2022 දී ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ සාමාන්‍ය ආර්ථික මන්දගාමීත්වයකට නොවේ. එය රටක මූලික ආර්ථික පද්ධතියම බිඳ වැටුණු මොහොතකි. විදේශ විනිමය හිඟය උග්‍ර විය. ඉන්ධන පෝලිම් දෛනික ජීවිතයේ කොටසක් බවට පත් විය. රෝහල්වලට ඖෂධ සපයා ගැනීම දුෂ්කර විය. කර්මාන්තවලට අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකි විය. උද්ධමනය ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය බිඳ දැමූ අතර රුපියල දැඩි ලෙස දුර්වල විය. අවසානයේ රාජ්‍ය ණය ගෙවීම් අත්හිටුවීමට සිදු විය.
එම වසරේ ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය සියයට 7.3කින් හැකිළුණි. රාජ්‍ය ආදායම් පදනම දුර්වල වී අයවැය හිඟය පුළුල් වූ අතර, පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් වියදම් පියවා ගැනීමට ද ප්‍රමාණවත් ආදායමක් නොතිබුණි. අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී, වහාම භාවිත කළ හැකි විදේශ මුදල් ප්‍රමාණය අත්‍යවශ්‍ය ආනයන සඳහා දින කිහිපයකටවත් ප්‍රමාණවත් නොවන තරමට පහළ ගියේය. එවැනි අඳුරු පසුබිමක සිට ශ්‍රී ලංකාව නැවතත් ලෝක බැංකුවේ ඉහළ මැදි ආදායම් රටවල් කාණ්ඩයට ඇතුළත් වීම, සැහැල්ලුවෙන් පසුකර යා හැකි සංඛ්‍යාත්මක සිදුවීමක් නොවේ. එහෙත් එහි සැබෑ අර්ථය නිවැරැදිව තේරුම් ගත යුතුය.
2026 ජූලි මාසයේ ලෝක බැංකු වර්ගීකරණයේ දී ශ්‍රී ලංකාව නැවත ඉහළ මැදි ආදායම් කාණ්ඩයට ඇතුළත් විය. එය 2025 දත්ත මත පදනම් වූ, ලෝක බැංකුව “ප්‍රතිසාධනයේ කතාවක්” ලෙස හඳුන්වාදුන් වෙනසකි. මෙම වර්ගීකරණයට පාදක වන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායමයි. එය රට තුළ නිපදවන දේවල් පමණක් මනින GDP අගය නොව, විදේශයෙන් ලැබෙන සහ විදේශයට ගෙවෙන ආදායම් සැලකිල්ලට ගත් මිනුමකි. එය රටේ දළ ජාතික ආදායම ජනගහනයෙන් බෙදූ විට ලැබෙන සාමාන්‍ය අගයයි. ඉහළ මැදි ආදායම් කාණ්ඩයට අවශ්‍ය සීමාව ඒක පුද්ගල දළ ජාතික ආදායමෙන් ඇමෙරිකානු ඩොලර් 4,636කි. ශ්‍රී ලංකාවේ අගය ඩොලර් 4,670ක් විය. එනම් ශ්‍රී ලංකාව එම සීමාව ඉක්මවා ඉහළ මැදි ආදායම් කාණ්ඩයට ඇතුළත් විය. පරතරය විශාල නොවීමෙන් පැහැදිලි වන්නේ, මෙය අවසන් ජයග්‍රහණයක් නොව, මූල්‍ය විනය, වර්ධනය සහ විදේශ විනිමය ශක්තිය රැකගනිමින් තවදුරටත් ශක්තිමත් කළ යුතු ප්‍රතිසාධන පියවරක් බවයි.
ඒ නිසා මෙය සෑම පවුලක්ම එකවරම සමෘද්ධිමත් වී ඇති බවට සහතිකයක් නොවේ. දරිද්‍රතාව, බදු බර, වැටුප් පීඩනය, පෝෂණ ගැටලු හෝ ණය අවදානම අවසන් වී ඇති බවට තීන්දුවක් ද නොවේ. එහෙත් එය පෙන්වන්නේ, “ආර්ථිකයක් ගෙන යන්න දන්නේ නැහැ” යැයි ඇතැමුන් උපහාසයට ලක් කළ පාලන කණ්ඩායමක් මූල්‍ය විනය සහ ප්‍රතිපත්ති අඛණ්ඩතාව රැකගෙන රට ඉහළට ඔසවා ඇති බවයි. ඒ මගින් 2022 බිඳ වැටීමෙන් පසු නිෂ්පාදනය, ජාතික ආදායම, විදේශ විනිමය ආදායම් සහ මූල්‍ය ස්ථාවරත්වය යම් මට්ටමකට නැවත ගොඩ නැඟීමට හැකි වී ඇති බවයි.
පළමු ජයග්‍රහණය
ගිලෙන්න යන නැවක් ගොඩ ගැනීමේ දී, මුලින් කළ යුත්තේ එයට නව ගමනාන්තයක් තීරණය කිරීම නොව, වතුර ඇතුළු වන සිදුරු වසා දැමීමයි. ඒ ආකාරයෙන්ම, කඩා වැටුණු ආර්ථිකයක් ගොඩ නැඟීමේ දී මුලින්ම කළ යුත්තේ නව සංවර්ධන පොරොන්දු ඉදිරිපත් කිරීම නොව, උද්ධමනය, විදේශ විනිමය හිඟය, ණය පීඩනය සහ රාජ්‍ය මූල්‍ය විනය වැනි බිඳ වැටීමට හේතු වූ මූලික ගැටලු පාලනය කිරීමයි.
වත්මන් ආණ්ඩුව ද මෙම මූලික ආර්ථික මූලධර්මය දැඩිව අනුගමනය කළේය. ප්‍රතිසාධනය ආරම්භ වූයේ ඩොලරයට සාපේක්ෂ රුපියලේ අගය වෙළෙඳපොළේ සැබෑ තත්වයට අනුව වෙනස් වීමට ඉඩ දීමෙනි. ඒ සමග ආහාර, ඖෂධ, ඉන්ධන හා අමුද්‍රව්‍යවල හිඟය ක්‍රමයෙන් පහළ ගියේය. උද්ධමනය පාලනයට ගෙන ආ අතර, ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් කෙටිකාලීන ණය ගෙවීම් පීඩනය අඩු කරන ලදී.
එහෙත් මේ සියල්ලේ හදවත වූයේ රාජ්‍ය මූල්‍ය විනයයි. ආදායම් රැස් කිරීම ශක්තිමත් කිරීම, වියදම් පාලනය, අයවැය හිඟය අඩු කිරීම සහ නැවත අවිධිමත් ණය හෝ මුදල් මුද්‍රණය මත රඳා නොසිටීම, ප්‍රතිසාධනය තාවකාලික සහනයක් නොව ස්ථාවර ගමනක් බවට පත් කළේය.
ප්‍රතිඵල ඉතා ප්‍රබල විය. 2022 දී සියයට7.3කින් හැකිළුණු ආර්ථිකය, 2024 දී සියයට 5.0කින් වර්ධනය විය. 2025 දීද සියයට 5.0ක වර්ධනයක් වාර්තා විය. 2026 පළමු කාර්තුවේ දී ආර්ථික වර්ධනය සියයට 5.1ක් විය. මෙයින් සෑම පවුලක්ම අර්බුදයෙන් සම්පූර්ණයෙන් ගොඩ ආ බව අදහස් නොවේ. එහෙත් 2022 දී නතර වීමට ආසන්න වූ ආර්ථික යන්ත්‍රය නැවත ක්‍රියාත්මක වෙමින්, නිෂ්පාදනය, වෙළෙඳාම, සේවා, රැකියා සහ ආදායම් උත්පාදනයට අවශ්‍ය පසුබිම යළි ගොඩනැගෙමින් ඇති බව ඉන් පැහැදිලිය.
ප්‍රතිසාධනයේ හදවත
ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධනය පිළිබඳ ප්‍රබලම සාක්ෂිය රාජ්‍ය මූල්‍ය විනයයි. 2022 දී රාජ්‍ය ආදායම් සහ ප්‍රදාන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.4ක් පමණක් විය. විශාල ණය බරක් දරන, අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යා යුතු සහ අවදානමට ලක් වූ පවුල් ආරක්ෂා කළ යුතු රටකට එය අතිශය දුර්වල ආදායම් පදනමකි.
එහෙත් 2024 දී එම අගය සියයට 13.6ක් දක්වාත්, 2025 දී සියයට 16.7ක් දක්වාත් ඉහළ ගියේය. මෙය ආර්ථික වර්ධනයේ ස්වයංක්‍රීය ප්‍රතිඵලයක් පමණක් නොවේ. බදු පරිපාලනය ශක්තිමත් කිරීම, බදු අනුකූලතාව වැඩි දියුණු කිරීම, ඩිජිටල්කරණය, ආදායම් රැස්කිරීම, වියදම් පාලනය සහ දූෂණයට එරෙහි පාලන ප්‍රතිසංස්කරණ ආදී පියවරවල ප්‍රතිඵලයකි.
ප්‍රාථමික ශේෂය මෙම මූල්‍ය හැරවුම් ලක්ෂ්‍යය තවදුරටත් මනාව සනාථ කරයි. 2022 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.4ක ප්‍රාථමික හිඟයක් තිබූ ශ්‍රී ලංකාව, 2024 දී ප්‍රාථමික අතිරික්තයකට ළඟා වී, 2025 වන විට එය සියයට 5.4ක් දක්වා ඉහළ නංවා ගත්තේය. එය අලුත් වැඩසටහන යටතේ මුලින් අපේක්ෂා කළ සියයට 2.3ක ඉලක්කය ද ඉක්මවා ගිය ප්‍රතිඵලයකි. සරලව කිවහොත්, පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් වියදම් පියවා ගැනීමට තරම් රාජ්‍ය ආදායම වර්ධනය වී තිබුණි. වසර කිහිපයකට පෙර විදේශීය ණය ගෙවීම් අත්හිටවූ රටකට මෙය සුවිශේෂ මූල්‍ය පෙරළියකි. මෙයට සමගාමීව, 2022 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10.2ක් වූ සමස්ත අයවැය හිඟය, 2025 දී සියයට 2.3ක් දක්වා පහළ ගියේය. එය 1956 වසරෙන් පසු වාර්තා වූ අඩුම අයවැය හිඟයයි.
මෙහි ඇති තවත් වැදගත්ම ජයග්‍රහණයක් වන්නේ රජයේ අයවැයේ ජංගම ගිණුමේ හැරවුමයි. 1987 වසරෙන් පසු ශ්‍රී ලංකා රජයට, ණය පොලී ගෙවීම් ද ඇතුළත් සිය එදිනෙදා පුනරාවර්තන වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොතිබූ අතර, එම වියදම් සඳහා ද අඛණ්ඩව ණය මත රඳා සිටීමට සිදුවිය. එහෙත් 2025 වසරේදී එම අහිතකර ඉතිහාසය වෙනස් විය. රජය රුපියල් බිලියන 217ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා කළේය. මෙහි වැදගත්කම වන්නේ, එදිනෙදා වියදම් සඳහා ණය ගැනීමෙන් තොරව, ණය ප්‍රධාන වශයෙන් දිගුකාලීන සංවර්ධන හා ප්‍රාග්ධන ආයෝජන සඳහා යොදාගත හැකි මූල්‍ය පදනමක් නිර්මාණය වීමයි. එය අයවැයකරණයේ “රන් රීතියට” අනුකූල මූල්‍ය කළමනාකරණයක මූලික ලක්ෂණයකි. එය හුදෙක් ගිණුම්කරණ ජයග්‍රහණයක් නොවේ. රටක් දවස ගෙවාගැනීමට ණය ගන්නා තත්වයෙන්, අනාගත නිෂ්පාදන හැකියාව ගොඩනඟන ආයෝජන සඳහා තම ආදායම යොදාගත හැකි තත්වයකට මාරුවීමකි.
කෙසේ වෙතත්, මෙම ජයග්‍රහණය සම්පූර්ණ පසුබිම සමග කියවිය යුතුය. 2025 දී ආදායම ශක්තිමත් වීමට බදු අනුකූලතාව හා වැට් බදු එකතු කිරීම වැඩිදියුණු වීමත්, වාහන ආනයන ආශ්‍රිත බදු ආදායම් ද බලපෑවේය. එසේම සැලසුම් කළ ප්‍රාග්ධන වියදම්වල කොටසක් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවීම ද අයවැය ප්‍රතිඵලයට බලපෑවේය. එබැවින් ඊළඟ අභියෝගය වන්නේ ආදායම් ජයග්‍රහණ ස්ථිර කරගනිමින්, මාර්ග, වරාය, බලශක්ති, අධ්‍යාපන, සෞඛ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් සඳහා ප්‍රාග්ධන ආයෝජන තවදුරටත් වැඩි කිරීමයි. බදු පද්ධතිය ද ආදායම් රැස් කිරීමේ හැකියාව රැකගෙන, ජන ජීවිතයට හා නිෂ්පාදන ක්ෂේත්‍රයට අනවශ්‍ය පීඩනයක් නොවන ලෙස වඩා සාධාරණ හා කාර්යක්ෂම ලෙස සංවර්ධනය කළ යුතුය.
රාජ්‍ය මූල්‍ය විනය යනු වියදම් කපා දැමීම පමණක් නොවේ. එය අවශ්‍ය තැනට වගකීමෙන් වියදම් කිරීමයි. සාධාරණ ලෙස ආදායම් රැස් කිරීමයි. දුප්පත් හා අවදානමට ලක් වූ ජනතාව ආරක්ෂා කිරීමයි. නාස්තිය වැළැක්වීමයි. දේශපාලන වාසිය සඳහා අවිධිමත් ණය ගැනීමෙන් වැළකීමයි. අද ලබාදෙන පොරොන්දු හෙට දවසේ ණය අර්බුදයක් බවට පත් නොවන ලෙස තීරණ ගැනීමයි.
ඉදිරි අභියෝගය
ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධනයට 2022-23 කාලයේ හදිසි ආර්ථික ගැලපීම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන, ණය ප්‍රතිව්‍යුහගතකරණය, සංචාරක හා ප්‍රේෂණ ආදායම් යළි ඉහළ යාම සහ ජනතාව දැරූ දැවැන්ත පීඩනය අත්‍යවශ්‍ය පදනමක් සැපයීය. එහෙත් එම පදනම මත ගොඩනැඟුණු ප්‍රතිසාධනය කෙටි කාලීන සහනයක් නොව, ඉහළ මැදි ආදායම් සීමාව පසුකරන තරම් ස්ථාවර ගමනක් බවට පත් කිරීමේ තීරණාත්මක වගකීම වත්මන් ආණ්ඩුවට පැවැතිණි. ආර්ථිකය යළි හුස්ම ගන්නට පටන්ගත් මොහොතේ මූල්‍ය විනය අතහැර ජනප්‍රිය වියදම්, අවිධිමත් ණය සහ පැරැණි අසාර්ථක පුරුදුවලට ආපසු යෑම වෙනුවට, ආදායම් රැස්කිරීම, වියදම් පාලනය, ඩිජිටල් බදු පරිපාලනය, රාජ්‍ය ණය කළමනාකරණය සහ පාලන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම එහි සැබෑ දායකත්වයයි. ප්‍රතිසාධනය කෙටි විරාමයක් නොව ස්ථාවර ගමනක් වීමට එම අඛණ්ඩතාව අත්‍යවශ්‍ය විය.
බාහිර අංශයේත් හැරවුමක් සිදු විය. 2022 දී ඩොලර් බිලියන 2.8ක හිඟයක් වූ සමස්ත ගෙවුම් ශේෂය 2024 දී ඩොලර් බිලියන 2.9ක අතිරික්තයක් වූ අතර, 2025 දීද ඩොලර් බිලියන 1.8ක අතිරික්තයක් විය. ප්‍රේෂණ ආදායම් 2022 දී ඩොලර් බිලියන 3.8 සිට 2025 දී 8.1 දක්වාත්, සංචාරක ආදායම් 1.1 සිට 3.2 දක්වාත් ඉහළ ගියේය. එමගින් විදේශ සංචිත යළි ගොඩනැඟීමට ඉඩ ලැබුණි. ණය ප්‍රතිව්‍යුහගතකරණය රට ණය රහිත කළේ නැත. එය අත්‍යවශ්‍ය ආනයන, සංචිත හා ප්‍රතිසංස්කරණ සඳහා හුස්ම ගැනීමේ ඉඩක් ලබා දුන්නේය.
එහෙත් 2026 මුල් මාසවල බලශක්ති මිල ඉහළ යාම, ආනයන පීඩනය සහ සංචාරක අවිනිශ්චිතතා ප්‍රතිසාධනයේ බිදෙනසුලු ස්වභාවය පිළිබඳ යළි අනතුරු ඇඟවීමක් කළේය. එබැවින් විනිවිද පෙනෙන ප්‍රසම්පාදන, වගකියන ණය කළමනාකරණය, කාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසාය සහ නීති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යය. ඉහළ මැදි ආදායම් තත්වය සැබෑ ප්‍රතිසාධනයක් පෙන්වයි. එහෙත් තිරසාර සමෘද්ධිය සඳහා අපනයන හා නිෂ්පාදන ආයෝජන පමණක් නොව, තාක්ෂණය භාවිතයට ගැනීම හා ව්‍යාප්ත කිරීම, නවෝත්පාදනය, මානව ප්‍රාග්ධනය හා කුසලතා සංවර්ධනය, ඵලදායීතාව සහ ආයතනික කාර්යක්ෂමතාව ද එකවර ඉහළ යා යුතුය. එම වර්ධනයට සාමාන්‍ය පවුල්වල රැකියා, සැබෑ ආදායම් සහ ජීවන තත්වය වැඩි කළ යුතුය.
(***)
රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව
පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
චන්දික ගුණසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd