මේ වසරේ මෑතකාලීනව වාර්තා වූ සහ වඩාත්ම කතාබහට ලක්වූ සිදුවීම වන්නේ අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කර ඔහුගේ හිස කඳින් වෙන් කර දේව පිළිමයක් මත තබා යාමේ පුවතයි. පුද්ගලයකු ඔහුගේ නිවෙසේදීම කපා කොටා ඝාතනය කර ඇති අතර, පසුව සැකකරුවෝ ඔහුගේ හිස රැගෙන ගොස් මාමඩල හන්දියේ පිහිටි රත්නාවලී පිළිමයේ දෑත් මත තබා පලා ගොස් සිටියහ. මෙය මීට පෙර සිදුවූ ත්‍රිත්ව ඝාතනයකට පලිගැනීමක් වශයෙන් කළ එකක් බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
දශක කිහිපයක යුද භීෂණය නිමා කළ දේශයක, අද වන විට තවත් අදිසි යුද්ධයක් මහමග නිර්මාණය වෙමින් පවතී. ඒ, මත්ද්‍රව්‍ය ජාලය හා බද්ධ වූ පාතාල කල්ලි අතර පවතින බල අරගලයයි. මීට පෙර අවස්ථා කීපයකදීම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ අමානුෂික ඝාතන වැල සහ අපරාධ රැල්ල පෙන්වා දෙන්නේ නීතියේ ආධිපත්‍යයට වඩා පාතාලයේ තුවක්කු කටවල් බලවත් වීමට උත්සාහ කරන අඳුරු යුගයක පෙර නිමිති ද? සමාජ ආර්ථික අර්බුද හමුවේ සිටින ජනතාවට, පාතාලයේ මෙම පැමිණීම ගෙන එන්නේ තවත් දරාගත නොහැකි පීඩනයකි.
වර්තමාන ශ්‍රී ලංකාව තුළ පාතාල ක්‍රියාකාරකම් සහ මනුෂ්‍ය ඝාතන ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විවිධ සංඛ්‍යා දත්ත සහ වාර්තා මගින් මෙන්ම දෛනිකව ලැබෙන පුවත් මගින් ද මැනවින් තහවුරු වේ. මෙම ප්‍රවණතාව කෙරෙහි සමාජීය හා ආර්ථික හේතු සාධක පමණක් නොව, දේශපාලනික සහ සංස්කෘතික සාධක ද සෘජුව බලපානු ලබයි.
විශේෂයෙන්ම අපරාධ ඉහළ යාම කෙරෙහි බලපාන ආර්ථික සාධකය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී, එය නූතනයට පමණක් නොව ඉතිහාසයේ සෑම කාලපරිච්ඡේදයකටම පොදු වූ ලක්ෂණයක් බව පෙනී යයි. එහෙත් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය සුවිශේෂ වන්නේ 2022 වසරේ මෙරට ඇති වූ දැඩි ආර්ථික අර්බුදය හේතුවෙනි. එම අර්බුදය හමුවේ කඩා වැටුණු මෙරට ආර්ථික යාන්ත්‍රණය, නූතන අපරාධ රැල්ලේ වර්ධනය කෙරෙහි ප්‍රධානතම උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කර ඇති බව හඳුනාගත හැකිය.
මීට අමතරව, පවතින රැකියා වියුක්තිය ද අපරාධ රැල්ල ඉහළ යාමට තීරණාත්මක ලෙස බලපායි. අපරාධ විද්‍යාත්මක කෝණයකින් බලන කල සෑම පුද්ගලයකුගේම අපේක්ෂාව වන්නේ සාර්ථක ජීවන මට්ටමක් කරා ළඟා වීමයි. එහෙත්, එම ගමනේ දී සමාජයේ සැමට සමාන අවස්ථා හිමි නොවේ. මෙම අවස්ථා අහිමි වීම පුද්ගලයා තුළ ඇති කරන පීඩනය හේතුවෙන්, ඔවුහු සිය ඉලක්ක සපුරා ගැනීමට නීති විරෝධී මාර්ග තෝරා ගැනීමට පෙළැඹෙති. පාතාල කණ්ඩායම් ශක්තිමත් වීමට මෙම තත්වය මූලික පදනමක් සපයයි.
මෙහිදී බලපාන ප්‍රධාන සමාජීය සාධකයක් වන්නේ ආදායම් පරතරය ඉහළ යාමයි. විශේෂයෙන්ම නාගරික දුප්පත්භාවය වර්ධනය වීමත් සමග සමාජය තුළ විශාල අසමතුලිතතාවක් නිර්මාණය වී තිබේ. මේ අතරතුර, වර්තමාන සමාජය තුළ මානුෂීය සබඳතාවල පවතින දුරස්ථභාවය ද කැපී පෙනෙන ලක්ෂණයකි. මුදල් මතම යැපෙන, මුදල් පසුපසම හඹා යන සමාජ ක්‍රමයක් නිර්මාණය වීම නිසා මිනිස් ජීවිතයකට ඇති වටිනාකම අතිශය අවම වී ඇත. අද වන විට මුදල් වෙනුවෙන් ඕනෑම ම්ලේච්ඡ ඝාතනයක් කිරීමට තරම් සමාජය පිරිහීමට ලක්ව ඇත්තේ මේ නිසාය.
වර්තමාන අපරාධ ප්‍රවණතාව කෙරෙහි ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් එල්ල කරනු ලබන බලපෑම අතිමහත්ය. බොහෝ විට ජනමාධ්‍ය හරහා ප්‍රචණ්ඩත්වය ප්‍රබල ලෙස සමාජගත කිරීම හේතුවෙන්, සමාජය තුළ ප්‍රචණ්ඩත්වය යනු සාමාන්‍ය දෙයක් බවට පත්වන ‘ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය වීම’ දැකිය හැකිය. දෛනිකව රූපවාහිනී පුවත් සහ පුවත්පත් හරහා අතිශය අමානුෂික ඝාතන සහ අපරාධ සිදුවීම් ප්‍රමුඛ පුවත් ලෙස ප්‍රචාරය කිරීමෙන්, සමාජය තුළ තිබිය යුතු සංවේදීතාව ක්‍රමයෙන් හීන වී යයි. මෙහි ඇති භයානකම තත්වය වන්නේ ඇතැම් මාධ්‍ය මගින් අපරාධකරුවන් ‘වීරයන්’ ලෙස හුවා දැක්වීමයි. ඇතැම් මාධ්‍ය වාර්තාකරණ තුළ අපරාධකරුවන්ගේ ශක්තිය, ඔවුන්ගේ සුඛෝපභෝගී ජීවන රටාව සහ ඔවුන් සතු බලය අතිශයෝක්තියෙන් වර්ණනා කෙරේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, සමාජයේ අතරමං වූ හෝ ආර්ථික පීඩනයට ලක් වූ හෝ තරුණ පරපුර මෙම අපරාධකරුවන් තම පරමාදර්ශී චරිත ලෙස තෝරා ගැනීමට පෙළැඹෙයි.
අපරාධ වර්ධනය වීමට බලපාන තවත් ප්‍රධානතම සාධකයක් වන්නේ මෙරට නීතිය ක්‍රියාත්මක වීමේ පවතින මන්දගාමී ස්වරූපයයි. අපරාධයක් කළ පසු ඊට අදාළ දඬුවම් නියම වීමට වසර ගණනාවක් ගත වීම හරහා අපරාධකරුවන් තුළ පවතින නීතිය පිළිබඳ බිය ගිලිහී යයි. නීතිය ශක්තිමත් නොවීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ප්‍රමුඛතාවකින් තොරව සිදු වීම, නවක අපරාධකරුවන්ට අපරාධ ලෝකයට පිවිසීමට පාර කපන සාධකයකි.
විශේෂයෙන්ම දේශපාලන ක්‍රියාකාරකම් සහ දේශපාලන අනුග්‍රහය පාතාල ක්‍රියාකාරකම් පෝෂණය වීමට සෘජුවම බලපායි. ඇතැම් දේශපාලන අධිකාරීන් තම පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම සඳහා පාතාල කණ්ඩායම් හසුරුවන බව ප්‍රසිද්ධ රහසකි. පොලිස් පරීක්ෂණවලට සිදුවන දේශපාලන බලපෑම් සහ අපරාධකරුවන්ට හිමිවන දේශපාලන රැකවරණය හේතුවෙන්, පාතාලය මර්දනය කිරීම වෙනුවට ඔවුන් තවදුරටත් ව්‍යුහාත්මකව ශක්තිමත් වීම මෙහි ඇති භයානකම තත්වයයි.
ශ්‍රී ලංකාවේ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ ඉතිහාසය දෙස බැලීමේ දී, විවෘත ආර්ථිකයෙන් පසු කාලසීමාව සහ වර්තමානය අතර ප්‍රබල වෙනස්කම් රැසක් දැකිය හැකිය. පැරැණි පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය ප්‍රධාන වශයෙන්ම භෞතික ප්‍රචණ්ඩත්වය මත පදනම් විය. එහිදී පාතාල සාමාජිකයෝ සෘජුවම ගැටුම්වලට සම්බන්ධ වූ අතර, බිය සහ ප්‍රචණ්ඩත්වය මුහුණට මුහුණ හමුවෙමින් ක්‍රියාත්මක කළහ. ඔවුන්ට හිමි වූ දේශපාලන රැකවරණය ද එම භෞතික ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමට ඉවහල් විය. එහෙත් නූතන තත්වය මීට හාත්පසින්ම වෙනස්ය. අද පවතින්නේ ඩිජිටල්කරණය වූ පාතාල කල්ලි සමූහයකි. එහි කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් හඳුනා ගත හැකිය.
නූතන පාතාල නායකයෝ බොහෝ විට විදේශ රටවල සිටිමින් තාක්ෂණය ඔස්සේ මෙරට අපරාධ ජාල මෙහෙයවති. පුද්ගලයන් හමුවීමකින් තොරවම අපරාධ සැලසුම් කිරීමේ හැකියාව ඔවුන් සතුය. දියුණු තාක්ෂණය භාවිත කරමින්, විවිධ ජංගම යෙදුම් (Apps) සහ අන්තගාමී ලෙස සංකේතනය කළ පණිවිඩ හුවමාරු ක්‍රම හරහා හඳුනාගත නොහැකි ලෙස අපරාධ මෙහෙයවීමට ඔවුන්ට හැකි වී තිබේ. මුදල් විශුද්ධිකරණය සහ මූල්‍ය ගනුදෙනු සඳහා ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) වැනි ඩිජිටල් මුදල් ඒකක භාවිත කිරීම නිසා, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට එම මුදල් ප්‍රවාහ සොයා ගැනීම අතිශය දුෂ්කර වී ඇත.
මත්ද්‍රව්‍ය සහ පාතාලය අතර නොබිඳිය හැකි සබඳතාව පාතාල ක්‍රියාකාරකම් මැඩලීමේ දී මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම අනිවාර්යය සාධකයකි. මත්ද්‍රව්‍ය යනු වර්තමාන පාතාලයේ ප්‍රධාන ජීව රුධිරය හා මූල්‍ය පදනමයි. මෙම ජාවාරම හරහා උපයන අති විශාල ලාබය, නවීන ගිනි අවි මිලදී ගැනීමටත්, කල්ලිවල මූල්‍ය ශක්තිය වර්ධනය කර ගැනීමටත් යොදා ගනු ලබයි. මත්ද්‍රව්‍ය මගින් උපයන මෙම ප්‍රාග්ධනය, නීතිමය රැකවරණය ලබා ගැනීමට මෙන්ම දේශපාලන සබඳතා පවත්වාගෙන යාමට ද ප්‍රබල මෙවලමක් ලෙස භාවිත වේ. සරලවම කිවහොත්, මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය නොකර පාතාල ක්‍රියාකාරකම් පාලනය කිරීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි.
නූතන මත්ද්‍රව්‍ය ජාලය සහ ඩිජිටල් මූල්‍ය ක්‍රමවේද නූතන මත්ද්‍රව්‍ය ජාවාරම ද සාම්ප්‍රදායයික රාමුවෙන් මිදී ජාත්‍යන්තර ඩිජිටල් මූල්‍ය පද්ධති සමග අත්වැල් බැඳගෙන තිබේ. ජාත්‍යන්තර මට්ටමින් සිදුවන ගනුදෙනු සඳහා ක්‍රිප්ටෝ කරන්සි වැනි ක්‍රමවේද භාවිත කිරීම නිසා මෙම ජාල හඳුනා ගැනීම අතිශය දුෂ්කර වී ඇත. මත්ද්‍රව්‍ය මගින් උපයන “කළු සල්ලි” විවිධ නීත්‍යනුකූල ව්‍යාපාර හරහා සංසරණය කරවීම මගින් ඔවුහු සිය ආදායම් මාර්ග ස්ථාවර කර ගනිති. මෙය රටේ ආර්ථිකයට මෙන්ම සමාජ ආරක්ෂාවට ද එල්ල කරන බලපෑම අතිමහත්ය. වැළැක්වීමේ ක්‍රමවේද සහ අවශ්‍යතාව මෙම තත්වය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධීකරණයක් සහිත විධිමත් ක්‍රමවේද අවශ්‍ය වේ. විශේෂයෙන්ම කළු සල්ලි සුදු කිරීම වැළැක්වීමේ නීති තදින් ක්‍රියාත්මක කිරීමත්, ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු පිළිබඳ නිරන්තර විමර්ශනයත් අත්‍යවශ්‍යය.
ආර්ථික අර්බුදය, රැකියා වියුක්තිය, දේශපාලන අනුග්‍රහය සහ ඩිජිටල් තාක්ෂණයේ අනිසි භාවිතය යන සාධක සියල්ල එක්ව නිර්මාණය කර ඇති මෙම “පාතාල සංස්කෘතිය” රටේ නීතියේ ආධිපත්‍යයට එල්ල කරන්නේ සෘජු අභියෝගයකි. මිනිස් ජීවිතයක වටිනාකම මුදලට හෝ පළිගැනීමකට ලුහුඬු වී ඇති මෙවන් යුගයක, හුදෙක් පොලිස් මෙහෙයුම් මගින් පමණක් පාතාලය මැඩලිය නොහැකිය. ඒ සඳහා මත්ද්‍රව්‍ය ජාලවල මූල්‍ය මූලාශ්‍ර අහුරා දැමීමත්, අධිකරණ පද්ධතියේ පවතින ප්‍රමාදය මග හරවා නීතිය සමානව ක්‍රියාත්මක කිරීමත්, මාධ්‍ය භාවිතයේ පවතින සදාචාරාත්මක ගැටලු විසඳීමත් අත්‍යවශ්‍ය වේ. දශක තුනක යුද්ධයකින් බැටකෑ ජනතාවකට, පාතාලයේ මෙම අදිසි යුද්ධය හමුවේ යළිත් බියෙන් හා සැකයෙන් තොරව ජීවත් විය හැකි ආරක්ෂිත සමාජ වටපිටාවක් නිර්මාණය කිරීම පාලකයන්ගේ මෙන්ම සමස්ත සමාජයේම වගකීමකි.
(*** සාකච්ඡා සටහන ශෂිකා අබේරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd