මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි ජනාධිපති ධුර කාලයේ දී සිදුවූ සුප්‍රකට එයාර් බස් ගනුදෙනුව හා සම්බන්ධ ඩොලර් මිලියන දෙකේ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය සඳුදා රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
එදිනම පැවැති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ විශේෂ රැස්වීමකදී කතා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන් නීතියට ඉහළින් සිටින බව සිතාගෙන සිටි ඇතැමුන් නීතිය කිසිදා තමන් හඹා නොඑනු ඇතැයි ද සිතාගෙන සිට ඇති බව ප්‍රකාශ කළේය.
ඔහු මේ සඳහන් කරන්නේ අල්ලස් කොමිසමේ ප්‍රශ්න කිරීමට ලක් වූ මහින්ද රාජපක්ෂ මහතා හා එංගලන්තයේ වොල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගිවීමෙන් රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා ලැබ පසුගිය වසරේ අගෝස්තු මස රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැන බව ඉතාම පැහැදිලිය.
අත්ත වශයෙන්ම 2024 දී ජාතික ජන බලවේගය බලයට පත් නොවූයේ නම් කොතරම් පැහැදිලිව මෙම දෙදෙනා නීතිවිරෝධී කටයුත්තක් කළ ද ඔවුන් ප්‍රශ්න කිරීමකට ලක් වනු ඇතැයි කියා හෝ අත්අඩංගුවට පත්වනු ඇතැයි කියා සිතිය නොහැකිය.
ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කළ ඉකුත් අඟහරුවාදාම පසුගිය ආණ්ඩු ගණනාවක ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් වූ විපක්ෂයේ දේශපාලනඥයෝ පිරිසක් ජනමාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය මැයි දිනයේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකින් අධිකරණ තීන්දුවක් කල් තබා ප්‍රකාශ කර ඇතැයි ද එය අධිකරණයට අපහාස කිරීමකැයි ද කීහ. අප්‍රේල් 30 වැනිදා විභාගය අවසන් කරන ලද නඩුවක තීන්දුව මැයි 25 වැනිදා දෙන්නට නියමිත බවත් එදිනට අත්පොළසන් දෙන්නට සූදානමින් සිටින ලෙස ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයේ මෙවර මැයි දින රැළියේ දී පැවැසූ බවත් ඔවුහු සඳහන් කළහ.
මෙවැනි ප්‍රකාශ මගින් විධායකය හා අධිකරණය අතර බලය බෙදී යාමේ සංකල්පයට හානියක් වන බව ද ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය මගින් අධිකරණයට බලපෑම් කර ඇතැයි ද ඔවුහු චෝදනා කළහ. මේ තත්වය තමන් අග්‍රවිනිශ්චයකාරවරයාගේ හා අදාළ ජාත්‍යන්තර සංවිධානවල අවධානයට ලක් කරන බව ද ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳ චෝදනා එල්ල වූ මුල් දිනවලම ඊට පිළිතුරු දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නඩුවලට අදාළ දින රහස් නොවන බවත් ඒවා අධිකරණයෙන්ම ප්‍රකාශයට පත් කෙරෙන හෙයින් ඒවා කවුරුත් දන්නා දේවල් බවත් ප්‍රකාශ කළේය. එහෙත් අත්පොළසන් දෙන්නට සූදානමින් සිටින ලෙසට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන ඔහු කිසිවක් පැවසුවේ නැත.
දැනටමත් ප්‍රසිද්ධ වී ඇති යම් යම් නඩුවල සාක්ෂි පදනම් කරගෙන ජනතාව එම නඩුවල තීන්දු අනුමාන කිරීම අලුත් දෙයක් නොවන බවත් වරදක් නොවන බවත් ආණ්ඩුවට හිතවත් ඇතැම් පිරිස් තර්ක කරති. ඇතැම් නඩු සම්බන්ධයෙන් එය සත්‍යයකි. උදාහරණයක් වශයෙන් 1996 දී ශ්‍රී ලංකා මහ බැංකුවට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය පිළිබඳව කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ට එරෙහිව පවරන ලද නඩුවේ සාක්ෂි අනුව 2002 දී දෙන ලද එහි තීන්දුව කල් තබා සිතා ගත හැකිව තිබිණි. අනුමාන කළ නොහැකිවූයේ දඬුවම කුමක්වේද යන්න පමණි.
එහෙත් සාමාන්‍ය පුද්ගලයකු නඩුවක තීන්දුව අනුමාන කිරීමත් රටේ ජනාධිපතිවරයා එසේ කිරීමත් එකක් නොව දෙකකි. ජනාධිපතිවරයා එවැන්නක් හුදු අනුමානයෙන් හෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම එම තීන්දුව පිළිබඳව යම් ආකාරයකින් දැනුවත්ව කරන්නකු ලෙසත් එසේ නැත්නම් තීන්දුවට කරන බලපෑමක් ලෙසත් කෙනකු සිතිය හැකිය. එය අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාසයට අචේතනිකව හෝ යම් හානියක් කළ හැකිය.
කෙසේ වුවද යම් නඩු තීන්දුවක් සම්බන්ධයෙන් සතුට පළකරන්නැයි ජනාධිපතිවරයා තම පක්ෂයේ ආධාරකරුවන්ට කීව ද ඔහු එහිදී නිශ්චිතව යම් නඩුවක් ගැන සඳහන් නොකළේ නම් එහිදී ද ඔහුට දොස් පැවරිය නොහැකිය. එය හුදෙක් දේශපාලන වහසි බස් දෙඩීමක් පමණක් ලෙස සැලකිය හැකිය.
එහෙත් මෙහිදී ජනාධිපතිවරයා එක්තරා දුරකට යම් නිශ්චිත නඩුවක් ගැන කියයි. ඔහු සඳහන් කරන්නේ අප්‍රේල් 30 වැනිදා අසා අවසන් කරන ලදුව මැයි 25 වැනිදාට තීන්දුව දෙන්නට නියමිත නඩුවකි. එවැනි නඩු කීයක් ඇත්දැයි නොදනිමු. ඇත්තේ එවැනි නඩු එකක් නම් සහ එහි නඩු තීන්දුව ජාතික ජන බලවේගයට සතුටු වියහැකි එකක් නම් පමණක් ඔහු ඒ ගැන කල් තබා දැනසිටි බවට හෝ ඔහු අධිකරණයට බලපෑම් කරන්නට ඇති බවට හෝ චෝදනා කරන්නට විපක්ෂයට අවස්ථාව ලැබෙනු ඇත.
එසේ වුව ද මෙරට විපක්ෂය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් නම් තමන් ආරක්ෂා වී ආණ්ඩුවට පහර දෙන්නට නොහැකිවීමයි. ඔවුන් ආණ්ඩුවට එල්ල කරන සෑම චෝදනාවක්ම පාහේ ආපසු කැර කී බූමරංගයක් සේ ඔවුන් වෙතටම පෙරළා ඒමේ අනතුරක් ඇත. ඔවුන් නිතරම පාහේ දූෂණය හා දුර්වල පාලනය පිළිබඳව ආණ්ඩුවට චෝදනා කළ ද එම තත්ව ඔවුන්ගේ පාලන කාලවලදී දැනට වඩා කිහිප ගුණයක් බරපතළ ලෙස දක්නට ලැබුණු ඒවාය. එහෙයින් ඔවුන් එසේ චෝදනා එල්ල කරන සෑම අවස්ථාවකදීම එසේ කරන්නට ඔවුන්ට ඇති සදාචාරමය අයිතිය පිළිබඳ ප්‍රශ්නය ද මතුවේ.
නිසි භෞතික පරීක්ෂණයකින් තොරව කන්ටේනර් 300 කට අධික සංඛ්‍යාවක් කොළඹ වරායෙන් නිදහස් කිරීම පිළිබඳව ඔවුන් මතු කරන ප්‍රශ්නය මතු කළ යුතු බරපතළ ප්‍රශ්නයක් බව සැබෑය. එහෙත් එවැන්නක් සිදුව ඇත්තේ ජාජබ බලයට එන්නට පෙර 2024 ජූලි මාසයේදී කන්ටේනර් තදබදය අඩු කිරීමට තම දෙපාර්තමේන්තුව විසින් ගන්නා ලදු තීරණයක් අනුව බවත් එම තීරණය අනුව පසුගිය පාලන කාලයේදී ද අවස්ථා ගණනාවකදී එසේ කන්ටේනර් මුදාහැර ඇති බවත් රේගුව නිවේදනයක් මගින් පවසා තිබිණි. එය මෙතෙක් කිසිවකු ප්‍රතික්ෂේප කළේ ද නැත.
මැතකදී මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු පිළිබඳව විරුද්ධ පක්ෂ පසුගිය සතිය දක්වා විශාල ඝෝෂාවක් කරමින් සිටියේය. එය කළ යුත්තක් බවට කිසිදු තර්කයක් නැත. එහෙත් 2020 වසරේ සිට සෑම වසරකදීම ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු සැපයූ සැපයුම්කරුවන්හට දඩ නියම කර ඇතැයි සංඛ්‍යා ලේඛන සහිතව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු දැක්වූවිට ඔවුන් එය ප්‍රතික්ෂේප කළේ ද නැත.
විපක්ෂයේ ඝෝෂාව හේතුවෙන් දැන් ආණ්ඩුව මෙරටට ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව පරීක්ෂණ පවත්වන්නට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කර ඇත.
ජාජබ ආණ්ඩුව පමණක් අක්‍රමිකතාවලින් තොරව ගල් අඟුරු ගෙන්වා ඇතැයි අවසානයේදී කොමිසම තීන්දු කරනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කළේයැයි කියන ප්‍රකාශයක් නිසා තමන් කොමිසම හමුවට නොයන බව ඇතැම් විපක්ෂ නායකයෝ කියති. එහෙත් කොමිසමේ තීන්දුව කුමක් වුවද ජනතාවට කරුණු කියන්නට ඔවුන්ට මෙම කොමිසම ද වේදිකාවක් කර ගත හැකිය.
අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධයෙන් සැලකීමේදී ද අද ඒ ගැන මහහඬින් කතා කරන විපක්ෂයට අතීතය පිළිබඳ මෙම අර්බුදයෙන් ගැළවීමට නොහැකිය. ඒ මෙතෙක් පැවැති සෑම ආණ්ඩුවක්ම, විශේෂයෙන්ම 1977 න් පසු බලයට පත් සෑම ආණ්ඩුවක්ම අධිකරණ ස්වාධීනත්වයට තර්ජනය කර ඇති හෙයිනි. ඒ ගැන උදාහරණ එකක් දෙකක් බැගින් පෙන්වා දිය හැකිය.
1977 දී බලයට පත් ජේ.ආර්.ජයවර්ධන මහතාගේ කාලයේදී ආණ්ඩුවට එරෙහි තීන්දුවක් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ නිවෙස්වලට ගල් ගැසීමට පවා මැරයෝ එඩිතර වූහ. රණසිංහ ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ ආදීහු ද එම ආණ්ඩුවේ නායකයෝ වූහ.
ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග එවක ඉතාමත් ප්‍රතිපත්ති ගරුක ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරකරයකු ලෙස ප්‍රකටව සිටි මාර්ක් ප්‍රනාන්දු මහතා නොසලකා හැර ඇගේ පෞද්ගලික මිතුරකු වූ සරත් එන්. සිල්වා මහතා අග විනිසුරු ධුරයට පත් කළ බවට චෝදනාවට ලක් වූවාය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතැම් තීන්දු පවා නොතකා හළේය. උදාහරණයක් වශයෙන් 2008 දී අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ඉන්ධන මිල සම්බන්ධයෙන් දුන් තීන්දුව පෙන්වා දිය හැකිය. එම පාලන කාලයේදීම එනම් 2012 දී අධිකරණ සේවා කොමිසමට බාහිර බලපෑම් එල්ල වන බවට කළ ප්‍රකාශයක් හේතුවෙන් එවක එම කොමිසමේ ලේකම් වූ විනිසුරු මංජුල තිලකරත්න මහතාට මැරයෝ ප්‍රසිද්ධියේ පහර දුන්හ. ඉන් වසරකට පසු ආණ්ඩ පක්ෂය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය බහුතරය දැරූ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක නිර්දේශ පදනම් කරගෙන එවක අගවිනිසුරු වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ද්‍රෝෂාභියෝග යෝජනාවක් මගින් ධුරයෙන් පහ කරනු ලැබුවාය.
බණ්ඩාරනායක මහත්මියගෙන් පසු අගවිනිසුරුධරයට පත්වූයේ මොහාන් පීරිස් මහතාය. ඔහුගේ පත්වීම මතභේදකාරී වුවද මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාගෙ ඊනියා යහපාලන ආණ්ඩුව බලයට ආ සැණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කිසිදු පිළිගත් ක්‍රමයකින් තොරව ඔහු ධරයෙන් පහ කෙරිණි. එය බොහෝදෙනාගේ විවේචනයට ලක් විය. මහාධිකරණවල විනිශ්චයකාරවරුන් ලෙස දේශපාලන හිතවතුන් පත් කළ බවට එම ආණ්ඩුව ද චෝදනාවට ලක් විය.
අධිකරණ ක්ෂෙත්‍රයේ හාස්‍යජනකම හා අතිශයින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරක් ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙර පැවැති ආණ්ඩු කාලයේදී පවරන ලද ඇතැම් නඩු හා දෙන ලද ඇතැම් නඩු තීන්දු අහෝසි කරන්නටත් එම නඩුවලට මුල්වූ දේශපාලනඥයනගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නටත් කොමිසමක් පත් කළේය. එවැන්නක් මීට පෙර ලෝකයේ සිදුවී ඇත්තේ ඇතැම් පුද්ගලයන් කැරැල්ලකින් හෝ හමුදා කුමන්ත්‍රණයකින් බලහත්කාරයෙන් බලය අත්පත් කර ගත් අවස්ථාවලදී පමණි.
2023 දී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණවලට මුදල්දීම වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කළවිට එම මුදල් නිදහස් කරන ලෙස එම වසරේ මාර්තු මස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එම නියෝගය හෙළා දුටු ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා එම නියෝගය දුන් විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවිය යුතුයැයි පාර්ලිමේන්තුවට යෝජනා කළේය.
මෙයින් ප්‍රශ්න කෙරෙන්නේ අධිකරණ ස්වාධීනත්වය ගැන කතා කරන්නට වත්මන් විපක්ෂයට ඇති සදාචාරමය අයිතියයි. එහෙත් වත්මන් ආණ්ඩුව අධිකරණ ස්වාධීනත්වයට අභියෝග කරන්නේ නම් එය සාධාරණීකරණය කිරීමකට එම තත්වය යොදා ගැනීම කිසිසේත්ම පිළිගත නොහැකිය.
(*** එම්. එස්. එම්. අයුබ්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd