ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය බලාපොරොත්තු නොවූ පරිදි දීර්ඝවීම සම්බන්ධයෙන් කතිකාවක් ඇති වී තිබේ. මේ හේතුවෙන් මහාධිකරණ, දිස්ත්‍රික් සහ මහේස්ත්‍රාත් විනිසුරුවරුන්ගේ උසස්වීම් මාර්ග ඇහිරී ඇතැයි ද බොහෝදෙනා චෝදනා කරති. මේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඒ සම්බන්ධයෙන් කළ විග්‍රහයයි. 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයක් ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍යම අංගයකි. අධිකරණයට තම මහජන වගකීම් කිසිදු බලපෑමකින් තොරව ඉටු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා අප රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රබල විධිවිධාන සලසා ඇත. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ ධුර කාලය ආරක්ෂා කිරීම සඳහා විශේෂ නීතිමය ආවරණයක් ලබා දී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) වගන්තියට අනුව, විනිසුරුවරයකු සිය ධුරයෙන් ඉවත් කළ හැක්කේ ඔප්පු කරන ලද විෂමාචාරයක් හෝ අබලතාවක් මත පමණි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරයකගේ එකඟතාව සහිත යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර, ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලබන නියෝගයකින් පමණක් ඔවුන් ධුරයෙන් ඉවත් කළ හැකිය. විනිසුරුවරුන් ස්වාධීනව කටයුතු කිරීමට නම් ඔවුන් විශ්‍රාම ගන්නා වයස පිළිබඳව ද නිශ්චිත සහතිකයක් තිබිය යුතුය. එම නිසා ඔවුන්ගේ සේවා කාලය අවසන් වන වයස ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම තීරණය කර ඇත. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65ක් ලෙසත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63ක් ලෙසත් ස්ථිරවම දක්වා තිබේ.

 

ප්‍රතිසංස්කරණය සඳහා වන යෝජනාව

මෙම ව්‍යවස්ථාපිත නීති රීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භ කළ දා සිටම නොවෙනස්ව ක්‍රියාත්මක විය. එසේ වුවත්, පසුගිය මාර්තු 13 වැනිදා ‘ප්‍රධාන පෙළේ’ පුවත්පතක පළ වූ ප්‍රධාන පුවතක් කෙරෙහි මේ වන විට මහජනතාවගේ දැඩි අවධානය යොමු විය. එහි සඳහන් වූයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ සේවා කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට රජය යෝජනා කර ඇති බවයි. රජයේ සැබෑ අභිලාෂය මෙය නම්, එය ප්‍රතිපත්තිමය වශයෙන් දැඩි කනස්සල්ලට කරුණක් වන අතර, ඒ හරහා බරපතළ ප්‍රතිවිපාක රැසක් නිර්මාණය විය හැකිය.

අධිකරණ පද්ධතියේ ඉහළින්ම පිහිටි මෙම උසාවි මගින් පුරවැසියන් අතර මෙන්ම රජය සහ මහජනතාව අතර ඇති වන ගැටලු‍වලදී යුක්තිය පසිඳලීම සිදු කරනු ලබයි. අධිකරණ පද්ධතියක් කෙරෙහි මහජන විශ්වාසය රැඳී පවතින්නේ එම ආයතනය අපක්ෂපාතිත්වයකින් යුතුව කටයුතු කරන්නේ යැයි යන විශ්වාසය මතය. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහජනතාව තුළ ඉතා සුළු හෝ සැකයක් මතු නොවිය යුතුය යන්න මෙහිදී ඉතා වැදගත් මූලධර්මයකි. ‘ඇත්ත’ පුවත්පත් වාර්තාව නිවැරැදි නම්, ඉන් සිදුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය යන විශේෂිත අධිකරණ දෙකක විනිසුරුවරුන්ට පමණක් ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කරමින් සුවිශේෂ වාසියක් හෝ ප්‍රතිලාභයක් ලබාදීමයි. මෙවැනි පියවරක් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ යහපැවැත්මට කොතරම් දුරට බලපාන්නේ ද යන්න මෙහිදී පැන නගින ප්‍රධාන ප්‍රශ්නයයි.

