ඉරානයට පහර දීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙළැඹවූ කාරණා මොනවාදැයි මෙම ලියුම්කරු ගූගල් කෘත්‍රිම බුද්ධියෙන් විමසීය. අන්තර්ජාලයේ මේ සම්බන්ධයෙන් පළවී ඇති තොරතුරු අනුසාරයෙන් ඊට ලැබුණු පිළිතුරේ මෙම ප්‍රහාරයට හේතු ගණනාවක් සඳහන් විය.
ඉරානය න්‍යෂ්ටික අවියක් තැනීම වැළැක්වීම, ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හා හමුදා නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීම, ඉරානයේ මිසයිල නිෂ්පාදනය හා නාවික ශක්තිය බිඳ දැමීම, ඉරානයෙන් පිටත සිටින ත්‍රස්තවාදී හමුදාවලට ආයුධ හා මුදල් දී ඔවුන් මෙහෙයවීම වැළැක්වීම, න්‍යෂ්ටික අවි පිළිබඳ සාකච්ඡාවල ප්‍රගතියක් නැති වීම, ඉරාන හා ඉරාන හිතවාදී කණ්ඩායම්වලින් ඇමෙරිකානු හමුදාවලට හා ඇමෙරිකානු දේපළවලට එල්ල වන ප්‍රහාර වැඩි වීම සහ ඉරානයේ පාලනය වෙනස් කර එරට ජනතාවට නිදහස ලබා දීම එම හේතු ලැයිස්තුවේ ඇතුළත් විය.
එහෙත් මෙම කරුණු හා ඇමෙරිකානු නායකයන් දක්වන වෙනත් සමහර හේතු එකිනෙකට පරස්පරය. ඇමෙරිකාව හා ඊශ්‍රායලය මෙවර ඉරානයට පහර දීම ආරම්භ වී දින දෙකකට පසු එම ප්‍රහාරයට හේතු වශයෙන් ට්‍රම්ප් පළ කළ අදහස මේ සියල්ලට වෙනස්ය. ඔහු පැවැසුවේ “මට ඉරාන ජනතාවගේ නිදහස අවශ්‍යයි” කියාය.
තවත් අවස්ථාවකදී ඔහු “ත්‍රස්තවාදයට ආධාර දෙන අංක එකේ රටට න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගන්නට මම කිසිදා ඉඩ දෙන්නේ නෑ” යනුවෙන් පැවැසීය. එහෙත් ඒ දිනවලම ඔහුගේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ වාර්තාකරුවන් සමග පවසා තිබුණේ දැනට ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට අවශ්‍ය කරන යුරේනියම් බලගැන්වීමක් නොකරන බවයි.
ට්‍රම්ප් මීට පෙර සිටි ඇමෙරිකානු ජනාධිපතිවරුන්ට වඩා ඇතැම්විට වහෙන් ඔරෝ භාෂාවෙන් නැතිව ඝෘජුව අදහස් පළ කරයි. ඔහු මෑතකදී වරක් “මට ග්‍රීන්ලන්තය ඕනෑ” යි කියමින් ග්‍රීන්ලන්තය අල්ලා ගැනීමට උත්සාහ කළේය. පසුගිය මාර්තු 29 වැනිදා ඔහු බ්‍රිතාන්‍යයේ ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් කරමින් “මට ඉරානයේ තෙල් ලබාගැනීමට අවශ්‍යයි” කීවේය.
ඇත්ත වශයෙන්ම ඇමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමේ සැබෑ හේතුව එයයි. පසුගිය දශක ගණනාවක් පුරා ඇමෙරිකාව ඉරානයට විවිධ අඩන්තේට්ටම් කරමින් සිටින්නේ ඇමෙරිකානු බලශක්ති තොරතුරු පරිපාලන ආයතනයේ මතය අනුව ලොව දෙවැනි විශාලම ස්වාභාවික ගෑස් නිධිය හා තුන්වැනි විශාලම තෙල් නිධිය තම පාලනයට නතු කර ගැනීමේ අරමුණෙනි. ඛනිජ තෙල් නිෂ්පාදනය කරන ලෝකයේ අනෙක් රටවල් සම්බන්ධයෙන් ද ඇමෙරිකාවේ ස්ථාවරය එයයි.
