ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය තම ප්‍රාදේශීය නායකයන් පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුයැයි අපට සිතේ. ඒ මෑතකදී එම පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් තිදෙනකුටම පාතාල නායකයන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වීම නිසාත් මිය යාමට හා සිරගතවීමට සිදුවීම නිසාත්ය.

පසුගිය වසරේ ඔක්තෝබර 22 වැනිදා සජබ නියෝජනය කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වූ ලසන්ත වික්‍රමසේකර මහතා සිය කාර්යාලයේදී සාහසිකයකුගේ වෙඩි පහරට ලක්ව මිය ගියේය. ඔහුට පාතාලය සමග සබඳතා ඇති බව පොලිසියත් මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතාත් පැවැසීය.

ඇත්ත වශයෙන්ම ඔහුට එරෙහිව ඒ වන විටත් අධිකරණවල නඩු හයක් විභාග වෙමින් තිබිණි. එසේම ඔහු ඒ වනවිට තවත් නඩුවකින් අත්හිටවූ සිර දඬුවමක් ලැබ එය ගෙවමින් සිටියේය.

පසුගිය වසරේ මැයි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණවලින් අම්බලන්ගොඩ නගර සභාවට සජබ වෙනුවෙන් තරග කළ හිරාන් කෝසල මහතා ද ඉන් මාස දෙකකට පසු ඉකුත් දෙසැම්බර් 22 වැනිදා වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඔහු ද මත්ද්‍රව්‍ය පාතාලය සමග සබඳතා තිබූ අයකු බව පොලිසිය පැවැසීය. 2014 දී හා 2015 දී සිදුවූ ඝාතන සිද්ධි දෙකකට ද ඔහුගේ සම්බන්ධයක් ඇති බව කියැවිණි. ඔහුගේ ජංගම දුරකතනයේ තිබූ තොරතුරු අනුව ඔහුට පාතාල නායකයන් සමග සබඳතා තිබුණු බව ද පොලීසිය පැවැසීය.

දැනට අත්අඩංගුවේ පසුවන පාතාල ක්‍රියාකාරිකයකු වූ නඳුන් චින්තක හෙවත් හරක් කටා වෙනුවෙන් ඔහුගේ බිරිඳගෙන් අල්ලස් ගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිසම විසින් සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහ, හිටපු අධිකරණ ඇමැතිවරයකු වූ විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකු වන අරුණ වරුසහැන්නැදිගේ යන තිදෙනා පසුගිය ජූනි 25 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම පසුබිම තුළය. චරිත් අබේසිංහ එංගලන්තයේ සිටියදීද නීතියෙන් දඬුවම් ලැබූවකු බව කියැවේ.

මේ සජබ සංවිධායකයන් තිදෙනාගේම අතීතය ගැන රටේ බොහෝ දෙනකු දැන සිටියදී සජබ නායකයන් දැන නොසිටීම පුදුම සහගතය. නැත්නම් පාතාලය සමග සබඳතා පැවැත්වීම වැනි දෑ ගණන් ගත යුතු දෑ නොවේයැයි සජබ නායකයන් සිතනවා විය යුතුය.

දැන් සජබ චරිත්ගේ පක්ෂ සාමාජිකත්වය හා ඔහු පක්ෂය තුළ දැරූ තනතුරු අත්හිටුවා තිබේ. ඔහුට විරුද්ධව එල්ලවී ඇති චෝදනාවෙන් කියැවෙන සිද්ධිය වී ඇත්තේ ඔහු සජබට සම්බන්ධ වීමට පෙර 2023 දී යැයි ද සජබ නායකයෝ දැන් කියති. මෙය ජාතික ජන බලවේගය හිටපු බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් කරන ප්‍රකාශයට සමානය.

පසුගිය මාස කිහිපය තුළ රහස් පොලිසිය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිසම විසින් ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් හා රජයේ නිලධාරීන් ගණනාවක් අත්අඩංගුවට ගනු ලැබුව ද චරිත් හා රඛිත ඇතුළු තිදෙනාට එල්ල වී ඇති චෝදනා සත්‍ය නම් මෙරට යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය තුළ බිහිසුණු තත්වයක් නිර්මාණය වී ඇති බවට එය කදිම සාක්ෂියකි.

හරක් කටාගෙන් අල්ලස් ගත් බවට චෝදනාවට ලක් වී සිටින මේ තිදෙනාට එල්ල වී ඇති චෝදනාවට සම්බන්ධයැයි කියන හඬ පටයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වේ. එහි ද නිරවද්‍යතාව අප හරිහැටි දන්නේ නැත. එහෙත් ඉන් කියැවෙන කරුණු සත්‍ය නම් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්, උසස් පොලිස් නිලධාරීන් හා ඇතැම් දේශපාලනඥයන් අතර කෙතරම් විශාල මුදල් කන්දරාවක් හුවමාරු වන්නේ ද යන්න ඉන් පෙනේ. නඳුන් චින්තක හෙවත් හරක් කටා රහස් පොලිස් රැඳවුම් භාරයෙන් සාමාන්‍ය බන්ධනාගාරයකට මාරු කරවා ගැනීම සඳහා රඛිත හා චරිත්ට රුපියල් කෝටි විස්සක් දෙන්නට පොරොන්දු වී ඉන් රුපියල් කෝටි දොළහක් දුන් බව නඳුන් චින්තකගේ බිරිඳ එම හඬ පටයෙන් කියයි.

මෙම මුදල නීතිඥ ගාස්තු වශයෙන් ගෙව්වේ නම් ඊට වරදක් කිව නොහැකිය. මන්දයත් නීතිඥ ගාස්තුවලට නීතියෙන් සීමාවක් පනවනු ලැබ නැති හෙයිනි. බදු ගෙවීම පැහැර හැරීම සඳහා එම ගනුදෙනුව රහසේ කළේ නම් ප්‍රශ්නය විය හැක්කේ බදු වංචාවක් පමණි. එහෙත් එම හඬ පටයෙන් වෙනත් කතාවක් කියැවෙන බව පෙනේ. හිටපු පොලිස්පතිවරයකුට කෝටි පහක් දීමක් ගැන ද ඉන් කියැවේ. මේ අතර සැකකරුවන් රඳවා ගනු ලැබ සිටින කාලය තුළදී ඝාතනයෙන් බේරා ගැනීම සඳහා ද මුදල් අය කරන ක්‍රමයක් තිබෙන බව ද පෙනේ. පොලිස්පතිවරයකුට හා ඇමැතිවරයකුට රුපියල් කෝටි තිහක් නොදීම නිසා තමන් රඳවා ගෙන සිටින බව හරක් කටා මීට පෙර අධිකරණයට ගෙන එනු ලැබූ අවස්ථාවේ දී ජනමාධ්‍යවේදීන්ට පැවැසීය.

මේවා සත්‍ය ද නැතිද යන්න අධිකරණයේදී තීරණය විය යුතු වුව ද දැනට මෙම කතන්දර සම්බන්ධයෙන් චරිත් හා රඛිත ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමලත් මේජර් ජෙනරාල් සුරෙෂ් සලේ අත්අඩංගුවට ගනු ලැබූ විට මෙන් නොව රඛිත හා චරිත් සම්බන්ධයෙන් විපක්ෂයේ බොහෝ දෙනකු අසාමාන්‍ය ලෙස නිහඬතාව රකින බව ද පෙනේ. ඔවුන් වෙනුවෙන් අදහස් දැක්වීමට ඉදිරිපත් වී සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ සංඛ්‍යාව ද ඉතා අඩුය.

සමහරවිට රඛිත හා චරිත් ඇතුළු තිදෙනා කළ බව කියන ගනුදෙනුව පිළිබඳව සංසරණය වන හඬපටයෙන් කියැවෙන කරුණු නිසා එවැනි තත්වයක් ඇති වී තිබෙනවා විය හැකිය. සමහරවිට ජනමතයට එවැනි බලපෑමක් කිරීම සඳහාම පොලිසිය හෝ වෙනත් යම් පාර්ශ්වයක් මේ අවස්ථාවේදී එම හඬ පටය සංසරණය වන්නට සැලස්වූවා වන්නට ද පුළුවන.

ජාතික ජන බලවේගය බලයට පත්වී සති කිහිපයක් ඉක්ම ගියවිට “කෝ ඔය හොරු ඇල්ලුවාද?” කියමින් විපක්ෂයේ බොහෝ දෙනා ජාතික ජන බලවේගයේ නායකයන්ගෙන් අසමින් ඔච්චම් කළහ. ඒ ගැන සඳහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේ “හොරු අල්ලන කොට කෙඳිරි ගාන්න එපා” යනුවෙනි. දැන් සතියකට එක් අයකු හෝ දෙදෙනකු වශයෙන් විරුද්ධ පක්ෂවලට හිතවත්ව සිටි දේශපාලනඥයෝ හෝ රජයේ උසස් නිලධාරීහු දූෂණ හෝ අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට පත්වෙමින්, ප්‍රශ්න කිරීමට ලක්වෙමින් හෝ රඳවා ගැනීමට ලක්වෙමින් සිටිති. හොරු ඇල්ලුවාදැයි ඇසූ විපක්ෂයේ නායකයෝ දැන් මෙම අත්අඩංගුවට ගැනීම් ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම් ලෙස හඳුන්වති.

එහෙත් එසේ කෙරෙන අත්අඩංගුවට ගැනීම්වලින් බොහොමයක් පසුගිය ආණ්ඩු පැවැති කාලවල, විශේෂයෙන්ම ඊනියා යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ විවිධ පුද්ගලයන් විසින් කරන ලද පැමිණිලි පදනම් කරගනිමින් ආරම්භ වූ ඒවාය. අලුත් පැමිණිලි කෙසේ වෙතත් මෙම පැරැණි පැමිණිලි ජාතික ජන බලවේගයේ පළිගැනීම් ලෙස හැඳින්වීම පදනම් විරහිතය.

එසේම දැනට කෙරෙන පරීක්ෂණ අනුව ඉදිරියේ දී තවත් බොහෝ දෙනකු අත්අඩංගුවට පත්වීමට ඉඩ තිබෙන බවක් ද පෙනේ. ඊට ප්‍රධාන හේතුව පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුව අදාළ පාර්ශ්වවලට උපදෙස් දීම නොව පසුගිය පාලනය යටතේ සම්මත වූ දූෂණ විරෝධී පනත අනුව අදාළ පාර්ශ්ව පුද්ගලයන් අත්අඩංගුවට ගන්නට යාමේදී ආණ්ඩුව ඒවා වැළැක්වීමට මැදිහත් නොවීමය.

මෙසේ විපක්ෂයට හිතවත් දේශපාලනඥයන් හා නිලධාරීන් වැඩි වැඩියෙන් අත්අඅඩංගුවට පත්වීමත් සමග විපක්ෂයේ පක්ෂ මෙන්ම ආණ්ඩු පක්ෂය ද පැවැත්ම රැක ගැනීමේ දැවැන්ත ගැටලුවකට මුහුණ දෙමින් සිටින බව පෙනේ. මෙය පක්ෂවලට පමණක් නොව එම දෙපාර්ශ්වයේම පක්ෂවල නායකයන්ට විශේෂයෙන්ම අදාළ ප්‍රශ්නයකි. මේ නිසා දෙපාර්ශ්වයම ඉදිරි ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය කෙක්කෙන් හෝ කොක්කෙන් ජය ගත යුතුය යන තැනට තල්ලු වෙමින් සිටී.

පසුගිය පාලන කාලවල දූෂණය සාමාන්‍ය තත්වයක් බවට පත් වී තිබිණි. දූෂණයට, අක්‍රමිකතාවලට, නාස්තියට හා සමහරවිට මිනිස් ඝාතන වැනි අපරාධවලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ නොවූ දේශපාලනඥයන් සිටියේ නම් ඒ සුළු පිරිසක් විය යුතුය. දැන් නිර්නාමික තොරතුරුවලට පවා බලධාරීන් ක්‍රියාත්මක වන තත්වක් යටතේ පසුගිය පාලනවල කොටස්කරුවන් වූ බොහෝ දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට බිය වන්නට සාධාරණ හේතුවක් තිබේ.

චරිත් හා රඛිත ඇතුළු තිදෙනාට එරෙහිව පරීක්ෂණ ආරම්භ වූයේ නිර්නාමික ලිපියකින් පසුවයැයි රජයේ නීතිඥවරිය ද පසුගිය බදාදා අධිකරණය හමුවේ පවසා තිබිණි. එහෙයින් විපක්ෂයේ දේශපාලනඥයන්ට ඉදිරි ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී වත්මන් පාලනය පෙරළා දැමීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් වී ඇත. එය ජනතා සුබසිද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් නොව ඔවුන්ගේ දේශපාලන හා පෞද්ගලික ආරක්ෂාව මෙන්ම පැවැත්ම සහතික කරන එකම මාවතයි.

එහෙත් රටේ ඇති අධිකරණ සංඛ්‍යාව හා ඒවා හමුවේ ඇති නඩු සංඛ්‍යාව අනුව නඩුවක් අසා අවසන් කරන්නට දීර්ඝ කාලයක් ගතවේ. සොරකමක් සම්බන්ධයෙන් අද පවරනු ලබන නඩුවක් සියලු අභියාචනාවලින් පසු අවසන් වනු ඇත්තේ 2036 දීයැයිද බෙදුම් නඩුවක් එසේ අවසන් වන්නට වසර 47ක් ගතවනු ඇතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා දින කිහිපයකට පෙර හෝමාගම නීතිඥවරුන්ගේ සංගමය සංවිධානය කළ රැස්වීමකදී පවසා තිබිණි.

ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණය වන විටත් හිටපු දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට එරෙහිව පවරනු ලැබ ඇති නඩුවලින් වැඩි ගණනක් පහළ අධිකරණවලම ඇදී ඇදී තිබෙන්නට පුළුවන. නැත්නම් අභියාචනය කරනු ලැබ ඉහළ අධිකරණවල තිබෙන්නට පුළුවන. එම ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය පරාජය වුවහොත් ඊළඟට පත් වන ආණ්ඩුව යටතේ මෙම සමස්ත ක්‍රියාවලියම ආපසු හැරෙනු ඇත. ඇතැම් නඩු පරරාජසිංහම් ඝාතන නඩුව මෙන් හේතු නොදක්වාම ඉල්ලා අස් කර ගනු ලැබිය හැකිය. ඇතැම් ඒවා අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් නොකිරීමෙන් පරාජය වන්නට ඉඩ හැරිය හැකිය.

ඒවා සම්බන්ධයෙන් තවත් බොහෝ දේ විය හැකිය. මේ තමන්ට හිතවත් දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට එරෙහිව කලින් ආණ්ඩුවෙන් පවරනු ලැබූ නඩු දේශපාලන පළිගැනීම් ලෙස සලකා අහෝසි කරන්නටත් ඒවා පවරන්නට කටයුතු කළවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නටත් කොමිෂන් සභා පත් කළ රටකි. එහෙයින් ඊළඟ ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය පරාජය වුවහොත් එවැනිම දේවල් විය හැකිවා මෙන්ම එම පක්ෂයේ නායකයන්ට දේශපාලන වශයෙන් හා පෞද්ගලිකව බිහිසුණු තත්වයට ද මුහුණ දීමට සිදු විය හැකිය.

ඒ අනුව ජාජබ තම “හොරුන්ට දඬුවම් දීමේ” අරමුණ ඉටු කර ගැනීමට පමණක් නොව තම දේශපාලන හා පෞද්ගලික ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා අඩු තරමින් තවත් එක් නිල කාලයක් හෝ බලයේ සිටින්නට තත්ව විසින් ඔවුන්ට බල කෙරේ. විරුද්ධ පක්ෂවල නායකයන් ද තම දේශපාලන හා පෞද්ගලික ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඊළඟ ජනාධිපතිවරණය කෙසේ හෝ ජය ගත යුතුව ඇත. ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණය අතිශයින් ප්‍රචණ්ඩකාරී වීමට ද පුළුවන. සමාජ මාධ්‍යවල වත්මන් ප්‍රකෝපකාරී ස්වභාවය ද ඒ සඳහා ප්‍රබල උත්ප්‍රේරකයක් විය හැකිය.

 

(*** එම්.එස්.එම්.අයුබ්)