නිරත වන බැවින්, මෙම කෙටි ලිපිය ඒ හා සම්බන්ධ බලධාරීන්ට සහ නිලධාරීන්ට ඉහත නඩු තීන්දුව කියවන ලෙස බලකිරීමක් වශයෙන් ද පෙන්වා දිය හැකිය. මෙම තීන්දුව හුදෙක් ඈත රටක අධිකරණ තීන්දුවක් ගැන නොවේ. එය සෑම තැනකම සිටින දරුවන්ගේ අනාගතය පිළිබඳවය.

(***)