ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් ගැඹුරුතම ආර්ථික අර්බුදයෙන් අනතුරුව, ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එහෙත්, ආර්ථිකය තවමත් සම්පූර්ණ ස්ථාවර මට්ටමකට පැමිණ නොමැති අතර, ව්‍යුහාත්මක දුර්වලතා තවදුරටත් පවතින බව ද ඔවුහු වැඩිදුරටත් නිරන්තරයෙන්ම සඳහන් කරති.
මෙවන් පසුබිමක විදේශ විනිමය අනුපාතිකය නැවතත් අවප්‍රමාණය වීමේ දැඩි ප්‍රවණතාවක් දැකිය හැකිය. එවන් තත්වයක් යටතේ රුපියලේ අගය මේ වන විටත් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. මෙම තත්වය ආර්ථික අර්බුදයෙන් පසු යථා තත්වයට පත්වෙමින් තිබෙන ආර්ථිකයේ ස්ථාවරභාවය පිළිබඳ නව සංවාදයක් නිර්මාණය කර ඇත. එබැවින්, විදේශ විනිමය වෙළෙඳපොළේ පවතින මෙම අස්ථාවරභාවය තවත් ආර්ථික අර්බුදයක පෙර සංඥාවක්ද, නැතහොත් වෙළෙඳපොළේ සාමාන්‍ය ගතිකත්වයට අනුව සිදුවන ස්වාභාවික වෙනසක් ද යන්න විමසා බැලීම කාලීනවශයෙන් වැදගත් වේ.
විවෘත ආර්ථික ක්‍රමය ස්වයංක්‍රීයව අර්බුද නිර්මාණය නොකරයි. එහෙත් ගෝලීය වෙළෙඳපොළ සමග ඇති සම්බන්ධතාව, ආර්ථිකයේ පවතින ව්‍යුහාත්මක දුර්වලතා සහ බාහිර ආර්ථික කම්පන එකට ක්‍රියා කරන විට ආර්ථික අස්ථාවරතා තීව්‍ර විය හැකිය. විශේෂයෙන්ම ප්‍රාග්ධන ගලා යාම්වල වේගවත් වෙනස්වීම්, ආනයන සහ විදේශ ණය මත අධික යැපීම, ගෝලීය පොලී අනුපාතික මෙන්ම ඉන්ධන මිල වෙනස්වීම් වැනි සාධක හේතුවෙන් විනිමය අනුපාතිකය ද අස්ථාවර වීමේ ප්‍රවණතා නිර්මාණය විය හැකිය. එබැවින් ආර්ථික කම්පනවලට සාර්ථකව මුහුණ දිය හැකි පරිදි රටක ආර්ථිකය ස්ථාවර හා ශක්තිමත් පදනමක් මත ගොඩනැංවීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ මෙන්ම දේශපාලන නායකත්වයේ ද ප්‍රමුඛ වගකීමකි. එම වගකීම් කෙතරම් සාර්ථකව ඉටුකර තිබේ ද යන්න මත, කම්පනවලට ආර්ථිකය විවෘත වන අවස්ථාවල දී ඒවාට මුහුණ දීමේ හැකියාව තීරණය කරයි.
මෙවන් පසුබිමක ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමග ඇතිවූ දැඩි ආර්ථික බිඳ වැටීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් ආර්ථිකය ක්‍රමයෙන් ධනාත්මක දිශාවකට ගමන් කිරීමට ආරම්භ විය. අර්බුද සමයේ දී ශ්‍රී ලංකාව දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දුන් අතර, රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 400 කට ආසන්න මට්ටමක් දක්වා අවප්‍රමාණය විය. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය සියයට 70 ඉක්මවා ගිය අතර, විදේශ සංචිත ඉතා පහළ මට්ටමකට වැටී ආර්ථිකය බිඳ වැටුණි. පැවැති අර්බුදකාරී තත්වය හමුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සහ ඒ යටතේ ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් මේ වන විට ආර්ථිකය යම් ස්ථාවරභාවයකට පත්වෙමින් පවතී.
විශේෂයෙන් 2025 වර්ෂය තුළ ආර්ථිකය යම් ප්‍රගතිය මට්ටමක් පෙන්නුම් කළ වසරක් ලෙස සැලකිය හැකිය. පසුගිය වර්ෂයේ දී ආර්ථිකය සියයට 5ක පමණ වර්ධනයක් වාර්තා කළ අතර, ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 දක්වා ඉහළ ගියේය. උද්ධමනය සියයට 2.1 මට්ටමේ පාලනය කිරීමට මහ බැංකුව සමත් වූ අතර, සංචාරක ක්ෂේත්‍රය සහ විදේශීය ශ්‍රමික ප්‍රේෂණ ද සැලකිය යුතු ලෙස වර්ධනය විය. සංචාරක පැමිණීම් මිලියන 2.36 දක්වා ඉහළ ගොස් ඩොලර් බිලියන 3කට අධික ආදායමක් උපයා ගත් අතර, විදේශීය ප්‍රේෂණ ඩොලර් බිලියන 8 දක්වා වර්ධනය විය. එමෙන්ම රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 16.7 දක්වා ඉහළ ගොස්, අයවැය හිඟය සහ රාජ්‍ය ණය ප්‍රතිශතය ද පහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේය. බැංකු පද්ධතිය තවදුරටත් ශක්තිමත් විය. එසේම මේ වන විට විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ශ්‍රී ලංකාවේ 5 වැනි සහ 6 වැනි සමාලෝචන මේ වන විට අවසන් අදියරේ පවතින අතර, ඒවා මූල්‍ය අරමුදලේ විධායක සභාව වෙත නුදුරේම ඉදිරිපත් කිරීමට නියමිතය. එය අනුමත වුවහොත්, ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 700ක පමණ මූල්‍ය පහසුකමක් ලැබීමට නියමිතය.
ඒ අනුව නිල විදේශ සංචිත තවදුරටත් ඉහළ යාමත්, ආර්ථික ස්ථාවරභාවය ක්‍රමයෙන් තවදුරටත් ශක්තිමත් වීමත් අපේක්ෂා කළ හැකිය. මෙම සියලු ආර්ථික දර්ශක එක්ව විමසූ විට, ආර්ථිකයේ යථා තත්වයට පැමිණීම පිළිබඳ ධනාත්මක සංඥා ලෙස සැලකිය හැකිය. මෙවැනි පසුබිමක් යටතේ රුපියලේ අගය ක්‍රමයෙන් දුර්වල වීම සැලකිය යුතු ආර්ථික ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකිය. මෙවැනි ප්‍රවණතා කලාපයේ අනෙකුත් රටවල ද යම් මට්ටමකට දැකිය හැකිය.
රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රවණතාව
විනිමය අනුපාතිකය තීරණය වන්නේ විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම මතය. ඉල්ලුම සැපයුමට වඩා වැඩි වූ විට ඩොලරයේ මිල ඉහළ යමින් රුපියල අවප්‍රමාණය වේ. එසේම ඉහළ ඩොලර් සැපයුමක් වෙළෙඳපොළේ පවතින විට රුපියල සාපේක්ෂව ශක්තිමත් වේ. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සැපයුම ලබා දෙන ප්‍රධාන මාර්ග අතර විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ, අපනයන ආදායම් සහ සංචාරක ආදායම ප්‍රධාන වේ. මේවා එක්ව විනිමය වෙළෙඳපොළේ මුළු සැපයුම තීරණය කරයි. අනෙක් පැත්තෙන්, ඩොලර් සඳහා ඉල්ලුම ප්‍රධාන වශයෙන් ආනයන ගෙවීම් හා විදේශ ගෙවීම් අවශ්‍යතා මත නිර්මාණය වේ. ඉන්ධන, ආහාර, ඖෂධ, යන්ත්‍රෝපකරණ සහ පොහොර වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක් ආර්ථිකයට නිරන්තරයෙන් අවශ්‍ය වේ. ගෝලීය මිල ඉහළ යාම් සහ යුදමය වාතාවරණ වැනි තත්ව මෙම ඉල්ලුම තවදුරටත් වැඩි කරයි. එසේම විදේශ අධ්‍යාපනය, සංචාර සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ද අමතර ඩොලර් ඉල්ලුමක් නිර්මාණය වේ.
රුපියල අවප්‍රමාණය වීමට බලපාන හේතු
මේ වන විට ශ්‍රී ලංකාවේ රුපියලේ වටිනාකම ක්‍රමිකව පිරිහීමට ලක්වෙමින් පවතින අතර, එය පසුගිය වසර තුළ අත්පත් කරගත් ආර්ථික කාර්ය සාධනයට සාපේක්ෂව යම් අභියෝගාත්මක තත්වයක් නිර්මාණය කරමින් පවතී. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල මේ වන විට රුපියල් 330 ඉක්මවා යන මට්ටමට පත්ව ඇත. විනිමය අනුපාතිකයේ පිරිහීම වාර්තා වීමත් සමග, ඒ සඳහා බලපා ඇති සාධක ගැඹුරින් විමසා බැලීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ. ආර්ථිකය ක්‍රමයෙන් ප්‍රසාරණය වීමත් සමග රට තුළ ආනයන ඉල්ලුම ද සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. 2025 වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුව තුළ ආනයන වියදම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ අග භාගයේ සිට මැදපෙරදිග කලාපය ආශ්‍රිතව වර්ධනය වූ යුදමය වාතාවරණය වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල කළේය.
ආර්ථික ස්ථාවරභාවය පවත්වා ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ සංචිත ගොඩනැගීම නිරන්තරයෙන් සිදු කරනු ලබයි. මේ වන විට නිල වාර්තා අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක් පමණ සංචිත මහ බැංකුව සතුව පවතී. එහෙත්, 2028 වසරේ දී සිට ප්‍රමාද කළ විදේශ ණය වාරික ගෙවීම් සඳහා අතිරේක විදේශ මුදල් අවශ්‍යතාවක් පවතින බැවින්, මෙම සංචිත තවදුරටත් ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කරුණකි. මෙම අරමුණ සපුරා ගැනීම සඳහා මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස විදේශ විනිමය සඳහා ඉල්ලුමක් ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ශ්වයෙන් ද නිර්මාණය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලදී ගැනීම හරහා වෙළෙඳපොළට විශාල රුපියල් ප්‍රමාණයක් මුදාහැරීමත්, එම රුපියල් ආර්ථිකය තුළ සංසරණය වීමත් හේතුවෙන් ආනයන ඉල්ලුම සහ විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම තවදුරටත් ඉහළ යාම නොවැළැක්විය හැකි කරුණක් වෙයි.
එමෙන්ම, ගෝලීය ආර්ථික පසුබිම තුළ ආයෝජන ශක්තිමත් ආර්ථිකයක් වෙත ගලා යාමේ ප්‍රවණතාවක් ද දැකිය හැකිය. විශේෂයෙන්ම ඇමෙරිකානු ඩොලරය සඳහා ජාත්‍යන්තර ඉල්ලුම ඉහළ යාමත් සමග ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ගෙන් ආයෝජන පිටතට ගලා යාම ද වර්ධනය වී ඇත. මෙය විනිමය වෙළෙඳපොළට අමතර පීඩනයක් එල්ල කරයි. මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළින් විදේශ ආයෝජන සැලකිය යුතු ප්‍රමාණයකින් පිටතට ගලා යාමක් ද දක්නට ලැබේ.
මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරතාව හේතුවෙන් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා වන පිරිවැය ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. එමෙන්ම, සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ද ගැටලුකාරී තත්වයක් පවතින අතර, සංචාරක ආදායම් පසුගිය වසරට සාපේක්ෂව සියයට 20ක පමණ ප්‍රමාණයකින් පහළ බැස ඇති බව වාර්තා වේ. මෙම තත්වය ද විදේශ විනිමය ලැබීම් අඩුවීමට බලපාන ප්‍රධාන සාධකයකි. එමෙන්ම, වාහන ආනයනය නැවත ආරම්භ කිරීම ද විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත. මෙය ආර්ථිකයේ විදේශ විනිමය කළමනාකරණය සම්බන්ධයෙන් තීරණාත්මක කරුණක් ලෙස සැලකේ. පසුගිය කාලය තුළ දිනකට අලුත් වාහන දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති අතර, වසරේ මුල් මාස කිහිපය තුළ පමණක් වාහන පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබීම ද කැපී පෙනේ. ඒ අනුව, මෙම සියලු කරුණු එකට සලකා බලන විට විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, එය රුපියලේ අවප්‍රමාණයට ඍජුවම බලපාන ප්‍රධාන සාධකයක් බව පැහැදිලි වේ.
අනතුරු සංඥාවක්ද?
ශ්‍රී ලංකාවේ විනිමය වෙළෙඳපොළේ පවතින වර්තමාන ගතිකත්වය සම්පූර්ණ ආර්ථික අර්බුදයක ලකුණක් ලෙස නොව, අවධානය යොමු කළ යුතු අනතුරු සංඥාවක් ලෙස නම් කළ හැකිය. විනිමය අස්ථාවරතාව, ආනයන මිල ඉහළ යාම, උද්ධමන පීඩනය සහ විදේශ ණය බර වැනි සාධක ආර්ථිකයට කෙටිකාලීන පීඩනයක් එල්ල කරයි. විශේෂයෙන් ආනයන මත දැඩිව පදනම් වූ අප වැනි ආර්ථිකයක මෙවැනි තත්ව වැඩි අවදානමක් නිර්මාණය කරයි. එබැවින්, ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය සුදුසු ප්‍රතිපත්ති කඩිනමින් හා සාර්ථකව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව යමින්, රජය විදේශ විනිමය ඉල්ලුම පාලනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී.
එසේම ආර්ථික විද්‍යාත්මකව බැලූ විට, රජයේ අභ්‍යන්තර අරමුදල් භාවිත කරමින් මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වර්තමාන තත්වය තුළ පරෙස්සමෙන් කළ යුතුය. මෙවැනි ව්‍යාපෘති සඳහා විදේශ ආයෝජන, පෞද්ගලික - රාජ්‍ය හවුල්කාරීත්ව යොදා ගැනීම වඩාත් සුදුසු වේ. මෙය ආර්ථික ස්ථාවරතාව ආරක්ෂා කරගනිමින් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට උපකාරී වේ. රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කිරීම සහ මහ බැංකු ස්වාධීනත්වය තවදුරටත් පවත්වා ගැනීම ද ආර්ථික ස්ථාවරතාව සඳහා වැදගත් ප්‍රතිපත්ති ලෙස සැලකේ. වත්මන් තත්වය යම් තරමකට හෝ පාලනය කිරීම සඳහා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවිය හැකි අතර, එය පෞද්ගලික අංශය ණය ලබා ගැනීම අධෛර්යවත් කිරීමට මෙන්ම ආයෝජන මන්දගාමී වීමට හේතු විය හැකිය. එවැනි තීරණයක් මත මේ වසරේ ආර්ථික වර්ධනය ද අපේක්ෂිත මට්ටමට වඩා අඩුවීමට ඉහළ අවස්ථාවක් පවතී. ඒ අනුව රුපියලේ අවප්‍රමාණය වීම හුදු සංඛ්‍යාත්මක වෙනසක් පමණක් නොව, ආර්ථිකයේ සංවේදී දර්ශකයක් ලෙස ද සැලකිය යුතුය. එය නිවැරැදිව කළමනාකරණය නොකළහොත්, පවතින තත්ව තවදුරටත් තීව්‍ර වීම වැළැක්විය නොහැකි වනු ඇත.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd