මේ දිනවල එකකට පසුව තවත් එකක් ලෙස වාර්තාවන ආන්දෝලනාත්මක සිදුවීම් හේතුවෙන් බොහෝ පිරිස් තුළ දැඩි කම්පනයක් මෙන්ම අවිනිශ්චිතතාවක් ද ගොඩ නැගී ඇති බව පෙනී යයි. භාණ්ඩාගාරය සතු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන්වීම පිළිබඳ සිද්ධියෙන් එම සිදුවීම් මාලාව ආරම්භ විය.
රුපියල් මිලියන 800කට ආසන්න මුදලක් මහා භාණ්ඩාගාරයේ ගිණුමකින් වෙනත් පාර්ශ්වයකට ගෙවා ඇති බව වාර්තා වූයේ රජයේ පාර්ශ්වයක් නොවන ‘ෆ්‍රී ලෝයර්ස්’ (Free Lawyers) සංවිධානය විසින් එය හෙළිදරව් කරනු ලැබීමෙන් පසුවය. ආණ්ඩුව පාර්ශ්වයෙන් එය හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව පැවැසුණ ද, සිදුව ඇත්තේ කිසියම් කණ්ඩායමක් හෝ පුද්ගලයකු හෝ ආණ්ඩුව තැන්පත් කළ මුදල තමන් ලබා දුන් අංකයක් සහිත ගිණුමකට ලබාගෙන ඇති බවය.
එහි ඊළඟ ප්‍රතිඵලයක් වූයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා මිය යාමයි. ඉන්පසු එයාර් බස් ගනුදෙනුවට අදාළ සිදුවීම වාර්තා විය. අල්ලස් චෝදනාවකට රිමාන් සිරගත කර තිබූ කපිල චන්ද්‍රසේන මහතාට ඇපදීමෙන් පසු රිමාන්ඩ් භාරයෙන් මුදා හරිනු ලැබුව ද, ඇපකරුවන් සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් නැවත රිමාන්ඩ් ගත කිරීමට උසාවිය නියෝග කළේය. ඔහු නැවත රිමාන්ඩ් ගත කිරීමට පෙර මිය ගියේය. රටේ මූල්‍ය කටයුතු පිළිබඳ මර්මස්ථානය වන මුදල් අමාත්‍යාංශයෙන් ණය පියවීම සඳහා ගෙවූ මුදලක් වෙනත් පුද්ගලයකුගේ හෝ ආයතනයක හෝ ගිණුමකට බැරවී කොල්ලකෑමකට ලක්විය හැකි ද යන ප්‍රශ්නය බොහෝ දෙනකු මතුකර තිබුණි. යකඩ මල්ලට ගුල්ලන් ගසන්නේ නම් හාල් මල්ල ගැන කෙසේ කියනු ද යන්න බොහෝ දෙනකුගෙන් ප්‍රකාශ විය.
රට තුළ ඇතිවූ මෙම සිදුවීම් මාලාව එතැනින් නැවතුණේ නැත. තැපැල් දෙපාර්තමේන්තුව සතු විශාල මුදලක් ඒ අයුරින්ම ලබා දිය යුතු පාර්ශ්වයෙන් බැහැරව වෙනත් පාර්ශ්වයකට ගෙවා ඇති බව වාර්තා විය. ඒ අතරම ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ විශාල වංචා සිදුවෙමින් පවතින බවට වූ වාර්තා ද සමාජ මාධ්‍ය ජාලවල සංඛ්‍යා දත්ත සහ චෙක්පත්වල ඡායාරූප ද සමග පළවී තිබුණි. තමන් ජීවත් වන රට තුළ සාමකාමී දිවි පැවැත්මක් පවත්වා ගෙන යෑමේ අපේක්ෂාවෙන් පසුවන බොහෝ පිරිස්වලට තමන් මේ ජීවත් වන්නේ කවර ආකාරයේ රටක දැයි තමන්ගෙන්ම ප්‍රශ්න කිරීමට සිදුවන පරිසරයක් දැනටමත් නිර්මාණය වී ඇත. අරගලයෙන් පසු ආණ්ඩු බලය වෙනස් කිරීම තුළින් රටේ බහුතරයක් පුරවැසියන්ගේ බලාපොරොත්තුව වූයේ වංචා, දූෂණ, සොර මැරකම් සහ අකාර්යක්ෂමතාව පිටුදකින කාටත් පහසුවෙන් ජීවත්විය හැකි රටකි. එසේ වුව ද දිනෙන් දින වාර්තාවන විවිධාකාරයේ සිදුවීම් හේතුවෙන් අපේක්ෂා භංගත්වයට සහ අසරණභාවයට පත්වූ ජනතාවකගේ හැඟීම් මේ වනවිට සමාජයේ දැක ගැනීමට හැකිවී තිබේ.
රංග රාජපක්ෂ මහතාගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ විවිධ ආකාරයේ අදහස් ප්‍රකාශ වන ආකාරය දැකගත හැකිවේ. තමන් විසින්ම තම සිරුරේ බල නහර කපාගෙන මියගිය බවට වාර්තා වුව ද එම කරුණු පිළිබඳව බොහෝ දෙනෙක් සැක සංකා පළ කරති. එම මරණය සැක සහිත බවට මියගිය නිලධාරියාගේ බිරිය ද ප්‍රකාශ කර ඇති නිසා වෛද්‍ය විශේෂඥයන් කිහිප දෙනකුගේ සහභාගීත්වයෙන් මරණ පරීක්ෂණය පවත්වන ලෙස නියෝග කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කර තිබුණි. එහෙත් ආණ්ඩුව සහ පොලිසිය රංග රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් දැඩි කලබලයකට පත් වූ අතර එවැනි ඉල්ලීමක් මියගිය නිලධාරියාගේ බිරිය පොලිසියෙන් කර නැතැයි ද ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වුව ද කපිල චන්‍ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය අනුගමනය කර ඇති බවට වාර්තා වූයේ ඊට වඩා හාත්පසින්ම වෙනස් පිළිවෙතකි. එම මරණය සැක සහිත බව පොලිසිය මුලින්ම උසාවියට වාර්තා කර ඒ අනුව මරණ පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යෑමට අවසර ඉල්ලා තිබුණි. එක මරණයක් සම්බන්ධයෙන් සැක සහිත බවට මරණකරුගේ බිරිඳ ප්‍රකාශ කර නැතැයි මහා හඩක් නගන අතරම අනෙක් මරණය සැක සහිත බව මුලින්ම පොලිසියම තීරණය කර ඇත. එම මරණ කවර ආකාරයකින් සිදු වූයේ ද යන්න පිළිබඳව හෝ ඒවා සිය දිවි හානි කර ගැනීම් ද, මනුෂ්‍ය ඝාතන ද යන්න පිළිබඳව හෝ කිසිවක් ප්‍රකාශ කළ නොහැකිය. මහජනතාවගේ විශ්වාසය රැකෙන පරිදි රටේ නීතිය විසින් නියම කරනු ලැබ ඇති පිළිවෙතට ඒ පිළිබඳව නියමිත අධිකාරීන් තීරණ ගත යුතුව ඇත. එසේ වුව ද එම සිදුවීම් පිළිබඳව ආණ්ඩුව හා පොලිසිය හුදෙක් දේශපාලනය මතම පිහිටා කටයුතු කරන්නේ නම් කිසිවක් පිළිබඳව නිවැරැදිව විනිශ්චයකට එළැඹීමට අවස්ථාව ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය.
රටක් අවනීතිය රජකරවන තත්වයකට පත් වන්නේ නම් මහජනතාවට සාමකාමී දිවි පෙවතක් සහතික කිරිමට නොහැකි වනු ඇත. ගණේමුල්ල සංජිව ඝාතනය මෑත කාලයේ සිදුවූ ආවේගාත්මක චිත්‍රපටියකට සමාන විය. නිතීඥවරයකු ලෙස ඇඳ පැළඳ කිසිදු බාධාවකින් තොරව අලුත්කඩේ උසාවියට ඇතුළු වූ මිනීමරුවා, නීතීඥවරයකු ලෙස ඒ ආකාරයෙන්ම ඇඳ පැළඳ උසාවි සංකීර්ණයට ඇතුළු වූ ඉෂාරා සෙව්වන්දි නැමැත්තියකගේ ආධාරයෙන් ගණේමුල්ල සංජීව ඝාතනය කර ඇති බව මාධ්‍යවලින් වාර්තා විය. ඉෂාරා සෙව්වන්දි නමැත්තිය මුලින්ම බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් පසුව නේපාලයට ගොස් සැඟවී සිටියාය. ඇය එහිදී අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ආ ආකාරය දැක ගැනීමට මාධ්‍ය ඔස්සේ මහජනතාවට අවස්ථාව සැලසුණි.
එම සිද්ධියට අදාළ කතාව දැන් පොලිස් විමර්ශනවලින් ඔබ්බට තවත් දිග් ගැසී තිබේ. ඉෂාරා සෙව්වන්දි වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන සිටීන්නීය. මාධ්‍ය වාර්තා කර තිබුණේ රැඳවුම් භාරයේ සිටින ඇය වෙනුවෙන් ඇතැම් ඉහළ පොලිස් නිලධාරින්ගේ ද සහභාගිත්වයෙන් උපන් දින සාදයක් පවත්වා ඇති බවයි. රජයේ බුද්ධි අංශ ප්‍රධානියකු වූ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේශ් සලේ ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී. ඔහුට මුහුණදීමට සිදුව තිබෙන තාඩන පීඩන පිළිබඳව ඇතැම් මාධ්‍යය වාර්තා කළේය. නිරුවත් කර දෑතට මාංචු දමා පිරිසක් ඉදිරියේ ඔහු පරීක්ෂා කළ බවට ද වාර්තා විය. යුක්තිය පසිඳලිමේ ක්‍රියාවලිය සැමට සාධාරණ විය යුතු අතර මෙම සිදුවීම් සත්‍ය වන්නේ නම් එම විමර්ශන සාධාරණ ලෙස ඉටු වන්නේ ද යන සැකය මහජනතාව තුළ ඇතිවීම වැළැක්විය නොහැකිය.
මහජනතාවට අවශ්‍ය වන්නේ වංචා දූෂණ පිළිබඳව සත්‍ය තොරතුරු ඔවුන් වෙත ඉදිරිපත් කිරීමත්, රජය ඒ හා සම්බන්ධව සියලු නීත්‍යනුකුල ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබීමත්ය. පසුගිය කාලය තුළ දී ආණ්ඩුවට එරෙහිව නැගුණු දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි හැඟෙන ආකාරයේ පදනමක් එම චෝදනා සම්බන්ධයෙන් පැවතුණි. උදාහරණයක් ලෙස කන්ටේනර් වංචාවේ දී නීත්‍යනුකුල නොවන අයුරින් කන්ටේනර් වරායෙන් පිට කර ඇති බවට වාර්තාවක් ආණ්ඩුවේ නිලධාරීන් විසින්ම නිකුත් කර තිබුණි. එසේ වුව ද එයට වගකිව යුතු පුද්ගලයන් හඳුනා ගැනීමක් හෝ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමක් හෝ තවමත් සිදුව නැත.
ගල් අඟුරු වංචාව හේතුවෙන් ඇමැතිවරයාටත්, ලේකම්වරයාටත් ඉල්ලා අස්වීමට සිදුවිය. 2023 අල්ලස් හෝ දුෂණ පනත මගින් එවැනි අවස්ථාවකදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග නිර්ණය කර තිබේ. ඒ වෙනුවට පත් කර ඇත්තේ ජනාධිපති කොමිසමකි. ජනාධිපති කොමිසමක් යනු වැරැදිකරුවන්ට දඬුවම් පැමිණවිය හැකි උසාවියක් නොවේ. භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන්වීම සම්බන්ධයෙන් නිලධාරීන් කීහිප දෙනකුගේ වැඩ තහනම් කර ඇති නමුදු රජයේ මුදල් නාස්තිය පිළිබඳව වගකිව යුත්තේ කවුරුන් ද යන්න නිශ්චය වී නැත. රජයේ මැති ඇමැතිවරුන් සිද්ධියට සම්බන්ධ ඇතැම් නිලධාරීන්ගේ සේවාව පිළිබඳව සහතික ලබා දෙන නමුදු කිසිවකුත් නීතිය ඉදිරියට ගෙන එන බවක් නොපෙන්.
ජිවත්වීම සඳහා ලස්සන රටක් ලබා දෙන බවට මැතිවරණ වේදිකාවේ රජය පොරොන්දු වූ නමුත් දිනෙන් දින අදහාගත නොහැකි මට්ටමේ පරිහානියක් රට තුළ නිර්මාණය වෙමින් පවතී.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd