බක් මහේ අවුරුදු නැකත නිමා වූයේ ගිය සතියේය. දැන් ගෙවී යන්නේ අවුරුදු සමයේ අවසන් දවස් කීපයයි. ගම්මානවලින් නගරවලටත්, පවුල් සම්බන්ධතාවලින් දෛනික වෘත්තීය ජීවිතයටත් සමාජය නැවත හැරෙමින් පවතී. උත්සවීය සංවේදනය මදක් පහව යන මේ අවස්ථාව දේශපාලනයේ සිදුවීම් ගැන සන්සුන්ව සිතීමට සුදුසු කාලයකි.

ආණ්ඩුවේ අය​ත් අවුරුද්ද සමරන තැනට අන්තිමේ දී පත්වීම ඉතා වැදගත් කාරණයක් බව පැවැසිය යුතුය. මුලින්ම අවුරුදු නැකතක්වත් තිබුණේ නැත. පසුව ඒ තත්වය සමහන් වූ අතර ගිය අවුරුද්දේ මෙන් නොසිට රටේ ජනාධිපතිතුමා ද අවුරුද්දට වෙනත් අයකුගේ නිවෙසට ගොස් අවුරුදු සැමරුවේය. නොනගතය හෙවත් නැකතක් නැති අවස්ථාවේ අලු‍තින් සැදු නිවෙසකට ගොස් ඒ නිවෙස විවෘත කළේය. ඒවා නැකතට අනුව හොඳදැයි මා දන්නේ නැත. එහෙත් සාමාන්‍යයෙන් රටම අවුරුදු සමරන වෙලාවක කොහේ හරි නොපෙනී සිටිනවාට වඩා මෙහෙම එකකින්වත් ජනතාවට අභිමුඛවීම වැදගත් ය.

 

බක් මහේ විරුවෝ දේශපාලන අර්ථකථනය

ප්‍රධාන මාතෘකාවට පිවිසීමට පෙර, බක් මහේ මතකයක් පිළිබඳව සටහන් කළ යුතුය. පසුගිය සතිය දක්වාම රටේ බොහෝ නගරවල “බක් මහේ විරුවන්” ලෙස හඳුන්වමින් 1971 කැරැල්ලේ දී මියගිය ජවිපෙ සාමාජිකයන් සැමැරීම සඳහා රැස්වීම් සංවිධානය කළේ රාජ්‍ය අනුග්‍රහයක් පෙන්වන පරිදි​ය. මෙය සාමාන්‍ය සංස්කෘතික ක්‍රියාවක් නොව, දේශපාලන ඉතිහාසයක් නැවත අර්ථකථනය කිරීමට කරන උත්සාහයක්ය. එය පැරණි දේශපාලන කතාවක් යළිත් මතු කර ගැනීමකි.

71 කැරැල්ල සිහිපත් කිරීමේ වැරැද්දක් මා දකින්නේ නැත. එය ජවිපෙ විසින් 1994 න් පසුව බොහෝ අවුරුදුවල සිදු කළ එකකි. 1989 කාලයේ ජවිපෙ කවුරුවත් 71 කැරැල්ල සිහිපත් කළේ නැත. එසේ නොකළා පමණක් නොව 71 පැරැණි ජවිප නායකයන් සැලකුවේ විරුද්ධකාරයන් ලෙසිනි. 89 අරගලයේ අයට කියන්නේ ඉල් මහේ විරුවන් කියා ය. ඉල් මහේ විරුවන් බක් මහේ විරුවන් එළව එළවා වෙඩි තැබූ කාලයක් ද වූ බව අපේ මතකයේ තිබෙයි. බක් මහේ විරුවකු වන ජී.අයි.ඩී‍‍. ධර්මසේකර ඉල් මහේ විරුවන්ගේ වෙඩි පහරින් බේරුණේ අනූ නවයෙනි. ඒ ගැන ධර්මසේකර පසු කාලයේ ලියා ඇත. මගේ විවේචනය ජවිපෙ බක් මහේ විරුවන් සැමරීම නොවේ.

මෙහි මූලික ගැටලු‍ව වන්නේ ජනමතය සහ පක්ෂ අර්ථකථනය අතර ඇති පරස්පරයයි. වත්මන් ආණ්ඩුවට ජන්දය දුන් ජනතාවගෙන් බොහෝ දෙනා 1971 කැරැල්ලේ දේශපාලන මාර්ගය හෝ කොමියුනිස්ට් විප්ලවවාදය පිළිගන්නෝ නොවෙති. ඒ වෙනුවට ඔවුන් බලාපොරොත්තු වූයේ දූෂණ විරෝධය, පාලන සාධාරණභාවය සහ ආර්ථික ස්ථාවරතාවයි.

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශය පෙන්වා දුන්නේ​ත් ලිබරල් පාලන ආකෘතියක් මිස සෝවියට් දේශය තිබෙන කාලයේ කළ කොමිනියුනිස්ට් පන්නයේ විප්ලවයක් සමග සම්බන්ධතාවක් ඇති බවක් නොවේ. එවැනි පසුබිමක, පක්ෂ අභ්‍යන්තර තීරණ මගින් ජනමතය නැවත අර්ථකථනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතිය පාවාදීමකි. ජනතාව දුන් අර්ථය වෙනස් කර ගැනීම යනු ජනතාවගේ විශ්වාසය භාවිත කරමින් එය විකෘති කිරීමකි.

ජනමතය සහ සමාජ සම්මුතිය රනිල්ගේ IMF ආකෘතියේ යන ලිබරල් එකකි. ඒත් නගරයක් ගානේ සිහිපත් කරන්නේ කොමියුනිස්ට් ක්‍රමයක් හදන්නට ගිය අසාර්ථක 71 සටනය. මේ දෙක අතර ඇත්තේ විසංවාදයක් බවවත් නොතේරෙන්නේ අහංකාරකම නිසාදැයි මා දන්නේ නැත.

 

විශ්වාසභංගය අනතුරේ ආරම්භයක් ද?

බලශක්ති ඇමැති ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුව ජයගත් බව නිල වශයෙන් ප්‍රකාශ කළද, එය දේශපාලනික වශයෙන් ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිද යන්න ප්‍රශ්න සහගතය. මගේ දෘෂ්ටි කෝණයෙන් බලන විට, මෙය ජයග්‍රහණයක් නොව, ආණ්ඩුවේ නෛතික සහ දේශපාලන සුජාතභාවය දුර්වල කළ හැරවුම් ලක්ෂ්‍යයක් turning point යැයි කීම නිවැරැදිය. අනුර දිසානායක ජනාධිපතිවරයා වුවත් පෞද්ගලිකව සාධාරණව සිතුවොත් මා කියන දෙයට එකඟ වනවා ඇත.

මෙහිදී වැදගත් වන්නේ විගණකාධිපති වාර්තාවෙන් කලින්ම අනාවරණය කර තිබූ ගැටලු‍ය. බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නිකුත් වූ වාර්තාවලින් නිරන්තරයෙන්ම පෙන්වා දී ඇත්තේ පද්ධතිමය අසාර්ථකත්වයකි. ඒ අතර PUCSL වාර්තාව සහ විගණකාධිපතිනියගේ නිරීක්ෂණ මගින් පෙන්නුම් කරන්නේ ගල් අඟුරු මිලදී ගැනීම සහ එසේ මිලදී ගැනීමේ දී බාල ගල් අඟුරු මිලදී ගැනීම හේතුවෙන් දූෂණයක් සිදුවී ඇති බවයි. මේවාට අමතරව විශේෂයෙන්ම,

 

විදුලි බල මිලදී ගැනීම් තරගකාරී නොවන ක්‍රමවේද මත සිදුවීම

හදිසි මිලදී ගැනීම් හේතුවෙන් ඉහළ වියදම් ඇතිවීම

ඉන්ධන සැපයුම් ගිවිසුම්වල විනිවිදභාවය නොමැතිකම

දීර්ඝ කාලීන බලශක්ති සැලසුම් නොමැතිව කෙටි කාලීන තීරණ මත රට පවත්වාගෙන යාම වැනි දේවල් ද ඇතුළත් බව මේ වාර්තාවලින් පෙනී ගොස් ඇත.

විගණකාධිපති වාර්තාවල තවත් වැදගත් නිරීක්ෂණයක් වන්නේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ වගවීමේ රාමුව එක දුර්වල වීමයි. තීරණ ගන්නෝ කවුරුද? කවුරුන් වගකිව යුතුද? මේවා පැහැදිලි නැති පද්ධතියක් තුළ අක්‍රමිකතා සිදුවීම ස්වාභාවිකය.

එසේම මේ කියන සමාගම ගල් අඟුරු සැපැයීමට රජයේ ලියාපදිංචි වී සිටි සමාගමක් නොවන බව විගණකාධිපතිනියගේ නිරීක්ෂණවල පැහැදිලිවම දක්වා ඇත. වාර්තාවේ 101 පිටුව බැලු‍වහොත් මේ කාරණය සිංහලෙන් ඉතාමත් පැහැදිලිව දක්වා ඇත.

එවැනි තත්වයක, විශ්වාසභංගය මතුවීම දේශපාලනිකව සාධාරණය. එහෙත් ආණ්ඩුව කළේ ගැටලු‍ව විසඳීම නොව, ගැටලු‍ව ආරක්ෂා කිරීමයි. ජයකොඩි මහතා ඉවත්කර ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට හැකිව තිබුණත්, එය සිදු නොවීය. ඒ වෙනුවට පුද්ගලයකු ආරක්ෂා කර ආණ්ඩුවම අනතුරට පත් කර ගත්තේය.

 

සභාපති දුරකතන සංවාදය

මෙම සිදුවීම් අතර මහත් අවධානයට ලක් වූයේ ගල් අඟුරු මිලදී ගැනීමේ දී සංස්ථාවේ සභාපතිවරයා හා අදාළ කොම්පැනියේ අයකු සමග සිදුවී ඇ​ති ප්‍රසිද්ධ වූ දුරකතන සංවාදයයි. එය සරල කාන්දුවක් leak ලෙස බැලිය හැකි දෙයක් නොවේ. එය පද්ධතියේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය පිළිබඳ සජීවී දර්ශනයක් විය. මේ සංවාදය නිවැරැදිව සිදුවූවක් බව ගල් අඟුරු සමාගමේ සභාපතිවරයාම පසුව වෙනත් ලිපියකින් පිළිගෙන තිබේ.

එම සංවාදයෙන් පෙනී ගියේ, රාජ්‍ය ආයතන ස්වාධීනව ක්‍රියා නොකරන බව, දේශපාලන බලපෑම් තීරණ ගන්නා ක්‍රියාවලියට සෘජුවම බලපාන බව, නිලධාරීන් අතර වගකීම් සීමා සහ පාලන රීති පැහැදිලි නොවීම වැනි කාරණාය.

මෙය පෞද්ගලික වැරැද්දක් ලෙස පමණක් විස්තර කළ නොහැකිය. මෙය පද්ධතිමය අසාර්ථකත්වයයි. systemic failure එකකි. ආයතනික ව්‍යුහය දුර්වල වූ විට, පුද්ගලයන් වෙනස් කිරීමෙන් පමණක් ගැටලු‍ව විසඳා ගත නොහැකිය.

එපමණක් ද නොවේ. මෙය ආණ්ඩුවේ යාන්ත්‍රණය දැනුවත්ව සිදු වූ දෙයක් බව ඉතාමත් පැහැදිලිය. දැන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසිල් ගසමින් ජන්දය දෙමින් ජයකොඩි මන්ත්‍රීවරයා බේරා ගැනීමේ තේරුම වන්නේ කුමක්ද? එහි තේරුම වන්නේ “ඔව් මෙතැන දූෂණයක් තිබෙනවා තමයි. එය විගණකාධිපති තහවුරු කර තිබෙනවා තමයි. එය සභාපතිගේ ටෙලිෆෝන් සංවාදයෙනුත් තහවුරු වෙනවා තමයි. ඒත් අපට වැදගත් ආණ්ඩුවේ ඇමැතිවරයා මිසක් ඔය එකක්වත් නොවේ” වැනි එකකි.

මෙහිදී වැදගත්ම කරුණ වන්නේ, මෙම සංවාදය ජනතාවට යවන පණිවිඩයයි. එය සරලය. “පද්ධතියක් ලෙස වැඩ නොවෙයි. සම්බන්ධතා සහ බලපෑම් මත තීරණ ගනී.” මෙවැනි පණිවිඩයක් ජනතාවගේ විශ්වාසය බිඳ දැමීමට ප්‍රමාණවත්ය.

 

ගෝඨාගේ පාරටම හැරීම

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවසානය ආරම්භ වූයේ 20 වැනි සංශෝධනය සමගය. එය නීතිමය වශයෙන් සම්මත වුව ද, දේශපාලන වශයෙන් විශ්වාසය බිඳ දැමූ හැරවුම් ලක්ෂ්‍යයකි. අභ්‍යන්තර විවේචන නොසලකා හරිමින්, පෞද්ගලික තීරණ ප්‍රමුඛ කර ගැනීම සහ සන්නිවේදන අසාර්ථකත්වය එම ආණ්ඩුවේ පරාජයට මූලික විය.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව වැටෙන්නට පටන් ගත්තේ 20 වැනි සංශෝධනය ව්‍යවස්ථාවට ගෙන ඒමත් සමගය. විමල්, උදය, ගෙවිඳු අභ්‍යන්තරිකව ඒ ආණ්ඩුව තුළ සංවාදයක් ගොඩ නැගුවේ බැසිල් පාර්ලිමේන්තුවට ‍ගෙනෙන්නට ව්‍යවස්ථාව වෙනස් කරනවා කියාය. ඒ වෙලාවේ ආණ්ඩුව කළේත් අද ජවිපෙ ආණ්ඩුව කළ දේමය. ආණ්ඩුව අනතුරට දමා 20 වැනි සංශෝධනය ගේන ඒම හොඳ යැයි ඒ මොහොතේ ආණ්ඩුව කල්පනා කළේය. එපමණක් ද නොවේ. ආර්ථිකය සහ සන්​නිවේදනය යන ක්ෂේත්‍ර දෙකම ගෝඨාභය යටතේ අන්තිමටම අර්​බුදයට ගියේ ය.

මේ පිළිබඳව පෞද්ගලික අත්දැකීමක් මට ඇත. මම ඒ කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් මේ සන්නිවේදනයේ ගැටලු‍ව සෑම කණ්ඩායම් රැස්වීමකදීම මතු කෙරුවෙමි. එය තඹ දොයිතුවකට ගණන් නොගත්තා පමණක් නොව අප වැනි අයට ඒ ආණ්ඩුවේ කිසිම තැනක් නැති බව ඒ කාලයේ පැහැදිලිවම පෙන්නුම් කළේ බරපතළ අහංකාරයක් ද සමගිනි. මේ ආණ්ඩුවත් අද යන්නේ ඒ පාරේය. ‘අපි යන්නේ කොයි පාරේ - ගෝඨාභය ගිය පාරේ‘ කියා මැයි දිනයට සටන් පාඨයක් කීවාට වැරැද්දක් නැති ගාණට පරණ පාරටම වැටෙමින් පවතිනවාය.

 

දූෂණ විරෝධය අහිමිවීම

මෙම ආණ්ඩුව බලයට පැමිණියේ දූෂණ විරෝධය ප්‍රධාන දේශපාලන මුදලක් ලෙස භාවිත කරමිනි. එහෙත් විශ්වාසභංගය හා ගල් අඟුරු සිදුවීම් සමග එම මුදල දැඩි ලෙස අගය අඩු වී ඇත.

දූෂණ විරෝධය යනු slogan තේමා පාඨයක් නොව, institutional practice ආයතනික පිළිවෙතකි. එය පවත්වාගෙන යාමට නම් විනිවිද භාවය, වගවීම සහ නීතියේ ආධිපත්‍යය අවශ්‍යය. මෙවැනි සිදුවීම් එම මූලධර්මවලට විරුද්ධය.

 

සුක්කානම අතහැර පැදවීම

මෙම සියලු‍ සිදුවීම් එකට ගත් විට පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව දේශපාලන නාවිකයා ලෙස සුක්කානම අතහැර රිය පැදවීමක් කරමින් ඇති බවයි. මාර්ගය පාලනය කිරීම වෙනුවට, ප්‍රවණතාවලට ගලා යාමට ඉඩ දී තිබේ. දේශපාලනයේ සාර්ථකත්වය යනු බලය රැක ගැනීමෙන් පමණක් නොව, එය භාවිත කරන ආකාරයෙන් තීරණය වේ. විශ්වාසය නැති වූ බලය කාලයත් සමග කඩා වැටීම අනිවාර්යය.

(***)