ලෝක බැංකු වාර්තාවලට අනුව මෙරට ජනගහනයෙන් තුනෙන් එකකට ප්‍රමාණවත් ආහාර වේලක් නොලැබේ. මීට බලපා ඇති ප්‍රධාන සාර්ව ආර්ථික සාධක වන්නේ අධික ආහාර උද්ධමනය, ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහත වැටීම සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමයි.

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වුව ද, වර්තමානය වනවිට පවතින ප්‍රධානතම ගැටලු‍ව වන්නේ සම්පත් තිබියදීත් මිනිසුන් වගාවට යොමු නොවීමයි. වර්තමාන අධ්‍යාපන ක්‍රමය සහ මවුපියන්ගේ අපේක්ෂා දරුවන් රොබෝවරුන් බවට පත් කරමින් වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් වැනි වෘත්තීන් වෙතම පමණක් යොමුකර ඇති අතර, කෘෂිකර්මාන්තයට ඇති උනන්දුව සහ සමාජයීය වගකීම ගිලිහී ගොස් ඇත.

ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගමන් කිරීම සඳහා රජයේ ප්‍රතිපත්ති සහ පාසල් පද්ධතිය මුලින්ම ප්‍රතිසංස්කරණය කළ යුතුය. අපේ රට ඕනෑම බෝගයක් වැවීමට සුදුසු සශ්‍රීක භූමියක් වුව ද, අපි එම ස්වාභාවික සම්පත්වලින් ප්‍රයෝජන නොගෙන “නිධානයක් උඩ හිඟා කන”‍ තත්වයකට පත්ව සිටිමු. ග්‍රාමීය මට්ටමින් ග්‍රාම නිලධාරීන් සහ ග්‍රාම සංවර්ධන සමිති ඒකාබද්ධ කර වගා සංග්‍රාමයක් ආරම්භ කිරීම අත්‍යවශ්‍ය වේ. එසේම, ජනතාව ක්ෂණික ආහාරවලට හුරුවීම නිසා දේශීය ගොවියාට හිමිවිය යුතු අගය සහ වෙළෙඳපොළ අහිමි වී ඇත. එබැවින් දේශීය ආහාර සංස්කෘතියක් ගොඩනැගීමෙන් ගොවියා ශක්තිමත් කරමින් රට ආර්ථික වශයෙන් ස්වාධීන කිරීම කාලීන අවශ්‍යතාවකි.

මහජනතාව රජයට බදු මුදල් ගෙවන්නේ ‘අස්වැසුම‘ වැනි සහනාධාර බෙදා දීමට පමණක් නොව, රටේ සැබෑ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සඳහාය. වර්තමානය වන විට රටේ පවතින සාම්ප්‍රදායයික සුබසාධන සංකල්පයෙන් ක්‍රමයෙන් ඉවත් වී නිෂ්පාදන ආර්ථිකයක් කරා යොමුවිය යුතුය. ඒ වෙනුවට කළ යුත්තේ කර්මාන්තශාලා පිහිටුවීමයි. කර්මාන්තශාලා ඇති කිරීමෙන් ජනතාවට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් හිමිවන අතර, එය අංශ කිහිපයකින්ම රටේ ආර්ථික සංවර්ධනයට දායක වේ.

රජයක සුබසාධනය හිමිවිය යුත්තේ සැබෑ ලෙසම අසරණ වූ රෝගීන්, ආබාධිත පුද්ගලයන් සහ වැඩිහිටියන් වැනි විශේෂ අවධානයක් අවශ්‍ය පිරිස් වෙත පමණි. එසේ නොමැතිව ශක්තිමත් තරුණ පරම්පරාවට සහනාධාර ලෙස මුදල් ලබා දීම අනවශ්‍ය ක්‍රියාවකි. එවැනි සහනාධාර පිටුපස බොහෝ විට ඇත්තේ යටි පෙළ දේශපාලන අරමුණු වන අතර, මෙහි සැබෑ බර පටවනු ලබන්නේ බදු ගෙවන මධ්‍යම පාන්තික ජනතාව මතය.

අතීත රජවරුන් වැව් අමුණු ඉදි කරමින් කෘෂිකාර්මික යටිතල පහසුකම් දියුණු කළ නිසා ශ්‍රී ලංකාව ‘පෙරදිග ධාන්‍යාගාරය’ ලෙස විරුදාවලිය ලැබීය. වත්මන් රජයක් විසින් ද කරනු ලැබිය යුත්තේ ජනතාවට නිකරුණේ මුදල් බෙදා දීම වෙනුවට, කෘෂිකර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දී ජනතාව නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීමයි.

ලෝක බැංකු වාර්තා අනුව ඉදිරි වසර දහයේ දී උග්‍ර රැකියා අර්බුදයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කරයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ අප මෙතෙක් කළේ සහතිකපත්‍රධාරීන් ලෝකයට යොමු කිරීම පමණක් වුව ද, වෘත්තීයමය හැකියාව දියුණු කිරීමට ප්‍රමුඛතාවක් නොදීම විශාල අඩුවකි. වර්තමානය වන විට වඩු වැඩ, විදුලි කාර්මික ශිල්පය සහ පෙදරේරු ශිල්පය වැනි අත්‍යවශ්‍ය වෘත්තීය ක්ෂේත්‍ර සඳහා දක්ෂ ශිල්පීන්ගේ දැඩි හිඟයක් පවතී. අතීතයේ දී පාසල් විෂය මාලාව තුළ මෙවැනි ප්‍රායෝගික වෘත්තීන් හඳුන්වා දී තිබූ බැවින්, සිසුන්ට තම දක්ෂතාව අනුව කැමැති වෘත්තියක් තෝරා ගැනීමට අවස්ථාව තිබුණි. එහෙත් අද වන විට බොහෝ මවුපියන් තම දරුවන්ගේ සහජ හැකියාව නොසලකා ඔවුන් වෛද්‍යවරුන් හෝ ඉංජිනේරුවන් කිරීමට දරන උත්සාහය නිසා දරුවෝ දැඩි පීඩනයකට ලක්ව සිටිති.

රටේ පවතින සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශ ලෝකයේ නව ප්‍රවණතාවලට ගැලපෙන පරිදි වහා වෙනස් විය යුතුය. සිසුන්ට ශාස්ත්‍රීය දැනුම පමණක් ලබාදීම ප්‍රමාණවත් නොවන අතර, විභාගවලින් පසුබෑමට ලක්වන දරුවන් ඍජුවම වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය. අද බොහෝ තරුණ තරුණියන් ආරම්භයේදීම ‘ටයි පටියක්’ පැලඳ සුඛෝපභෝගී රැකියා අපේක්ෂා කළ ද, වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට නම් ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ මූලික සුදුසුකම් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. මහජන බදු මුදල් සහනාධාර ලෙස නිකරුණේ බෙදා නොදී, රටේ ආර්ථික සංවර්ධනයට සහ වෘත්තීය පුහුණු යටිතල පහසුකම් දියුණු කිරීමට යොමු කරන්නේ නම්, රටට අවශ්‍ය නිපුණතා පූර්ණ ශ්‍රම බළකායක් බිහි කර රැකියා හිඟයට තිරසාර විසඳුම් ලබා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ විදුලි බිල්පත ආසියාවේ ඉහළම විදුලි බිල්පත් අතර පවතින බවට ලෝක බැංකු වාර්තා පවසයි. වර්තමානයේ පවතින අධික විදුලි ගාස්තු ඉහළ යාමට ප්‍රධානතම හේතුව වන්නේ විදුලිය උත්පාදනය සඳහා ගල් අඟු‍රු සහ ඩීසල් වැනි ඉන්ධන මත පදනම් වීමයි. මේ සඳහා වන නිෂ්පාදන පිරිවැය ඉතා ඉහළ මට්ටමක පවතින බැවින්, බලශක්ති අමාත්‍යාංශය නවීන ක්‍රමවේද සහ පර්‌යේෂණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන්ම නිවෙස් සඳහා සූර්ය පැනල සවි කිරීමේ දී සහනදායී ණය ක්‍රමයක් හඳුන්වාදීම ඉතා කාලෝචිත විකල්පයකි. එමගින් ජනතාවට තමන්ට අවශ්‍ය විදුලිය නිපදවා ගැනීමට අමතරව, එහි අතිරික්තය විදුලිබල මණ්ඩලයට ලබාදීමෙන් ජාතික පද්ධතිය ශක්තිමත් කිරීමට ද අවස්ථාව හිමි වේ.

මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘති නිවෙස්වලට පමණක් සීමා නොකර පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු පොදු ස්ථාන කරා ද ව්‍යාප්ත කළ යුතුය. එවැනි විශාල ගොඩනැගිලි මගින් ජාතික අවශ්‍යතාවට සෑහෙන විශාල විදුලි ඒකක ප්‍රමාණයක් උත්පාදනය කළ හැකිය. සූර්ය බලයට අමතරව අනෙකුත් ස්වාභාවික ප්‍රභව කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත් වේ. උදාහරණයක් ලෙස, සිංගප්පූරුව වැනි රටවල් මුහුදු රළ භාවිතයෙන් සාර්ථකව විදුලිය නිපදවයි. රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පවා මුහුදු රළ මගින් විදුලිය නිපදවීමේ ක්‍රමවේද පිළිබඳව පර්‌යේෂණ කර සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇතත්, ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමක් තවමත් දක්නට නැත. මෙවැනි බලශක්ති මූලාශ්‍ර හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම බලශක්ති අමාත්‍යාංශයේ මූලික වගකීමකි.

විදුලි බිල ඉහළ යාම යනු හුදෙක් ගෘහස්ථ ප්‍රශ්නයක් පමණක් නොව, එය මුළු මහත් ආර්ථිකයටම බලපාන දරුණු ගැටලු‍වකි. විදුලි ගාස්තු වැඩි වන විට කුඩා පරිමාණ මෙන්ම මහා පරිමාණ කර්මාන්තවල නිෂ්පාදන පිරිවැය ද ඉහළ යයි. මෙලෙස නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් දේශීය භාණ්ඩවල මිල ඉහළ යන අතර, පාරිභෝගිකයාට විශාල මූල්‍යමය බරක් පැටවේ. එමෙන්ම, ලෝක වෙළෙඳපොළට භාණ්ඩ අපනයනය කිරීමේ දී අධික මිලක් නියම කිරීමට සිදුවන බැවින්, අපේ භාණ්ඩවල ජාත්‍යන්තර තරගකාරීත්වය පහත වැටේ. අවසානයේදී භාණ්ඩ අපනයනය කරගැනීමට නොහැකිවීමෙන් සමස්ත ජාතික ආර්ථිකයම දැඩි පසුබෑමකට ලක් වේ. එබැවින් විදුලි උත්පාදන පිරිවැය අඩු කරගතහොත්, කර්මාන්ත දියුණු වී රටේ ආර්ථිකය වඩාත් සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇත.

රජයේ හෝ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල හෝ සංඛ්‍යාලේඛනවලට අනුව දරිද්‍රතාව යම් ප්‍රමාණයකින් අඩු වී ඇති බව පෙනෙන්නට තිබුණත්, සාමාන්‍ය ජනතාවට එහි සහනය ප්‍රායෝගිකව නොදැනීමට ප්‍රධාන හේතුවක් වන්නේ සාපේක්ෂ දරිද්‍රතාව සහ ජීවන වියදම අතර ඇති නොගැලපීමයි. සංඛ්‍යාලේඛන මගින් මනිනු ලබන දරිද්‍රතා රේඛාවට වඩා වැඩි ආදායමක් ලබන පිරිස් පවා, සෞඛ්‍ය, අධ්‍යාපන සහ ප්‍රවාහන වියදම් හමුවේ දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටිති.

දරිද්‍රතාව සියයට 9 වැනි අඩු මට්ටමකට ගෙන ඒම සැබෑ සංවර්ධනයේ සලකුණක් වුව ද, ක්ෂේත්‍රයේ පවතින ප්‍රායෝගික තත්වය ඊට වඩා වෙනස් වීමට ආදායම් අසමානතාව බෙහෙවින් බලපායි. රටේ සමස්ත ආදායමෙන් වැඩි කොටසක් සුළු පිරිසක් අතර සංකේන්ද්‍රණය වී තිබීම නිසා, සාමාන්‍ය දර්ශකවලින් දිළිඳුකම අඩු වී ඇති බව පෙන්වුව ද බහුතර ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම තවමත් අසීරු වී ඇත. විශේෂයෙන්ම ග්‍රාමීය හා වතු අංශවල ජනතාව තවමත් මන්දපෝෂණය සහ අවම පහසුකම් යටතේ ජීවත් වන අතර, ඔවුහු සංඛ්‍යාලේඛන දත්තවලින් ඔබ්බට ගිය මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටිති.

මීට අමතරව, තිරසාර රැකියා අවස්ථා නොමැතිකම සහ පවතින රැකියාවලින් ලැබෙන වැටුප් අවම වීම මෙම තත්වය තවදුරටත් සංකීර්ණ කරයි. සංඛ්‍යාලේඛනවලින් දිළිඳු නොවන බව පෙන්නුම් කරන බොහෝ පිරිස් පවා හදිසි රෝගාබාධයක දී හෝ ආර්ථික කඩාවැටීමක දී ඉතා පහසුවෙන් නැවත දිළිඳුභාවයට ඇදවැටීමේ අවදානමක පසුවෙති. එබැවින්, සංඛ්‍යාලේඛන මගින් පෙන්වන දත්ත ප්‍රායෝගික ජයග්‍රහණයක් වීමට නම්, එමගින් ජනතාවගේ සැබෑ ජීවන තත්වය උසස් වීම, පෝෂණ මට්ටම ඉහළ යාම සහ සමාජ ආරක්ෂණය තහවුරු වීම අත්‍යවශ්‍ය කරුණකි.

ආර්ථික ස්ථායීකරණය තිරසාර එකක් බවට පත් කර ගැනීමට නම්, රජය මීළඟට මූලික වශයෙන් අවධානය යොමු කළ යුත්තේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම කෙරෙහිය. එහිදී කෘෂිකාර්මික නවීකරණය සහ කාර්මික සංවර්ධනය ප්‍රමුඛස්ථානයක් ගත යුතුය. සාම්ප්‍රදායයික ක්‍රමවලින් ඔබ්බට ගොස් නවීන තාක්ෂණය භාවිත කරමින් කෘෂිකර්මාන්තය දියුණු කිරීම සහ දේශීය කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම හරහා විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත්, නව අපනයන අවස්ථා උදා කර ගැනීමටත් හැකි වේ. විශේෂයෙන්ම බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස සූර්ය බලශක්තියට අමතරව න්‍යෂ්ටික බලාගාර වැනි නවීන බලශක්ති ප්‍රභව පිළිබඳව අවධානය යොමු කිරීම රටේ අනාගත බලශක්ති ස්වෛරීභාවය වෙනුවෙන් කරන ඉතා වටිනා ආයෝජනයකි.

බදු ප්‍රතිපත්ති සහ රාජ්‍ය වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් ද දැඩි ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. බදු මුදල් හුදෙක් පරිභෝජනය හෝ සහනාධාර වැනි සුබසාධන කටයුතු සඳහාම පමණක් වැය නොකර, ඒවා ඵලදායී සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කළ යුතුය. සීමිත පිරිසකට පමණක් ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේද වෙනුවට බහුතර ජනතාවගේ ජීවන තත්වය උසස් කෙරෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් දරිද්‍රතාව පිටුදැකීමට සැබෑ පදනමක් සකස් වේ. මෙහිදී ප්‍රතිපත්ති සම්පාදනයට වඩා ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වීමේ පවතින දුර්වලතා මගහරවා ගැනීම රජය සතු විශාලතම අභියෝගයයි.

දිළිඳුකම තුරන් කිරීමේ වඩාත් සාර්ථකම ක්‍රමය වන්නේ ජනතාවට සහනාධාර ලබාදීම නොව, ඔවුන්ට ස්ථාවර රැකියා අවස්ථා උදා කර දීමය. රැකියා නියුක්තිය ඉහළයාමෙන් ජනතාවගේ ආදායම් මට්ටම ස්ථාවර වන අතර, එවිට භාණ්ඩ මිල ඉහළ ගිය ද ඒවා දරා ගැනීමට හැකි මූල්‍ය ශක්තියක් ජනතාවට ස්වාභාවිකවම නිර්මාණය වේ. එබැවින් සහනාධාර මත යැපෙන සමාජයක් වෙනුවට තමන්ගේ ශ්‍රමයෙන් උපයා ගන්නා ආර්ථිකයක් ගොඩනැගීමෙන් ලෝක බැංකුව පවසන ස්ථායීකරණය සැබෑ අර්ථයෙන්ම ජනතාවට සමීප කළ හැකිය.

(*** සටහන - ශෂිකා අබේරත්න)