 

ප්‍රතිපත්තිමය කරුණු

මෙහිදී වඩාත්ම අවධානයට ලක්විය යුත්තේ යුක්තිය පසිඳලීමේ පද්ධතියක ප්‍රධාන කුලු‍නක් බඳු මූලධර්මයකි. ලෝක ප්‍රකට නීති විශාරදයකු වූ ලෝඩ් හේවර්ට් ප්‍රකාශ කර ඇති පරිදි, “යුක්තිය ඉටු වීම පමණක් ප්‍රමාණවත් නොවේ; යුක්තිය ඉටු වන බව පැහැදිලිවම පෙනෙන්නට ද තිබිය යුතුය.” මෙහි මූලික අදහස වන්නේ, සැබෑ ලෙසම යුක්තිය ඉටු වීමට සමාන වටිනාකමක්, ඒ පිළිබඳව මහජනයා තුළ ඇති වන දැක්මට ද හිමි වන බවයි. අධිකරණය යම් පාර්ශ්වයකට පක්ෂපාති බවට සාමාන්‍ය ජනයා තුළ සුළු හෝ සැකයක් මතු වුවහොත්, එය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියම දූෂිත කිරීමට හේතු වේ. අධිකරණ පද්ධතියක පදනම වන්නේ ඒ කෙරෙහි මහජනතාව තබා ඇති නොසැලෙන විශ්වාසයයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද පෙන්වා දී ඇති පරිදි, අධිකරණයේ බලය රඳා පවතින්නේ ජනතාව ඒ කෙරෙහි තබා ඇති විශ්වාසය මතය. යුක්තිය පසිඳලීම දෘශ්‍යමාන ලෙස සාධාරණව සිදු වන විට පමණක් එම විශ්වාසය ආරක්ෂා වේ. ජේ.බී. මෝටන් පවසන පරිදි, “යුක්තිය විශ්වාස කිරීමට නම් එය (ඉටු වන බව) පෙනෙන්නට තිබිය යුතුය.”‍ මෙහිදී තීරණයක නීත්‍යනුකූලභාවය පමණක් නොව, එම තීරණයට එළැඹෙන ක්‍රියාවලිය ද එක සේ වැදගත් වේ. විනිසුරුවරුන් විසින් දෙනු ලබන තීරණ හුදෙක් නීතිමය තාක්ෂණික කරුණු මත පමණක් නොව, සාමාන්‍ය මහජන විමර්ශනය හමුවේ ද සාධාරණ විය යුතු බව මෙරට ශ්‍රේෂ්ඨ විනිසුරුවරුන් වූ මාර්ක් ප්‍රනාන්දු සහ සමරවික්‍රම වැනි විද්වතුන් පෙන්වා දී ඇත. අධිකරණයක් සතු ආයතනික ගෞරවය රැඳී පවතින්නේ පක්ෂපාති බවට පෙනෙන කුඩා හෝ ඉඩකඩක් ඉවත් කිරීම මතය. එබැවින් විවෘත සහ විනිවිද පෙනෙන යුක්තිය පසිඳලීමේ ක්‍රමය ඕනෑම අධිකරණ පද්ධතියක ස්ථිර පදනම ලෙස සැලකේ.

 

ප්‍රායෝගික ගැටලු‍

මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් පැනනගින ප්‍රායෝගික ගැටලු‍ ද සුළුපටු නොවේ. මෙහි ඇති ප්‍රධානම ගැටලු‍ව වන්නේ මෙරට සමස්ත අධිකරණ පද්ධතියේම විනිසුරුවරුන් සිටියදී, ඉන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය යන ඉහළම අධිකරණ දෙකේ විනිසුරුවරුන්ට පමණක් මෙම වරප්‍රසාදය හිමි වීමයි. මෙහි ඍජු ප්‍රතිඵලයක් ලෙස මහාධිකරණ, දිස්ත්‍රික් සහ මහේස්ත්‍රාත් විනිසුරුවරුන්ගේ උසස්වීම් ලැබීමේ අවස්ථා ඇහිරී යයි. ඉහළ අධිකරණවල විනිසුරුවරුන් විශ්‍රාම නොගොස් තවදුරටත් රැඳී සිටීම නිසා පහළ විනිසුරුවරුන්ට තමන් බලාපොරොත්තු වූ කාලයට උසස්වීම් ලබා ගැනීමට නොහැකි වන අතර, මෙය ඔවුන්ගේ වෘත්තීය උනන්දුව හීනවීමට ද හේතුවක් විය හැකිය. මෙම ගැටලු‍ව විසඳීමට සියලු‍ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් වැඩි කළහොත්, එවිට සමස්ත රාජ්‍ය සේවය තුළම අසමතුලිතතාවක් නිර්මාණය වේ. දැනට පවතින ක්‍රමය අනුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස තීරණය කර ඇත්තේ අනෙකුත් වෘත්තීය ක්ෂේත්‍ර ද සැලකිල්ලට ගනිමිනි. උදාහරණයක් ලෙස; විශ්වවිද්‍යාල මහාචාර්යවරු වයස 65 දී ද, වෛද්‍ය විශේෂඥයෝ 63 දී ද, සාමාන්‍ය රාජ්‍ය සේවකයෝ 60 දී ද විශ්‍රාම ගනිති. කිසිදු පැහැදිලි හේතුවක් හෝ පොදු ප්‍රතිපත්තියක් නොමැතිව අධිකරණ ක්ෂේත්‍රයට පමණක් විශේෂ වරප්‍රසාදයක් ලබා දීම අනෙකුත් රාජ්‍ය සේවකයන් තුළ දැඩි කලකිරීමක් සහ අසාධාරණයක් ඇති කිරීමට හේතු වනු ඇත. මෙය හුදෙක් සදාචාරාත්මක ප්‍රශ්නයක් පමණක් නොව, බරපතළ නීතිමය ප්‍රශ්නයක් ද වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් තහවුරු කර ඇති ‘සමානත්වයේ මූලධර්මය’ මෙහිදී උල්ලංඝනය වන බවට තර්ක කළ හැකිය. එහි ඇති වඩාත්ම බැරෑරුම් තත්වය වන්නේ, මෙම යෝජනාවට එරෙහිව නීතිමය පියවරක් ගනු ලැබුවහොත්, එහි තීන්දුව ලබාදීමට සිදු වන්නේ ද මෙම යෝජනාවෙන් ඍජුවම ප්‍රතිලාභ ලබන ශ්‍රේෂ්ඨාධිකරණයටම වීමයි. එය යුක්තිය පසිඳලීමේ ස්වාධීනත්වය පිළිබඳ තවත් ගැටලු‍වක් මතු කරයි.

 

කැබලි සංශෝධනයක් ද? සමස්ත ප්‍රවේශයක් ද?

මෙවැනි වෙනසක් සිදු කිරීමට රජය බලාපොරොත්තු වන්නේ නම්, එය දැනට පවතින ව්‍යවස්ථාවට එක් කරන හුදෙක් ‘කැබලි කළ සංශෝධනයක්’ ලෙස ඉදිරිපත් කිරීම කොතෙක් දුරට ප්‍රායෝගික ද යන්න විමසා බැලිය යුතුය. රජය දැනටමත් පොරොන්දු වී ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය තුළදී මෙය සමස්ත ව්‍යුහයේම කොටසක් ලෙස සාකච්ඡාවට ගැනීම වඩාත් උචිත වනු ඇත. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණය පිළිබඳ පරිච්ඡේදය අනෙකුත් වැදගත් ලක්ෂණ හා වගන්ති සමග අන්තර් සබඳතාවකින් යුක්තය. එබැවින්, එක් කොටසක් පමණක් හුදෙකලාව වෙනස් කරනවාට වඩා, සමස්ත පද්ධතියටම බලපාන ඒකාබද්ධ ප්‍රවේශයක් මගින් මෙවැනි ප්‍රතිසංස්කරණ දෙස බැලීම වඩාත් යෝග්‍ය වේ.

 

නිගමනය

සාරාංශයක් ලෙස පවසන්නේ නම්, යෝජිත මෙම වෙනස අධිකරණයේ ආයතනික ගෞරවයට මෙන්ම විනිසුරුවරුන්ගේ කීර්තිනාමයට සහ ගරුත්වයට ද අහිතකර ලෙස බලපානු ඇත. එබැවින්, මෙහි අන්තර්ගත සියලු‍ ගැටලු‍ පිළිබඳව ගැඹුරින් සලකා බැලීමකින් තොරව මෙම යෝජනාව ක්‍රියාත්මක නොකළ යුතු බව අවධාරණය කෙරේ.

 

(***)

ඩේලි මිරර් පුවත්පතේ පළවූ ලිපියේ සිංහල පරිවර්තනය

ලුසිත ජයමාන්න