ලෝකයට යම් සහන එළියක් දල්වමින් මැදපෙරදිග යුද්ධය අවසන් වීමේ ලකුණු පහළ වෙමින් තිබේ. මේ වන විට ඇමෙරිකාව සහ ඉරානය සටන් විරාමයකට එළැඹ ඇති අතර දෙපාර්ශවය ම සාමයට ඇති කැමැත්ත පෙන්වා ඇත. එහෙත් මේ ක්‍රියාවලියට අභියෝග නැතුවා නොවේ.
ඒ බව දැනටමත් අඟවමින් දෙපාර්ශවය අතර නැවතත් පරස්පරතා ඇතිව තිබේ. ඒ සටන් විරාමයට ලෙබනනය ඇතුළත් ද යන කාරණය මුල් කරගෙන සහ ප්‍රශ්නයේ උණුසුම් ස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ ආකෘතිය පදනම් කරගෙනය. ලෙබනනය සටන් විරාම ක්‍රියාවලියට අයත් බව සාම මැදිහත්කරු වන පාකිස්තානය කියා සිටිය ද ඊශ්‍රායලය එය පිළිගන්නා බවක් දක්නට නැත. ඇමෙරිකාව ද සුපුරුදු පරිදි ඊශ්‍රායලය හමුවේ නැටවෙන සෙයකි. මේ අතර හෝමුස් සම්බන්ධ ඉරානයේ යෝජනාවක් වන ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ද ගැටලු මතුව ඇත. මෙවන් තත්වයක් තුළ සති දෙකේ සටන් විරාමය අතිශය අස්ථාවර බවක් මෙන්ම බිඳ වැටිය හැකි අනතුරක් ද පෙන්වා ඇත.
අප අද මෙම ලිපියෙන් මැද පෙරදිග අර්බුදය දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නේ නැත. අප රටට එම අර්බුදය විසල් පින්තූරය මත දැනෙමින් තිබෙන අවස්ථාවක, ඊට බොහෝ පෙර හටගත් ලංකාවේ බලශක්ති අර්බුදයේ නවතම පරිච්ඡේදයක් මෙහි සාකච්ඡා කෙරේ.
පසුගිය සතියේ සාමාන්‍ය ජනතාවට එල්ල වූ දරුණුතම පහරක් වන්නේ විදුලි බිල ඉහළ යාමයි. ආණ්ඩුව උත්සාහ කරන්නේ අදාළ බිල ඉහළ යාම පිටුපස ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාම බව පෙන්වා දීමටයි. එහි යම් බලපෑමක් තිබෙන බව අපි බැහැර නොකරමු. එහෙත් එය පමණක් නොව, රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා මීට වගකිවයුතු බව මේ සතියේ නිකුත් වූ විගණකාධිපති වාර්තාවෙන් සහසුද්දෙන් ඔප්පු වී තිබේ. විශේෂයෙන්ම ගල්අඟුරු ටෙන්ඩර් පටිපාටිය තුළ සිදුව ඇති මහා පරිමාණ මූල්‍ය අවභාවිතය දැන් රට හමුවේ නිරාවරණය වී හමාරය.
විගණකාධිපති වාර්තාවෙන් හෙළි වන ‘සැලසුම් සහගත වංචාව’
ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ විශේෂ වාර්තාව දෙස බැලීමේ දී පෙනී යන්නේ, මෙය හුදු පරිපාලනමය අතපසුවීමක් නොව ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද මූල්‍ය අක්‍රමිකතාවක් බවයි. ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින්, වඩාත් වාසිදායක සැපයුම්කරුවන් බැහැර කර, අනීතික සමාගම් වෙත වැඩි මිලට ටෙන්ඩර් ලබා දීම හරහා රජයට සිදු වී ඇති ඍජු මූල්‍ය පාඩුව රුපියල් බිලියන ගණනකි.
ගල්අඟුරු ටෙන්ඩරයේ අක්‍රමිකතා පිළිබඳ විගණන වාර්තාවේ ප්‍රධාන කරුණු
1. ප්‍රධාන ටෙන්ඩරය සඳහා ලියාපදිංචි නොවූ සැපයුම්කරුවකු තෝරා ගැනීම; 2025/2026 වසර සඳහා වන දීර්ඝ කාලීන ගල්අඟුරු සැපයුම් ටෙන්ඩරය ඉන්දියාවේ ‘ට්‍රයිඩන්ට් කෙම්ෆාර්‘ (Trident Chemphar Limited) සමාගමට පිරිනමා ඇත. ටෙන්ඩර් කැඳවන අවස්ථාව වන විටත් එම සමාගම අවශ්‍ය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණ කර නොතිබිය දී මෙම තීරණය ගෙන තිබේ.
2. ප්‍රශ්නගත විද්‍යාගාරයක් මගින් ගල්අඟුරු පරීක්ෂාව සිදු කිරීම; නැව්ගත කරන වරායේ දී ගල්අඟුරු පරීක්ෂා කිරීමේ කටයුතු කර ඇත්තේ බලපත්‍රය කල් ඉකුත් වූ විද්‍යාගාරයක් මගිනි. මේ හේතුවෙන් නෞකා 12 ක ගල්අඟුරු තත්ව වාර්තාවල විශ්වාසනීයත්වය පිළිබඳ බරපතළ ගැටලු මතු වී ඇත.
3. බාල ගල්අඟුරු නිසා රුපියල් බිලියන 2.23 ක ඇස්තමේන්තුගත පාඩුවක්; ගල්අඟුරු වල ගුණාත්මකභාවය අඩු වීම නිසා විදුලිය උත්පාදනය සඳහා වැඩි ගල් අඟුරු ප්‍රමාණයක් දහනය කිරීමට සිදු වී ඇත. ඒ හේතුවෙන් රුපියල් මිලියන 2,237.7 ක අතිරේක පාඩුවක් සිදුව ඇති බව විගණනයේ දී ගණනය කර තිබේ.
4. විදුලි උත්පාදනය අඩු වීම නිසා අතිරේක විදුලිය අවශ්‍ය වීම; ගල්අඟුරුවල බාල තත්වය හේතුවෙන් උපරිම ධාරිතාවෙන් විදුලිය නිපදවීමට නොහැකි වී ඇත. මේ නිසා ඇතැම් තත්ව යටතේ කිලෝවොට් පැය මිලියන 114 ක් දක්වා වූ අතිරේක විදුලි අවශ්‍යතාවක් විකල්ප බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට බලධාරීන්ට සිදු වී ඇත.
5. රුපියල් බිලියන 2.33 ක විභව දඩ මුදලක්; සැපයුම්කරුගේ කාර්ය සාධනයේ පවතින අඩුපාඩු හේතුවෙන් රුපියල් මිලියන 2,332.5 ක පමණ දඩ මුදලක් සැපයුම්කරුගෙන් අය කර ගැනීමට හැකියාව පවතින බව විගණනය මගින් පෙන්වා දී ඇත.
6. දින 40 ක කාලය තුළ ගල්අඟුරු ආනයනය කිරීමට අපොහොසත් වීම 2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාස අතර ගල්අඟුරු ආනයනය කිරීමට හැකිව තිබූ දින 40 ක කාලසීමාව තුළ එසේ කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇත. මෙය සැපයුම් සීමා වීමට සෘජුවම බලපා තිබේ.
7. බාල මට්ටමේ සැපයුම්කරුවකුගෙන් හදිසි මිලදී ගැනීම් සිදු කිරීම ප්‍රමාදය හේතුවෙන්, මීට පෙර අවශ්‍ය තත්ව ප්‍රමිති සපුරාලීමට අපොහොසත් වූ සැපයුම්කරුවකුගෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් 3,00,000 ක් හදිසියේ මිලදී ගැනීමට සිදු වී ඇත.
පිරිවැය අවම කර ජනතාවට සහනයක් දීම වෙනුවට, විනිවිදභාවයකින් තොරව සිදු කළ මෙම ගනුදෙනු නිසා ජාතික පද්ධතියට එක්වන විදුලි ඒකකයක පිරිවැය අනවශ්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. විගණකාධිපති වාර්තාව පෙන්වා දෙන්නේ නිසි ප්‍රමිතියෙන් තොර සහ අධික මිලෙන් යුතු ගල්අඟුරු මිලදී ගැනීම නිසා විදුලිබල මණ්ඩලය පමණක් නොව, සමස්ත රටේ මූල්‍ය ස්ථාවරත්වයම අනතුරේ වැටී ඇති බවයි. ලියාපදිංචිය පවා නිසි පරිදි නැති සමාගමකට ගල්අඟුරු ටෙන්ඩරය ලබා දීමෙන් කියා පාන්නේ, මෙම මහා පරිමාණ වංචාව තුළ විදුලිබල ඇමැතිවරයා සහ පිරිස යෑමට සූදානම් වූ දුරයි. මේ, මෙවන් ටෙන්ඩර් පිළිබඳ කරන සාකච්ඡා පවා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ මහජනතාවට බලාගත හැකිවන පරිදි සජීවීව විකාශය කරන බව ප්‍රකාශ කළ ආණ්ඩුවක් බව අමතක නොකරන්න.
ඍජු පාඩුවෙන් පීඩා විඳින වක්‍ර වින්දිතයා
ආණ්ඩුවේ මෙම වැරැදි සහ දූෂිත ටෙන්ඩර් තීන්දුවල ඍජු මූල්‍ය පාඩුව ගණනය කළ හැකි වුව ද, ඉන් ඇති වූ වක්‍ර පාඩුව අතිමහත්ය. ලංවිම ලබන පාඩුව පියවා ගැනීමට ආණ්ඩුව තෝරා ගන්නා කෙටිම මග වන්නේ විදුලි බිල ඉහළ දැමීමයි.
නිෂ්පාදන පිරිවැය ඉහළ යාම: විදුලි බිල වැඩි වීමත් සමග දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සිය නිෂ්පාදන පිරිවැය ඉහළ දැමීමට සිදු වී ඇත.
ජීවන වියදම:- කර්මාන්තශාලාවල පිරිවැය වැඩි වීම අවසානයේ නතර වන්නේ වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමෙනි. එනම්, ගල්අඟුරු ටෙන්ඩරයෙන් වංචා කළ මුදල අවසානයේ ගෙවනු ලබන්නේ රටේ අහිංසක පාරිභෝගිකයාය.
අධ්‍යාපනය සහ සෞඛ්‍යය: සාමාන්‍ය නිවෙසක විදුලි බිල දරාගත නොහැකි මට්ටමට ඉහළ යාම නිසා දරුවන්ගේ අධ්‍යාපනයට සහ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වයට එල්ල වී ඇති බලපෑම මුදලින් මැනිය නොහැකිය.
වගවීමක් නැති දූෂිත පාලනයක්
පසුගිය කාලසීමාව පුරාම විදුලි බිල අඩු කරන බවට පොරොන්දු දුන් ආණ්ඩුව, තිරය පිටුපස මෙවැනි අක්‍රමිකතාවලට ඉඩ දී බලා සිටීම හාස්‍යයට කරුණකි. විගණකාධිපති වාර්තාවෙන් අක්‍රමිකතා තහවුරු වී තිබියදීත්, වගකිවයුතු නිලධාරීන්ට හෝ දේශපාලන අධිකාරියට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම තුළින් පෙනී යන්නේ පසුගිය කාලය පුරාම ආණ්ඩුව දේශපාලන වේදිකාවල සහ පාර්ලිමේන්තුව තුළ පවා නිරන්තරව බෙරිහන් දුන් දුෂිත ක්‍රමය පෙරටත් වඩා තීව්‍රව දැන් ක්‍රියාත්මක වන බවයි. මේ ආකාර මහදවල් වංචා මේසා නිර්ලජ්ජිත ලෙස මෙරට සිදුව නැත.
ජනාධිපති අනුර දිසානායක පසුගිය දා පාර්ලිමේන්තුවට විත් “ගල් අඟුරු ගන්නේ කාල බලල නෙමෙයි” යනුවෙන් කියා මේ වංචාව සාධාරණීකරණය කිරීමට උත්සාහ දරනු දක්නට හැකි විය. කිසිවෙක් කාලා බලා ගල්අඟුරු ගන්නේ නැත. ඊට නිසි ක්‍රමවේදයක් තිබේ. ප්‍රශ්නය ඇත්තේ එය අනුගමනය නොකිරීම තුළයි. දූෂණයට සහ වංචාවට එරෙහි ජනවරමකින් පත්වූ ජනාධිපතිවරයා මෙවන් කතා කීම බලා සිටීමට පවා අපුල දසුනක් බව නොකිවමනා ය. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා මේතාක් අදාළ ඇමැතිවරයාට හෝ මේ මගඩියට ඍජුව සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව කිසිදු පියරවරක් ගෙන නැත. ඒ මතු නොව, මෙම ඇමැතිවරයාට ම එරෙහිව පසුගිය දා අධිකරණයේ ඔහුගේ වෙනත් වරදකට අධිචෝදනා ද බාර දෙනු ලැබුණි. එහෙත් ජනාධිපතිවරයා මේ සියල්ල සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය ගැටලුකාරිය
මේ අතර, වත්මන් ජවිපෙ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ රහස් මන්දිර නැවත නැවතත් හෙළිදරව් වෙමින් තිබේ. කෘෂිකර්ම ඇමැතිවරයාගේ කඩුවෙල ප්‍රදේශයේ තිබෙන මන්දිරයක් ගැන පසුගිය සතියේ සමාජ මාධ්‍ය කළඹමින් තිබුණේ ය. තම ජීවිතය පුරා අනුන්ගෙන් සම්මාදම් කරගෙන ජීවිතය ගැටගසා ගත් බව කියමින් සිටි මේ මැති ඇමැතිවරුන්ට එක්වරම මේසා විශාල ධනයක් පහළ වූයේ කෙසේ දැයි සෑම සියලු දෙනාටම ප්‍රශ්නයක් වීම කිසිසේත්ම පුදුම විය යුතු නොවේ. අදාළ ඇමැතිවරයා ඒ ගැන කියා තිබුණේ තමන්ට හිතවතුන්ගෙන් ලැබුණු ධනයෙන් නිවෙස හැදූ බවයි. ඔය කියන ‘හිතවතුන්ට’ පෙරළා අදාළ ඇමැතිවරයාගෙන් දෙන දේට වඩා වාසියක් නොමැතිව කෝටි ගණන් පිනට දෙන්නේ නැත. විදුලිබල අමාත්‍යාංශය තුළ ද සිදුවූ මේ මහා ගල්අඟුරු වංචාව හෙළිවෙමින් තිබෙන්නේ ද එවන් පසුබිමකය.
ආණ්ඩුව වහාම කළ යුත්තේ මෙම විගණන වාර්තාව මත පදනම්ව ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වංචාකරුවන් හෙළිදරව් කිරීමයි. එසේ නොමැතිව දිගින් දිගටම පාඩු පෙන්වමින් ජනතාවගේ විදුලි බිල වැඩි කිරීමට උත්සාහ කරන්නේ නම්, එය රටේ ජනතාවට කරන මහා ද්‍රෝහිකමකි. දූෂිත ටෙන්ඩර්කරුවන්ගේ සාක්කු පිරවීමට රටේ ජනතාවට සිය දහඩිය මුදලින් වන්දි ගෙවීම වහා නැවතිය යුතුය.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd