තවත් මැයි දිනයක් උදා වී ඇත. ලෝකවාසී කම්කරු ජනතාව තම අයිතීන් වෙනුවෙන් වීදි බසින මේ මොහොතේ, ශ්‍රී ලාංකේය දේශපාලන කරළිය තුළ ඇසෙන්නේ වෙනස්ම කතාවකි. එදා ‘‘නිර්ප්‍රභූ”‍ පාලනයක් ගැන කියමින්, සාමාන්‍ය ජනතාවගේ දහඩිය සුවඳ හඳුනන බව පවසමින් බලයට පැමිණි මාලිමා ආණ්ඩුවේ වර්තමාන හැසිරීම දෙස බලන විට පෙනී යන්නේ, කම්කරුවා යනු ඔවුන්ට බලයට ඒමට භාවිත කළ තවත් එක් ‘‘දේශපාලන මෙවලමක්”‍ පමණක් බවයි.

ජනතාව මාලිමාව වටා රොක් වූයේ ඉටු කරගත නොහැකි සිහින දකිමින් නොවේ. එක් අතකින් ඔවුන්ම දේශනා කළ හොරකම හා දූෂණය නතර කිරීම සහ අනිත් අතින් එදිනෙදා ජීවිතයට බරක් වූ වැට් බදු අඩු කිරීම, දරුවන්ගේ පාසල් උපකරණවල සිට අත්‍යවශ්‍ය ආහාර මිල පහත දැමීමේ සිට සාමාන්‍ය ජනතාවට දරාගත හැකි මිලකට කුඩා හෝ වාහනයක් මිලට ගැනීම වැනි අවම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහාය. මැතිවරණ වේදිකාවේ දී මේවා ‘‘සිහින මාලිගා”‍ ලෙස මවා පෙන්වුව ද, බලයට පැමිණි පසු ඒ සියල්ල හුදු දේශපාලන ප්‍රයෝග බවට පත්ව තිබේ. පොදු ජනතාව තවමත් බදු බරින් පීඩා විඳින අතර, සහන ලැබෙනු ඇතැයි බලා සිටි ජනතාවට අද ඉතිරිව ඇත්තේ ‘‘හිස් බලාපොරොත්තු”‍ පමණි. වෙනස්ම ආකෘතියකින් සිදුවන වංචා ඉහ වහා ගොසිනි.

ව්‍යාපාරික ධනකුවේරයන් සහ ‘‘නිර්ප්‍රභූ”‍ වෙස් මුහුණ

රජයේ ප්‍රධාන තනතුරු සඳහා පත් කිරීම් දෙස බලන විට, මේ ආණ්ඩුවේ සැබෑ මුහුණුවර පැහැදිලි වේ. කම්කරු අයිතීන් ගැන කතා කළ පාලනය අද මෙහෙයවනු ලබන්නේ මෙරට ප්‍රබල ව්‍යාපාරික ධන කුවේරයන් විසිනි.

වඩාත්ම සෝචනීය තත්වය වන්නේ, එදා ‘‘අපට සාමාන්‍ය ජනතාවට වඩා දෙයක් නැත, අප ජීවත් වන්නේ ජනතාව දෙන ආධාරයෙන්”‍ යැයි පැවැසූ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ වත්කම් හෙළිදරව් වීමයි. කෝටි ප්‍රකෝටිපතියන් බවට පත්ව සිටින මේ ‘‘නිර්ප්‍රභූ”‍ දේශපාලනඥයන් එදා ජනතාව ඉදිරියේ රඟපෑ රංගනය අද වන විට මුළුමනින්ම හෙළි වී හමාරය.

කම්කරු පාවාදීම සහ කොටස් වෙළෙඳපොළ දේශපාලනය

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාවේ ද්විත්ව පිළිවෙත දැන් වඩාත් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එක් පැත්තකින් පෞද්ගලික සමාගම් තුළ වෘත්තීය සමිති පිහිටුවමින් කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වයි. අනෙක් පැත්තෙන් එම සමාගම්වලම රහසිගතව කොටස් මිලදී ගනිමින් ඒවායේ ලාභාංශ භුක්ති විඳින්නන් බවට පත්ව ඇත.

තමන් විසින්ම මහජන වේදිකාවල නිර්දය ලෙස විවේචනය කරන ලද, සාමාන්‍ය ජනතාව ණය උගුලක සිර කළ ‘‘ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල”‍ පවා ඇතැම් ඇමැතිවරුන්ගේ කොටස් තිබීම, ඔවුන් කම්කරු පන්තිය කෙතරම් දුරට පාවා දී ඇත් ද යන්නට කදිම නිදසුනකි.

කම්කරුවාට ඉතිරි වූයේ කුමක්ද?

මෙවර මැයි දිනය සමරන කම්කරුවාට සිතන්නට යමක් ඉතිරිව ඇත. තමන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පවසන ‘‘රතු කුප්පායම”‍ ඇතුළත සිටින්නේ තමා සූරාකන ධනපති පන්තියේම තවත් කොටසක් නොවේද? කම්කරුවා රවටා, ඔවුන්ගේ කර මතින් ගොස්, අවසානයේ ඔවුන්ම පාවා දුන් මේ ‘‘නිර්ප්‍රභූ”‍ පාලනය පිළිබඳව සැබෑ ජනතාවාදී විග්‍රහයක් කළ යුතු කාලය එළැඹ ඇත.

මේ ආකාරයට කම්කරු සහ නිර්ප්‍රභූ අපේක්ෂා විනාශ වී යන විට රට තුළින් ඇසෙන්නේ ඊනියා නිර්ප්‍රභූ ආණ්ඩුවේ තවත් මූල්‍ය වංචා සහ අතිශයින්ම සැකකටයුතු මූල්‍ය ගනුදෙනු ය. ජනාධිපතිවරයා එවක පොරොන්දු වූයේ මෙරට ජනතාවගේ ධනය රැස් කර තිබෙන මහා භාණ්ඩාගාරය සාංඝික දේපළක් සේ රැකගන්නා බවයි.

එහෙත් පසුගිය දින කිහිපය පුරා සමාජගත වූ සහ විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වූ කරුණු දෙස බලන විට, රජයේ මූල්‍ය විනය පිළිබඳ කාරණය බරපතළ ප්‍රශ්න කිරීමකට ලක්ව ඇත.

වංචාව සහ දූෂණය පිටුදකින බව පවසන රජයක් යටතේ ගල්අඟු‍රු මිලදී ගැනීම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය. මේ සම්බන්ධයෙන් අප පසුගිය ලිපිවල දී ප්‍රමාණවත් ලෙස සාකච්ඡා කර තිබෙන බැවින් මෙහි දී වැඩිදුර සාකච්ඡා නොකරනු ඇත.

රටේ මුදල් හැකරුන් අතට

කෙසේ වෙතත්, හැකරුන් අත්පත් කරගත් බව ආණ්ඩුවම පවසන ඩොලර් මිලියන 2.5 හෙවත් රුපියල් කෝටි 75 වංචාව නම් ඇඟ කිලිපොලා යන තරමේ එකකි. මෙය තාක්ෂණික දෝෂයක් හෝ ආරක්ෂක දුර්වලතාවක් නිසා සිදුවූවක් බව කිසිසේත්ම විශ්වාස කළ නොහැකි ය. මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් මේවැනි ගෙවීම් කරන්නේ පුරුදු වීමට නොවේ. ඔවුන්ට මේ සඳහා විශේෂ පුහුණුවක් දී ඇත. එසේ තිබිය දී මේසා මුදලක් මූල්‍ය වංචාකරුවන්ට ගෙවීම කිසිසේත්ම අව්‍යාජ අත්වැරැද්දක් ලෙස ගිනිය නොහැකි ය. වාර්තා වන ආකාරයට මෙම මුදල් ආණ්ඩුව විසින් ඕස්ට්‍රේලියාවේ ගිණුමකට බැරකරනවාත් සමගම ඕස්ට්‍රේලියානු රජය අදාළ ගිණුම පිළිබඳ ලංකාවේ ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ. කෙසේ වෙතත්, ආණ්ඩුව ඊට ප්‍රතිචාර දී ඇත්තේ, අදාළ මුදල ලබාගත් ගිණුම් හිමියාගෙන්ම ඒ ගැන විමසා ගෙවීම “තහවුරු” කිරීමයි. එම අවස්ථාවේ දී හෝ ආණ්ඩුව තම ක්‍රියාව පිළිබඳ දෙවරක් සිතුවේ නම් මේ කෝටි 75 බේරා ගත හැකිව තිබුණි. අපගේ ප්‍රශ්නය වන්නේ මෙම නිලධාරීන් මේ තරම් අපරික්ෂාකාරී විය හැකි ද යන්න බවයි. මෙම මුදල හිතාමතාම කිසියම් තෙවැනි පාර්ශවයකට ගෙවා දැමූ බවට සැක සිතෙන්නේ මේ කරුණු සැලකිල්ලට ගැනීමේදීයි.

මේ අතර, තවත් ඩොලර් ලක්ෂ 6ක් පමණ වෙනත් පාර්ශවයකට ගෙවා ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පසුගිය දා හෙළි කර සිටියේ ය. ඒ ඇමෙරිකානු තැපෑලට ගෙවිය යුතු මුදලකි. එහෙත් ඇමෙරිකානු තැපෑල ලංකාවට දන්වා ඇත්තේ තමන්ට අදාළ මුදල නොලැබුණු බවයි. ඩොලර් ලක්ෂ 6ක් යනු රුපියල් කෝටි 16ක් තරම් අතිවිශාල මුදලකි. මහජන මුදල්වලට මේ ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ කුමක්ද? මේ ආකාරයට තවත් මුදල් වෙනත් පාර්ශවවලට ගෙවා තිබෙන්නට පුළුවන. එහෙත් ආණ්ඩුව ඒවා සඟවාගෙන සිටින සෙයකි. ඉහත ඩොලර් මිලියන 2.5 ගැන වංචාව පවා පිළිගැනීමට සහ හෙළි කිරීමට ආණ්ඩුවට සිදු වූයේ නීතිඥවරුන් පිරිසක් විසින් එය පාර්ලිමේන්තුවට දන්වනු ලැබීමෙන් පසුවය.

මේ තත්වය තුළ පසුගියදා රජයේ මුදල් කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මාලිමාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරිප්පෙරුම කරුණු විමසීම සඳහා කැඳවූව ද ඔහු ඒ හමුවේ පෙනී සිටීම ප්‍රතිකේෂ්ප කර ඇත. එය අතිශය භයානක තත්වයකි. මෙරට මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව වෙතයි. ඒ අනුව ඕනෑම මූල්‍ය ගනුදෙනුවක් පිළිබඳ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළ යුතු ය. පාර්ලිමේන්තුව යනු ජනතාවයි. ඒ ජනතාව හමුවේ කරුණු කීමකි. කෙසේ වෙතත්, ආණ්ඩුවේ මුදල් ලේකම්වරයා ජනතාවට පිළිතුරු දීම බැහැර කර ඇත. මේ පිළිබඳ කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවට පිළිතුරු දෙමින් කාලය කා දැමීමට නිලධාරීන්ට වෙනත් වැඩ තිබෙන බවයි. ආණ්ඩුව ජනතා මුදල් වෙනුවෙන් වගකීම සහ වගවීම පෙන්නුම් කරන තවත් ප්‍රකාශ අවශ්‍ය ද?

මේ වැනි ම මහාපරිමාණ වංචාවක් විය හැකි ගෙවීමක් පසුගිය දා අන්තර්ජාතික බැංකුවක ප්‍රධානියකු විසින් හෙළි කිරීමෙන් පසු ආණ්ඩුවට එය ද පිළිගැනීමට සිදුවිය. ප්‍රකට එච්එස්බීසී බැංකුවේ ප්‍රධානියා ප්‍රකාශ කළේ ලංකාවේ රජය තෙල් බැරලයක් සඳහා ඩොලර් 286ක මුදලක් ගෙවා ඇති බවයි. මෙය පසුගිය කාලයේ තෙල් බැරලයක් සඳහා ගෙවා ඇති ඉහළම මිල බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ප්‍රශ්නය වන්නේ මේසා විශාල මුදලක් බැරලයකට ගෙවා ඇත්තේ වෙළෙඳපොළේ තෙල් බැරලයක් ඩොලර් 110ක් වන විටයි. එසේ නම් තෙල් බැරල් දහස් ගණනකට ගෙවා දැමූ ඉතිරි ඩොලර් 176 බැගින් වූ ඩොලර් ලක්ෂ ගණනකට කුමක් සිදුවී ද?

බැලූ බැල්මට මේ සියලු‍ වංචා සිදුව ඇත්තේ ඩොලර් උපයෝගී කරගෙනයි. එය විශේෂයකි. එකම රටාවකට ද සිදුව ඇත. එනම් පහසුවෙන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අංශවලට පරීක්ෂණ කිරීමට තබා සමීප වීමට ද නොහැකි අඩවිවල ය. එම තත්වය තුළ මෙරට පොදු ජනයාට මේවා පිළිගෙන නිකරුණේ බලාසිටින්නට සිදුව තිබේ. එය ඛේදවාචකයකි. එම ඛේදවාචකයට මෙරට ජනතාව ඇද දමා තිබෙන්නේ පොදු ජනයා වෙනුවෙන් පැමිණි බව සහ පද්ධති වෙනසක් සඳහා පැමිණි බව කියන ආණ්ඩුවක් විසින්ම වීම කොතරම් සරදම්කාරී ද?

පද්ධතියේ වෙනස සහ වගවීම

පැරැණි දේශපාලන ක්‍රමය තුළ වංචා සිදු වූ බව පවසමින් බලයට පැමිණි පිරිසක්, තමන් යටතේ ද එවැනිම හෝ ඊටත් වඩා සංකීර්ණ මූල්‍ය අක්‍රමිකතා සිදුවන විට නිහඬව සිටීම යුක්ති සහගත නොවේ. මහජනතාව තම බඩගින්න නිවා ගැනීමට පවා අපහසුවෙන් බදු ගෙවන රටක, රජයේ නිලධාරීන්ගේ හෝ දේශපාලන අධිකාරියේ නොසැලකිල්ල නිසා රුපියල් කෝටි ගණනින් මුදල් අවභාවිත වීම ජාතික අපරාධයකි.

අද අවශ්‍ය වී ඇත්තේ කුමක්ද?

සැබෑ ‘‘සිස්ටම් චේන්ජ්”‍ පුද්ගලයන් මාරු කිරීම නොවේ. එය:

1. රාජ්‍ය මූල්‍ය ගනුදෙනු සියල්ල මහජනයාට විනිවිද පෙනෙන ලෙස පවත්වාගෙන යාම.

2. ඩිජිටල් මූල්‍ය ආරක්ෂාව උපරිම මට්ටමින් තහවුරු කිරීම.

3. වංචාවක් හෝ අත්වැරදීමක් සිදු වූ සැණින් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දඬුවම් දීම.

පොරොන්දු පත්‍රවල සඳහන් වූ ‘‘සිස්ටම් චේන්ජ්”‍ තවමත් පවතින්නේ කතා සාප්පුවල නම්, ජනතාව තැබූ විශ්වාසය වැලි මත ඉදි කළ මාලිගාවක් බඳු වනු ඇත. දූෂණයෙන් තොර රටක් ගොඩනැගීමට නම්, වත්මන් පාලනය මේ එල්ල වන චෝදනා හමුවේ වගකීමෙන් යුතුව පිළිතුරු දිය යුතුය. එසේ නොමැති වුවහොත්, ඉතිහාසය නැවත වරක් අමිහිරි ලෙස පුනරාවර්තනය වීම නොවැළැක්විය හැකි වනු ඇත.

 

(***)