පොසොන් උත්සවය පැවැත්වුණු ජුනි 27 වැනිදා සිට 29 වැනිදා දක්වා කාලය තුළ ඒකක 300ට වැඩියෙන් සෝලා විදුලි බලය (සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කිරීම) නිෂ්පාදනය කරන්නන්ට දිවා කාලයේ දී ඒවා විසන්ධි කර තබන ලෙස රජය දැනුම් දී තිබුණි. පසුගිය වෙසක් උත්සවය සමයේ දී දිවා කාලයේ දී විදුලි පරිභෝජනය අඩුවීම හේතුවෙන් සෝලා විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීම නිසා විදුලිය බෙදාහැරීම සම්බන්ධයෙන් අර්බුද ඇති විය. එබැවින් පොසොන් නිවාඩු උත්සව කාලය තුළදී ද ඒ අයුරින් අර්බුද ඇතිවිය හැකි බැවින් සෝලා විදුලිබල නිෂ්පාදනය නවතා දමන ලෙස දැනුම් දී තිබුණි.
ඉතා අඩු පිරිවැය විදුලි නිෂ්පාදනයක් වූ සෝලා විදුලි නිෂ්පාදනය මේ අයුරින් ඉදිරි කාලයේ දී තවත් කොපමණ වාර ගණනාවක් නවතා තැබීමට සිදුවේ ද යන්න පිළිබඳව ප්‍රකාශ කළ නොහැකිය. ඒ අනුව පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් රටේ දැනට පවත්නා දුර්වල කළමනාකරණය හේතුවෙන් මහජනතාවට තවත් බොහෝ කාලයක් විදුලිය වෙනුවෙන් ඉහළ මිලක් ගෙවීමට සිදුවනු ඇත.
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ සෝලා විදුලිබල නිෂ්පාදනය පුළුල් කිරීමට අදාළව ඩොලර් මිලියන 57.4ක ආධාර මුදලක් ලබාදීමට පසුගිය සතියේ දී තීරණය කළේය. 2009 වසරේ දී රජය සෝලා විදුලි නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා මැදිහත්වීමෙන් පසු ආසියානු සංවර්ධන බැංකුව සෝලා විදුලිබල නිෂ්පාදනයට ආධාර ලබාදීම සඳහා ඉදිරිපත් වූ දෙවැනි අවස්ථාව මෙය වේ. 2018 දී ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 50ක මුදලක් ඒ සඳහා ශ්‍රී ලංකාවට සහන ණයක් ලෙස ලබා දුන්නේය. මීට අමතරව එම බැංකුව අදාළ තාක්ෂණික සහාය ලබා දීමට ද කටයුතු කර තිබිණි. එම ආධාර ක්‍රමය යටතේ ගෘහස්ථ පාරිභෝගිකයන්ට අඩු පොලී අනුපාත යටතේ අරමුදල්දීම සිදු විය. ඒ අනුව මෙගාවොට් 70ක සෝලා විදුලිබලය නිෂ්පාදනය කිරීමටත්, ඒ සඳහා පුද්ගලයන් සහ ආයතන 5,000කට අරමුදල් දීමටත් කටයුතු කර තිබුණි.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස සූර්යබල විදුලි නිෂ්පාදනය ශ්‍රී ලංකාවට කිහිප අතකින් වාසි සහගත තත්වයක් අත්කර දෙයි. ඉතා අඩු, දිගු සහ විචල්‍ය පිරිවැයක් යටතේ එමගින් විදුලිබලය නිෂ්පාදනය කිරීමට හැකිය. අනෙක් අතට පරිසරය ආරක්ෂා කර ගනිමින් තිරසාර සංවර්ධනය ඇති කර ගැනීම සඳහා අවස්ථාව ද සැලසේ. අඩු පිරිවැයක් යටතේ සූර්යබල විදුලිය නිෂ්පාදනය කෙරෙන නිසා ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ට සහ ව්‍යවසායකයන්ට අඩු මිලකට විදුලිය ලබා ගැනීමට ද හැකියාව ලැබේ. විදුලි බිල අඩු කිරීමෙන් රටේ නිෂ්පාදන පිරිවැය අඩුවන බැවින් භාණ්ඩ පිරිවැය අඩුවීම හේතුවෙන් ආයෝජන සහ නිෂ්පාදනය ද දිරිමත් වේ.
මෙවර ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන ආධාර මුදලින් ඩොලර් මිලියන 35 ක් සහන ණයක් වශයෙන් ලැබෙන අතර තවත් ඩොලර් මිලයන 16.9ක් යුරෝපා සංගමයේ ප්‍රදානයක් වශයෙන් ලැබේ. ජපානය ද මේ සඳහා ඩොලර් මිලියන 5.5ක දායකත්වයත් ලබා දී ඇත. එම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන නියෝජිත ආයතන විසින් ද වැය කරන පිරිවැය ප්‍රමාණය අනුව මුළු ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් මිලියන 80.5ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. මෑත කාලයේ දී රටට ලැබී ඇති විදේශ ආධාර හා සසඳන විට ආසියානු සංවර්ධන බැංකුව රටේ සූර්යබල විදුලි නිෂ්පාදනය සඳහා සලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව පැහැදිලි වනු ඇත.
සෝලා විදුලිබල නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පසුගිය ආණ්ඩු විසින් අනුගමනය කරන ලද ප්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් මේ වනවිට මෙගාවොට් 1067ක විදුලි නිෂ්පාදනයක් සූර්යබලය මගින් රටේ ජතික විදුලිබල පද්ධතියට එකතුවේ. වික්ටෝරියා විදුලි බලාගාරයෙන් ලැබෙන මෙගාවොට් 210ක, රන්දෙණිගල බලාගාරයෙන් ලැබෙන මෙගාවොට් 126ක සහ රන්ටැඹේ බලාගාරයෙන් ලැබෙන මෙගාවොට් 50ක විදුලි නිෂ්පාදනය හා සසඳන විට මේ අවස්ථාවේ දී ඉතා ඉහළ දායකත්වයක් සූර්යබල විදුලි නිෂ්පාදනයෙන් රටට ලැබෙන බව පෙනේ. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර සියල්ලම ක්‍රියාත්මක කළහොත් ලැබෙන මුළු විදුලිබල ධාරිතාව මෙගාවොට් 900කි. රටේ විශාලතම විදුලි බලාගාරයෙන් ලැබෙන නිෂ්පාදනයට වඩා වැඩි නිෂ්පාදනයක් දැන් සෝලා විදුලිය මගින් රටට ලැබේ.
විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන් ලංකාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ ඒ සඳහා ආයෝජනය කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍යවීමයි. මෙගාවොට් අඩු ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන කුඩා ප්‍රමාණයේ විදුලි බලාගාරයක් වුව ද ගොඩ නැගීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් යෙදවීමට රටට සිදුවේ. ඒ අතරම ඒ සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම, මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම් සැපැයීම, යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීම සහ ඉදි කිරීම් කටයුතු වෙනුවෙන් ද විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. බලශක්ති මුලාශ්‍රය පුනර්ජනනීය ප්‍රභවයක් නොවන්නේ නම් ඉන්ධන, දැවි තෙල්, ගල් අඟුරු වැනි නිෂ්පාදන යෙදවුම් සඳහා ද විශාල මුදලක් වැය කිරීමට සිදුවන අතර දෛනික නඩත්තු කටයුතු සඳහා ද ඉහළ පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. රටේ අනාගත විදුලි ඉල්ලුමට සරිලන ආකාරයේ සැපැයුමක් ඇති කර ගැනීමට රටට නොහැකිවීම නිසා සංවර්ධනය පිළිබඳ ගැටලු රැසක් මේ වනවිට නිර්මාණය වී තිබේ.
ආයෝජන පිරිවැය, යෙදවුම් සහ නඩත්තුව වෙනුවෙන් සූර්යබල විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන් දැරීමට සිදුවන්නේ අවම පිරිවැයකි. එබැවින් ඉතා අඩු මුදලකට විදුලිය නිෂ්පාදනය කර ගැනීමට එමගින් ඉඩ ලැබෙන අතර විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන් අද පවත්නා බොහෝ ගැටලුවලට එය ප්‍රබල විසඳුමක් වනු ඇත. එසේ වුව ද මේ වනවිට සූර්යබල විදුලි නිෂ්පාදන කටයුතු අධෛර්යවත් කෙරෙන පරිසරයක් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හේතුවෙන් නිර්මාණය වී තිබෙන අතර බොහෝ දෙනකු එම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට දැක්වූ උනන්දුව විශාල ලෙස අඩුවී ඇති බව පෙනේ. අනෙකුත් විදුලි නිෂ්පාදන හා සැලකීමේ දී රජයට ඉතා අඩු ආයෝජනයකින් සහ ඉතා කෙටි කාලයක් තුළ සුර්යබල විදුලි නිෂ්පාදනය ඉහළ නැංවිය හැකි වුව ද ඒ වෙනුවට එය අධෛර්යවත් කෙරෙන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටීම කනගාටුවට කරුණකි.
2016 වසරේ සිට 2022 දක්වා කාලය තුළ සූර්යබල විදුලි ඒකකයක් වෙනුවෙන් රුපියල් 22ක් ගෙවනු ලැබිය. 2022 නොවැම්බර් 16 වැනි දා එය රුපියල් 37 දක්වා ඉහළ දමනු ලැබීය. එහෙත් 2024 ජුලි 01 වැනිදා සිට එය ප්‍රථම වරට පහළ දමමින් රුපියල් 27 දක්වා අඩු කරනු ලැබීය. මෙම ආණ්ඩුව විසින් 2025 ජුනි 16 වැනිදා සිට රුපියල් 20.90 දක්වා එය පහළ දැමූ අතර විදුලි ඒකක 100ට වඩා නිෂ්පාදනය කරන්නේ නම් ගෙවන මුදල රුපියල් 17.46 දක්වා තවදුරටත් පහළ හෙළීය. මෙය හැඳින්විය හැක්කේ ඒ දක්වා වර්ධනය වෙමින් පැවැති ශ්‍රී ලංකාවේ සූර්යබල විදුලි නිෂ්පාදනය විනාශ කර දැමීමක් ලෙසය. ඒ හේතුවෙන් මේ වනවිට වහළ මත සූර්යබල විදුලි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වූ බොහෝ දෙනකු ඒවා අතහැර දමා ඇති අතර සූර්යබල විදුලි නිෂ්පාදන පද්ධති සපයන ආයතන ද විශාල අර්බුදයකට මුහුණ දී සිටී.
ජාතික විදුලිබල පද්ධතියට සූර්යබල විදුලි නිෂ්පාදනය සම්බන්ධ කර ගැනීම පිළිබඳ ගැටලුවට ද තවමත් විසඳුමක් ලැබී නැත. දිවා කාලයේ දී නිෂ්පාදය කරන විදුලිය තැන්පත් කර තබා ගත හැකි බැටරි පද්ධති ආනයනය කර ඇති නමුත් ඒවායේ අපේක්ෂිත මුළු ධාරිතාව වනුයේ මෙගාවොට් 130කි. සූර්ය විදුලිබල නිෂ්පාදනය ඉහළ නැංවීමට නම් බැටරි පද්ධති ධාරිතාවට ඉහළ නැංවිය යුතුව ඇත.
කිසියම් පාරිභෝගියකු සූර්යබල විදුලි නිෂ්පාදනයට ආයෝජනය කිරීමට අපේක්ෂා කරන්නේ නම් එය ඉතා කෙටි කාලයක් තුළ දී සම්පූර්ණ කර ගැනීමට හැකිවන අයුරින් සැපයුම් අංශ ද වර්ධනය වී තිබේ. එසේ වුව ද ඒ හා සම්බන්ධ ගැටලු ද බොහොමයක් පවතී. රට තුළ විශාල ලෙස විදුලි වාහන භාවිතය වැඩිවී ඇති නිසා වහල මත සූර්යබල විදුලි නිෂ්පාදනයට විශාල ඉල්ලුමක් ඇති කර ගත හැකිය. එම අවස්ථා සියල්ල ප්‍රයෝජනයට ගෙන අඩු මිල විදුලි නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවට බාල ගල් අඟුරු ගෙන්වා විදුලි පාරිභෝගිකයාගේ ගෙල සිර කරන ක්‍රියාමාර්ග ආණ්ඩුව අනුගමනය කරමින් සිටී. සූර්යබල විදුලි නිෂ්පාදනය වහාම ඉහළ නංවා විදුලි මිල පහළ දැමීමට හැකි වුවහොත් දරාගත නොහැකි මට්ටමින් දිනෙන් දින ඉහළ දමන පාරිභෝගිකයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ විදුලි බිල අඩු කිරීමට ආණ්ඩුවට ඉඩ ලැබෙන අතර රටේ ජාතික සංවර්ධනය ඉහළ නැංවීමට ද අවස්ථාව සැලසේ.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd