ඉරානයේ 1979 වසරේදී බල පෙරැළියක් ඇති විය. ඉරානයේ රාජ්‍ය නායකයාව සිටි ෂා පාලවී රජු විප්ලවයක් මගින් ඉවත් කර ඒ වන විට රටෙන් බැහැරව සිටි ඉරානයේ ආධ්‍යාත්මික නායකයා වශයෙන් සැලකෙන අයතුල්ලා රූහොල්ලා කොමිනි රටේ පාලකයා වශයෙන් තෝරාගනු ලැබීය. එම කාලයේදී ඉරාන මුදල් ඒකකය වන රියාල් හැත්තෑවේ සිට හැත්තෑපහ දක්වා මිලකට ඇමෙරිකානු ඩොලරයක් මිලදී ගත හැකි විය. 2026 මුල් භාගයේදී ඉරාන පාලනයට එරෙහිව මහජන උද්ඝෝෂණයක් පැවැත්වුණ අතර, එයට එක් හේතුවක් වූයේ ඉරාන රියාලය අතිවිශාල ලෙස පහළ වැටීමයි.
එම අවස්ථාවේදී ඇමෙරිකානු ඩොලරයක් මිලදී ගැනීමට රියාල් මිලියන 1.4ක් ගෙවිය යුතුව තිබුණි. 1979 වසර හා සසඳන විට ඉරාන රියාලය විසිදහස් ගුණයකින් ක්ෂය වී තිබුණි.
අද වන විට ඉරානය මුහුණ දී සිටින ආර්ථික පරිහානියේ ස්වරූපය එහි විනිමය අනුපාතය ඉහත සඳහන් ලෙස පහත වැටීමෙන් පැහැදිලි වේ. ඇමෙරිකාව ඇතුළු විදේශ රටවල් විසින් සහ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පසුගිය දශක කිහිපය තුළම ඉරානයට එරෙහිව පනවන ලද ආර්ථික සම්බාධක එරට ආර්ථික පරිහානිය සඳහා බොහෝ දුරට බලපෑවේය. 1979 විප්ලවයෙන් පසු ඇමෙරිකාව ඉරානයේ ඩොලර් බිලියන 12ක වත්කම් තහනම් කිරීමට කටයුතු කළේය. 1996 දී ඇමෙරිකාව ඉරානයේ ආයෝජන සම්බන්ධයෙන් වාරණයක් ක්‍රියාත්මක කළේය. 2006 දී එක්සත් ජාතින්ගේ සංවිධානය ඉරානයේ න්‍යෂ්‍ටික අවි නිෂ්පාදනයට එරෙහිව සම්බාධක පැනවූ අතර, 2011 දී ඇමෙරිකාව සහ යුරෝපා සංගමය විසින් සම්බාධක පනවනු ලැබීය. 2015 දී සම්බාධක ලිහිල් කිරීමක් සිදු වුව ද 2018 සිට ඒවා වඩාත් දැඩි මට්ටමකින් අද දක්වාම ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාව, ඉරානයට තේ අලෙවි කර එමගින් ඉන්ධන මිලදී ගත්තේය. සම්බාධක පැනවීමට පෙර ඉරානය ශ්‍රී ලංකාවේ සමීප මිතුරකු මෙන්ම ප්‍රධාන වෙළෙඳ පාර්ශ්වකරුවෙක් ද විය. එහෙත්, සම්බාධක හේතුවෙන් ඉරානය සමග ගනුදෙනු නැවැත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය. ඒ අයුරින්ම බොහෝ රටවල් ඉරානය සමග වෙළෙඳ සහ ආයෝජන සම්බන්ධතා පවත්වා ගැනීමෙන් වැළකීමට කටයුතු කළ අතර, එවැනි තත්වයක් යටතේ ඉරාන ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා විදේශ රටවලින් භාණ්ඩ හා සේවා ලබාගැනීමට නොහැකි තත්වයකට ඉරානය පත්විය. 2026 ජනවාරියේ පැවැති රාජ්‍ය විරෝධි උද්ඝෝෂණවලට බොහෝ දුරට හේතු වූයේ සම්බාධක හේතුවෙන් විශාල ආර්ථික පීඩනයකට ඉරාන ජනතාව ගොදුරු වී සිටීමයි. කෙසේ වුව ද රුසියාව සහ චීනය සම්බාධක නොතකා ඉරානය සමග ගනුදෙනු කිරීම ඉරානයට තරමක් දුරට සහනයක් විය.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් පනවන ලද ආර්ථික සම්බාධක හේතුවෙන් ඉරාන ජනතාව දැඩි පීඩනයකට ගොදුරුව රජයට එරෙහිව වීදි බට අවස්ථාව ඉරානයට පහරදීම සඳහා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් තෝරා ගන්නා ලදී. එම රටවල් දෙක මුලින් ප්‍රකාශ කළේ දින කිහිපයක් තුළ මෙම යුද්ධය අවසන් කරන බවත්, තම කොන්දේසිවලට යටත් වීමට ඉරානයට සිදු වනු ඇති බවත්ය. ඉරානයේ විශාලත්වය ඇමෙරිකාවෙන් හයෙන් එකකි. ඇමෙරිකාවේ ජන සංඛ්‍යාව මිලියන 386ක් වන අතර, ඉරානයේ ජන සංඛ්‍යාව මිලියන 92කි. එසේ වුව ද ඉරානය විසින් ජාත්‍යන්තර දේශපාලන රටාව සහ ලෝක බල තුලනය සම්පූර්ණයෙන්ම පරිවර්තනයකට බඳුන් කරන තත්වයක් දැන් ඇති කර තිබේ.
අද වන විට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහරදීම ආරම්භ කර දින හතළිහක් ගත වී තිබේ. ඇමෙරිකාව 2003 දී ඉරාකයට පහරදීමට පටන්ගත් අවස්ථාවේදී බ්‍රිතාන්‍යය ඇතුළු තවත් රටවල් කිහිපයක්ම ඇමෙරිකාව සමග එකතු වූ අතර, යුද්ධයට ඍජුවම සම්බන්ධ වෙමින් එම රටවල් සන්ධානයක් ලෙස කටයුතු කළේය. එහෙත්, මෙවර කිසිදු යුරෝපීය රටක් ඉරානයට එරෙහිව ඇමෙරිකාව සමග එකතු වීමට ඉදිරිපත් වී නැත. ස්පාඤ්ඤය වැනි සමහර රටවල් ඉරානයට පහරදීම නීත්‍යනුකූල නොමැති බවත්, එවැනි යුද්ධයකට තම රටේ කිසිදු සහායක් නොදෙන බවත් ප්‍රකාශ කර ඇත. බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් විසින් යුද්ධයට සහාය නොදීම පිළිබඳව බොහෝ විවේචන එල්ල කළ ද, එම රටවලට අපහාස කළ ද කිසිදු රටක් ඇමෙරිකාවේ සහායට ඉදිරිපත් වී නැත. ඇමෙරිකාව සහ යුරෝපය අතර පැවැති අති සමීප සම්බන්ධතාව බිඳ දැමීමට ද ඉරානයට හැකි වී තිබේ.
නේටෝ සංවිධානය යුරෝපා රටවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇමෙරිකාව සමග එකතු වී ඇති කරගත් ඉතා බලවත් ආරක්ෂක සංවිධානයකි. ඩොනල්ඩ් ට්‍රම්ප් සිතුවේ ඉරානය සමග තම යුද්ධයට නේටෝ සංවිධානය නොපැකිළිව සහාය දෙනු ඇතැයි යනුවෙනි. එසේ වුව ද එම සංවිධානය කිසිදු අයුරකින් එයට සහාය නොදැක්වූ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී ප්‍රකාශ කළේ එම සංවිධානයෙන් ඉවත්වීම පිළිබඳව ඇමෙරිකාව අවධානය යොමු කරන බවය. යුරෝපය තුළ ඉතා බලවත් ආයතනයක් වූ නේටෝව දෙදරා යන තත්වයක් ඇතිකිරීම සඳහා ඉරාන යුද්ධය හේතු වී තිබේ.
වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ පැහැරගෙන යාම මගින් එම රට යටත් කරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකි විය. ඉතා සුළු මෙහෙයුමකින් වෙනිසියුලාවේ පාලනය වෙනස් කිරීමටත්, තමන්ට අවශ්‍ය පාලනයක් ගොඩනැගීමටත් ඔහුට හැකි විය. ඉරානයේ පාලනය වෙනස් කරන බවට ද, තමන්ට අවශ්‍ය පාලනයක් ගොඩනගන බවට ද ඔහු වහසි බස් දෙඩ වූයේය. ඉරානයේ ආධ්‍යාත්මික නායකයා ඇතුළු පාලකයන් විශාල පිරිසක් ඝාතනය කළ නමුදු ඇමෙරිකාවට එරෙහි වන දැඩි රැඩිකල් පාලනයක් ඉරානයේ දැන් ඇති වී තිබේ. ඉරානයේ ඇති වූ එම තත්වය හේතුවෙන් කියුබාව යටත් කරගැනීම ද, ග්‍රීන්ලන්තය සහ කැනඩාව ඇමෙරිකාවට ඈඳා ගැනීම ද ට්‍රම්ප්ගේ සිහිනයක් බවට පමණක් පත් වෙමින් තිබේ.
ඇමෙරිකාව ලොව ධනවත්ම සහ බලවත්ම රට වීම හේතුවෙන් විද්‍යාව සහ තාක්ෂණය තම බල ආධිපත්‍යය තහවුරු කරගැනීම සඳහා වූ ආරක්ෂක පද්ධතියක් ගොඩනැගීම සඳහා ආධාර කරගත්තේය. ගොඩබිම, අහස සහ මහ මුහුදේ මහ බලවතා වීමට හැකි නවීන අවි ආයුධ සහ තාක්ෂණය දියුණු කරගත්තේය. ඊශ්‍රායලයේ යුදෙව් ජාතිකයන් නවීන විද්‍යාව සහ තාක්ෂණයේ පරතෙරට පැමිණි විද්‍යාඥයන්ගෙන් සමන්විත වූ අතර, මහා ඊශ්‍රායලයක් බිහි කිරීම අරමුණු කරගෙන යුද ශක්තිය වර්ධනය කිරීමට දිගු කලක් තිස්සේ ඔවුහු කටයුතු කළහ. බටහිර විසින් හුදෙකලා තත්වයකට පත් කරන ලද ඉරානයේ පැවැතියේ ඉතා අඳුරු තත්වයකය යන්න බොහෝ දෙනාගේ අදහස විය. සියල්ල සැණෙකින් වෙනස් වී තිබේ. ඇමෙරිකාවේ හෝ ඊශ්‍රායලයේ හෝ නව තාක්ෂණයට දැඩි තර්ජනයක් එල්ල කරන වඩා දියුණු අවි ආයුධ ඉරානයෙන් එළි බසිමින් තිබේ.
ගල්ෆ් කලාපයේ ඇමෙරිකාවේ යුද කඳවුරු ඇති සියලු රටවල ඇමෙරිකානු වත්කම් නිශ්චිතව ඉලක්ක කර ඒවාට පහරදීමට ඉරානයට හැකි වී තිබේ. 1979 දී ඉරාන විප්ලවවාදින් එරට ඇමෙරිකානු තනාපති කාර්යාලය අල්ලා ගෙන සිටි අවස්ථාවේ ඔවුන්ට පහරදී ඇමෙරිකානු ජාතිකයන් බේරා ගැනීමට ඇමෙරිකාවට හැකි විය. එසේ වුව ද මෙම යුද්ධයේදී ඇමෙරිකාවේ අතිනවීන සහ අතිප්‍රබල යුද ගුවන් යානා සැලකිය යුතු සංඛ්‍යාවක් විනාශ කිරීමට ඉරානයට හැකි විය. ඉරානයේ කඳුකර ප්‍රදේශයේ එවැනි ප්‍රහාරයකින් විනාශ වූ ගුවන් යානයක නියමුවකු බේරා ගැනීම සඳහා දැරූ ප්‍රයත්නයේදී අතිනවීන ගුවන් යානා කිහිපයක්ම විනාශ කරගැනීමට ඇමෙරිකාවට සිදු විය. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ සියලු නාවික යාත්‍රා, ගුවන් යාත්‍රා සහ හමුදාව විනාශ කළ බව ප්‍රකාශ කළ ද, ඉරානය, ඊශ්‍රායලයටත්, ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු යුද කඳවුරුවලටත් නිශ්චිතව ඉලක්ක කරගත් ප්‍රහාර තවදුරටත් එල්ල කරමින් සිටී.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති යුද්ධයේ සැබෑ තොරතුරු ලොව ප්‍රධාන මාධ්‍ය විසින් විශාල ලෙස වසන් කරනු ලැබ තිබෙන බව පැහැදිලිය. ඉරානයට සිදුව ඇති විනාශය ද, ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර පිළිබඳව තොරතුරු බෙහෙවින් ප්‍රකාශයට පත් කෙරෙන නමුදු, ඉරානය තම ප්‍රතිවාදින්ට බරපතළ ලෙස ප්‍රහාර එල්ල කර ඇති ආකාරය පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීමෙන් වැළකී සිටින බව පෙනේ. ඇමෙරිකාව මෙන්ම ඊශ්‍රායලය ද මාධ්‍යවලට වාරණයන් පනවා ඇති අතර, ඊශ්‍රායලයේ යුද හානි පිළිබඳ තොරතුරු හෙළි කරන්නන්ට දැඩි දඬුවම් පැනවීම සඳහා වූ නීති ද පනවා තිබේ. ට්‍රම්ප් මේ වන විට ඉරානයට හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා පැය 48ක කාලයක් දී ඇත. ඔහු යුද්ධය පටන්ගත් අවස්ථාවේ සිට ඒ ආකාරයට කාලය ලබා දුන් අවස්ථා කිහිපයක් තිබුණු නමුදු ඉරානය ඒවා පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වීය.
යුද්ධයෙන් ඇමෙරිකාව ද ඇතුළු බොහෝ රටවල් දරුණු ආර්ථික අර්බුදයකට ගොදුරු වී තිබේ. යුරෝපා සංගමයේ සාමාජික රටක් වන හංගේරියාව මෑතකදී ප්‍රකාශ කළේ යුරෝපා සංගමය රුසියාවට පනවා ඇති ඉන්ධන තහනම වහා ඉවත් කළ යුතු බවය. ඇමෙරිකාව ඉරානයට එරෙහිව පනවා තිබූ ඉන්ධන තහංචි ද තාවකාලිකව ඉවත් කර තිබේ. ඒ සියල්ල ඇමෙරිකාව ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කිරීම හේතුවෙනි. හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට එකතු වන ලෙස විවිධ රටවලින් ඇමෙරිකාව ඉල්ලීම් කළ අවස්ථාවේදී ප්‍රතිචාර දක්වා තිබුණේ ඇමෙරිකාව විසින් යුද්ධය ආරම්භ කිරීමට ප්‍රථම එම සමුද්‍ර සන්ධිය වසා නොතිබුණු බවය.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කර ගත වූ දින 40ක කාලය තුළ ලෝක බල තුලනයේ වෙනස්කම් රැසක් ඇතිව තිබේ. යුරෝපය සහ ඇමෙරිකාව අතර සම්බන්ධතා බිඳවැටෙද්දී, නේටෝ වැනි බලගතු සංවිධාන අවිනිශ්චිත අනාගතයට පත් වෙමින් සිටියදී ඉරානය තවමත් ලොව මහ බලවතාට බලවත් අභියෝගයක් එල්ල කරමින් සිටී. යුද්ධය අවසන් වන විට තවත් බොහෝ වෙනස්කම් අත්විඳීමට ලෝකයට හැකි වනු ඇත.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd