මෙවර කිවිදා දැක්මෙන් සාමාන්‍ය දේශපාලන කාරණාවකට එහා ගිය, දාර්ශනික හා සංකල්පීය වශයෙන් වැදගත් ප්‍රශ්නයක් ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙමි. එයින් අදහස් කරන්නේ මේ මොහොතේ රටේ එදිනෙදා මතුවන ප්‍රශ්න වැදගත් නැති බව නොවේ. විදුලිබලය, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, රාජ්‍ය සේවය, ආර්ථිකය, ජීවන වියදම, දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා ඇතුළු සෑම ක්ෂේත්‍රයකම විවිධ අභියෝග මතුව තිබේ. ඒවා ගැන දිනපතා සාකච්ඡා කළ යුතුය.

එහෙත්, මේ සියලු‍ ප්‍රශ්නවලට යටින් තිබෙන තවත් ගැඹුරු ප්‍රශ්නයක් ගැන අපි කලාතුරකින් සිතමු. ඒ ප්‍රශ්නය වන්නේ රටක් සැබැවින්ම දියුණු වන්නේ කෙසේද? යන්නයි. ආර්ථික සංඛ්‍යා දර්ශක වැඩිවීම පමණක් දියුණුවද? නැතිනම් දියුණුව යනු ඊට වඩා පුළුල් සමාජීය, දේශපාලනික හා සංස්කෘතික ක්‍රියාවලියක්ද?

මේ ගැන සිතීමට හේතු වූයේ පසුගිය දිනක මගේ සමීප මිතුරකු සමග පැවැති සංවාදයකි. ඔහු වෛද්‍යවරයෙකි. අප දෙදෙනාම චීනයේ ජිලින් ප්‍රාන්තයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වූ අවස්ථාවේ දී ඔහු කළ නිරීක්ෂණයක් අද දක්වා මගේ සිතේ රැඳී තිබේ.

ඔහු කීවේ අපට කිසිදා චීනයේ මෙන් නව කාර්මික ආර්ථිකයක් සහිත, වේගවත් සංවර්ධනයක් ලබාගත් රටක් බවට පත්වීමට නොහැකි බවයි. ඔහුගේ අදහස වූයේ අපගේ සංවර්ධනය වෙළෙඳපොළේ ස්වාභාවික ගමන් මගට හා ලෝක ආර්ථිකයේ බලපෑම්වලට යටත් වන අතර, අප කැමැති ආකාරයට රටේ අනාගතය සැලසුම් කිරීමේ නිදහසක් කුඩා රටකට නැති බවයි. මෙය එකවරම පිළිගත යුතු අදහසක් නොවුණත්, එය බැහැර කළ හැකි අදහසක් ද නොවේ. එහි යම් සත්‍යතාවක් තිබෙන නිසාම මේ සතියේ කිවිදා දැක්මෙන් ඒ ගැන සාකච්ඡා කරමු.

 

ප්‍රශ්නය කුමක්ද?

පසුගිය ආර්ථික අර්බුදයත්, ඉන් පසුව පැවැති ජනාධිපතිවරණයත් සමග රටේ බොහෝ දෙනෙක් එකම ප්‍රශ්නයක් ඇසූහ. ඒ, ශ්‍රී ලංකාව මෙතැනට වැටුණේ ඇයි? යන්නයි. මේ සඳහා විවිධ පිළිතුරු ඉදිරිපත් වී ඇත. පළමු කණ්ඩායම සිතන්නේ 1970 සිට 1977 දක්වා පැවැති සමාජවාදී ආර්ථික මාර්ගය අත්හැරීම ප්‍රධාන වරද බවයි. ඔවුන්ගේ අදහස වන්නේ රටේ ස්වයංපෝෂිත ආර්ථිකය විනාශ වූයේ එතැනින් බවයි.

දෙවැනි කණ්ඩායම පවසන්නේ 1977 විවෘත ආර්ථිකය වැරැදි නොවූවත්, එහි නිෂ්පාදන හා අපනයන මූලික කරගත් සංවර්ධන දැක්ම ඉදිරියට ගෙන නොයාම ප්‍රධාන අසාර්ථකත්වය බවයි. වෙළෙඳපොළ විවෘත කළත්, කර්මාන්ත රටක් බවට පත්වීම අතහැර දැමීම අපේ අවාසනාව වූ බව ඔවුහු කියති.

තෙවැනි කණ්ඩායමේ අදහස වෙනස්ය. ඔවුන් පවසන්නේ ප්‍රශ්නය ආර්ථික ප්‍රතිපත්තියේ නොව, එය ක්‍රියාත්මක කළ දේශපාලන සංස්කෘතියේ බවයි. 1977න් පසුව බිහි වූ තැරැව්කාර ආර්ථිකය, දේශපාලන දූෂණය, රාජ්‍ය දේපළ කොල්ලකෑම සහ වගකීම් විරහිත පාලනය රට මේ තත්වයට ගෙන ආ බව ඔවුන්ගේ මතයයි. ඇත්ත වශයෙන්ම ජනතාව මේ අදහස් තුනම විවිධ කාලවලදී පිළිගෙන තිබේ. 1977 මැතිවරණය, 1994 මැතිවරණය සහ 2024 ජනාධිපතිවරණය දෙස බැලු‍වහොත් ජනතාව තමන්ගේ බලාපොරොත්තු වෙනස් කළ ආකාරය පැහැදිලිව දැකිය හැකිය. එහෙත් මගේ අදහස වන්නේ මේ කිසිදු පිළිතුරක් තනිවම ප්‍රමාණවත් නොවන බවයි.

 

ඇත්තටම ප්‍රශ්නය කුමක්ද?

අපේ රටේ අර්බුදය තේරුම් ගැනීමට නම් එය එක ප්‍රශ්නයක් ලෙස නොව, එකිනෙකට සම්බන්ධ වූ ප්‍රධාන අර්බුද තුනක් ලෙස බැලිය යුතුය. පළමුවැන්න ආර්ථික අර්බුදයයි. දෙවැන්න දේශපාලන අර්බුදයයි. තුන්වැන්න සමාජ විද්‍යාත්මක හා සංස්කෘතික අර්බුදයයි. මෙම අර්බුද තුන එකිනෙක ශක්තිමත් කරමින් රටේ දියුණුව අවහිර කරයි. ඒ නිසා එක ප්‍රශ්නයක් විසඳා අනෙක් දෙක නොසලකා හැරියහොත් රට නැවතත් එම ස්ථානයටම පැමිණෙනු ඇත.

 

ආර්ථික ප්‍රශ්නය

අද ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ කතාබහ බොහෝ විට සීමා වන්නේ බදු වැඩි කිරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් හෝ විදේශ විනිමය සංචිත වැනි කාරණාවලටය. මේවා වැදගත් වුව ද, ඒවා සියල්ල රෝග ලක්ෂණ පමණි. සැබෑ රෝගය තිබෙන්නේ ඊටත් යටිනි.

මාගේ අදහස නම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මූලික ප්‍රශ්නය වන්නේ අප වටිනාකම් (Value) නිර්මාණය කරන ආර්ථිකයක් නොව, පවතින වටිනාකම් බෙදාගන්නා ආර්ථිකයක් බවට පත්වීමයි. දේශපාලනඥයා බලය බෙදා ගනී. ව්‍යාපාරිකයා බලපත්‍ර බෙදා ගනී. රාජ්‍ය සේවකයා රාජ්‍ය සම්පත් බෙදා ගනී. එහෙත් අලු‍තින් නිෂ්පාදනය කරන, නව තාක්ෂණයක් නිර්මාණය කරන, ලෝක වෙළෙඳපොළ ජය ගන්නා සංස්කෘතියක් අප තුළ ප්‍රමාණවත් ලෙස ගොඩනැගී නැත.

මේ නිසා අපේ ආර්ථිකය දශක ගණනාවක් පුරා අර්බුද තුනක සිරවී සිටී. පළමුවැන්න ගෙවුම් ශේෂ අර්බුදයයි. අපනයනයට වඩා ආනයනය වැඩි වීම නිසා විදේශ විනිමය හිඟය නැවත නැවත මතුවේ. දෙවැන්න අයවැය හිඟයයි. ආදායමට වඩා වියදම් කිරීම පුරුද්දක් බවට පත්ව ඇත. තුන්වැන්න ණය අර්බුදයයි. ආයෝජනයට නොව, පරිභෝජනයට ණය ගැනීම නිසා අනාගත පරම්පරාව මත බර පැටවේ.

මේ තත්වය වෙනස් කළ හැක්කේ කෙසේද? මගේ අදහස නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ තවත් ආර්ථික පැකේජයක් නොව, නිෂ්පාදන දර්ශනයක් (Production Philosophy) බවය. කෘෂිකර්මාන්තයේ සිට කර්මාන්තය දක්වාත්, සේවා අංශයේ සිට ඩිජිටල් ආර්ථිකය දක්වාත්, සෑම ක්ෂේත්‍රයකම ප්‍රශ්නය විය යුත්තේ ‘‘අප ලෝකයට අලු‍තින් දෙන්නේ කුමක්ද?”‍ යන්නයි.

රටක් දියුණු වන්නේ ස්වාභාවික සම්පත් නිසා නොවේ. දකුණු කොරියාවට, සිංගප්පූරුවට හෝ ජපානයට හෝ අපට වඩා ස්වාභාවික සම්පත් තිබුණේ නැත. එහෙත් ඔවුන්ගේ දියුණුව ඇති කළේ මිනිස් ප්‍රාග්ධනය, තාක්ෂණය, විනය සහ නිෂ්පාදන සංස්කෘතියයි. අප ද එම දිශාවට ගමන් නොකරන තාක් කල් ඕනෑම ආණ්ඩුවක් යටතේ එකම ආර්ථික අර්බුදය නැවත නැවතත් මතුවනු ඇත.

 

දේශපාලන ප්‍රශ්නය

අපේ රටේ දේශපාලන සංවාදය බොහෝ විට පුද්ගලයන් වටා ගොඩ නැගෙයි. කවුරුන් ජනාධිපති විය යුතුද, කවුරුන් අගමැති විය යුතුද, කුමන පක්ෂය බලයට පැමිණිය යුතුද යන්න ගැන අපි විශාල වශයෙන් විවාද කරමු. එහෙත් ඉතා කලාතුරකින් අප අසන ප්‍රශ්නයක් තිබේ. එනම්, මේ රටේ රාජ්‍යය ක්‍රියා කළ යුත්තේ කුමන මූලධර්ම මතද? යන්නයි.

විධායක ජනාධිපති ක්‍රමය ද, පාර්ලිමේන්තු ක්‍රමය ද, බලය බෙදාහැරීම ද, මැතිවරණ ක්‍රමය ද යන සියල්ල වැදගත්ය. එහෙත් මේවාට වඩා වැදගත් වන්නේ ආයතනවල ගුණාත්මකභාවයයි. හොඳ නීති තිබිය හැකිය. හොඳ ව්‍යවස්ථාවක් තිබිය හැකිය. එහෙත් ඒවා ක්‍රියාත්මක කරන ආයතන ස්වාධීන නැත්නම්, කාර්යක්ෂම නැත්නම්, වගකීම් සහගත නැත්නම් ප්‍රතිඵලය සාර්ථක වන්නේ නැත.

අපේ දේශපාලනයේ තවත් ගැටලු‍වක් වන්නේ කෙටිකාලීන ජනප්‍රියත්වය දිගුකාලීන ජාතික අවශ්‍යතාවට වඩා ඉහළින් තැබීමයි. සෑම ආණ්ඩුවක්ම ඊළඟ මැතිවරණය ගැන සිතයි. ඉදිරි පරම්පරාව ගැන සිතන්නේ ඉතා සුළු පිරිසකි. එබැවින් ප්‍රතිපත්තිවල අඛණ්ඩතාවක් නැත. ආණ්ඩු වෙනස් වන විට ජාතික ප්‍රතිපත්ති ද වෙනස් වේ.

එමෙන්ම දේශපාලනය යනු හුදෙක් පක්ෂ අතර තරගයක් නොවිය යුතුය. එය රාජ්‍යයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ක්‍රියාවලියක් විය යුතුය. රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් මුදා ගැනීම, නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම, දූෂණයට එරෙහිව ආයතනික විසඳුම් ගොඩ නැගීම සහ රාජ්‍යයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මේ සියල්ල එකට සිදුවිය යුතුය. එබැවින් ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණය යනු පුද්ගලයන් මාරු කිරීම නොව, ආයතන ශක්තිමත් කිරීම බව අප පිළිගත යුතුය.

 

සමාජ හා සංස්කෘතික ප්‍රශ්නය

මා සිතන ආකාරයට ශ්‍රී ලංකාවේ ගැඹුරුම අර්බුදය ඇත්තේ මෙතැනයි. ආර්ථිකයත් දේශපාලනයත් අවසානයේ පිළිබිඹු කරන්නේ සමාජයේ ස්වභාවයයි. එබැවින් සමාජය වෙනස් නොකර ආර්ථිකය හෝ දේශපාලනය ස්ථිරව වෙනස් කළ නොහැකිය.

අපේ සමාජයේ තවමත් විද්‍යාත්මක චින්තනයට වඩා මිථ්‍යා විශ්වාසවලට ඉඩ තිබේ. පුද්ගල වන්දනාවට ආයතනවලට වඩා වටිනාකමක් දෙන සංස්කෘතියක් පවතී. කුලය, පවුල, දේශපාලන පක්ෂය හෝ පෞද්ගලික සබඳතා බොහෝ අවස්ථාවල දක්ෂතාවට වඩා වැදගත් වෙයි. මෙවැනි සමාජයක තරගකාරී ආර්ථිකයක් හෝ නවෝත්පාදන සංස්කෘතියක් බිහි කිරීම ඉතා අපහසුය.

මේ අතර අධ්‍යාපනය පිළිබඳ ගැටලු‍ව ඉතා බරපතළය. අපේ අධ්‍යාපනයේ අවසාන අරමුණ තවමත් රජයේ රැකියාවක් ලබා ගැනීම බවට පත්ව තිබේ. මෙය වෙනස් නොකළහොත් අධ්‍යාපනය ආර්ථික සංවර්ධනයේ මෙවලමක් නොව, රැකියා අපේක්ෂා නිර්මාණය කරන පද්ධතියක් පමණක් වනු ඇත.

අපට අවශ්‍ය වන්නේ විභාග සමත් වන දරුවන් පමණක් නොව, ප්‍රශ්න අසන, පර්‌යේෂණ කරන, ව්‍යවසායකත්වයට යොමුවන, අසාර්ථක වීමට බිය නොවන, ලෝකය සමග තරග කළ හැකි තරුණ පරපුරකි. ඒ සඳහා පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනයේ අරමුණ නැවත අර්ථ දැක්විය යුතුය. එසේම රටක් දියුණු වන්නේ නීති පමණක් වෙනස් කිරීමෙන් නොවේ. මිනිසුන්ගේ ආකල්ප වෙනස් වූ විටය. වැඩට ගරු කරන, බදු ගෙවීම පුරවැසි වගකීමක් ලෙස සලකන, පොදු දේපළ ආරක්ෂා කරන, කාලය අගය කරන, නීතියට ගරු කරන සහ සත්‍යය පිළිගැනීමට නිහතමානී සමාජයක් බිහි කළ හැකි නම්, ආර්ථිකයත් දේශපාලනයත් ස්වාභාවිකවම යහපත් අතට හැරෙනු ඇත.

ඒ නිසා රට ගොඩනැගීමේ අවසාන සටන ඇත්තේ පාර්ලිමේන්තුව තුළ නොව, පන්ති කාමරය තුළය. අමාත්‍යාංශවල නොව, පවුල තුළය. අයවැයේ නොව, සමාජයේ ආකල්ප තුළය. ශ්‍රී ලංකාවට අවශ්‍ය විශාලතම ප්‍රතිසංස්කරණය වන්නේ සමාජයේ චින්තනය ප්‍රතිසංස්කරණය කිරීමයි.

 

අවසානයේ...

අපි බොහෝ විට රටේ ප්‍රශ්න ගැන කතා කරන්නේ ඒවා එකිනෙකින් වෙන් කළ හැකි ප්‍රශ්න ලෙසය. එහෙත් සැබෑ තත්වය එසේ නොවේ. ආර්ථිකය, දේශපාලනය සහ සමාජය යන අංශ තුනම එකම වෘත්තයක කොටස් තුනකි. එකක් වෙනස් නොකර අනෙක් දෙක වෙනස් කළ නොහැකිය. ඒ නිසා ශ්‍රී ලංකාව ගොඩනැගීමේ සැබෑ අභියෝගය වන්නේ ආණ්ඩුවක් මාරු කිරීම පමණක් නොවේ. ඇමැතිවරුන් වෙනස් කිරීම පමණක් නොවේ. බදු ප්‍රතිපත්තියක් හෝ ණය ගිවිසුමක් වෙනස් කිරීම හෝ පමණක් ද නොවේ.

අපට අවශ්‍ය වන්නේ නව සංවර්ධන දර්ශනයකි. නිෂ්පාදනය අගය කරන ආර්ථිකයක්, වගවීම අගය කරන දේශපාලනයක් සහ විවේචනාත්මක චින්තනය අගය කරන සමාජයක් ගොඩනැගීමයි. රට ගොඩනැගීම යනු ආර්ථික වර්ධන අනුපාතයක් ඉහළ දැමීම පමණක් නොවේ. එය ජනතාවගේ සිත, රාජ්‍යයේ ආයතන සහ ආර්ථිකයේ ව්‍යුහය එකවර පරිවර්තනය කිරීමේ දීර්ඝ ගමනකි. එම ගමන ආරම්භ කළ යුත්තේ අපේ ප්‍රශ්නය නිවැරැදිව හඳුනා ගැනීමෙනි. මන්ද, නිවැරැදි ප්‍රශ්නය හඳුනා නොගත් සමාජයකට නිවැරැදි පිළිතුරු කිසිදා ලැබෙන්නේ නැත.

 

(***)