එහෙත් හාස්‍යජනක කරුණ නම් මෙම රටවල් සම්බන්ධයෙන් ඇමෙරිකානුවෝ අභූත චෝදනා නඟමින් බොරු කියති, ලෝකයා ද ඒවා නොපිළිගත්ත ද පිළිගත්තා සේ රඟපායි. ඔවුන් කරන්නේ රඟපෑමක් බව ඇමෙරිකානුවෝ ද දනිති. එහෙත් බටහිර ජනමාධ්‍ය එම රඟපෑම සැබෑවක් කිරීමෙහිලා එක්තරා දුරකට සාර්ථකත්වයක් අත්කර ගෙන ද සිටියි.
ට්‍රම්ප් පරිපාලනය පසුගිය ජනවාරි 3 වැනිදා වෙනිසියුලාවට එරෙහිව විශාල හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කර එරට ජනාධිපති නිකොලස් මදුරෝ හා ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරෙස් පැහැරගෙන ඇමෙරිකාවට රැගෙන ගියේය. දූෂණය, ඇමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කිරීම හා ඇමෙරිකාවට කොකේන් සැපයීම ආදී වශයෙන් ඇමෙරිකානු බලධාරීහු මදුරෝට එරෙහිව චෝදනා එල්ල කළහ.
එහෙත්, පසුදින ට්‍රම්ප් පැවැසුවේ ඇමෙරිකානු තෙල් සමාගම් වෙනිසියුලාවේ ආයෝජනය කරන්නට සූදානම් බවයි. ලෝකයේ කොහිවත් නැති තරම් විශාල අපගේ ඇමෙරිකානු සමාගම් එහි ගොස් ඩොලර් කෝටි සිය ගණනක් වියදම් කර කැඩී බිඳී ගොස් ඇති තෙල් කර්මාන්තය නගා සිටුවා රටට මුදල් ඉපැයීම ආරම්භ කරනවායැයි ඔහු පවසා තිබිණි.
ඇමෙරිකානු හමුදා මදුරෝ පැහැරගෙන ගිය විට එහි අරමුණ වෙනිසියුලාවේ ඛනිජ සම්පත් හා ස්වාභාවික සම්පත් අත්පත් කරගැනීමයි කී වෙනිසියුලාවේ උප ජනාධිපතිනි ඩෙල්සි රොබ්‍රිගුවෙස් ඉන්පසු ජනාධිපති ධුරයට පත් වූවාය. එහෙත් ඇයට ද සිදුවූයේ ඇමෙරිකාවටට අවනත වීමටය.
ඉන්පසු වෙනිසියුලාව තුළ ඇමෙරිකාවේ කටයුතු වේගයෙන් ක්‍රියාත්මක වන්නට විය. මදුරෝට එරෙහි එල්ල වූ දූෂණ චෝදනා හා මත්ද්‍රව්‍ය චෝදනා ගැන ඉන්පසු කිසිවෙක් කතා කළේ නැත. ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පෙබරවාරි 13 වැනිදා වෙනිසියුලාවේ රජය සතු තෙල් හා ස්වාභාවික ගෑස් සමාගම වන පෙට්‍රොලියෝස් ඩි වෙනිසියුලා එස් ඒ (PDVSA) සමාගම සමග කොන්ත්‍රාත් සහ වෙනත් ගනුදෙනුවලට එළැඹෙන්නට ඇමෙරිකානු සමාගම් ගණනාවකට බලපත්‍ර නිකුත් කළේය.
එහෙත් එම ගනුදෙනුවලින් වෙනිසියුලා රාජ්‍ය සමාගම උපයන මුදල් ඇමෙරිකානු රජයෙන් පාලනය වන ගිණුම්වල බැර කළ යුතු විය. දැන් ඇමෙරිකාව කියන දේ කරන තත්වයට වෙනිසියුලාව පත්ව ඇත. ඔවුන්ගේ මුදල් ඇත්තේ ඇමෙරිකාව අතේය. ඇමෙරිකාව අකැමැති නම් ඔවුන්ට එම මුදල් ගත නොහැකිය. ඇමෙරිකානු සමාගම් වෙනිසියුලාවේ තෙල් වෙළෙදාමෙන් ලාබ ද ලබයි, ඇමෙරිකාව වෙනිසියුලාව දේශපාලන වශයෙන් ද පාලනය කරයි.
මෙය තෙල් නිෂ්පාදනය කරන අරාබි රටවල් උගුලකට හසු කරමින් එම රටවල් හා ඇමෙරිකාව අතර 1970 ගණන්වලදී ඇති කර ගන්නා ලද පෙට්‍රෝ ඩොලර් එකඟතාවට සමානය. එම එකඟතාව අනුව ගල්ෆ් රටවල තෙල් ඇමෙරිකානු ඩොලර්වලටම විකිණිය යුතුය. එසේ එම රටවලට ලැබෙන ඩොලර් බිලියන සිය ගණනක් වන මුදල් ඇමෙරිකාවේ ආයුධ, තාක්ෂණය, බැඳුම්කර හා කොටස් වෙළෙඳපොළ ආදී ක්ෂේත්‍රවල ආයෝජනය කළ යුතුය. ඒ වෙනුවට ඇමෙරිකාව එම රටවලට ආරක්ෂාව සැපයිය යුතුය. එම රටවල ප්‍රධාන ආදායමෙන් ලැබෙන මුදල ඇමෙරිකාවේ ආයෝජනය කළ පසු ඕනෑම වේලාවක ඇමෙරිකාවට එම මුදල් මත තහංචි පැනවිය හැකි විය. එතැනින්ම එම රටවල ආර්ථික ස්වාධීනත්වය අහෝසි විය.
ඊට හිලව් වශයෙන් එම රටවලට ආරක්ෂාව සපයන බවට ඇමෙරිකාව පොරොන්දු වුවද ඇමෙරිකාවට එය කළ නොහැකි බව මේ දිනවල ඉරානයෙන් එම රටවල පිහිටා ඇති ඇමෙරිකානු කඳවුරුවලට එල්ල වන මිසයිල් හා ඩ්‍රෝන ප්‍රහාරවලින් පෙනී යයි. එහෙත් එම රටවලට කළ හැකි දෙයක් නැත. ඔවුන්ගේ ප්‍රධාන ආදායම ඇත්තේ ඇමෙරිකාවේ ෆෙඩරල් රිසර්ව් බැංකුවේය. අනෙක් පැත්තෙන් ඔවුන් පසුගිය දශක ගණනාවක් තිස්සේ ඇමෙරිකාවේ කීම් අසා ඉරානය අමනාප කරගෙන තම ආරක්ෂාව ද අනතුරේ හෙළාගෙන ඇත.
මේ උගුල පිළිබඳ ප්‍රායෝගික උදාහරණයක් ඉරාකයෙන් ගෙනහැර දැක්විය හැකිය. තම රටේ සිටින ඇමෙරිකානු හමුදා ඉවත් කරගන්නා ලෙස 2020 දී ඉරාක රජය ඇමෙරිකාවට දැනුම් දුන් විට ඇමෙරිකාව සිය රිසර්ව් බැංකුවේ ඇති ඉරාක මුදල් ලබාගන්නට ඉරාකයට සීමා පනවන බව දැනුම් දුන්නේය. ඉරාක රජය ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමේ තම ඉල්ලීම ඉල්ලා අස් කරගත්තේය. මන්දයත් ඉරාක රජයේ ආදායමෙන් සියයට 90කට වඩා ලැබෙන්නේ තෙල් වෙළෙඳාමෙනි. එම ආදායමෙන් වැඩි ප්‍රමාණයක් තැන්පත් කරනු ලැබ ඇත්තේ ඇමෙරිකාවේය.
සදාම් හුසේන් ඉරාකයේ ජනාධිපතිව සිටියදී මෙවැනි තත්වයක් නොවීය. ඔහු 1972 දී එරට තෙල් ජනසතු කළේය. ලෝකයේ දෙවැනි විශාලම තෙල් නිධිය ඇත්තේ ඉරාකයේය. මෙම ජනසතු කිරීමෙන් පසු එරට තෙල් සම්බන්ධයෙන් බටහිර රටවලට තිබූ ඒකාධිකාරය හා අධිකාරිත්වය අහෝසි වී ගියේය. ඒ අනුව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉරාකයේ තම ආර්ථික බලය යළි පිහිටුවීමට අවස්ථාවක් සොයමින් සිටියේය.
මේ අතර 1979 දී ඉරානයේ ඉස්ලාමීය විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් පසු බටහිර ආසියාවේ බටහිර රටවල ප්‍රධාන සතුරා වූයේ ඉරානයයි. 1980 දී ඉරාකය හා ඉරානය අතර යුද්ධයක් ඇති විය. ඒ අනුව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉරාකය තම සහායට යොදා ගත්තේය. බටහිර රටවල ආධාරයෙන් ඉරාකය ඉරානයේ ඇතැම් ප්‍රදේශවලට රසායනික අවි ප්‍රහාර ද එල්ල කළේය. 1988 දී එම යුද්ධය අවසන් විය. ඉන්පසු ඇමෙරිකාවේ අවධානය යළිත් ඉරාක තෙල් වෙත යොමු විය. ඔවුන්ට ඒ සඳහා හොඳ අවස්ථාවක් පාදා දෙමින් ඉරාක ජනාධිපති සදාම් හුසේන් 1991 දී තෙල් නිධි පිළිබඳ මතභේදයක් හේතුවෙන් කුවේටය ආක්‍රමණය කළේය. ඒ වන විට කුවේටයේ තෙල් බලය වක්‍ර ලෙස අත්පත් කරගෙන සිටියේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්ය.
ඇමෙරිකාව මෙම ආක්‍රමණයට එරෙහිව එ.ජා. ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් සම්මත කරගෙන, ඒ යෝජනාව යටතේ රටවල් 34ක සහාය ද ලබාගෙන, ඉරාකයට පහර දී එහි යුද බලය බිඳ දමා කුවේටය ඉරාක ග්‍රහණයෙන් මුදා ගත්තේය. ඉන්පසු එ.ජා. සංවිධානය පාවිච්චි කරමින් ඉරාකයට එරෙහිව විවිධ ආර්ථික සම්බාධක පනවා ගත්තේය. එම සම්බාධක දිගටම පවත්වාගෙන යාම සඳහා ඉරාකය මහා විනාශයක් කළ හැකි ආයුධ (Weapon of Mass Destruction- WMD) තබාගෙන සිටින බවට චෝදනාවක් කළේය. බටහිර ජනමාධ්‍ය මෙම මතය ඉතා සාර්ථකව සමාජගත කළේය. එම චෝදනාව මත යළිත් 2003 දී රටවල් බොහෝ සංඛ්‍යාවකගේ සහායෙන් ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කර සදාම් හුසේන් බලයෙන් නෙරපා දැමීය. පසුව ඔහුට මරණ දඬුවම ද දෙනු ලැබීය. එහෙත් ඉන්පසු කිසිදා ඉරාකයෙන් “මහා විනාශයක් කළ හැකි ආයුධ” සොයා ගනු ලැබුවේ නැත.
හුසේන් බලයෙන් නෙරපා දැමීමෙන් පසු එජා සංවිධානයේ මෙහෙයවීමෙන් ඇමෙරිකාවේ නායකත්වයෙන් “සන්ධාන තාවකාලික අධිකාරිය” නමින් පාලන යාන්ත්‍රණයක් පිහිටුවා ඒ යටතේ ඉරාකයේ තෙල් ආදායම එකතු කිරීම පිණිස “ඉරාකය සඳහා වූ සංවර්ධන අරමුදල” පිහිටුවනු ලැබීය. මෙම තෙල් ආදායම නිව්‌යෝර්ක් නගරයේ ඇමෙරිකානු ෆෙඩරල් බැංකුවේ තැන්පත් කළ යුතුයැයි ඇමෙරිකානු නියේජිතයන් නායකත්වය දරන “සන්ධාන තාවකාලික අධිකාරිය” ඒකපාර්ශ්විකවම තීරණය කළේය. ඒ අනුව ඉරාකයේ තෙල් ආදායම පාලනය කිරීමේ බලය ඇමෙරිකාව සතුවිය. දැන් ඇමෙරිකාව කියන විදියට ඉරාක රජය නැටිය යුතුය. ඉහතින් දැක්වූ පරිදි 2020 දී සිදුවූයේ එයයි.
බටහිර රටවල් ලිබියාවට කරන්නට ගියේ ද මෙයයි. ලිබියානු නායක මුඅම්මර් ගඩාෆි යටතේ ලිබියාවේ තෙල් කර්මාන්තය ජනසතු කරනු ලැබ තිබිණි. අරාබි රටවල කැරැලි පැතිර ගිය 2011 දී ගඩාෆි එරට ජනතාව මර්දනය කරන බව කියමින් බටහිර පාලකයෝ එරට කැරැලිකරුවන් සමග එක්වී ගඩාෆිගේ පාලනය පෙරළා දමා ගඩාෆි මරා දැමූහ. එහෙත් ඒ රටේ තවමත් විවිධ යුද කල්ලි අතර පවතින සටන් හේතුවෙන් එරට තෙල් ආදායම කොල්ල කෑමේ යාන්ත්‍රණයක් සකස් කර ගැනීමට තවමත් ඇමෙරිකාවට නොහැකි වී ඇත. එරට තෙල් ආදායම පාලනය කිරීමේ අලුත් යාන්ත්‍රණයක් පිළිබඳව ඇමෙරිකාව විවිධ යෝජනා ඉදිරිපත් කළ ද සන්නද්ධ කල්ලිවල විරෝධය නිසා තවමත් එය කළ නොහැකි වී ඇත.
මේ සෑම රටකම පාහේ තම කටයුතු සාධාරණීකරණය කිරීම සඳහා ඇමෙරිකාව කළේ එම රටවල පාලකයන් දූෂිතයන් ලෙස හෝ කෲර ආඥාදායකයන් ලෙස ලෝකයට පෙන්වීමයි. එසේම එම රටවල කැරැලි කෝලාහල ඇවිළවීමයි. එහෙත් එම පාලන පෙරළා දැමීමෙන් පසු එම රටවල ජනතාවට ලැබුණු නිදහසක් නැත. ඉරාකය හා ලිබියාව ඊට හොඳම නිදසුන් දෙකකි.
ඇතැම් අරාබි රටවල් තෙල් සම්පතේ පාලනය අත්පත් කර ගැනීමෙන් ඇමෙරිකාව තමන් උගුලකට හසුකරගෙන ඇතැයි තේරුම් ගෙන ඒ අනුව ඉන් මිදීම සදහා දීර්ඝ කාලීන සැලසුම්වලට ද යොමු වී ඇත. උදාහරණයක් වශයෙන් සෞදි අරාබිය පසුගිය වසර ගණනාවක් සිට ඇමෙරිකාවට විකුණනවාට වඩා වැඩියෙන් රුසියාවට හා චීනයට තෙල් විකිණීමට යොමු වී සිටී.
න්‍යෂ්ටික අවි ගැන කියමින්, ඉරාන ජනතාවට නිදහසක් නැතැයි කියමින්, ඉරානයේ නොසන්සුන්තා අවුළුවමින්, ඇමෙරිකානු පාලකයන් ඉරානයේ කරන්නට යන්නේ ද සම්පත් කොල්ල කෑම සඳහා ඉරාකයට, ලිබියාවට හා වෙනත් බොහෝ රටවලට ඔවුන් කළ දේමය.
(*** එම්.එස්.එම්. අයුබ්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd