2024 ජන සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ සාක්ෂරතා මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. එම වසරේ දී ශ්‍රී ලංකාවේ සමස්ත සාක්ෂරතා මට්ටම සියයට 97.4ක් විය. 2012 දී එය සියයට 95.7 ක් විය. එම වසරේ සංගණනයේ දී අනාවරණය වූ විශේෂ කරුණක් වන්නේ සක්ෂරතාව සම්බන්ධයෙන් 1881 වසරේ සිට දක්නට ලැබුණු පිරිමි සහ කාන්තා අනුපාත අතර පැවැති පරතරය සැලකිය යුතු මට්ටමකින් අඩුව තිබීමයි.

මේ වනවිට පිරිමි සාක්ෂරතා අනුපාතය සියයට 97.9 ක් ද, කාන්තා සාක්ෂරතා අනුපාතය සියයට 97.0 ක් ද වේ. එයින් ගම්‍යවන මූලික අදහස වන්නේ රටේ ජන සංඛ්‍යාවෙන් අතිබහුතරයට කියවීමේ හැකියාව ඇති බවත්, කියවීමට නොහැකි ප්‍රමාණය මුළු ජන සංඛ්‍යාවෙන් සියයට 2.6 ක් වන බවත්ය.

ඒ අතරම රටේ ඩිජිටල් සාක්ෂරතා මට්ටම සියයට 64.6 දක්වා ද, පරිගණක සාක්ෂරතා මට්ටම සියයට 34.7 දක්වා ද ඉහළ ගොස් තිබේ. මේ සියල්ලෙන් පැහැදිලි වන මූලික කරුණ වන්නේ රටේ මහජනතාවගේ අධ්‍යාපන මට්ටම වසරින් වසර ඉහළ ගොස් ඇති බවයි. ලෝකයේ බොහෝ රටවල් සමග විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සමග මෙන්ම දකුණු ආසියාතික රටවල් සමග ද සංසන්දනය කරන විට ලංකාව සැලකිය යුතු කාලයක සිට සාක්ෂරතාව සම්බන්ධයෙන් කැපී පෙනෙන දියුණුවක් ඇති කරගෙන ඇති බව පෙන්වා දිය හැකිය.

රටේ සාක්ෂරතා මට්ටම ඉහළ යනවිට මහජනතාවගේ කියවීමේ හැකියාව ද ඉහළ යන බැවින් ඊට අදාළ වන අයුරින් පොත්, පුවත්පත් සහ අනෙකුත් ප්‍රකාශන ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ඉහළ මට්ටමකට පත් කර ගැනීම ද ඉතා වැදගත් ජාතික අවශ්‍යතාවක් බවට පත්වනු ඇත. වඩාත් පහසුවෙන් සහ අඩු පිරිවැයකින් පොත්පත් සහ අනෙකුත් ලේඛන ලබාගත හැකි නම් රටේ ජනතාවගේ අධ්‍යාපන මට්ටම ගුණාත්මකව ඉහළයෑම සඳහා ද හේතුවනු ඇත. පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මුද්‍රණය නවතා ඇති බවට වාර්තා විය. ඒ අතරම රජය පසුගිය කාලය තුළදී හඳුන්වා දුන් විවිධ බදු වර්ග හේතුවෙන් පොත්පත් ප්‍රකාශනය සම්බන්ධයෙන් ද විශාල පසුබැස්මක් පෙන්නුම් කරන බව පෙනී යයි.

රටක ජාතික වගකීමක් වන්නේ හැකිතාක් දුරට මහජනතාවට විවිධ කරුණු සම්බන්ධයෙන් දැනුම සහ අවබෝධය පුළුල් කර ගැනීමට ඉඩ ලැබෙන පරිදි කියවීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීම සඳහා අවස්ථාව සලසා දීමයි.

පෞද්ගලික අංශය විසින් රටේ පොත්පත් ප්‍රකාශනය ඉහළ නැංවීම සඳහා සෑහෙන කලක සිට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින ආකාරය දැකගත හැකිය. 1999 වසරේ සිට පවත්වා ගෙන එන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එයට උදාහරණයක් ලෙස දැක්විය හැකිය. බොහෝ කාලයක් සෑම වසරකම සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසය ලෙස සලකා පොත්පත් වට්ටම් සහිතව අලෙවි කිරීමේ සිරිතක් ඊට පෙර පොත් ප්‍රකාශකයන් සහ පොත් අලෙවිකරුවන් විසින් පවත්වා ගෙන යනු ලැබීය. එම කාලය තුළ දී මහජනතාව ද පොත් මිලදී ගැනීම සෑහෙන මට්ටමකින් වැඩි වී තිබුණි. එසේ වුවද ශ්‍රී ලංකාවේ පාඨක රුචිය වැඩිවන ආකාරයෙන් පොත් අලෙවියේ විශාල පරිවර්තනයක් ඇති කිරීමට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බෙහෙවින් ආධාර වූ බව පෙන්වා දිය හැකිය. එය විශාල ලෙස මිල අඩුකර පොත් පොත් අලෙවි කිරීම සඳහා මෙහෙය වූ වැඩසටහනක් පමණක් නොවීය. සියලු‍ පොත් අලෙවිකරුවන් සියයට විස්සක පමණ වට්ටමක් සෑම පොතක් සඳහාම ලබාදීම මිල සම්බන්ධ ප්‍රධාන වෙනස විය. ප්‍රදර්ශනයේ මූලික පරමාර්ථය වී තිබුණේ එකම ස්ථානයක දී ශ්‍රී ලංකාවේ බහුතරයක් ප්‍රකාශකයන්ගේ පොත් සහ ජාත්‍යන්තර ප්‍රකාශන එකම තැනක දී මිලදී ගැනීම සඳහා පාඨකයන්ට අවස්ථාව සලසා දීමයි.

වසර 26 ක් වැනි කාලපරිච්ඡේදයක් තුළ ප්‍රදර්ශනය අඛණ්ඩව පවත්වාගෙන යාම හේතුවෙන් රටේ පොත්පත් ප්‍රකාශනය සම්බන්ධයෙන් සැලකිය වෙනසක් ඇති කිරීමට එමගින් අවස්ථාව සැලසුණේය. ග්‍රන්ථ කතුවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් ද, පොත් ප්‍රකාශකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ද පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරගෙන තම ප්‍රකාශන එළිදැක්වීමට පෙළැඹී සිටිති. එය රටේ පොත්පත් ප්‍රකාශනය සඳහා උත්තේජනයක් ද, දිරිමත් කිරීමක්ද ලබාදෙන බව සැලකිය හැකිය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තුළ ප්‍රකාශකයන් වැඩි පිරිසක් ගොනු වී සිටීමෙන් පොත් ප්‍රකාශනය සම්බන්ධයෙන් වෙනස්කම් ඇති කිරීමටත්, නව තාක්ෂණය හඳුන්වාදීම සඳහාත් අවස්ථාව සැලසී තිබේ.

පොත් ප්‍රදර්ශනය අවස්ථාව මූලික කරගෙන සම්මාන ප්‍රදානය කිරීමේ ක්‍රමයක් ඇරඹීම හේතුවෙන් රටේ පොත් ප්‍රකාශනයේ සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති බව පෙන්වා දිය හැකිය. විවිධ අංශවලින් තෝරාගනු ලබන කෘතිවලට සම්මාන ප්‍රදානය ද, මූල්‍යමය ප්‍රදාන ද සිදු කෙරේ. තෝරාගනු ලබන කෘති සහ නිර්දේශ වී ඇති කෘති සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන වි‌ට පැහැදිලි වන්නේ තෝරාගැනීම හෝ නිර්දේශවීම හෝ එම කෘති විශාල ලෙස අලෙවිවීම සඳහා මගපාදා ඇති බවයි. ඇතැම් කෘති ඉතා කෙටිකලක් තුළ දී මුද්‍රණ විශාල ප්‍රමාණයකින් නිකුත් කර ඇති බව පැහැදිලි වේ. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මගින් ලබාදෙන සම්මාන රටේ ග්‍රන්ථ ප්‍රකාශනය ඉහළ නැංවීම සඳහා හේතු වී ඇති ආකාරය ඉන් වටහා ගැනීමට හැකිවේ.

වඩාත් වැදගත් දේ වාර්ෂිකව පැවැත්වෙන එම ප්‍රදර්ශනය හේතුවෙන් රටේ කියවීමේ රුචිය අඛණ්ඩව වර්ධනයවීමයි. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ප්‍රදර්ශනය කාලය තුළ දී එයට සහභාගී වී පොත් මිලදී ගනිති. සාක්ෂරතාව සහ අධ්‍යාපන මට්ටම ඉහළ යන නමුදු පොත් කියවීම සම්බන්ධයෙන් වැඩි වෙනසක් සිදු නොවූ කාලපරිච්ඡේදයක් ශ්‍රී ලංකාවේ තිබුණි. කියැවීමේ රුචිය වර්ධනය කර ගැනීම සඳහා විවිධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලැබූව ද ඒවායින් වැඩි සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි වූයේ නැත. එසේ වුවද කොළඹ පොත් ප්‍රදර්ශනය හේතුවෙන් ජනතාව තුළ පොත් මිලදී ගැනීම සඳහා එතෙක් නොපැවැති ආකාරයේ උනන්දුවක් ඇති කිරීමට හැකිවී ඇති අතර, ඒ හේතුවෙන් මහජනතාවගේ කියවීමේ රුචිය ද ඉහළ ගොස් ඇති බව පෙනේ.

ලෝකයේ කියවීමේ රුචිය කවරාකාර වන්නේ ද යන්න පොත් ආශ්‍රයෙන් පමණක් නිශ්චය කිරීමට හැකියාවක් නොලැබේ. සාහිත්‍යය, සිනමාව සහ ජනමාධ්‍ය සම්බන්ධයෙන් අන්තර්ජාල යුගයේ දී සිදුව ඇති වෙනස්කම් සාම්ප්‍රදායයික නිෂ්පාදන අංශ කෙරෙහි මෙන්ම ඒවායේ භාවිතය සම්බන්ධයෙන් ද පරිවර්තනයක් ඇති කර තිබේ. මුද්‍රිත මාධ්‍ය පිරිහීම සඳහා රූපවාහිනිය හේතු වූ බවටද, සිනමාව පිරිහීම සඳහා රූපවාහිනිය සහ ජංගම දුරකතන හේතු වූ බවටද, පොත් ප්‍රකාශනයේ පිරිහීම සඳහා පරිගණකය සහ අන්තර්ජාලය හේතු වූ බවටද ප්‍රකාශ වේ. එසේ වුවද පුවත්පත්, සිනමාව සහ පොත් සම්බන්ධයෙන් දියුණු රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවලද සිදුව ඇති වෙනස්කම්වලින් පැහැදිලි වන්නේ පිරිහීමක් සිදුව ඇත්නම් එය එක් එක් රටට අනන්‍ය වූ පදනමකින් සිදුව ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සිනමාහල් වැසී ගියද, ප්‍රේක්ෂකයන් අඩු වුවද සංවර්ධනය වූ රටවලත්, ඉන්දියාව වැනි රටවලත් තවමත් සිනමා කර්මාන්තය ඉතා ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වැසීයන තත්වයක් පැවැතුණ ද බොහෝ රටවල මුද්‍රිත මාධ්‍ය තවමත් ප්‍රබල තත්වයක පවත්නා අතර එම රටවල ජනමාධ්‍ය ආයතන විසින් ඉතා ප්‍රබල ‘ඊ’ පුවත්පත් නිකුත් කිරීමෙන් තාක්ෂණයේ අභියෝගයට මුහුණ දී සිටී. ලෝක පොත් ප්‍රකාශකයන්ද මුද්‍රිත පොත් ප්‍රකාශනය තවමත් ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යන අතර ‘ඊ’ පොත් ප්‍රකාශනය ද ඒ හා සමානවම දියුණු මට්ටමකට පත්ව තිබේ. ලංකාවේ ප්‍රකාශකයන් මෙන්ම පාඨකයන්ද ‘ඊ’ ග්‍රන්ථ ප්‍රකාශනයට හෝ පරිහරණයට එතරම් යොමු නොවීම නිසා මුද්‍රිත ග්‍රන්ථ ප්‍රකාශනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට ග්‍රන්ථ ප්‍රකාශකයන් උත්සාහ ගනිමින් සිටින බව පෙනේ.

රටේ පොත් ප්‍රකාශකයන් එවැනි අභියෝගයකට මුහුණ දී සිටිය දී ආරම්භ වූ ආර්ථික අර්බුදයෙන් පසු පොත් ප්‍රකාශකයෝ තවත් අර්බුදයකට මුහුණ දී සිටිති. ඒ පොත්වලින් ආණ්ඩුව බදු අය කිරීම හේතුවෙන් පොත් මිල ඉහළ යෑමෙන් සිදුව ඇති අර්බුදයයි. 2024 හඳුන්වා දුන් නව බදු පනත මගින් නියම කර ඇති වැට් බදු හා අනෙකුත් බදු පොත් ප්‍රකාශනය සහ අලෙවිය සඳහා ද අදාළ කර තිබේ. මේ පිළිබඳව මෙම තීරුවේ අපගේ 2025 අගෝස්තු 20 දිනැති ලිපිය මගින් ද පෙන්වා දුනිමු.

මේ සම්බන්ධයෙන් පොත් ප්‍රකාශකයන් කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය රජය වැට් බදුවලින් පොත් නිදහස් කිරීමට එකඟ වුවද ආණ්ඩු පෙරැළි හේතුවෙන් එම එකඟතා ක්‍රියාත්මක නොවීය. නව රජය පාසල් පෙළ පොත්, අභ්‍යාස පොත් ඇතුළු පොත්පත්වල බදු අඩු කර සහන සලසන බව ප්‍රකාශ කළ ද මේ දක්වාම එම පොරොන්දු කිසිවක් ක්‍රියාත්මක වී නැත.

ශ්‍රී ලංකාව එකඟවී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ග්‍රන්ථ ප්‍රකාශන පිළිබඳ සම්මූතීන්ට අනුව පොත් ප්‍රකාශනය සහ අලෙවිය සඳහා බදු පැනවිය නොහැකිය. එවැනි තත්වයක් තුළ පොත්පත් ප්‍රකාශනය සහ අලෙවිය සම්බන්ධයෙන් බදු ඉවත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ද එකඟ නොවීමට කිසිදු හේතුවක් නැත. එසේ වුවද එවැනි ක්‍රියාමාර්ගයක මූලිකත්වය ගැනීමට රජයේ කිසිදු වගකිව යුතු ආයතනයක් නොතිබීම නිසා පොත්පත් මහජනතාවගෙන් ඈත් කෙරෙන යුගයක් ආරම්භ වී වර්ධනය වෙමින් පවතී. ප්‍රකට ලේඛකයකු වන හිනිදුම සුනිල් සෙනෙවි මහතා වැන්නකු පොත්පත් ප්‍රකාශනය බාර ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී එවැනි යුගයකට මගපාදන පිළිවෙතකට තවදුරටත් ඉඩ තැබීම රටේත්, පාඨක ජනතාවගේත්, මෙරට අධ්‍යාපනයේත් විශාල පසුබැස්මකට හේතුවන කරුණක් බව පෙන්වා දිය යුතුව ඇත.

 

(***)