ලංකා විදුලිබල මණ්ඩලයේ නොරොච්චෝල ලක්විජය බලාගාරයේ භාවිතය සඳහා ගල් අඟුරු ආනයනය කිරීමේ දී අක්‍රමිකතා සිදුව ඇති බවට විපක්ෂය නැඟූ චෝදනා ආදිය හේතුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාත්, එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතාත් සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ.
රජය දිගින් දිගටම ප්‍රකාශ කර සිටින්නේ ගල් අඟුරු ආනයනයේ දී වංචාවක් සිදුව නොමැති බවය. ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස රජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවත් වාර්තාවේ.
හිටපු තානාපතිවරයකු වූත්, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූත් ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ මහතා පසුගියදා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීය. ඒ ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නියමය පරිදි කොන්ත්‍රාත් සේවකයන් හතර දෙනකු ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට බඳවා ගෙන, ඔවුන් ඇමැතිවරයා වෙත මුදාහැරි බවට ගොනු කරන ලද චෝදනාවක් හේතුවෙනි. සරත් කෝන්ගහගේ මහතා දින දහයක් රිමාන්ඩ් සිර භාරයට පත් කෙරිණි.
ගල් අඟුරු වංචාවෙන් සිදුව ඇති පාඩුව පිළිබඳව බොහෝ පාර්ශ්ව විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන නමුදු ඒ පිළිබඳ රජයේ විගණකාධිපති වාර්තාව අනුව එමගින් සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 2.2 කි. සරත් කෝන්ගහගේ මහතා සිදු කර ඇතැයි සඳහන් පාඩුව පිළිබඳව වාර්තා නොවේ. කෙසේ වුව ද ගල්අඟුරු පාඩුව හා සසදන විට එය ඉතා අඩු මුදලක් බව පැහැදිලිය. කුමාර ජයකොඩි මහතාත් උදයංග හේමපාල මහතාත් ජාතික ජන බලවේගයේ හිතවත්හුය. සරත් කෝන්ගහගේ මහතාගේ බිරිඳ ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ හේවාහැට ආසනයේ සංවිධායකවරිය වන අතර එම පක්ෂයේ කාන්තා පෙරමුණේ නායිකාවක් ද වන්නීය.
විපක්ෂය රජයේ වැරැදි පිළිබඳව ප්‍රමාණවත් තරමින් කටයුතු නොකරන බවත්, විපක්ෂය ආකාර්යක්ෂම බවත් සමහරු ප්‍රකාශ කරති. එසේ වුව ද බලශක්ති ඇමැතිවරයාටත්, එම ලේකම්වරයාටත් ගෙදර යෑමට සිදුවූයේ විපක්ෂය එම කරුණු හෙළිකර රජයට එරෙහිව විශාල ජනමතයක් ගොඩනැගීම හේතුවෙනි. මෙහිදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුව තුළ දී මෙන්ම ඉන් පිටතදී ද මෙම වංචාව හෙළි කළ ආකාරය නොවන්නට, ඒ පිළිබඳව ඇතැම් කරුණු හෙළිදරව් නොවීමට ඉඩ තිබුණි. ඔහු වරින්වර විස්තරාත්මකව සහ කිසිවකුට නොබිඳිය හැකි ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර තිබුණි. ඒ අතරම විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඒ පිළිබඳ විවාදයේ බොහෝ කරුණු රටට හෙළිදරව් කළේය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ බලශක්ති ඇමැතිවරයා එම ධුරයට පත්වීමට පෙර ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් උසාවිය ඉදිරියේ නඩු පවරා ඇති නමුදු ඇමැති ධුරයට පත්වීමෙන් පසු වරදක් කර නැති බැවින් ඔහු ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට හේතුවක් නැතැයි ද ප්‍රකාශ කළේය.
බාල ගල් අඟුරු මිලදී ගැනීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අත් විඳීමට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ඉදිරිපත් කර ඇති වාර්තා මගින් විපක්ෂය කරුණු තහවුරු කිරීමට කටයුතු තිබුණි. ගල් අඟුරු සැපයුම්කරු එකඟවී ඇති ප්‍රමිතියට වඩා අඩු ප්‍රමිතියකින් යුත් ගල් අඟුරු සපයා ඇතැයි ද ඒ හේතුවෙන් අපේක්ෂිත විදුලි නිෂ්පාදනයට වඩා අඩුවෙන් විදුලි නිෂ්පාදනය සිදුවන බව ද පෙන්වා දෙන ලදී. මේ සම්බන්ධයෙන් නොරොච්චෝල විදුලි බලාගාරයෙන් ලබාගත් සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරන ලදී. මහජන උපයෝගිතා කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ යටිතල සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාවකින් සිදුව ඇති පාඩුව සම්බන්ධ විස්තරාත්මක තොරතුරු ඉදිරිපත් විය. එවැනි අවස්ථාවල දී ආණ්ඩු පක්ෂය විවිධ කරුණු ඉදිරිපත් කරමින් වංචාවක් සිදුව නොමැති බව ද, නියමිත ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සැපයීම හේතුවෙන් සැපයුම්කරුගෙන් මුදල් අයකර ගත හැකි බව ද ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ ‘කාලා බලා’ ගල්අඟුරු මිලදී ගන්නා ක්‍රමවේදයක් නොමැති බවයි. එසේ වුව ද රජයේ විගණන දෙපාර්තමේන්තුවේ විගණන වාර්තාවෙන් ගල් අඟුරු මිලදී ගැනීම හේතුවෙන් දැරීමට සිදුව ඇති පාඩුව පිළිබඳව සංඛ්‍යා සහිතව ඉතා පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කර තිබුණි. සැපයුම්කරුවන් තෝරා ගැනීමේ දී සිදුව ඇති වැරැදි පිළිබඳව ද එහි සඳහන් වී තිබුණි. විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 153 දෙනකු විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර එය පරාජය කර දැමීම ආණ්ඩුව ලැබූ සුවිශාල ජයග්‍රහණයක් ලෙස රජයේ මාධ්‍ය සහ සමහර සමාජ මාධ්‍ය හඳුන්වා දී තිබුණි. ඉතිහාසය ප්‍රතිනිර්මාණය වේ. බාල ඖෂධ සම්බන්ධ කෙහෙළිය රඹුක්වැල්ල සිද්ධියේ දී විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීන් ජනතා ද්‍රෝහීන් ලෙස ජාතික ජන බලවේගය විසින් හඳුන්වන ලදී. විශ්වාසභංගය පරාජය වුව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සිය තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන්නේය. ජාතික ජන බලවේගයේ නායකයන් සැමවිටම ප්‍රකාශ කරන්නේ තමන් ඊට පෙර පැවැති ආණ්ඩුවලට වඩා වෙනස්ව කටයුතු කරන බවය. කෙහෙළියට එරෙහිව චෝදනා විමර්ශනය කරන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. කුමාර ජයකොඩි මහතාට එරෙහිව පරීක්ෂණ කරනු ලබන්නේ ජනාධිපති කොමිසමක් විසිනි. ජනාධිපති කොමිසමකට පුද්ගලයන් වැරැදිකරුවන් වුවත් දඬුවම් පැමිණවීමේ කිසිදු බලයක් නැත. ජාතික ජන බලවේග රජය ඇති කර තිබෙන වෙනස එයයි.
රටේ බලශක්තිය පිළිබඳ තවත් අපූරු තොරතුරක් පසුගිය දා අහම්බෙන් මෙන් හෙළිදරව් විය. HSBC බැංකුවේ ප්‍රධානි ජෝර්ජස් එල්හෙන්රි (Georges Elhengry) මහතා ජාත්‍යන්තර සමුළුවක දී ප්‍රකාශ කර තිබුණේ ඇතැම් රටවලට ලෝක වෙළෙඳපොළේ තෙල් මිලට වඩා වැඩි මුදලක් තෙල් සපයා ගැනීමේ දී ගෙවීමට සිදුව ඇති බවත්, ශ්‍රී ලංකාව ඩොලර් 286 ක් වැනි ඉහළ මිලක් තෙල් බැරලයක් වෙනුවෙන් ගෙවා ඇති බවත්ය. එම පුවත ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාලවල ප්‍රකාශයට පත්වීමත් සමග මාධ්‍ය හමුවක් පැවැත්වූ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ඇතැම් අය සංස්ථාව විසින් ‘බොරතෙල්’ බැරලයකට ඩොලර් 286 ක් ගෙවා ඇති බව ප්‍රකාශ කළ නමුදු සංස්ථාව කිසිවිටෙකත් එවැනි මිලකට ‘බොරතෙල්’ මිලදී ගෙන නොමැති බවයි. HSBC ප්‍රධානියා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව තෙල් බැරලයක් ඩොලර් 286කට මිලදී ගෙන ඇති බව මිස ‘බොරතෙල්’ බැරලයක් එම මිල ගණන් යටතේ මිල දී ගෙන ඇති බව නොවේ. සභාපතිවරයා ‘බොරතෙල්’ යන වචනය පටලවා සිදුවීම වෙනතකට යොමු කිරීමට උත්සාහ කළ නමුදු ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සැබෑ තත්වය හෙළි කිරීමට ඔහුට සිදු විය. අවසානයේ දී ඩොලර් 286 බැගින් බැරලයකට ගෙවමින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඩීසල් මීලදී ගත් බව පිළිගැනීමට ඔහුට සිදු විය.
ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ගෙන්වීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට විශාල පාඩුවක් සිදුව තිබේ. ඒ අතරම ඉතා ඉහළ මිලකට ඩීසල් මිලදී ගෙන තිබේ. එහි ප්‍රතිඵලය අතිශය භයානකය. ගල් අඟුරුවලින් නියමිත පරිදි විදුලිය නිපදවීමට නොහැකිවීම හේතුවෙන් ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවේ. ඒ සඳහා බැරලයක් ඩොලර් 286කට මිලදී ගත් ඩීසල්ද යොදා ගැනීමට සිදුවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තරයේ ප්‍රකාශ කර සිටින්නේ ලංකා විදුලිබල මණ්ඩලයත්, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවත් තම වියදම් පියවා ගන්නා ආකාරයෙන් විදුලි මිල ගණන් සහ ඉන්ධන මිල ගණන් පවත්වා ගෙන යායුතු බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරික දීමට පෙර විදුලි බිල යළි වැඩි කරන ලෙස ද එම අරමුදල ආණ්ඩුවට දන්වා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ප්‍රධානි එවන් පැපජෝර්ජියෝ (Even Papageorgio) මාධ්‍ය හමුවක දී පැහැදිලිවම ප්‍රකාශ කර තිබුණේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් විදුලි නිපදවීමට වැයවන වියදම ඉහළ ගොස් ඇති බවත්, විදුලිබිල වැඩි කිරීමට එය ද හේතුවක් වනු ඇති බවත්ය.
ගල්අඟුරු මිලදී ගැනීම සහ ඛනිජ තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ මෙම ක්‍රියා පිළිවෙතේ මුල්ම ප්‍රතිඵලය වන්නේ එමගින් දැරීමට සිදුවන පාඩුව ගෙවීමට මහජනතාවට සිදුවීමය. විදුලිබිල ඉතා නුදුරේදීම යළිත් වරක් ඉහළ දැමීමට රජය කටයුතු කරනු ඇත. ලෝකයේ ඉහළම මිලකට ඩීසල් මිලදී ගැනීමෙන් පසු සිදුවන පාඩුව පියවා ගැනීමට ද ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වනු ඇත. එසේ වුවද මෑතක දී ලංකාවේ ගබඩා කර තිබූ ඉන්ධන වෙනුවෙන් ගෙවීමට ඇති මිල සියයට 30 කින් පමණ වැඩි කිරීමෙන් පසු රජය විශාල ලාබයක් ලබන බැවින් ඉන්ධන මිල වැඩි කිරීමෙන් වැළකී සිටීමට වුව ද රජයට හැකියාවක් තිබේ. විදුලි බිල සහ ඉන්ධන මිල ගණන් වැඩි කිරීමේ ප්‍රතිඵලය වන්නේ උද්ධමනය වැඩිවීම, මහජනතාවගේ ජීවන බර වැඩිවීම සහ රටේ ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්වීමය.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd