ආර්ථිකයක් ශක්තිමත් වන්නේ ආර්ථික සාධක මත පමණක් නොව, රටක් නීතියට සහ එහි ක්‍රියාත්මකභාවයට ලබාදෙන ප්‍රමුඛතාව මතය. නීතිය සියලු දෙනාටම එකසේ ක්‍රියාත්මක වන බවට විශ්වාසයක් නොමැති රටක වෙළෙඳපොළ ද සමාන තරග පිටියක් නොවේ. එහිදී සම්බන්ධතා නීතියට ඉහළින් යයි. බලය වගවීමට ඉහළින් යයි. දූෂණය ආර්ථිකයේ සැඟවුණු බද්දක් බවට පත්වේ. එබැවින් නීතිය සහ එහි ක්‍රියාත්මකභාවය නීතිමය ප්‍රශ්නයක් පමණක් නොව, ආර්ථික කොන්දේසියකි.
ආයෝජක විශ්වාසය, බදු අනුකූලතාව, රාජ්‍ය ආදායම්, ප්‍රසම්පාදන විනිවිදභාවය සහ මහජන විශ්වාසය වැනි සාධක රඳා පවතින්නේ නීතිය බලවතුන් ඉදිරියේ නතර නොවන බවට ඇති මහජන පිළිගැනීම මතය. 2024 දී මාලිමාවට ජනතාව ලබාදුන් අති දැවැන්ත ජනවරම හුදෙක් ආණ්ඩු මාරුවක් සඳහා නොව, නීතිය, වගවීම සහ රාජ්‍ය විනය නැවත ස්ථාපිත කිරීම සඳහා වූ ජනවරමකි. විධායක ජනාධිපති ධුරය සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලැබුණේ එම බලය නීතියට යටත් කරන රාජ්‍යයක් නැවත ගොඩනැගීමටය. වත්මන් ප්‍රතිසංස්කරණ ඉලක්ක කරගත් රජයේ අභියෝගය වන්නේ එම ජන විශ්වාසය ආයතනික පරිවර්තනයක් බවට පත් කිරීමයි.
නීතිය: ආර්ථික යටිතල පහසුකමකි
ආයතනික ආර්ථික විද්‍යාව පෙන්වන්නේ වෙළෙඳපොළවල් ක්‍රියාත්මක වන්නේ මිල, ලාභ සහ ඉල්ලුම-සැපයුම මත පමණක් නොවන බවයි. ඒවාට විශ්වාස කළ හැකි නීති, ගිවිසුම්, දේපළ අයිතිවාසිකම්, විනිවිද පෙනෙන රාජ්‍ය ක්‍රියාවලි සහ බලය සීමා කරන ආයතන අවශ්‍යය. සරලව කිවහොත්, වෙළඳපොළකට මුදල් මෙන්ම විශ්වාස කළ හැකි නීති පද්ධතියක් සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වූ ශක්තිමත් ආයතනික පද්ධතියක් පැවතීම අත්‍යවශ්‍යය. නීතිය බලවතුන් ඉදිරියේ නතර වන බවක් පෙනෙන විට, අවංක ව්‍යාපාරිකයා පසුබසියි. සම්බන්ධතා ඇති ව්‍යාපාරිකයා ඉදිරියට යයි. ආයෝජකයා ඉවත්ව යයි නැතිනම් වැඩි අවදානම් වාරිකයක් ඉල්ලයි. ප්‍රසම්පාදනය ද තරඟකාරී ක්‍රියාවලියක් නොව, අභ්‍යන්තර ජාලවල ක්‍රීඩාවක් බවට පත්වේ. මෙහිදී දූෂණය යනු හුදු සදාචාරමය බිඳවැටීමක් පමණක් නොව, රටක සම්පත් අනිසි ලෙස වෙනතකට යොමු කරන ඉතා හානිකර ආර්ථික යාන්ත්‍රණයක් බවට පත්වේ. එහිදී නිෂ්පාදනයට ආයෝජනය විය යුතු ප්‍රාග්ධනය දේශපාලන සම්බන්ධතා ගොඩනැගීමටත්, නවෝත්පාදනයට වැය කළ යුතු සම්පත් බලවතුන්ට සමීප වීමටත් නාස්ති කරනු ලැබේ. මෙය ආර්ථික විද්‍යාවේදී බල සම්බන්ධතා මගින් වරප්‍රසාද ලාභ සෙවීම (Rent-seeking) ලෙස හැඳින්වෙන අතර, එමගින් සිදුවන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාව වෙනුවට බලය සහ සබඳතා හරහා අසාධාරණ වාසි ලබාගැනීමයි. අවසාන වශයෙන් එවැනි පද්ධතියක ආර්ථිකය මෙහෙයවෙන්නේ කාර්යක්ෂමතාව මත නොව, පුද්ගල හිතවත්කම් සහ සබඳතා පදනම් කරගනිමිනි. එබැවින් වත්මන් රජය නීතියේ ක්‍රියාත්මකභාවය, ආදායම් පරිපාලනය, ප්‍රසම්පාදන විනිවිදභාවය, දූෂණ විරෝධය සහ රාජ්‍ය විනය ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහය හුදෙක් නීතිමය වැඩසටහනක් නොවේ. එය ආර්ථිකය නැවත විශ්වාස කළ හැකි පද්ධතියක් බවට පත් කිරීමේ අතිදුෂ්කර උත්සාහයකි. එබැවින් දූෂණ විරෝධය සදාචාරාත්මක ව්‍යාපාරයක් පමණක් නොව, සංවර්ධනය ඉලක්ක කරගත් ආර්ථික ප්‍රතිපත්තියකි.
2022 අර්බුදය කියා දුන් පාඩම
2022 ආර්ථික අර්බූදය හුදෙක් විදේශ විනිමය හිඟයක්, ණය අර්බූදයක් හෝ වැරැදි ආර්ථික කළමනාකරණ තීරණවල ප්‍රතිඵලයක් පමණක් නොවීය. එය දිගුකාලීනව ගොඩනැගුණු දූෂණ පද්ධතියක, වගවීමෙන් නිදහස් වූ බල ජාලවල, අකාර්යක්ෂම ප්‍රසම්පාදනවල සහ නීතිය තෝරාගත් පරිදි ක්‍රියාත්මක වූ පාලන සංස්කෘතියක් පැවතීම ආදි නොයෙක් සාධකවල ප්‍රතිඵලයක් ලෙස ද කියවිය යුතුය.
එම පද්ධතියේ ආර්ථික මිල ජනතාවට පෙනුණේ සංකීර්ණ ආර්ථික වචනවලින් නොවේ. එය පෙනුණේ ඉන්ධන පෝලිම්, විදුලි කප්පාදු, ඖෂධ හිඟය, ආහාර මිල ඉහළ යාම, විදේශ විනිමය හිඟය සහ තරුණයන්ගේ අනාගත විශ්වාසය බිඳවැටීම ලෙසය. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාලවල මූලය මර්දනය කරනු වෙනුවට, පාසල් දරුවාගේ පොත් බෑගය පරීක්ෂා කරන මට්ටමට නීතියේ ක්‍රියාත්මකභාවය පිරිහී ගිය දුර්වල වටපිටාවක් ලෙසය. දූෂණ පද්ධතියක දරුණුම ලක්ෂණය වන්නේ එය මුලින් “සාමාන්‍ය ක්‍රමයක්” ලෙස පෙනීමයි. පසුව එය ව්‍යාපාර කිරීමේ පිරිවැයක්, රාජ්‍ය ආදායම් කාන්දුවක් සහ මහජන අවිශ්වාසයක් ආදී බෙහෝ අහිතකර සාධක සඳහා උල්පතක් බවට පත්වේ. 2022දී ජනතාව අත්විඳියේ එවැනි පද්ධතිමය දූෂණයක ආර්ථික මිලයි. මෙහිදී පැරැණි බල සම්මුති (Political settlement) පිළිබඳ තර්කයද වැදගත්ය. සමහර පාලන පද්ධති විවෘත වගවීම මත නොව, ප්‍රභූන් අතර ඇති නිහඬ සම්මුති මත පවත්වාගෙන යයි. එවැනි බල සමතුලනය කෙටිකාලීනව ස්ථාවර ලෙස පෙනුණත්, දිගුකාලීනව රාජ්‍ය සම්පත් කාන්දු කර, නීතිය දුර්වල කර, ආර්ථිකය බිඳවැටීමට පදනම සකස් කරයි. ඒ නිසා වත්මන් රජය මුහුණ දෙන්නේ සාමාන්‍ය පාලන අභියෝගයකට නොවේ. එය බිඳවැටුණු ආර්ථිකයක් පමණක් නොව, විශ්වාසය අහිමි වූ රාජ්‍ය පද්ධතියක්ද නැවත ගොඩනැගීමට උත්සාහ කරයි. මෙහිදී නීතිය සහ එහි ක්‍රියාත්මකභාවය නැවත ස්ථාපිත කිරීම ආර්ථික ප්‍රතිසංස්කරණයේම කොටසකි.
2024 ජනවරමේ සැබෑ පණිවිඩය
2024 දී ජනතාව දුන් ජනවරම හුදෙක් ආණ්ඩු මාරුවකට පමණක් සීමා වූවක් නොවේ. එය නීතිය දුර්වල වූ, වගවීම මගහැරුණු සහ දූෂණය සාමාන්‍යකරණය වූ රාජ්‍ය පද්ධතියක් සහමුලින්ම නිවැරැදි කිරීම සඳහා වූ ගැඹුරු ජනවරමකි. ප්‍රජාතන්ත්‍රවාදයේදී ජනතාව පාලකයන්ට බලය පවරන්නේ තමන් වෙනුවෙන් රාජ්‍යය මෙහෙයවීමට මිස, පාලකයන්ට ජනතාවට ඉහළින් වැජඹීමට නොවේ. මෙහිදී ජනතාව සැබෑ බල හිමිකරුවන් (Principal)වන අතර, පාලකයන් සහ නිලධාරීන් යනු ඔවුන් වෙනුවෙන් කැපවිය යුතු නියෝජිතයන් (Agents)පමණි. එම නියෝජිතයන් සිය බලය මහජන අභිලාෂයන්ට ප්‍රතිවිරුද්ධව භාවිත කළහොත්, ප්‍රජාතන්ත්‍රවාදී ගිවිසුම එතැනින්ම බිඳවැටේ. එබැවින් නීතිය සහ රාජ්‍ය විනය දැඩිව ක්‍රියාත්මක කිරීම, ජනවරම නිවැරදිව ක්‍රියාත්මක කරවීම සඳහා අත්‍යවශ්‍යය. එබැවින් වත්මන් ප්‍රතිසංස්කරණවාදී රජයේ මූලික දේශපාලන වගකීම වන්නේ, එම ජන විශ්වාසය නීතියේ ආධිපත්‍යය සහ රාජ්‍ය විනය බවට පරිවර්තනය කිරීමයි.
මෙම ජනවරම රාජ්‍ය බලය විනයගත කරමින් නීතියට යටත් රාජ්‍යයක් නැවත ගොඩනැගීමට ලැබුණු සුවිශේෂ වගකීමකි. දශක ගණනාවක් පුරා මුල් බැසගත් බල ජාල, දූෂිත පුරුදු, නිලධාරීවාදී ඝර්ෂණ සහ පුද්ගල භක්තිය එක් රැයකින් අහෝසි කළ නොහැකි බැවින් මෙය පහසු කාර්යයක් නොවේ. එහෙත් ජනවරමේ සදාචාරමය අරුත පවතින්නේ එතැනය; ජනතාව ඉල්ලා සිටියේ හුදු නව මුහුණුවරක් පමණක් නොව, රාජ්‍ය පාලනය පිළිබඳ නව්‍ය පාලන තර්කනයකි. නීතියෙන් ශක්තිමත් වන රාජ්‍ය ආදායම නීතියේ ආධිපත්‍යයට පවතින සැබෑ ආර්ථික වටිනාකම මනාව පිළිබිඹු වන ප්‍රායෝගික එක් ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ රාජ්‍ය ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලියයි. නීතිය සහ පරිපාලන විනය ශක්තිමත් වන විට ආදායම් කාන්දුවීම් අවම කිරීමටත්, වංචා වළක්වමින් තක්සේරු කිරීමේ විනිවිදභාවය සහ ක්‍රියාත්මක කිරීමේ නිශ්චිතභාවය ඉහළ නැංවීමටත් අවකාශය ලැබේ. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ බදු පදනම පුළුල් වීම හරහා බදු අනුපාත අඩු කර ජනතාව මත ඇති බදු බර ලිහිල් කිරීමට රජයට ඉඩකඩ නිර්මාණය වීමයි. 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී ශ්‍රී ලංකා රේගු ආදායම රුපියල් ට්‍රිලියනයක අතිරේක වර්ධනයක් සනිටුහන් කිරීම මීට කදිම ප්‍රායෝගික නිදසුනකි. නීතිය දැඩිව සහ විනිවිදව ක්‍රියාත්මක කිරීම, වටිනාකම් තක්සේරු කිරීමේ විනය සහ තාක්ෂණය පදනම් කරගත් පරිපාලන කාර්යක්ෂමතාව නිසා රාජ්‍යය තවදුරටත් ශක්තිමත් වන අතර එහි ප්‍රතිලාභ උසස් රාජ්‍ය සේවා ලෙස මහජනතාවටම හිමි වේ.
දූෂණ විරෝධය ද විනයගරුක විය යුතුය
ශක්තිමත් ජනවරමක් යනු නීතිමය කෙටි මාර්ග සඳහා බලපත්‍රයක් නොවේ. දූෂණ විරෝධයේ සැබෑ ශක්තිය පවතින්නේ, සාක්ෂි, ක්‍රියාපටිපාටි සහ සාධාරණත්වය තුළය. නීති ආයතනවල අවසාන අරමුණ නීතිය සැමට සමාන කිරීම විය යුතුය. ශ්‍රී ලංකාවේ සැබෑ පරිවර්තනය යනු පුද්ගල කේන්ද්‍රීය දේශපාලනයෙන් ආයතන කේන්ද්‍රීය පාලනයකට මාරුවීමයි. අතීත සේවය හෝ ජනප්‍රියත්වය නීතිමය වගවීම මගහැරීමට සමාජ පලිහක් කරගත නොහැකි අතර, සමාජය පුද්ගල භක්තියෙන් මිදී ආයතනික විශ්වාසය කරා ගමන් කළ යුතුය. බලවත් පුද්ගලයකු නීතිය ඉදිරියට කැඳවූ විට සමාජය ප්‍රශ්න කළ යුත්තේ එය ”අපහාසයක්ද” යන්න නොව, එය නීත්‍යනුකූල සහ සාධාරණද යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වගකීම වන්නේ නායකයන් නීතියෙන් ආරක්ෂා කිරීම නොව, නීතිය ක්‍රියාත්මක කරන ආයතන බාහිර පීඩනයෙන් ආරක්ෂා කිරීමයි.
නිගමනය
ශ්‍රී ලංකාවේ 2022න් පසු පරිවර්තනය ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ සටනක් පමණක් නොවේ. එය රාජ්‍යයේ සදාචාර පදනම නැවත ගොඩනැගීමේ සටනකි. ජනතාව විධායක ජනාධිපති ධුරය සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් දුන්නේ හුදෙක් ආණ්ඩු මාරුවකට නොව, නීතිය, වගවීම සහ රාජ්‍ය විනය නැවත ස්ථාපිත කිරීමේ දේශපාලන ව්‍යාපෘතියකටය. බොහෝ ක්ෂේත්‍රවල කැපී පෙනෙන සාර්ථකත්වයන් සහ උත්සාහයන් දැකිය හැකි වුවත් රජයට ඇති අභියෝගය ඉතා විශාලය. එය බිඳවැටුණු ආර්ථිකයක් පමණක් නොව, දූෂණය, වගවීමෙන් නිදහස්භාවය සහ දුර්වල වූ රාජ්‍ය විශ්වාසය ද නැවත ගොඩනැගිය යුතුය. නීතිය බලවත් පුද්ගලයන් ඉදිරියේ නතර නොවන බව පෙන්වීම එහි අත්‍යවශ්‍ය කොටසකි. එබැවින් මෙම රජයේ සාර්ථකත්වය මනිනු ලබන්නේ බලය දිනාගත් ප්‍රමාණයෙන් නොව, එම බලය නීතියට යටත් කරන රාජ්‍යයක් ගොඩනැගීමට සමත් වන ප්‍රමාණයෙන්ය.
(***)
රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව
පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
චන්දික ගුණසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd