වර්තමානය වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) යටතේ සිදු කරනු ලබන රදවා තබා ගැනීම් හා නීතිය ක්‍රියාත්මක කිරීම් පිළිබඳ නැවතත් සාකච්ඡාවක් මතු වී තිබේ. 1979 දී හඳුන්වා දෙනු ලැබූ මෙම නීතිය දේශීයවත් ජාත්‍යන්තරවත් දිගු කලක සිට විවේචනයට ලක්වෙමින් තිබේ. ඊට හේතුව, මේ පනතින් පුද්ගලයන්ගේ නිදහස හා මානව අයිතිවාසිකම් සීමා කිරීම් සහ කඩ කිරීම් සිදුවන බවට නැගෙන චෝදනාය. එහෙත් දශක තුනකට වැඩි කාලයක් තිස්සේ යුද්ධයක් පැවැති හෙයින් මෙවැනි නීතියක් පැවැතීම වැදගත් බව ඇතැම්හු අවධාරණය කරති. රාජ්‍යයට එරෙහි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදු කරනු ලබන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ සිට නීතිය ක්‍රියාත්මක කිරීම දක්වා වූ ක්‍රියාවලිය සඳහා සාමාන්‍ය නීතියේ අඩංගු ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා මේ ආකාරයේ නීතියක් පැවැතීම අවශ්‍ය බවත් ඔවුහු තර්ක කරති.

එසේ වුව ද ඊට ප්‍රතිපක්ෂව ඉදිරිපත් වන චෝදනාවෙන් ප්‍රකාශ වන්නේ මෙම පනත සැබෑ ත්‍රස්තවාදී කටයුතු පාලනය කිරීම පිණිස යොදා ගන්නවාට අමතරව බලයේ සිටින ආණ්ඩුවල විරුද්ධවාදීන් මර්දනය කිරීමටත් සාධාරණ ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමටත් යොදා ගන්නා බවය. මේ විවේචන සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය, යුරෝපා සංවිධානය ආදී ජාත්‍යන්තර සංවිධාන මෙම පනත අහෝසි කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා රජයට පෙන්වා දී තිබේ. වෙසෙසින්ම ජීඑස්පී ප්ලස් සහනය තාවකාලිකව අත්හිටුවා තිබූ අවස්ථාවේ 2017 දී එය නැවත ලබාදීම සඳහා යුරෝපා සංගමය පැනවූ කොන්දේසි අතරින් එකක් වූයේ මෙම පනත අහෝසි කර ඒ වෙනුවට මානව හිමිකම්වලට ගැලපෙන ආකාරයේ වෙනත් නීතියක් සම්මත කළ යුතු බවය. ශ්‍රී ලංකාව 2018 දී එම බැඳියාවට යටත් වුව ද මේ වන තෙක් එය ඉටු කිරීමට අපොහොසත් වී තිබේ. ජාතික ජන බලවේග ආණ්ඩුව ද මෙම පනත අවලංගු කරන බවට ප්‍රතිඥා දුන්නේය.

මෙම සමස්ත සන්දර්භය සැලකිල්ලට ගනිමින් මෙම පනත අහෝසි කර ඒ වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම නමින් කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පතක් 2025 දී ඉදිරිපත් කරන ලදී. මේ අවස්ථාව වන විට එම පනත් කෙටුම්පත සඳහා මහජන මත විමසීමක් ද සිදු කරනු ලැබ තිබේ. මෙපරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විකල්ප පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනු ලැබ ඇති සන්දර්භයක ඒවායෙහි ඇතුළත් විධිවිධාන අතර ඇති සමානකම් හා වෙනස්කම් පරීක්ෂා කිරීම ඉතා වැදගත්ය. පළමුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවන්නේ කෙසේද යන්න ගැන අවධානය යොමු කළ හැකිය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පැහැදිලිව දැක්වෙන්නේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම නීතියේ දක්වා ඇති විධිවිධානවලට යටත්ව පමණක් සිදු කළ යුතු බවය.

විශේෂයෙන්ම පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් සහ සිරගත කිරීමෙන් අදාළ තැනැත්තාගේ නිදහසට අමතරව තවත් බොහෝ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ හැකියාවක් තිබෙන බව මානව හිමිකම් පිළිබඳ සම්මුතිවල දැක්වේ. අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස, කැමැති තැනක යෑමට ඇති අයිතිය, රැස්වීම් පැවැත්වීමේ සහ සමාගම් පැවැත්වීමේ අයිතිය මේ ආදී අයිතිවාසිකම් එලෙස සීමා වේ. මේ පසුබිමේ යමකු අත්අඩංගුවට ගැනීමේ දී හා රඳවා තබාගැනීමේ දී නීතියේ දක්වා ඇති ප්‍රතිපාදනවලට අනුව පමණක් කළ යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් වේ. එහෙත් මේ සම්බන්ධයෙන් මෑත කාලයේ ලබා දෙන ලද අධිකරණ තීන්දුවලින් පැහැදිලි වන්නේ නීතියට අනුව අත්අඩංගුවට ගැනීම හා රඳවා තබාගැනීම කළ යුතුය යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විධිවිධානය මගින් අදහස් වන්නේ දැනට රටේ තිබෙන නීතිය අනුව එම කටයුතු කළ යුතු බවය. ඒ සම්බන්ධයෙන් දැනට රටේ ඇති නීති අතර මහජන ආරක්ෂක පනත යටතේ පනවනු ලැබ ඇති රෙගුලාසි සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද ඇතුළත් වේ.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබුණ ද මහජන ආරක්ෂක පනත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලැබ ක්‍රියාත්මක වන නීති හෙයින් ඒවාට විරුද්ධව නියෝග ලබා දීමට අධිකරණයට බලයක් නැත. එනම්, ප්‍රස්තුත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි නීත්‍යනුකූලභාවය ප්‍රශ්න කිරීමට අධිකරණයට බලයක් නොමැති බවය. එයින් ගම්‍ය වන අනිත් කාරණය නම්, එම පනත යටතේ කරනු ලබන අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබාගැනීම් අනීතික බවට නියෝග ලබාදීමේ හැකියාවක් අධිකරණයට නැති බවය.

සාමාන්‍ය නීතිය යටතේ යම් තැනැත්තකු අත්අඩංගුවට ගැනීමේ දී ඊට බලපාන හේතු කවරේද යන්න අත්අඩංගුවට පත්වන පුද්ගලයාට දැනුම් දෙනු ලැබිය යුතුය. එය අදාළ තැනැත්තාගේ මූලික අයිතිවාසිකමක් ද වේ. එසේ අත්අඩංගුවට ගනු ලබන කෙනකු පැය 24 ක් ඇතුළත මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවට ඉදිරිපත් කර තවදුරටත් අත්අඩංගුවේ තබා ගන්නවා ද නැතිනම් ඇප මත නිදහස් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ගත යුතුය. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ තත්වය වෙනස් වේ. ඒ අනුව මේ පනත යටතේ යම් තැනැත්තකු අත්අඩංගුවට ගනු ලැබීමේ දී හේතු පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ. එසේම අධිකරණ වරෙන්තුවක් නොමැතිව වුව ද මේ පනත යටතේ පුද්ගල අත්අඩංගුවට ගැනීම් කළ හැකිය. එසේ අත්අඩංගුවට ගන්නා කෙනකු අධිකරණ නියෝගයකින් තොරව දින 3 ක කාලයක් රඳවා තබා ගැනීමට ද පිළිවන. එම දින තුනක කාලයේ දී අදාළ පුද්ගලයා තවත් මාස 3 ක කාලයක් රඳවා තබා ගැනීම සඳහා රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක අමාත්‍යවරයාට හිමි වේ. රැඳවුම් නියෝග මත උපරිම වශයෙන් අවුරුද්දක කාලයක් රඳවා තබා ගත හැකිය.

මෙම පනත යටතේ අත්අඩංගුවට පත්වන්නන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමකින් තොරව හා නඩු විභාගයකින් තොරව රඳවා තබාගත හැකිය. මේ තත්වය මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවක් හැටියට හැඳින්වීමට පිළිවන. සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තකු පොලිසිය හමුවේ කරනු ලබන පාපොච්චාරණයක් ඔහුට හෝ ඇයට හෝ එරෙහිව සාක්ෂියක් ලෙස යොදා ගත නොහැකි වුවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහකාර පොලිස් අධිකාරිවරයකු හෝ ඊට ඉහළ නිලධාරියකු හමුවේ කරනු ලබන පාපොච්චාරණයක් සැකකරුට විරුද්ධව සාක්ෂියක් ලෙස යොදා ගැනීමට පිළිවන. මේ සමස්ත විධිවිධාන සැලකීමේ දී මේ පනතින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව දැඩිව අවධාරණය වන අතර එයට ප්‍රතිකර්ම යෙදීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට 2022 දී සංශෝධනයක් ගෙන එනු ලැබීය.

එම සංශෝධිත පනතේ ඇතුළත් සංශෝධනයක් වන්නේ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තකුට චෝදනා ඉදිරිපත් කිරීමකින් හා නඩු විභාග කිරීමකින් තොරව රැඳවුම් නියෝග මත මාස 18 ක කාලයක් රඳවාගැනීමේ හැකියාව මාස 12 දක්වා අඩු කර තිබීමය. එම සංශෝධිත පනත ප්‍රකාරව අත්අඩංගුවට ගනු ලබන සැකකරුවකු සම්බන්ධයෙන් පැය 48 ක කාලයක් ඇතුළත මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දීමක් කළ යුතුය. එසේ දැනුම් දුන් පසු අදාළ මහේස්ත්‍රාත්වරයාට සැකකරු රඳවා තබා සිටින ස්ථානය හා සැකකරු ඕනෑම අවස්ථාවක පරීක්ෂා කළ හැකිය. සංශෝධිත පනතින් මේ ආකාරයේ විධිවිධාන සලසා ඇතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි ඇති දරුණුභාවය අඩුවේ යැයි සිතිය නොහැකිය. එහෙයින් මේ පනත අහෝසි කළ යුතු බවට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල හඬක් නැගේ.

මේ පනතට විකල්පයක් වශයෙන් 2025 දී ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි ඇතුළත් අගතිගාමී තත්ව කොතරම් දුරට සමනය කරන්නේ ද යන්න විමසුමට ලක් කළ යුතුය. අලුත් පනත් කෙටුම්පතෙහි සාධනීය ලක්ෂණ මෙන්ම පැරැණි පනතේ ඇතැම් විධිවිධාන ඒ ආකාරයටම ඉදිරියට ගෙන යෑමක් ද හඳුනාගත හැකිය. ඉදිරිපත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තිය මගින් ත්‍රස්තවාදය යනු කුමක්ද යන්න අර්ථ නිරූපණය කර ඇතත් එය පුළුල් එහෙත් අපැහැදිලි හා නිශ්චිත ඉලක්කයක් නොපෙන්වන්නක් වශයෙන් විවේචනයට පාත්‍ර වී තිබේ.

යම් ක්‍රියාවක් සිදුකිරීමට හෝ සිදුකිරීමෙන් වැළැකී සිටීමට ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් වෙත බල කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් විය හැකි බව පූර්වෝක්ත වගන්තියේ සඳහන් වේ. ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වෛරීත්වය උල්ලංඝනය කරනු ලබන ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට සැලකිය හැකි බවත් එහි දැක්වේ. එය පුළුල් ලෙස අර්ථ නිරූපණය කර තිබෙන අතර ඒ අනුව ඕනෑම ක්‍රියාවක් ත්‍රස්තවාදී කටයුත්තක් වශයෙන් අර්ථ නිරූපණය කිරීමේ හැකියාවක් පොලිසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බවට විවේචන ඉදිරිපත් වේ. නිදසුනක් ලෙස ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, ජීවන වියදම ඉහළ යෑම, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව ජනතාව විසින් කරනු ලබන සාධාරණ උද්ඝෝෂණ ආදිය පවා ත්‍රස්තවාදී කටයුතු වශයෙන් අර්ථ නිරූපණය කිරීමේ හැකියාවක් ඇති බවට විවේචන ඉදිරිපත් වේ.

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යටතේ අත්අඩංගුවට ගනු ලැබ රඳවා තබාගැනීමේ නියෝග මත රඳවා තබාගෙන සිටින සැකකරුවන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය තත්ව නිරීක්ෂණය කිරීමට මහේස්ත්‍රාත්වරුන්ට බලය දී ඇති අතර එය සාධනීය ලක්ෂණයක් සේ ගිනිය හැකිය. සැකකරුවකු මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් නොකර රඳවා තබාගත හැකි කාලය මාස දෙකක් දක්වා අඩුකර තිබීමත් මේ පනත් කෙටුම්පතෙහි ඇති සාධනීය ලක්ෂණයකි. මාස දෙකක කාලයෙන් පසුවත් යම් සැකකරුවකු රඳවා තබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා මහේස්ත්‍රාත්වරයකුගේ අනුමතය ලබා ගත යුතුය යන විධිවිධානය මෙම පනත් කෙටුම්පතේ ඇතුළත්ය. එයත් යහපත් ලක්ෂණයක් සේ සැලකිය හැකිය. එහෙත් මහේස්ත්‍රාත්වරයාට යම් සැකකරුවකු තවදුරටත් රඳවා තබා නොගෙන ඇප ලබා දීමට හැකි ද යන්න අපැහැදිලිය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් මෙන්ම මෙම නව පනත් කෙටුම්පතෙන් ද ජනාධිපතිවරයාට බලතල දී තිබේ. ඒ යටතේ ඇතැම් සංවිධාන ත්‍රස්තවාදී සංවිධාන වශයෙන් නම් කිරීමටත් ඒවා තහනම් කිරීමටත් ජනාධිපතිවරයාට පුළුල් බලයක් ලබා දී ඇත. එමෙන්ම හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීමට අදාළව ජනාධිපතිවරයාට හිමි බලය තවත් වැඩි කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි අන්තර්ගත ඇතැම් අගතිගාමී ලක්ෂණ තවදුරටත් පවත්වාගෙන යෑමට මෙම පනත් කෙටුම්පතෙන් උත්සාහ දරා ඇති බවක් පෙනේ.

සමස්තයක් වශයෙන් සැලකීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට යෝජනා කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් පවතින නීතියේ (PTA) නැති සාධනීය විධිවිධාන ඉදිරිපත් කර ඇති බව පෙනේ. එසේම පවතින නීතියේ තිබෙන බොහෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී විධිවිධාන එලෙසම පවත්වාගෙන යෑමට උත්සාහ දරන්නේ ද යන සැකය ද මතු වේ. මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකමක් වේ. එපරිදිම රාජ්‍ය ආරක්ෂා කරගැනීම ද රජයේ වගකීමකි. එහිදී පුරවැසියන්ගෙන් රාජ්‍යයේ ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන වළක්වා ගැනීම සම්බන්ධයෙන් ද රජයකට වගකීමක් තිබෙන බව අපි පිළිගත යුතු වෙමු. එසේ වුවත් මේ දෙඅංශය අතර පැහැදිලි තුලනයක් පැවැතීම අත්‍යවශ්‍ය වේ. මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රාජ්‍යය ආරක්ෂා කිරීමට යෑම කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් අනුමත නොකරයි. පවතින සාමාන්‍ය නීතිය යටතේ ත්‍රස්තවාදී කටයුතු මැඩලීම දුෂ්කර වන අවස්ථාවලදී දැඩි නීති ක්‍රියාත්මක කිරීමේ අවකාශයක් පැවැතිය ද එම අවකාශය ක්‍රියාත්මක කළ යුත්තේ සාමාන්‍ය වැසියන්ගේ හා විරුද්ධ මතධාරීන්ගේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදිය.

 

(*** සාකච්ඡා සටහන  උපුල් වික්‍රමසිංහ)