ගෝලීය බලශක්ති අර්බුදය අපගේ ආර්ථිකය කෙරෙහි දැඩි අවිනිශ්චිතතාවක් ඇති කළත් අප මේ වන විට පසුවන්නේ ඉතා බලාපොරොත්තු සහගත ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතකය. ඇ.ඩො. බිලියන 3 ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන පස්වැනි සහ හයවැනි සමාලෝචන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ද පිරිසක් මේ දිනවල මෙරට සංචාරයක නිරතව සිටිති.
මෙම ද්විත්ව සමාලෝචන සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමත් සමග, එහි 6 වැනි සහ7 වැනි වාරිකවලට අදාළව ඇ.ඩො. මිලියන 700 ක පමණ ඒකාබද්ධ මුදලක් මුදා හැරීමට නියමිතය. සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්වයට පත් කිරීමේ අරමුණෙන් 2023 මාර්තු මාසයේදී මෙම අවුරුදු 4ක (2023-2027) වැඩසටහන ආරම්භ කරන ලදී.
මෙම වැඩසටහන ප්‍රධාන ප්‍රතිසංස්කරණ කුලුනු පහක් වටා ගොඩ නැගී ඇත.
1. මූල්‍ය ඒකාබද්ධතාව සහ බදු ප්‍රතිසංස්කරණ
2. ණය තිරසාරභාවය
3. මූල්‍ය සහ බාහිර අංශයේ ස්ථාවරත්වය
4. බලශක්ති සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
5. සමාජ ආරක්ෂණය සහිත යහපාලනය
එසේ වුවද, වර්තමානයේ පවතින ප්‍රධානතම විවේචනයක් වන්නේ රජය හුදෙක් “IMF නියෝග අන්ධ ලෙස අනුගමනය කරන බවයි.” එහෙත් මෙම මතයෙන් වඩාත් ගැඹුරු වූ ආර්ථික විද්‍යාත්මක සත්‍යයක් මග හැරී යයි. සැබැවින්ම IMF විසින් ශ්‍රී ලංකාවට කරන්නැයි පවසන දේවල් අලුත් ඒවා නොවේ. ඒවා ඕනෑම රටක් ස්ථාවරව පැවැතීමට සහ තමන් ලබාගෙන ඇති ණය සහ බැඳීම් පියවීමට අනුගමනය කළ යුතු මූලික ආර්ථික විද්‍යාත්මක මූලධර්මවේ. මෙහි ඇති සැබෑ ගැටලුව වන්නේ දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව මෙම මූලධර්ම තනිවම අනුගමනය කිරීමට අපොහොසත් වීමයි.
පළමු කුලුන: මූල්‍ය ඒකාබද්ධතාව සහ බදු ප්‍රතිසංස්කරණ
ඉලක්කය: ආදායමට සරිලන සේ ජීවත් වීම සහ රාජ්‍ය ආදායම යථා තත්වයට පත් කිරීම
සරලවම කිවහොත් මෙයින් අදහස් කරන්නේ රජය ණය මුදල් මත යැපීම නතර කර, තමන්ගේම ආදායමට සරිලන සේ ජීවත් විය යුතු බවයි. මෙම වැඩසටහනෙන් රජයේ ආදායම ඉහළ නැංවීම, අයවැය හිඟය අවම කිරීම සහ මූල්‍ය ආරක්ෂණ සීමාවක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP අගයෙන්) සියයට 2.3ක ප්‍රාථමික අතිරික්තයක් අඛණ්ඩව පවත්වා ගැනීම ඉලක්ක කරයි. මෙම ප්‍රතිසංස්කරණ යටතේ, 2025 වන විට රජයේ සමස්ත ආදායම GDP අගයෙන් සියයට 15 ක් පමණ දක්වා ඉහළ නැංවීමට IMF විසින් ඉලක්ක කරනු ලැබ තිබුණි.
මෑත කාලීන ප්‍රකෘතියට පෙර වැරැදුණේ කොතැනද?
මෙම ගැටලුව එක් වසරකට පමණක් සීමා වූවක් නොව දිගුකාලීන මූල්‍ය රටාවක ප්‍රතිඵලයකි. 1977 සහ 2024 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්‍රියාකාරිත්වය පැහැදිලි ව්‍යුහාත්මක අසමතුලිතතාවක් පෙන්නුම් කළේය:
රාජ්‍ය ආදායම: පෙර දශකවල GDP අගයෙන් සියයට 18-20ක් වැනි ඉහළ මට්ටමක පැවැතිය ද, මෙම කාලසීමාව තුළ රජයේ ආදායම සාමාන්‍යයෙන් GDP අගයෙන් සියයට 14ක් පමණ විය.
අයවැය හිඟය: අයවැය හිඟය සාමාන්‍යයෙන් GDP අගයෙන් සෘණ සියයට 8ක් පමණ වූ අතර එමඟින් අඛණ්ඩව සිදුවූ අධික වියදම් කිරීම් පිළිබිඹු විය.
ප්‍රාථමික අතිරික්තය: මෙය අඛණ්ඩව හිඟයක්ව පැවැති අතර, එය සාමාන්‍යයෙන් GDP අගයෙන් සෘණ සියයට 2-3ක් දක්වා මට්ටමක පැවැතුණි. මෙයින් පෙනී යන්නේ දෛනික වියදම් (පොලී ගෙවීම් හැර) පියවා ගැනීමට පවා අප අඛණ්ඩව ණය ගැනීම් මත යැපුණු බවයි.
මූල්‍ය හිඟය රටේ ව්‍යතිරේකයක් නොව සාමාන්‍ය තත්වයක් බවට පත් විය. 2021 වසර මෙම ගැටලුව අලුතින් නිර්මාණය නොකළ ද, එය මෙම දිගුකාලීන පිරිහීමේ උපරිම අවස්ථාව සනිටුහන් කළේය. එහි දී රජයේ ආදායම නූතන මූල්‍ය ඉතිහාසයේ අවම අගය වන සියයට 8ක් දක්වා පහත වැටුණු අතර, අයවැය හිඟය සෘණ සියයට 12 දක්වා ඉහළ ගියේය. ප්‍රාථමික අතිරික්තය සෘණ සියයට 6ක් පමණ දක්වා අතිශය භයානක මට්ටමකට වැටුණි. කෙසේ වෙතත්, ආර්ථිකයේ සැබෑ බිඳවැටීම සිදු වූයේ 2022 වසරේ දී වන අතර, එහිදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සෘණ සියයට 7ක් දක්වා පහත වැටුණි.
කොවිඩ් වසංගතය මෙම අර්බුදය නිර්මාණය නොකළ අතර, එය කළේ දශක ගණනාවක වැරැදි කළමනාකරණය හමුවේ ගොඩ නැගී තිබූ දුර්වලතා නිරාවරණය කර ඒවා තීව්‍ර කිරීම පමණි. මෙම පිරිහීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ ආදායම් පදනම දුර්වල කළ වැරැදි බදු ප්‍රතිපත්තිය. දුර්වල ආදායම් පරිපාලනයයි. ලැබෙන ආදායමට නොගැළපෙන පරිදි රාජ්‍ය වියදම් පාලනයකින් තොරව ඉහළ යාමය. දිගුකාලීනව මූල්‍ය විනයක් නොමැති වීමය. මෙය හුදු IMF කතාවක් නොව, ව්‍යුහාත්මක මූල්‍ය වගකීම් විරහිතභාවය පිළිබඳ කතාවකි.
පළමු කුලුනේ දැන් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය: 2025 අගවන විට, පැහැදිලි මූල්‍ය නිවැරැදි කිරීමක් දෘශ්‍යමාන වේ. සියලු දර්ශක IMF ඉලක්ක අබිබවා ගොස් ඇත. රජයේ ආදායම GDP අගයෙන් සියයට 16-17 දක්වා ඉහළ ගොස් ඇත. අයවැය හිඟය GDP අගයෙන් සියයට 2-3දක්වා ඉතා ශීඝ්‍රයෙන් අඩු වී ඇති අතර, මෙය 1956න් පසුව වාර්තා වූ අඩුම මට්ටමයි. GDP අගයෙන් සියයට 5-6ක ඉතා ප්‍රබල ප්‍රාථමික අතිරික්තයක් නැවත ස්ථාපිත කිරීමට අපට හැකි වී ඇත. මෙම දත්ත මගින් පෙන්නුම් කරන්නේ දශක ගණනාවක් පුරා පැවැති ව්‍යුහාත්මක අසමතුලිතතාවෙන් මිදී ශ්‍රී ලංකාව තීරණාත්මක ලෙස මූල්‍ය විනය කරා මාරු වී ඇති ආකාරයයි.
පළමු කුලුනේ සැබෑ පාඩම: රජයකට තමන් උපයන ප්‍රමාණයට වඩා දිගටම වියදම් කරමින් සිටිය නොහැකිය. එය හුදෙක් IMF දෘෂ්ටිවාදයක් නොව, ඕනෑම රටක රාජ්‍ය මූල්‍යයේ මූලික යථාර්ථයයි. දශක ගණනාවක් තිස්සේ අප සිදු කළේ මෙම මූල්‍ය විනය පවත්වා ගැනීම දිගින් දිගටම කල් දැමීමයි. එහි සැබෑ පිරිවැය වූයේ 2022 වසරේදී අප මුහුණ දුන් මහා ආර්ථික විනාශයයි. එබැවින්, මෙහිදී අප අපෙන්ම ඇසිය යුතු සැබෑ ප්‍රශ්නය වන්නේ, අයවැය හිඟයන් සාමාන්‍ය තත්වයක් ලෙස සලකමින් අප පුරුදු වී සිටි දීර්ඝකාලීන වැරදි පුරුද්ද නිවැරැදි කරගැනීමට IMF අපට පවසන තෙක්ම එය අපට නොපෙනී ගියේ මන්ද යන්නයි.
දෙවැනි කුලුන: ණය තිරසාරභාවය
ඉලක්කය: ණය කන්ද ක්‍රමයෙන් පහත හෙළීම.
රටක ණය ප්‍රමාණය එහි ආර්ථිකයට වඩා වේගයෙන් වර්ධනය විය නොහැක. එබැවින්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රාථමික අතිරික්තය මගින් ණය බර ස්ථාවර මාවතකට ගෙන ඒම IMF අරමුණයි. සංවර්ධනය වන රටවල ආරක්ෂිත ණය සීමාව GDP අගයෙන් සියයට 40 - 60ක් වුව ද, ශ්‍රී ලංකාවේ ණය බර මේ වන විට සියයට 100 ආසන්නයේ පවතී. එබැවින් 2032 වන විට එය සියයට 95ක මට්ටමටවත් ගෙන ඒම මූලික ඉලක්කයයි.
මෑතකාලීන ප්‍රකෘතියට පෙර වැරැදුණේ කොතැනද?
මෙම අර්බුදයේ හරයෙහි පවතින්නේ ආර්ථික විද්‍යාඥයන් ‘ණය ගතික සම්බන්ධතාව‘ ලෙස හඳුන්වන ඉතාමත් සරල ආර්ථික විද්‍යාත්මක සත්‍යය දශක ගණනාවක් තිස්සේ නොසලකා හැරීමයි. එම සූත්‍රය වචනවලින් මෙසේ දැක්විය හැකිය:
ණය බරෙහි වෙනස = ණය බරේ ස්වයංක්‍රීය වර්ධනය (පොලී පිරිවැය) - ප්‍රාථමික අතිරික්තය
ණය බර අඩුවීමට නම්, රජයේ ප්‍රාථමික අතිරික්තය එහි පොලී පිරිවැයට (ස්වයංක්‍රීය වර්ධනයට) වඩා වැඩි විය යුතුය. එහෙත් 1977 සිට 2024 දක්වා වසර 5ක් හැර දශක හතරකට වැඩි කාලයක් ශ්‍රී ලංකාව පවත්වා ගත්තේ අඛණ්ඩ ප්‍රාථමික හිඟයකි (සාමාන්‍යයෙන් GDP අගයෙන් සෘණ සියයට 2 -3 දක්වා). ප්‍රාථමික අතිරික්තය සෘණ අගයක් ගන්නා විට සහ ආර්ථික වර්ධනය මන්දගාමී වන විට, ණය බර ඉහළ යාමේ වේගය අතිවිශාල වේ. උපයන ප්‍රමාණයට වඩා වියදම් කරමින්, අයවැය හිඟය පියවීමට පමණක් නොව පරණ ණයවල පොලිය ගෙවීමට පවා අලුතින් ණය ගැනීම නිසා අපේ ණය බර පාලනයකින් තොරව ‘පෙරළෙන හිමබෝලයක්‘ මෙන් වර්ධනය විය. 2022 වන විට මෙම ක්‍රියාවලිය විසින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය GDP අගයෙන් සියයට 114 ඉක්මවා ගිය අතර, එහි අවසාන ප්‍රතිඵලය ලෙස රටේ ආර්ථිකය කඩා වැටුණි. මෙය අහම්බයක් නොව, මූලික ණය සීමා සහ ආර්ථික මූලධර්ම නොසලකා හැරීමේ පුරෝකථනය කළ හැකිව තිබූ ප්‍රතිඵලයකි.
දෙවැනි කුලුනේ අත්පත් කරගෙන ඇති ප්‍රගතිය: ශ්‍රී ලංකාව දැන් පැහැදිලි නිවැරැදි කිරීමේ මාවතකට පිවිස ඇත. 2026 පෙබරවාරි වන විට විදේශීය ණය හිමියන්ගෙන් සියයට 99 ක් සමග එකඟතා ඇති කරගෙන ඇති අතර, සමස්ත බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සියයට 92කට වැඩි කොටසක් ක්‍රියාත්මක කර අවසන් කර ඇත. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල වටිනාකමෙන් සියයට 27ක් (ඇ.ඩො. බිලියන 3.3-3.4 ක් පමණ) කපා හරිමින් (Haircut), ණය ගෙවීමේ බර අඩු කරගෙන ඇත. අනාගත ණය ගෙවීමේ බර ලිහිල් කර ගැනීම සඳහා, රටේ ආර්ථික වර්ධනය (MLB) සහ යහපාලන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය (GLB) මත පදනම් වූ නව ණය ගෙවීමේ ක්‍රමවේද ද හඳුන්වා දී තිබේ. බැඳුම්කර සඳහා ගෙවිය යුතු පොලී අනුපාත අඩු කිරීම සහ ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම මගින් සහන ලබා ගෙන ඇත. IMF හි නවතම තක්සේරු අනුව, 2032 වන විට ණයGDP අගයෙන් සියයට 87-88 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය IMF විසින් මුලින් නියම කරන ලද සියයට 95ක ඉලක්කයට වඩා යහපත් අගයකි. දළ මූල්‍ය අවශ්‍යතාව GDP අගයෙන් සියයට 13ක සීමාවක පවත්වා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. සරලවම කිවහොත්, ණය වාරික ගෙවීමට, පොලී ගෙවීමට සහ අයවැය හිඟය පියවීමට වසරකට රජයට අවශ්‍ය වන මුදල පාලනය කරගත හැකි මට්ටමක පවතී.
දෙවැනි කුලුනේ සැබෑ පාඩම: අද අප මුහුණ දෙන සැබෑ අර්බුදය IMF වැඩසටහනක අවශ්‍යතාව නොවේ. අපේම ණය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය මෙම මූලික සත්‍යය තේරුම් ගැනීමට සහ එය ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට පවසන තෙක්ම අප සිටියේ ඇයිද යන්නයි. එබැවින්, අද අප ඉදිරියේ ඇති තේරීම IMF පිළිබඳ වාදයක් නොව, ආර්ථික විද්‍යාවේ මූලික නීතිවලට ගරු කරමින් වගකීම් සහිත රාජ්‍යයක් ගොඩනැගීම සහ අතීතයේ අසාර්ථක මූල්‍ය රටා අතර තීරණාත්මක තේරීමකි.
(***)
රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව
පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
චන්දික ගුණසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd