රණවිරු දිනය හෙවත් උතුරේ යුද්ධය නිමාකිරීමේ සැමරුම යෙදී තිබෙන්නේ මැයි මාසයටය. 2009 මැයි මාසයේ යුද්ධය නිමාකිරීම සිහිපත් කිරීම මේ සැමරුමේ අරමුණය. එහෙත් සමහර කාලවල එය සිදුවන්නේ යම් ආකාරයක මන්දගාමී ආකාරයකින් ය. එසේ වන්නේ ඒ ඒ ආණ්ඩු මේ ප්‍රශ්නය දෙස බලන ආකාරය අනුවය. පසුගිය යහපාලනය යැයි කියු ආණ්ඩුව කාලයේත් මේ තත්වය උදා විය.
මෙවරද තත්වය එසේමය. වත්මන් ආණ්ඩුව මේ සැමරුම දෙස බලන බව පේන්නේ යම් ආකාරයක ‘අකැමැති’ ආකාරයකින් ය. ඒ මට පෙනෙන ආකාරයයි. මේ තත්වය නිසා ඒ අය පැවැත්වු සැමරුම් උත්සවයට විපක්ෂයේ කාටවත් එන්න දුන්නේ නැත. විපක්ෂ නායකවරයාටවත් එහි ඉඩක් තිබුණේ නැත. විපක්ෂයේ සමහර නායකයන්ට රණවිරු ස්මාරකය අසලට යන්නට නොදුන් බවද මාධ්‍යවල පෙන්නුම් කළේය.
මේ තත්වයට ආණ්ඩුව පත්වී තිබෙන්නේ උතුරේ ජන්ද ටික තමන්ගේ ගොඩට දමා ගැනීමේ උපක්‍රමයක් ලෙසින් බව එක පැත්තකින් පෙනී යන කාරණයකි. තවත් පැත්තකින් මේ ආණ්ඩුව පිළිබදව ඩයස්පෝරාවේ තිබෙන සුහදශීලීභාවය සහ සම්බන්ධතාවද මේ තත්වයට හේතුවක් බව පෙනී යයි. ඒ කෙසේ වෙතත් යුද්ධය නිමාකිරීමේ ක්‍රියාවලිය මේ ආකාරයේ ‘‘බැහැරකිරීම්වාදී කියවාගැනීමක්’ හරහා තේරුම් ගැනීම ඉතාමත් වැරදිසහගත දෙයක් බව ප්‍රකාශ කළ යුතුමය.
ආර්ථිකයේ අස්ථාවරත්වයක් මතුවෙමින් තිබෙන බවට යළිත් පෙන්නුම් කරන්නට පටන් ගෙන තිබේ. මේ තත්වය අපි පැහැදිලි කර ගත යුතුය. මහ බැංකු අධිපතිවරයා පුවත්පත් සාකච්ඡාවකදී කීවේ ආර්ථිකය “අවිනිශ්චිත තත්වයකට” පත් විය හැකි බවයි. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ද බරපතළ ආකාරයෙන් අවප්‍රමාණය වෙමින් පවතී.
අලුත් මහබැංකු පනතින් රටේ මුල්‍ය ප්‍රතිපත්තිය ආණ්ඩුවෙන් ගලවා “ස්වාධීනකරණයට ලක් කළ” මහ බැංකුවට පවරා ඇත. ඒ අනුව මේ රටේ ආර්ථිකය සම්බන්ධව ඒ ඒ ආණ්ඩු දරන ස්ථාවරය මේ අලුත් පනත යටතේ මහ බැංකුවට අදාළ නැත. ඒ අය මුදල් මණ්ඩලය තුළ හැසිරෙන්නේ බිම තිබෙන තත්වය සැලකිල්ලට ගන්නා ආකාරයෙන් නොවේ. දාර්ශනික භාෂාවෙන් කියන්නේ නම් දැන මහ බැංකුව තීරණ ගන්නේ “යථානුභූතවාදී හෙවත් positivistic” ක්‍රමයකටය. ඉලක්කම් දෙස බලා තීරණ ගැනීම පමණක් මහ බැංකුවේ කාර්යය බවට පත් වී ඇත.
මහ බැංකු අධිපතිවරයා “රටේ ආර්ථිකය අස්ථාවර වියහැකි අවිනිශ්චිත බවක්” ඉඟි කෙරුවේ මේ තත්වය තුළය. ඒ ඉඟි කිරීමෙන් සිදුවිය හැකි ආර්ථික අලාභය කුමක්දැයි මා හරියට ගණන් බලා නැත. එහෙත් මේ තත්වය රටේ ආර්ථිකයට හිතකර නොවේ. අලුත් මහ බැංකු පනතට අනුව මේ වගේ ප්‍රකාශ කිරීමේ හැකියාව මහ බැංකු අධිපතිවරයාට හෝ මුදල් මණ්ඩලයට ලබා දී ඇත. මේ පනතින් මේ අවුල තවම ඇති වුණා පමණය. අනාගතයේ මේ තත්වය තවත් සංකීර්ණ වනු ඇත. රටේ ජනතාවගේ “ආර්ථික ස්වාධිපත්‍ය පිළිබද අයිතිය” ආණ්ඩුවට එළියේ තියෙන (අලුත් පනතින් මහ බැංකුව තියෙන්නේ ආණ්ඩුවට එළියෙන් ය.) ආයතනයක් අතට ලබාදීම අනතුරුසහගත බව අපි මේ පනත ගෙන එන විටම කීවෙමු. අනුර දිසානායක මාහතාද එවකට සිටියේ ඒ මතයේ ය. ඒත් දැන් ඒ අයගේ මතය වෙනස්වී ඇත්දැයි දන්නෙ නැත. මෙවර මහ බැංකු අධිපතිවරයා දුන් “අවිනිශ්චිත අනාගතයක්” පිළිබද ඉඟිය දැන් වැඩ කරන්නේ විදේශ ආයෝජන නොඑන තැනකටය. තිබෙන ආයෝජන ආපසු රැගෙන යන තැනකටය.
රටේ ආර්ථිකය ආණ්ඩුව හරියට කරන්නේ නැති බව සැබෑවක් ය. එහෙත් එය එළියට කියන්නට ගොස් සිදුවෙමින් තිබෙන්නේ තත්වය තවත් බරපතළවීමය. 2022 වර්ෂයේ “බංකොළොත්භාවය” කියන්නට ගොස් සිදුවුණෙත් මේ වගේම තත්වයක් ය. මහබැංකුවේ ‘‘මුල්‍ය ප්‍රතිපත්ති ආර්ථික කළමනාකරණයට” අනුව හදිසියේ අවිනිශ්චිතබවක් කීවාට මේ අය මුලින් කීවේ සියල්ල හොඳින් යන බවය.
සිදුවන්නේ කුමක්ද?
රටේ ආර්ථිකය ගැන කතා කරන විට අද අප මුලින්ම තේරුම් ගත යුත්තේ සංඛ්‍යා ලේඛනවල පෙනෙන ආර්ථිකය සහ ජනතාවගේ ජීවිත තුළ දැනෙන ආර්ථිකය එකම දෙයක් නොවන බවය. ආණ්ඩුව පවසන්නේ ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබෙන බවය. උද්ධමනය අඩුවී ඇති බවත්, විදේශ විනිමය සංචිත ඉහළ ගොස් ඇති බවත්, ආර්ථික වර්ධනයක් ඇති බවත් ඔවුහු කියති. එහෙත් සාමාන්‍ය මිනිසාගේ ජීවිතය දෙස බලන විට පෙනෙන්නේ වෙනස්ම යථාර්ථයකි.
අද වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් තවමත් ඉහළය. සහල්, පොල්, එළවළු, කිරිපිටි, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි තත්වයක පවතී. විදුලි බිල සහ ජල බිල ජනතාවගේ ආදායමෙන් විශාල කොටසක් උදුරා ගනිමින් සිටී. බදු බර ද වැඩි වී ඇත. ආදායම් බදු, වැට් බදු සහ විවිධ අයකිරීම් නිසා මධ්‍යම පන්තිය දැඩි පීඩනයකට පත්ව සිටී.
මේ තත්වය තුළ ජනතාවට ආණ්ඩුව කියන “ආර්ථික ස්ථාවරත්වය” ගැන විශ්වාසයක් ඇති නොවීම සාමාන්‍ය දෙයකි. මිනිසාට ආර්ථිකය දැනෙන්නේ සංඛ්‍යා ලේඛනවලින් නොවේ. ඔවුන්ගේ සාක්කුවෙන්ය. ඔවුන්ගේ පවුලේ ජීවිතයෙන්ය. ඔවුන්ට දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවිය හැකිද? ඖෂධ මිලදී ගත හැකිද? මාසය අවසානයේ ණය නොවී ජීවත් විය හැකිද? මේවා සැබෑ ආර්ථික දර්ශකයි.
අද රටේ බොහෝ දෙනා ජීවත් වන්නේ ණය මතය. බැංකු ණය, ලීසිං ණය, මයික්‍රෝ ෆයිනෑන්ස් ණය සහ පෞද්ගලික ණය මත ඔවුන්ගේ ජීවිත ගෙවී යයි. ගොවියාට වගාවෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නැත. ගොවියාට අවශ්‍ය පොහොර ටික ගිනි ගණන් ය. කුඩා ව්‍යාපාරිකයාට තම ව්‍යාපාරය පවත්වාගෙන යාම අසීරුය. රජයේ සේවකයාගේ වැටුපෙන් ජීවත් වීම දුෂ්කරය. පෞද්ගලික අංශයේ සේවකයන්ට රැකියා ආරක්ෂාවක් නැත. තරුණ පරපුර තුළ පවතින්නේ දැඩි කලකිරීමකි. මෙය රටේ අනාගතයට බරපතළ අනතුරකි.
ඩොලර් මිල වැඩිවෙන්නේ ඇයි?
අද රටේ ප්‍රධාන කතාබහක් වී තිබෙන්නේ ඩොලරයේ මිල යළිත් ඉහළ යාමය. ඩොලරය ඉහළ යන විට ජනතාව බියට පත්වෙති. එයට හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය විශාල වශයෙන් ආනයන මත රඳා පවතින බැවිනි.
අපට ඉන්ධන පිටරටින් ගෙන්විය යුතුය. ඖෂධ ගෙන්විය යුතුය. කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්විය යුතුය. ගෑස්, කිරිපිටි, යන්ත්‍රෝපකරණ, රසායනික පොහොර ඇතුළු බොහෝ දේ ආනයනය කළ යුතුය. මේ සියල්ල සඳහා ඩොලර් අවශ්‍ය වේ. ඩොලරයේ මිල වැඩි වන විට මේ සියලු භාණ්ඩවල මිලද ඉහළ යයි.
ඩොලරයේ මිල වැඩිවීමට හේතු කිහිපයක් තිබේ. පළමුවැන්න වන්නේ රටට ඩොලර් ලැබෙන ප්‍රමාණය අඩුවීමය. ශ්‍රී ලංකාවට ඩොලර් ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් අපනයන මගින්, සංචාරක කර්මාන්තයෙන් සහ විදේශ රැකියාකරුවන්ගේ ප්‍රේෂණ මගිනි. එහෙත් මේ ක්ෂේත්‍ර තුනම තවමත් සම්පූර්ණයෙන් ශක්තිමත් වී නැත. මේ ආණ්ඩුව “ලොකු” කථා කීවාට බිම සිදුකර තිබෙන්නේ පොඩි දේවල් ටිකක් ය.
අපනයන ආර්ථිකය තවමත් දුර්වලය. තවමත් විදේශ විනිමය උපයන්නේ තේ, රබර් සහ ඇඟලුම් වැනි සාම්ප්‍රදායික ක්ෂේත්‍රවලිනි. නව තාක්ෂණික කර්මාන්ත හෝ විශාල නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට නොහැකි වී තිබේ. සංචාරක කර්මාන්තයද පූර්ණ ශක්තියෙන් යථා තත්වයට පත්වී නැත.
අනෙක් අතට රටින් පිටවන ඩොලර් ප්‍රමාණය ඉහළය. විදේශ ණය ගෙවීම්, ආනයන වියදම් සහ විවිධ රාජ්‍ය වියදම් සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වේ. එවිට ඩොලර් සඳහා ඉල්ලුම වැඩි වේ. ඉල්ලුම වැඩි වන විට මිල ඉහළ යාම ස්වාභාවිකය.
වාහන ගෙන්වීමට ඉඩ ලබාදීමත් ඒ ඉඩ හිටි හැටියේ නැවැත්වීමත් යන දෙකම කළේ විකාර සහගත සහ ප්‍රශ්නකාරී ආකාරයටය. ගෙන්වන වාහනවලට සියයට 50ක බද්දක් ගහන්නට පෙර දිනයේ ඩොලර් බිලියන ගණනක LC තැරැව්කාර කොම්පැනිකාරයන් හරහා විවෘත කළ බවට බරපතළ චෝදනාවක් ද මතුවී ඇත.
ආර්ථිකයේ නියම තත්වය කවරේද?
අද ආණ්ඩුව උත්සාහ කරන්නේ රටේ ආර්ථිකය සාර්ථක ලෙස කළමනාකරණය කරමින් සිටින බව පෙන්වීමටය. එහෙත් සැබෑ තත්වය වඩාත් සංකීර්ණය. 2022 වසරේදී ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික කඩාවැටීමකට මුහුණ දුන්නේය. රට බංකොළොත් බවට වත්මන් මහ බැංකු ප්‍රධානීහුම ප්‍රකාශ කළහ. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, ඖෂධ හිඟය, විදුලි කප්පාදු, ආහාර හිඟය වැනි තත්ව ජනතාව අත්වින්දාහ. රනිල් වික්‍රම්සිංහ මහතාගේ උත්සාහය තුළ එම අර්බුදයෙන් යම් ප්‍රමාණයකට ගොඩ ආ බව පිළිගත යුතුය. එහෙත් එයින් අදහස් වන්නේ ආර්ථිකය සම්පූර්ණයෙන් යථා තත්වයට පත්වී ඇති බව නොවේ.
අද පවතින්නේ කෘත්‍රිම ස්ථාවරත්වයකි. බදු වැඩි කිරීමෙන්, ජනතාවගේ පරිභෝජනය අඩු කිරීමෙන් සහ ආනයන සීමා කිරීමෙන් තාවකාලික සමතුලිතතාවක් ඇති කර ඇත. රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් වී නැත. කෘෂිකර්මාන්තය තවමත් අර්බුදයක පවතී. කර්මාන්ත ක්ෂේත්‍රය දුර්වලය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටෙමින් පවතී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවට අත්‍යවශ්‍ය වී ඇත. එහි කොන්දේසි ජනතාවට දැඩි පීඩනයක් එල්ල කරයි. රාජ්‍ය වියදම් කප්පාදු කිරීම, බදු වැඩි කිරීම සහ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම වැනි ක්‍රියාමාර්ග ජනතාව තුළ අසහනයක් ඇති කරයි.
ඉදිරියට කුමක් වෙයිද?
මේ තත්වය තුළ ඉදිරි කාලය පහසු නොවනු ඇත. ඩොලරයේ අගය තවදුරටත් ඉහළ යාමට ඉඩ තිබේ. ජනාධිපතිවරයාද මඩකලපුවේදී ඒ ආකාරයේ ප්‍රකාශයක් කර තිබේ. ජීවන වියදම තවත් වැඩි විය හැකිය. බදු බර අඩු වන ලකුණක් දැනට නොපෙනේ. රජය තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත.
දිගුකාලීනව රට ගොඩගැනීමට නම් වෙනස් ආර්ථික දැක්මක් අවශ්‍යය. නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගිය යුතුය. අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුය. කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ක්ෂේත්‍රය නවීකරණය කළ යුතුය. තරුණ පරපුරට රැකියා අවස්ථා බිහිකළ යුතුය. එසේ නොමැතිව බදු වැඩි කිරීමෙන් පමණක් රටක් ගොඩනැගිය නොහැකිය.
අද අපි ඉතා තීරණාත්මක මොහොතක සිටිමු. ආණ්ඩුව, විපක්ෂය සහ රටේ සියලු දේශපාලන බලවේග යථාර්ථය තේරුම් ගත යුතුය. ආර්ථිකය සංඛ්‍යා ලේඛනවලින් පමණක් ගොඩනැගෙන්නේ නැත. ජනතාවගේ ජීවිත යහපත් වන විට පමණක් ආර්ථිකය සාර්ථක බව කියන්නට පුළුවන.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd