මේ දිනවල විපක්ෂය සංවිධානය කරන රැස්වීම් මාලාවක ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ “අනුර ෆේල්”, “ආණ්ඩුව ෆේල්” යන ප්‍රකාශයයි. එය සරල දේශපාලන සටන් වාක්‍යයක් ලෙස බැලීමට හැකි වුවත්, එය වඩාත් ගැඹුරු ලෙස කියවිය යුතු දේශපාලන සංකේතයක් ද වේ. වසර එකහමාරක් පාලනය කර ඇති ආණ්ඩුවක් පිළිබඳව මෙවැනි වචනයක් ජනතාව අතරට පැමිණීම, සරල ප්‍රචාරයක් පමණක් නොව, සමාජයේ පවතින විශ්වාස හා අපේක්ෂා අතර ඇති පරතරයක් පෙන්වන ලක්ෂණයක් ලෙස තේරුම් ගත යුතුය.
මෙවර කිවිදා දැක්මෙන් මා උත්සාහ කරන්නේ “ෆේල්” යන වචනය දේශපාලන වශයෙන් යුක්ති සහගත ද යන්න විමසීමයි. ඒ සඳහා අපට ආපසු හැරී බලන්නට සිදු වන්නේ, මෙම ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ අද දක්නට ලැබෙන ක්‍රියාකාරීත්වය අතර සැසඳීමයි. විශේෂයෙන්ම ආණ්ඩුවේ මූලික පොරොන්දු වූ ආර්ථික සංවර්ධනය, යහපාලනය, සමාජ සාධාරණත්වය සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ යන අංශ හතර සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුතුව ඇත.
මේ සංකල්ප හතර අපේ ඒවා නොවේ. මාලිමාවේ මැතිවරණ ප්‍රකාශයේ තිබූ ඒවාය. ඒ අනුව මේ ආණ්ඩුව තමන් බලය ඉල්ලන පොතේ තිබුණේ මේ කරුණු 4 කරන්නට බලය ඉල්ලන බවය. ඒ අයගේ හිතේ තිබුණේ කුමක්දැයි අප දන්නේ නැත. එහෙත් පොතේ තිබුණේ මේ කාරණාය. මේ පොරොන්දු ය.
විශේෂයෙන්ම ආර්ථික වර්ධනය පිළිබඳව ඔවුන්ගේ පොරොන්දුව වූයේ නිෂ්පාදන ආර්ථිකයක් සහ ආර්ථික ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනසක් කියාය. ඒත් මේ වනවිට රටට පැහැදිලි වී තිබෙන්නේ ආර්ථිකයේ කිසිම වෙනසක් මේ ආණ්ඩුව කරන්නේ නැති බවය. තවම යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපාය මාර්ගය දිගේය.
ඒ කිසිවක වෙනසක් කිරීම “ප්‍රායෝගික නොවේ” යැයි ලජ්ජා නැතිව කියන ඇමැතිවරුන් ද පාර්ලිමේන්තුවේ සිටීම ලොකුම විහිළුවක් ය. තමන් බලය ලබා ගැනීම සඳහා කියූ දේ කරන්නට බැරි ප්‍රායෝගික නොවන ඒවා යැයි ඒ අයටම කියන්නට සිදුවීම දේශපාලනයේ දෛවයේ සරදමක් ය.
එක උදාහරණයක් පමණක් ගනිමු. රටේ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස කෙසේ වෙතත් මේ ආණ්ඩුව සහ ජවිපෙ - එන්පීපී දේශපාලනය දිගටම පෙනී සිටියේ රනිල් වික්‍රමසිංහ රජයේ IMF ගිවිසුම රටට නරක ලෙසින් බලපාන එකඟතාවක් බවත් එය ‘යළි සලකා බැලීම’ අනිවාර්ය බවත් ය. ඒ කාරණය පිළිබඳව පාර්ලිමේන්තුවේ කළ සියලුම මැදිහත්වීම් තුළ වත්මන් ජනාධිපතිවරයාම ඒ ගැන ඔහුගේ වචනයෙන් ම කියූ වාර විශාල සංඛ්‍යාවක් ඇත. ඒ ගිවිසුම ප්‍රකාරව වික්‍රමසිංහ ආණ්ඩුව ගෙනා සියලුම අණ පනත්වලට ජවිපෙ ජන්දය දුන්නේ විරුද්ධවය. එය නිවැරැදි බව මගේත් අදහසය. එහෙත් තමන් බලයට පැමිණි විගස ඒ කිසිවක් මතකයේ නැති ගානට වැඩ කරන්නේ එක්කෝ දේශපාලන අවස්ථාවාදීකම නිසාය. නැත්නම් අන්තිම මජර බල කෑදරකම නිසාය.
IMF ගිවිසුම ගැන තමනට කිසිදු විවේචනයක් නැත්නම් සහ වික්‍රමසිංහ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධව කිසිවක් කිරීම “ප්‍රායෝගික නැත්නම්” ඒ ආණ්ඩුවේ ආර්ථික වැඩසටහනට විරුද්ධව කතා කළේ අහවල් එකකටදැයි ඇසීම නිවැරැදිය. මේවාට ඉංග්‍රීසියෙන් කියන්නේ hypocrisy කියාය. ඒ කියන්නේ දේශපාලන පාවාදීම් කියාය.
තමන්ටම බියවීමේ මානසිකත්වය
මෙම ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය විමසන විට පෙනී යන තවත් ලක්ෂණයක් වන්නේ, තමන් බලයට පැමිණීමට පෙර කළ ප්‍රකාශ තමන්ට විරුද්ධව ඉදිරිපත් වේ යැයි බියවීමය. විපක්ෂයේ සිටි කාලයේ දී, මෙම කණ්ඩායම අනෙක් ආණ්ඩු පිළිබඳව ඉතා තීක්ෂණ විවේචන ඉදිරිපත් කළේය. ඒ විවේචන සරලව, ජනතාවට පැහැදිලිව හා තීක්ෂණව ඉදිරිපත් කළ බැවින්, ඒවා ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැගීමට හේතු විය. එහෙත්, අද තත්වය වෙනස්ය. තමන්ගේ පාලනය ක්‍රියාත්මක වෙන්නේ තමන්ම කියූ සමහර මූලික කරුණුවලට එරෙහිවය. “ජනතාවට නැති කිසිවක් මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට දෙන්නේ නැතැයි කියා ඇල්ටෝ මෝටර් රියෙන් ගිය පුද්ගලයා ඇමැතිවරයකු වී ගමන් කරන්නේ වී-8 ජීප් රථයේය. එක්කෝ ඔහු තමන්ගේ ම ස්ථාවරයට එරෙහිවී ඇත. නැත්නම් ජනතාව වී- 8 ජීප් රථවල යන තරමට රට දියුණුවී ඇත.
මේ තත්වය තුළ තමන්ගේ මුලින් කියූ විවේචනයම තමන්ට විරුද්ධව යොදාගත හැකි බව පිළිබඳව ඇති බිය, පාලනයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියටම බලපාන බව මේ වන විට පෙනී යමින් තිබේ. තීරණයක් ගන්නා සෑම අවස්ථාවකම, “අපි කලින් කී දේට මෙය විරුද්ධ ද?” යන ප්‍රශ්නය මුලින්ම ඉදිරිපත් වන බව පෙනේ.
තමන්ට වැඩ බැරි බව පෙනී යාමේ බිය
මෙම ආණ්ඩුවේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ, තමන්ට වැඩ බැරි බව පෙනී යාමෙන් වැළැක්වීමට කරන උත්සාහයයි. මෙය ප්‍රතිපත්තිමය සාර්ථකත්වයකට වඩා, දෘශ්‍යමය සාර්ථකත්වයක් නිර්මාණය කිරීමේ උත්සාහ කරන්නේ ඒ නිසාය. මේ ආණ්ඩුව බලයට ගෙන ආ බොහෝ අය මුල දී කීවේ නිදහසින් පසු කාලයේ ආ ‘වැඩ්ඩන්ගේම’ ආණ්ඩුව මේක බවය. ඔවුන් කොතරම් වැඩකාරයන්දැයි පෙන්වීමට කියු කතා පුදුම තරමේ ඒවාය.
එක් අවස්ථාවක ඔවුන් කීවේ තමන්ගේ කණ්ඩායම තුළ “කෙසෙල් ගෙඩියේ නැට්ට ශක්තිමත් කරන්නට” තරම් තාක්ෂණික අලුත්වීමක් ඒ ආණ්ඩුව සමග බලයට එන “වැඩකාරයන්ට” තිබෙන බවය. එහෙත් අද වන විට පෙනෙන්නේ අලුතින් කෙසෙල් පැළයක්වත් සිටුවන්නට දැනීමක් ඔවුන්ට නැති ගානය. තවත් අවස්ථාවක ඔවුන් කීවේ ‘‘මූදේ මාළු අල්ලන අයට මාළු සිටින තැන් පෙන්වන ආකාරයේ ඇප් එකක් හදන්නට තරම් වැඩකාරයන්” මේ ආණ්ඩු බලයත් සමගින් වැඩට බහින බවය. එහෙත් එහෙම එකක් තියා යන්තම් බෝට්ටුවෙන් මුදු ගොස් මාළු අල්ලන ධීවරයන්ට භූමිතෙල් ටිකක් ගන්නටවත් බැරි තත්වයකට පත් කළා මිස හැදූ ඇප් එකක් නැත.
තමන්ට වැඩ බැරි බව නොපෙනෙන පරිදි වැඩ කරන්නට ෆේක් සමාජ මාධ්‍යකාරයන් රාශියක හරහා පෙන්වන බොරු කයිවාරුවක් සහ විරුද්ධවාදීන්ට අපහාස කිරීමේ ව්‍යාපෘතියෙන් තොරව කරන්නට වෙන දෙයක් නැති තැනට මේ තත්වය පත්වී හමාරය.
ප්‍රතිපත්ති ප්‍රකාශනය හමස් පෙට්ටියට?
මෙම ආණ්ඩුව බලයට පැමිණියේ විශාල ප්‍රතිපත්තිමය පොරොන්දු සහිත ප්‍රතිපත්ති ප්‍රකාශනය මතය. එය ජනතාවට බලාපොරොත්තුවක් ලබා දුන්නේ, රටේ ප්‍රධාන ගැටලු සඳහා නව විසඳුම් ලබාදෙන පාලනයක් ලෙසය. එහෙත්, වසර එකහමාරක් ගතවී ඇති අවස්ථාවක, එම පොරොන්දු සහ අද දක්නට ලැබෙන ක්‍රියා අතර පැහැදිලි පරතරයක් පෙනී යයි. මෙම පරතරය හොඳින් අවබෝධ කර ගැනීමට, ප්‍රතිපත්ති ප්රකාශනයේ ප්‍රධාන අංශ හතර වෙන වෙනම විමසා බැලීම වැදගත්ය.
නිෂ්පාදන ආර්ථිකය
මෙම ආණ්ඩුව බලයට පැමිණියේ ආර්ථික සංවර්ධනය ප්‍රධාන අරමුණක් ලෙස ඉදිරිපත් කරමිනි. නව ආයෝජන ආකර්ෂණය, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම, රැකියා නිර්මාණය සහ ජනතාවගේ ජීවන වියදම් අඩු කිරීම වැනි පොරොන්දු එහි මූලික කොටස් විය.
එහෙත් අද දක්නට ලැබෙන්නේ, මෙම පොරොන්දු ප්‍රායෝගිකව ඉටු වී ඇති බවක් නොවේ. ජීවන වියදම් තවමත් ජනතාවට බරක් වී ඇතිවා පමණක් නොව මහ බැංකුව කියන ආකාරයෙන් උද්ධමනය පාලනයවීමක් රටේ පෙනෙන්නේ ද නැත. කිසිදු ආකාරයක ආදායම් වර්ධනයක් නොමැති අතර මිල ගණන් දිනපතා ඉහළ මට්ටමක ගමන් කරමින් තිබේ. මෙය සරලව කියන්නේ නම්, ජනතාවගේ දිනපතා ජීවිතයේ ආර්ථිකය වෙනස් වී නැතුවා පමණක් නොව තවත් සංකීර්ණ වී ඇති බවයි.
විදේශීය ආයෝජන සම්බන්ධයෙන් ද එම තත්වය පවතී. ආයෝජකයන්ට අවශ්‍ය වන්නේ ස්ථාවර ප්‍රතිපත්ති පරිසරයක් සහ විශ්වාසදායක පාලනයකි. එහෙත්, ප්‍රතිපත්ති වෙනස්වීමේ වේගය සහ පාලන අස්ථිරත්වය, එවැනි ආයෝජන ආකර්ෂණයට බාධාවක් වී ඇත. “නිෂ්පාදන ආර්ථිකයක්” ගැන කතා කළ ද, ඒ සඳහා අවශ්‍ය ව්‍යුහමය ප්‍රතිසංස්කරණයක් සිදු වී නැත. ඒ නිසා, ආර්ථික සංවර්ධනය තවමත් වාද මට්ටමින් පවතින අතර, ජනතාවට දැනෙන යථාර්ථයක් බවට පත්වී නැත.
ආණ්ඩුකරණය
යහපාලනය හෙවත් යහපත් ආණ්ඩුකරණය මෙම ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන වාදය විය. දූෂණ විරෝධය, පාරදෘශ්‍යතාව සහ නීතියේ ආධිපත්‍යය ගැන විශාල ලෙස කතා කළේය. ජනතාවට එය බලාපොරොත්තුවක් විය. එහෙත් අද තත්වය බලන විට එම වාදය සහ පාලන ක්‍රියාවලිය අතර තිබෙන්නේ බරපතළ පරතරයකි. ගල් අගුරු වංචාව ආණ්ඩුවේ යහපත් ආණ්ඩුකරණ සායම හෝදා දමා ඇත. ඒ සිදුවීම දූෂණයක් බවට මේ වන විට ආණ්ඩුවේ ඇමැතිවරුන් කියන දේවල්වලින්ම පෙන්නුම් කරමින් තිබේ. එක් ඇමතිවරයකු කීවේ ගල් අඟුරු බාල බව ඇත්තක් බවත් ඒ සඳහා යම් දඩයක් ගසා ඇති බවත්ය. මේ මොහොතේ ඒ කොම්පැනිය තරහ කර ගත්තොත් ඉතිරි ගල් අඟුරු ටිකවත් ගොඩබා ගන්නට නොහැකි වන බැවින් ඔහොමම යා යුතු බවත් ඔහු කීය. මේ කියන්නේ පුදුම කතාවකි. රජයේ නීතියට අනුව යම් මිල දී ගැනීමක් හරහා දූෂණයක් තිබෙන බව දැන ගැනීමෙන් පසුව “කොම්පැනිය තරහ වන නිසා කිසිවක් නොකර සිටිය” නොහැකිය. අලුත් දූෂණ විරෝධි නීතියට අනුව එය බරපතළ විෂමාචාරයකි.
එසේම ආණ්ඩුව ගන්නා සමහර තීරණවල පාරදෘශ්‍යතාව පිළිබඳව ද එම ප්‍රශ්නය ඇත. තීරණ ගන්නා ආකාරය, එම තීරණවල පදනම සහ ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ජනතාවට පැහැදිලි අවබෝධයක් නොලැබේ.
සමාජ සාධාරණත්වය
මෙම ආණ්ඩුව සමාජ සාධාරණත්වය ගැන විශාල ලෙස කතා කළේය. සමාජ අසමානතාව අඩු කිරීම, දුප්පත් ජනතාව ආරක්ෂා කිරීම සහ අවස්ථා සමානතාව ලබා දීම වැනි අදහස් ඒ තුළ තිබුණි. එහෙත් අද තත්වය බලන විට, එම අරමුණු සීමිත ප්‍රමාණයකින්වත් ඉටුවී ඇති බවක් පෙනෙන්නේ නැත. ආදායම් පරතරය බරපතළය. සමාජ ආරක්ෂණ ක්‍රම දුර්වලය. අවස්ථා සමානතාව සම්බන්ධයෙන් සැලකිය යුතු කිසිදු වෙනසක් සිදුවී නැත.
රාජ්‍ය ප්‍රතිසංස්කරණ
රාජ්‍ය ප්‍රතිසංස්කරණය විෂය මෙම ආණ්ඩුව වැඩියෙන්ම කතා කළ කාරණයක් විය. රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය, කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ වියදම් අඩු කිරීම වැනි අරමුණු ඔවුහු විවිධ විච්චූර්ණ හරහා ඉදිරිපත් කළහ. එහෙත් අද තත්වය බලන විට, මෙම අංශය සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් පෙන්වන්නේ නැත. රාජ්‍ය යන්ත්‍රණය එම තත්වයෙන් පවතී. කාර්යක්ෂමතාව වැඩි වී ඇති බවක් නොපෙනේ. ව්‍යුහමය ප්‍රතිසංස්කරණයක් ආරම්භ වී ඇති බවක් දක්නට නැත. විශේෂයෙන්ම සමහර රාජ්‍ය ව්‍යවසාය (ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි) ලාබ ලබන තැනට ගේනවා වැනි ප්‍රකාශ මිස ඒවායේ කිසිදු ප්‍රගතියක් නැත.
වසර එකහමාරක් යනු පාලනයක් සම්පූර්ණයෙන්ම විනිශ්චය කිරීමට ප්‍රමාණවත් කාලයක් නොවිය හැකිය. එහෙත් එය අනතුරු ඇඟවීමක් ලෙස සලකන්නට ප්‍රමාණවත් කාලයකි. මෙම අනතුරු ඇඟවීම ගණන් ගන්නේද? නැද්ද? යන්න මත, මෙම ආණ්ඩුවේ අනාගතය තීරණය වේ.
එබැවින්, අද අප ඉදිරියේ ඇති ප්‍රශ්නය තවමත් එලෙසම පවතී. ආණ්ඩුව ෆේල් වෙලාද? නැතහොත්, ෆේල් වෙන්න යන පාලනයක්ද? ඒ පිළිතුර දේශපාලන වේදිකාවල නොව, ජනතාවගේ විනිශ්චය තුළ ලියවෙන එකක් වනු ඇත.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd