පෙබරවාරි 28 වැනිදායින් ආරම්භ වූ ඇමෙරිකා - ඊශ්‍රායල් ඒකබද්ධව ඉරානයට පහරදීම නිසා ඇතිවූ ගෝලීය අර්බුදය අතිශයින්ම සංකීර්ණ තත්වයකට පැමිණ ඇති අතර ඉදිරිය පිළිබඳ පූර්ව විනිශ්චය කළ නොහැකි තත්වයක පවතී. වෙනත් යුද්ධවලදී බොහෝවිට සිදුවන්නේ ඒ සඳහා සම්බන්ධ රටවල්වලට පමණක් හානි සිදුවීමය.

එහෙත් මෙම ගැටුම ලෝකයම උඩුයටිකුරු කිරීමට සමත්ව ඇත. මීට ප්‍රධානතම හේතුව දිනෙන් දින දියුණු වන ගෝලීය වෙළෙඳාම, තාක්‍ෂණය වැනි කාරණා පදනම් කරගෙන එක රටකට කිසිවක් තනිවම කළ නොහැකි අතර එය නිෂ්පාදන දාමයක් වීමයි. අනෙක් අතට වාසිදායක ක්‍රමය ද එයයි. විශේෂයෙන්ම නව ලිබරල් ක්‍රමය තුළ වඩාත් වාසිදායක වී ඇත්තේ නිෂ්පාදනය සෑම රටක් හරහාම ගනුදෙනු කරන සංදර්භයක් තුළය. එවන් තත්වයක දී එක රටක ක්‍රියාදාමය ඇණ හිටියහොත් පද්ධතියම කඩාවැටී අර්ථික කම්පන තත්වයට පත්වේ. මෙම නිෂ්පාදන අති බහුතරයක් රැඳී ඇත්තේ ද පොසිල ඉන්ධන මතය. අද යුද්ධය පවතින්නේ ඍජුවම මේ පොසිල ඉන්ධන සැපයුමට අතිශයින්ම බාධාවන මට්ටමකය.

මෙම ඉන්ධන සීමාවීම හරහා සමස්ත ලෝකයේම ආර්ථික ක්‍රියාවලිය ක්ෂණිකව පහත වැටී ඇති අතර යුද්ධය අද හෙට අවසන් වුව ද එම පසුබෑම යළි ප්‍රකෘති මට්ටමකට ගෙන ඒමට සෑහෙන කලක් ගතවන බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. ලෝක ආර්ථික සංවර්ධනය සියයට 5 සිට සියයට 4 දක්වා මෙම වසර තුළ පහළ වැටීමට ඉඩ ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා ඇත්තේ ඒ නිසාය. මේ හේතුවෙන් උද්ධමනය ගෙවුම් ශේෂ පරතරය වෙළෙඳ ශේෂ හිඟය භාණ්ඩ හිඟය සෞඛ්‍ය ගැටලු‍ ආනයන අපනයන ගැටලු‍ කෘෂිකර්ම සංචාරක ක්‍ෂේත්‍ර විදේශ ප්‍රේෂණ යන සෑම අංශයකම පිළිකාවක් මෙන් පැතිර යාම නොවැළැක්විය හැකිය. මෙවැනි කඩා වැටීම් තුළ ඇතැම් විට දේශපාලන අස්ථාවරවීම් දක්වා යෑමට ද ඉඩ කඩක් ඇත.

ජනපති ට්‍රම්ප්ගේ මේ හදිසි යුද්ධය බොහෝ දෙනා විවිධාකාරයෙන් අර්ථකථනය කරන බව පෙනේ. ඇතැමෙක් ට්‍රම්ප් දුරදිග නොබලා කටයුතු කරන පරස්පර අදහස් පළකරන ව්‍යාකූල චරිතයක් බවට ස්ථාන ගත කරති. තව කොටසක් තමන් විසින් ව්‍යාජව හෝ අව්‍යාජව කලක් තිස්සේ නඩත්තු කරනු ලැබූ මතවාද තුළින්ම අන්තවාදීව මේ ප්‍රශ්නය දැකීමට උත්සහ කරති. එවැනි අන්තගාමී නොවී මධ්‍යස්ථව බැලූ විට පෙනී යන කරුණක් නම් මේවා කිසිසේත් අහම්බ විය නොහැකි බවය. සිදුවීම මතුපිටින් ක්‍ෂණික වුව ද කාලයක් තිස්සේම ඇමෙරිකාව හා ඊශ්‍රායලය පොදු න්‍යාය පත්‍රයකට අනුගතවී ඇති බව විචාරකයන්ගේ අදහසයි. වසර 250 කට ආසන්න ඉතිහාසයක් ඇති ඇමෙරිකාව හා 1948 පමණ පලස්තීනය දෙකට බෙදා ආරම්භ වූ ඊශ්‍රායලය තමන්ටම උරුමවූ මාවතක් ඇත.

සංවර්ධන යැයි හඳුන්වන උතුරේ බොහෝ රටවල් සංවර්ධනය අත්පත් කරගෙන ඇත්තේ පරිධියේ රටවල්වලින් සියවස් ගණනාවක් තුළ උරා ගන්නා ලද සාරය පදනම් කරගෙනය. මේ වනවිට ඇ‍මෙරිකාව ඩොලර් ට්‍රිලියන 30 කට පමණ ආර්ථිකයක් උරුම කරගෙන ශක්තිමත් තත්වයක සිටිය ද තවදුරටත් එම තත්වය නඩත්තු කරගැනීමේ උභතෝකෝටිකයකට මුහුණ දෙමින් සිටින බව පෙනේ. විශේෂයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේ දී ඇමෙරිකාවේ පංගුව සීමිත වන අතර දැනට සිදුවනුයේ ආනයනය කර පරිභෝජනය කරන අධිපරිභෝජන ක්‍රියාවලියකි. එය ඇමෙරිකාවට ද වාසිදායක වූ අතර පරිධිය රටවලට ද යහපත් තත්වයකි. එහෙත් ඇමෙරිකානු ආර්ථිකයේ මතුපිටින් නොපෙනෙන එහෙත් බරපතළ පසුබෑමක් ක්‍රමයෙන් සිදුවීගෙන යන බව පැහැදිලිය. එනම් විශාල පිම්බී ගිය මුදල් සැපයුමක් මත ආර්ථිකයක් ඇති නමුත් එහි සත්‍ය වත්කම් පිළිබඳ පරස්පරතාවක් පවතින බව පෙනේ.

අනෙක් අතට ඇමෙරිකාව ද ණය බරකින් පෙළෙන බව ද අමතක නොකළ යුතුය. මේ යථාර්ථය හොඳින් දන්නා ට්‍රම්ප් ඒ සඳහාය ඉක්මන් වැඩපිළිවළක් මේ ක්‍රියාත්මක කර ඇත්තේ. තම රටට ආයෝජකයන්ට පැමිණෙන ලෙස ආරාධනා කිරීම, ආනයන බදු වැඩි කිරීම සහ රළු මාර්ගවලින් හෝ නව වත්කම් හඹා යාම මෙහි තර්කානුකූල ප්‍රතිඵලයකි.

කෙසේ වෙතත් මේ යුද්ධයේ ලාබ අලාබ සෙවීමට තවමත් ඉක්මන් වැඩිය. ඇමෙරිකානු ජනතාව මේ වන විට ට්‍රම්ප්ට එරෙහිවීම ද එක් අතකට හාස්‍ය ජනක කරුණකි. ලෝකයෙන්ම ප්‍රමුඛයා වීමේ අභිලාෂජනක තේමාවට මත්වී ට්‍රම්ප් බලයට ගෙන ඔහුට වැරදුණ තැන ඊට එරෙහිව කටයුතු කිරීම තේරුම් ගැනීමට රොකට් තාක්ෂණය අවශ්‍ය නැත.

විශේෂයෙන් Make Amarica Great Again ව්‍යාපෘතියේ ප්‍රධාන පංගුකාර ජේන් කෙනට් සහ ප්‍රතිත්‍රස්ත අංශයේ ප්‍රධානියා ඉවත් වූ නමුත් ඔවුන් මෙම දරදඬු තේමාව ඉටුකිරීමට යන ගමන ගැන කල්තියා නොදැන සිටියා විය නොහැකිය. පසුව හෝ ව්‍යසනයේ පංගුකාරයන් වීමට ඇති අකැමැත්ත මීට හේතු වී ඇති බව පෙනේ.

අනෙක් අතට ඇමෙරිකාව එක ගලෙන් කුරුල්ලන් දෙන්නකු විද ගැනීමට උත්සාහ කරන බව පෙනේ. එනම් තමන්ට තර්ජනයක් විය හැකි ඉරාන තෙල් මත යැපෙන අනෙක් රටවලට ද ව්‍යංගයෙන් පහර දීමට පියවර ගෙන ඇත. බොහෝ විට සිදුවන්නේ තමා පමණක් කෙසේ හෝ ප්‍රමුඛයා වීමට උත්සහ කිරීමය. එසේ නැත්නම් ප්‍රතිමල්ලවයා විනාශ කිරීමය. ට්‍රම්ප් මේ දෙකම එකවර කිරීමට පටන් ගෙන ඇති බවකි පෙනෙන්නේ. ඇමෙරිකාව හා ට්‍රම්ප් හොඳින් වටහාගත් රටවල් මේ තත්වයට ඔරොත්තු දීමට කාලයක් තිස්සේම සූදානම් වී ඇති නමුත් අප වැනි එදා වේල රටවලට මේ නිසා වදින්නේ මරු පහරකි. ලෝක තෙල් සම්පතේ ආධිපත්‍යය මත ලෝක ආධිපත්‍යය දැරිය හැකි බව දන්නා ට්‍රම්ප් දැනටමත් කලාපයේ බොහෝ රටවල් සමග ඇයි හොඳයිකම් පවත්වනවා මෙන්ම ඒවායේ යුද්ධ කඳවුරු ද ස්ථාන ගත කර ඇත. අද ඉරානය පහර දෙන්නේ ද එම කඳවුරුවලටමය.

තෙල් සම්පතේ ලොකුම පංගුව තවමත් ඉරානය සතුව පවතින නමුත් ඇමෙරිකාව සමග සුහද ගනුදෙනුවකට නොපැමිණීම මේ විරසකයට හේතුවකි. මේ නිසා ඉරානයේ න්‍යෂ්ටික අවි නිපදවන බවට උතුරේ රටවල් සමග එදා සිටම චෝදනා කළ නමුත් ඔබාමා සමයේ මේ පිළිබඳව පත් කළ ජාත්‍යන්තර කමිටුවක පරීක්‍ෂාවකින් කියැවුණේ එවැනි කිසිදු සාක්ෂියක් ඉරානයේ නොතිබූ බවයි. එහෙත් ට්‍රම්ප් තමා විසින්ම එම මණ්ඩලයෙන් ඉවත්වී ඔබාමාට ද දොස් පවරමින් නැවතත් චෝදනා කරන අතර න්‍යෂ්ටික අවිවලින් ලෝකය බේරාගැනීමේ සද්කාර්යය තමා විසින්ම බලෙන්ම පවරා ගනිමින් මේ යුද්ධය ආරම්භ කර ඇත. එහෙත් ට්‍රම්ප් රජයේ ප්‍රධානීන් දෙදෙනකුම තම තනතුරුවලින් ඉල්ලා අස්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉරානය සමග යුද්ධ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නැති අතර වැරැදි දත්ත තොරතුරු මත යුද්ධයක් ආරම්භ කර ඇති බවකි.

මේ තත්වය තුළ අප විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කළ යුත්තේ අතිශයින්ම සීරුමාරුවටය. බණ්ඩාරනායක මැතිනියගේ විදේශ ප්‍රතිපත්තිය තුළ ඉන්දියන් සාගරය සාම කලාපයක් බවට ස්ථානගත කරමින් එදා කළ සේවය අතිශයින්ම උත්කෘෂ්ට ක්‍රියාවක් වුව ද අද වන විට එවැනි බලපෑමක් කළ නොහැක්කේ එදා ආසියාවේ තිබූ දේශපාලන පර්යායට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයකය වත්මනේ පත්වී ඇත්තේ ලෝක ධ්‍රැවීකරණය තුළ එදා ඉන්දියාවට අනුව සමපාත වන තත්වයක් තිබුණ ද අද ඇත්තේ කිසිදු රටක් පූර්ව විනිශ්චය කළ නොහැකි මට්ටමකය. අනෙක ලෝකය කල්පනා කරනුයේ ආර්ථික දියුණුව අත්පත් කිරීම මිස යුද්ධ කිරීම නොවේ. එනිසා අනවශ්‍ය යුද්ධයක පැටලී වෙළෙඳපොළ විනාශ කර ගැනීමට කිසිදු රටක් කැමැති නොවේ. ඒ නිසා චීනය රුසියාව ඉන්දියාව පමණක් නොව ට්‍රම්ප් හිතවාදී උතුරේ රටවල් ද තවමත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. හෝම්ස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ආරාධනයට උතුරේ රටවල් මැදිහත් නොවූයේ එම ප්‍රතිපත්තිය නිසාය.

මේ ගෝලීය වටපිටාව තුළ ශ්‍රී ලංකාවට අවංක මිතුරන් ගැන බර තැබිය නොහැකි අතර එබැවින් පරෙස්සමෙන් කටයුතු කරන ප්‍රතිපත්තියකට යා යුතුව ඇත. දැනටමත් ඒ සඳහා ජාත්‍යන්තර නීතිරීති සම්මුතීන් මත පිහිටා කටයුතු කිරීම ප්‍රශංසා කටයුතුය. පක්‍ෂ විපක්‍ෂ වාගාලාපවලින් හෝ උසිගැන්වීම්වලින් කළ හැකි දෙයක් නැත. අනෙක් අතට මේ සෑම රටක්ම අපට සහාය දෙන අතර අපේ ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ ඒ අතර ප්‍රධානය. විශේෂයෙන්ම අපේ අපනයන පංගුවේ බහුතරය උතුරේ රටවල් වන අතර ඇමෙරිකාව එහි ප්‍රධානම පංගුකාරයෙකි. පසුගිය කොවිඩ් සමයේ ඇමෙරිකාව සිය ආනයන සීමා කිරීමේ තත්වය තුළ විශේෂයෙන්ම අපේ ඇඟලු‍ම්වලට සිදුවූ බලපෑම අති විශාලය.

ඊශ්‍රායලයේ තත්වය ද එසේය. අපගේ ශ්‍රමිකයන් බහුතරයක් විශේෂයෙන් සාපේක්ෂව ඉහළ වැටුපක් ඇත්තේ ද ඊශ්‍රායලයේය. යුද්ධ ගිනි මැද වුව ද ඔවුන් පෙරළා ආපසු ඒමට මැළිවන්නේ ඒ නිසාය. ඉරානය ද ශ්‍රී ලංකාවේ මිත්‍රයෙකි. ඉරානය යනු අතීතයේ පර්සියාවය. අතිශයින්ම පෞරාණික ශිෂ්ටාචාරයකට උරුමකම් කියන මේ ඉරානය ශ්‍රී ලංකාව සමග වෙළෙඳ ගනුදෙනුවලට ඇත්තේ ශත වර්ෂ ගණනක ඉතිහාසයකි. එබැවින් ඉරානය සුළුපටු කොට සැලකිය නොහැකිය. එබැවින් මෙවැනි තීරණාත්මක මොහොතකදී හුදකලාව තීන්දු ගැනීමෙන් තොරව උගතුන්, පක්ෂ, විපක්ෂ කණ්ඩායම්, උනන්දුවක් දක්වන පිරිස්, රාජ්‍ය තාන්ත්‍රික පළපුරුදු නිලධාරීන් යන අයගෙන් සමන්විත මණ්ඩලයක් මගින් තීන්දු ගැනීම වඩාත් ගුණදායකය. හේතුව කුමන පක්ෂයක් බලයට පත්වුවත් ඉදිරි ලෝකයේ මේ ගැටුම්වලට මුහුණ දීමට කාහටත් සිදුවනු ඇත. රටවල් අතර කුමන මතභේද තිබුණ ද පොදුවේ කලාපයේ අනිකුත් රටවල් ද සමග ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් යළි එකඟතාවක් ඇති කර ගැනීමේ හැකියාවන් ඇත්නම් එය කලාපයටම වාසිදායක වනු ඇත.

පළමුවෙන්ම කළ හැකිව තිබෙන්නේ කුමන ක්‍රමයකින් හෝ රටේ විදේශ සංචිතය ඉහළ දමා ගැනීමය. අපනයන ආදායම් දියුණු කර ගනිමින් සමස්ත රටේ සංවර්ධනය දියුණු කරගෙන ඕනෑම කම්පනයකට කාලයක් යනතුරු ඔරොත්තු දෙන ව්‍යුහයක් නිර්මාණය කිරීමය. මේ යුද්ධය අද හෙට අවසන් වුවත් මෙවැනි යුද්ධ ගැටුම් ඉදිරියටත් කොතෙකුත් ඒමට ඉඩ තිබේ. අපනයන ආදායම් වැඩිකර විදේශ සංචිත ශක්තිමත් කරගැනීම හැර ගේ ඇතුළේ කළමනාකරණයෙන් ලොකු වැඩ කිරීමට නොහැකිය. රටේ ශක්තිය ඇත්තේ රටේ ආර්ථික ශක්තිය මතය. ලෝකයේ අවධානයට මෙන්ම ගෞරවයට හිමිවන්නේ ද එවැනි රටවලටය.

දශක කීපයකට පෙර පටන්ම අපේ රටේ කොරහේ කිඹුලන් දැක්මේ ප්‍රතිපත්තිය නිසා විදේශ ආයෝජන කී සැණින්ම අපට පත්තියන් වී ඇත්තේ මකරාක්‍ෂයකු හැටියටය. ඒ විපාකය මේ වන විට කොතරම් බැරෑරුම් ද කීවොත් බැගෑපත් වුව ද විදේශිකයෝ ආයෝජනයට නොපෙළැඹෙති. හොඳම උදාහරණය නම් 2025 වසරේ දී වියට්නාමයේ ආයෝජන ඩොලර් බිලියන 38, ඉන්දියාව ඩොලර් බිලියන 28, ඉන්දුනීසියාව ඩොලර් බිලියන 53 තායිලන්තය ඩොලර් බිලියන 42 ක් වන විට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 01 කි. මේ අනුව තවදුරටත් බිල්ලන් මැවීම වාගාලාප පුරසාරම් මඩ ගැසීම් තවදුරටත් වලංගු නැති අතර එදා වේල තත්වයෙන් ඔබ්බට ද කිසි දිනක යා නොහැකිය.

අනික් අතට මේ නිසා ධ්‍රැවීකරණයෙන් ගිලිහී ගොස් වෙන වෙනම රටවල් තම ආධිපත්‍යයන් පතුරවමින් කැලේ නීතිය රජ වීමේ තර්ජනයක් ද ඉදිරියේ දී ඒමට ඉඩ ඇත. ඒ අනුව අප වැනි දුප්පත් ආර්ථිකයක් පවතින රටවල් අසීරුතාවට පත්වීම නොවැළැක්විය හැකිය. කුමන තත්වයක දී හෝ මෙතෙක් ස්ථාපිත කර තිබූ ජාත්‍යන්තර සංවිධාන ව්‍යුහය නිසා අඩුපාඩු මධ්‍යයේ වුවත් ලෝකයට අත්පත් කර දී ඇති ප්‍රයෝජනය ද අති විශාල අතර අප වැනි රටවල් ඒවා සුළු කොට සැලකිය යුතු නොවේ. එම සංවිධාන ව්‍යුහය දෙදරා යාමේ ප්‍රවණතාවකට ඉඩ ඇති අතර එසේ වුවහොත් අපේ තත්වය තවදුරටත් බැරෑරුම් වීම පැහැදිලිය. එවැනි තත්වයක් තුළ අපම ශක්තිමත් වීම ඇර විකල්පයක් නම් පේන තෙක් මානයක නැත. ලෝක පර්යායේ මේ බැරෑරුම් තත්වය නොසලකා එකිනෙකා තවදුරටත් කා කොටා ගැනීමෙන් මේවාට පිළිතුරු සෙවිය නොහැකිය. එබැවින් ප්‍රතිපත්ති සම්පාදකයන්, පක්ෂ විපක්ෂ පමණක් නොව සබුද්ධික ජනතාව ද සිහි නුවණින් කටයුතු කළ යුතු කාලයකි මේ එළැඹ ඇත්තේ.

 

(***)