ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකු මෙන්ම සැකකරුවකු ද වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි වියෝව මේ වන විට රට තුළ දැවැන්ත කතිකාවතක් නිර්මාණය කර තිබේ. එය හුදෙක් එක් පුද්ගලයකුගේ අභාවයක් පමණක් නොව, මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ස්වාධීනත්වය සහ විමර්ශන ක්‍රියාවලිය තුළ පවතින අදෘශ්‍යමාන බලපෑම් පිළිබඳ බරපතළ ප්‍රශ්න කිරීමකි.
මරණයට පෙර දුන් සාක්ෂිය
කපිල චන්ද්‍රසේන මහතා මිය යාමට පෙර, එනම් 2026 මාර්තු 18 වැනිදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට ලබා දුන් දිවුරුම් ප්‍රකාශය (Affidavit) දෙස බලන විට, ඔහුගේ මරණය හුදෙක් මානසික බිඳ වැටීමක් ද නැතිනම් සැලසුම් සහගත බලපෑමක ප්‍රතිඵලයක් ද යන සැකය දැඩි වේ. එම දිවුරුම් ප්‍රකාශයේ 6 වැනි ඡේදය මගින් ඔහු බරපතළ චෝදනාවක් එල්ල කරයි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා තමාට තර්ජනාත්මකව කළ ප්‍රකාශ පිළිබඳව ඔහු එහි සඳහන් කර ඇත.
ව්‍යාජ ඇපකරුවන්ගේ නාටකය: හිතාමතා කළ කුමන්ත්‍රණයක් ද?
මෙම සිද්ධියේ වඩාත්ම සැක කටයුතු හැරවුම් ලක්ෂ්‍යය වන්නේ ඔහුට ඇප ලබා දීමේ දී ඉදිරිපත් වූ ‘ව්‍යාජ ඇපකරුවන්’ පිළිබඳ පුවතයි. චන්ද්‍රසේන මහතාගේ පාර්ශවය පවසන්නේ, ඇප ලබා දීම සඳහා පවුලේ සමීපතම ඥාතීන් දෙදෙනකු සූදානම් කර සිටි බවයි. එහෙත්, අධිකරණයට ඉදිරිපත් වී ඇත්තේ තමන් කිසිසේත් හඳුනන්නේ නැති වෙනත් නාඳුනන දෙදෙනෙකි.
නාඳුනන පුද්ගලයන් ලවා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇප ලබා දීම හරහා, ‘තාක්ෂණිකව’ අධිකරණයේ විශ්වාසය කඩ කිරීමට කටයුතු කර තිබේ. පසුව එම ඇපකරුවන් ව්‍යාජ බව අධිකරණයටම දැනුම් දීම හරහා කපිල චන්ද්‍රසේන මහතා අධිකරණය මුළා කළ පුද්ගලයකු ලෙස හංවඩු ගැසීමටත්, ඒ හරහා ඔහුගේ ඇප අවලංගු කර නඩුව අවසන් වන තුරුම රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තැබීමටත් අවශ්‍ය නීතිමය වටපිටාව නිර්මාණය වී තිබිණි.
අධිකරණයේ විශ්වාසය බිඳීම සහ රිමාන්ඩ්වීමේ භීතිකාව
නැවත අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීමෙන් පසු චන්ද්‍රසේන මහතා තම ඥාතීන්ට පවසා ඇත්තේ තමාට නැවත රිමාන්ඩ්වීමට දැඩි බියක් පවතින බවයි. සාමාන්‍ය තත්වයක දී පුද්ගලයකුට ඇප ලැබුණ ද, ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීම වැනි කරුණක් මත අධිකරණයේ විශ්වාසය කඩ වූ විට, නඩුව අවසන් වන තෙක් වසර ගණනාවක් වුව ද රිමාන්ඩ් බන්ධනාගාර ගත වීමට සිදුවන බව ඔහු තේරුම් ගෙන සිටින්නට ඇත.
ඔහුගේ දිවුරුම් ප්‍රකාශයට අනුව, අල්ලස් කොමිසමේ බලධාරීන් ඔහුගෙන් බලාපොරොත්තු වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැනි දේශපාලන පෞරුෂයන්ට එරෙහිව සාක්ෂි ලබා ගැනීමයි. එම බලපෑම්වලට අවනත නොවීම නිසා ඇති වූ පීඩනයත්, ව්‍යාජ ඇපකරුවන්ගේ සිද්ධිය හරහා තමා සිරවී ඇති බව දැනීමත් ඔහු අවසාන තීරණය කරා තල්ලු කළා විය හැකිය.
බලධාරීන්ගේ නිහඬතාව
දිවුරුම් ප්‍රකාශයකින් මෙවැනි බරපතළ හෙළිදරව්වක් කර තිබියදීත්, ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු නොවී ඔහුට දිවි තොර කර ගැනීමට සිදුවීම ශිෂ්ට සම්පන්න සමාජයකට ගැළපෙන්නේ නැත.
1. අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට එල්ල වන චෝදනා: දිවුරුම් ප්‍රකාශයේ සඳහන් පරිදි සැකකරුවන්ට මානසිකව තර්ජනය කිරීම සහ මරණ බිය ඇති කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුය.
2. ව්‍යාජ ඇපකරුවන් කවුද?: නාඳුනන පුද්ගලයන් ඉදිරිපත් කර ඇප ලබා දීමේ කුමන්ත්‍රණය මෙහෙය වූයේ කවුද? එය නීතිමය පද්ධතියේ පවතින සිදුරු උපයෝගී කරගෙන විමර්ශන ආයතන විසින්ම කරනු ලැබූ දෙයක් ද යන්න හෙළි විය යුතුය.
3. අධිකරණයේ ස්වාධීනත්වය: සැකකරුවකුගේ ආරක්ෂාව සහ අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට නම් මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් අවශ්‍ය වේ.
මහින්ද හඹායෑම
මෙවැනි පසුබිමක් තිබිය දී කපිල චන්ද්‍රසේන සම්බන්ධ බව කියන එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන්ම ප්‍රකාශයක් ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පසුගිය දා අල්ලස් කොමිසමට කැඳවීය. ඒ එයාර්බස් සමාගමෙන් ලබාගත් අල්ලස් මුදලින් රුපියල් මිලියන 60ක් පමණ මහින්ද රාජපක්ෂ මහතාට ද දුන් බවට කපිල කළ ප්‍රකාශය ගැන විමසීමට බව කියවේ. කෙසේ වෙතත්, ඉහත දිවුරුම් ප්‍රකාශයෙන් කපිල අධිකරණයට දන්වා සිටියේ, තමා එම ප්‍රකාශය කළේ අල්ලස් කොමිසම විසින් තමන් මත එල්ල කරන ලද දැඩි පීඩනය මත බවයි.
ඇරත් මහින්දගේ මෙහෙයවීමෙන් මෙම අල්ලස් ගැනීම සිදුවූයේ නම් කපිල මහින්දට මුදල් ලබා දෙනවා නොව, මහින්ද කපිලට මුදල් ලබා දිය යුතු ය. අනික ඩොලරයේ එවක වටිනාකම අනුව රුපියල් මිලියන 260ක් වූ එම මුදලින් මහින්දට මිලියන 60ක් පමණක් දුන් බව කීම ද යථාර්ථවාදී නොවේ.
ඒ කෙසේ වෙතත්, දැන් ප්රශ්නය වන්නේ කපිල විසින් අධිකරණයට දන්වන ලදුව, බලපෑම් මත කළැයි කියන ප්‍රකාශයේ සඳහන් ද්විතීයික කරුණු ගැන පරීක්ෂා කිරීමට අල්ලස් කොමිසම කටයුතු කළ ද, මුළු අල්ලස් කොමිසමේම විශ්වාසනීයත්වය විනාශ කරන කපිලගේ දිවුරුම් ප්‍රකාශය ගැන මේතාක් පරීක්ෂණයක් නොකිරීමයි. අල්ලස් කොමසාරිස්වරුන් පළමුව කළ යුතුව තිබුණේ තමන්ට එරෙහිව එල්ල වූ චෝදනාව පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මහජන මුදලින් යැපෙන මෙම ආයතනය පිළිබඳ ජනතා විශ්වාසය නැවත තහවුරු කර ගැනීමයි. එවැන්නක් නොමැතිව අල්ලස් කොමිසම මගින් කොතරම් සිදුවීම් ගැන පරීක්ෂා කළ ද, නඩු ගොනු කළ ද ඒවා ගැන ජනතාව සිතන්නේ හුදු දේශපාලන රංගන ලෙස පමණි.
අල්ලස් අධ්යක්ෂවරයාගේ ස්වාධීනත්වය පිළිබඳ මෙම චෝදනාව එල්ල වන්නේ පළමු වතාවට නොවේ. මීට පෙර ජවිපෙයේ හිටපු මධ්‍යම කාරක සභිකයකු මෙන්ම ජනාධිපති ධුර අපේක්ෂකයකු වූ අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක චෝදනා කළේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා එවක තම පක්ෂයේ නීති කමිටුවේ සාමාජිකයකුව සිටි බවයි. මෙවන් බරපතළ චෝදනා කොමිසමට එරෙහිව එල්ල වන විට එහි සභාපතිවරයා සහ කොමසාරිස්වරුන් මහජනයා හමුවේ නිහඬ පිළිවෙතක් දරන්නේ කුමන හේතුව නිසා ද? ඔවුන්ට ජනතාව වෙනුවෙන් වගවිය නොහැකි ද? මේවා බරපතළ ප්‍රශ්න ය.
අබිරහස් “අතපසුවීම්”
වත්මන් ආණ්ඩුව තුළ රාජ්‍ය මුදල් අහිමි වන්නේ අමුතුම ආකාරයට ය. “අතපසුවීමකින්” රතු ලේබල් කන්ටේනර් 323ක් අතුරුදන්ව තිබේ. “අතපසුවීමකින්” බාල ගල්අඟරු ආනයනය කර රජයට පාඩු කර ඒ නිසා ම විදුලිබිල වැඩි කර එම මුදල ජනතාවගෙන් අයකර ගැනීමට කටයුතු කර තිබේ. “අතපසුවීමකින්” ඩොලර් මිලියන 2.5ක් හෙවත් රුපියල් මිලියන 800ක් ඕස්ට්‍රේලියාවේ හැකරුන්ට ගෙවා දමා තිබේ. “අතපසුවීමකින්” තවත් ඩොලර් 620,000ක් හෙවත් රුපියල් මිලියන 200ක් ඇමෙරිකානු තැපෑල මුවාවෙන් වෙනත් පාර්ශවයකට ගෙවා තිබේ. තව කුමකින් කුමක් නම් “අතපසුවීම්” සිදුවී ඇතිදැයි අප දන්නේ නැත.
මේ අබිරහස් “අතපසුවීම්” මැද අබිරහස් ලෙස දෙදෙනකු මියගොස් ඇත. පළමුව මිය ගියේ ඉහත ඩොලර් හැකරුන්ට ගෙවූ බව කියූ මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂ රංග රාජපක්ෂය. දෙවැන්නා කපිල චන්ද්‍රසේනයි. රංග මිය ගියේ කිසිසේත්ම සිතාගත නොහැකි ලෙස තම ගෙදර පිහියෙන් බල නහර කපාගෙන ය. බල නහර දෙකම කපාගෙන ය. කෙනකුට එක් බල නහරයක් කපාගත හැකි ය. එහෙත් එකක් කපා රුධිරය ගලද්දී අනෙක ද අතේ නහර ද කපාගත හැකි ද? ඇරත් උගත් පුද්ගලයකු වූ රංග සියදිවි හානිකර ගැනීමට සැබෑ ලෙසම සිතුවා නම් මේ තරම් වේදනාකාරි නොවන ක්ෂණික මරණයකට යත හැකිව තිබුණි. මෙරට භීෂණ සමයේ නම් නාඳුනන පිරිස් විසින් පුද්ගලයන්ගේ බලනහර කපා ඝාතනය කර තිබුණි.
කපිල චන්ද්‍රසේනගේ මෙන්ම රංග රාජපක්ෂගේ මරණය හුදෙක් පුද්ගලයන් දෙදෙනකුගේ නික්මයාමක් නොවේ. කපිල එදා දිවුරුම් ප්‍රකාශයෙන් පැවැසූ පරිදි ”සියල්ල පිරිසුදු කර දැමීමට” (සුද්ද කරලම දාන්න) පැමිණි නිලධාරීන් ද, හැකරුන්ට මුදල් ගෙවීම අනුමත කර මුදල් අමාත්‍යාංශ බලධාරීන් ද පිරිසුදු කරන්නේ දූෂණය ද නැතිනම් සාක්ෂිකරුවන් ද යන්න දැන් රට හමුවේ ඇති බරපතළම පැනයයි.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd