ප්‍රශ්නය සෘජුය. එහෙත් මහජන කතිකාව තුළ මතු වන ගැඹුරු කනස්සල්ල වන්නේ දූෂණ විරෝධය මත පදනම් වූ ජාතික ජන බලවේගය (NPP), තමන් විසින් ම ප්‍රතිස්ථාපනය කිරීමට ආ පරණ දේශපාලන ක්‍රමය බවටම පත්වේ ද යන්නයි. එනම් රජය කෙරෙහි වූ මහජන විශ්වාසය පළුදු වී ඇත්ද යන්නයි.
ජාතික ජන බලවේග ජයග්‍රහණයේ හදවත වූයේ මහජන විශ්වාසයයි. එනම් විනය ගරුක හා වගකීම් සහගත පාලනයක් පිළිබඳ බලාපොරොත්තුවයි. දූෂණය හා අවභාවිතය සාමාන්‍යකරණය වූ යුගයක සිටි ජනතාවට මෙය හුදු වියුක්ත අදහසක් නොවූවකි. වසර එකහමාරක ධුර කාලයකින් පසු රජය එම විශ්වාසයේ පළමු පරීක්ෂණයට මුහුණ දී සිටී. ගල් අඟුරු මතභේදය හමුවේ විමසීමට වඩා නිගමනවලට එළැඹීමේ රටාවක් පෙනුණ ද, බලශක්ති ප්‍රසම්පාදනය වැනි සංකීර්ණ අංශ සරලව විග්‍රහ කළ නොහැකිය. සෑම මතභේදාත්මක ප්‍රතිඵලයක්ම හිතාමතා කළ දූෂණයක් නොවන අතර, ඇතැම් ඒවා ප්‍රමාද වූ ක්‍රියාවලින් සහ උරුම වූ ආයතනික දුර්වලතාවල ප්‍රතිඵලයකි.
වර්තමාන ගල් අඟුරු ප්‍රශ්නය සැලකීමේ දී වඩාත් වැදගත් වන්නේ තීරණය හැඩ ගැස්වූ වටපිටාවයි. පද්ධති අතීත තීරණවල බර උසුලන අතර, ප්‍රසම්පාදන කාලසීමා හා සම්බන්ධීකරණය බිඳ වැටෙන විට විකල්ප පරාසය දැඩි ලෙස සීමා වේ. ප්‍රතිඵලය හැඩ ගැසෙන්නේ ප්‍රතිපත්තියෙන් නොව, ක්‍රියාවලියේ මුල් අවධියේ මතු වූ තත්ව මගිනි. මෙය හුදු පරිපාලනමය අසාර්ථකත්වයක් ද, නැතිනම් පටිපාටිගත අවදානම් සමුච්චය වීමට ඉඩ හැරීමක් ද? මෙය අනිවාර්යයෙන්ම විමර්ශනයට ලක් කළ යුත්තකි. නීතිමය කාලසීමා සහ තාක්ෂණික අවශ්‍යතා අනුපිළිවෙළින් සපුරා නොගන්නා විට, ක්‍රමයෙන් පද්ධතිය තල්ලු වන්නේ අර්බුදකාරී ප්‍රතිඵල වළක්වා ගැනීම දුෂ්කර වන තත්වයකටය. එවැනි තත්ව යටතේ යහපත් අභිලාෂ සහිත පුද්ගලයන්ට පවා සිදු වන්නේ හානිය අවම වන ක්‍රියා මාර්ග තෝරා ගැනීමටයි.
සැබෑ දේශපාලන සටන
මෙහි ක්‍රියාත්මක වන්නේ ගැඹුරු දේශපාලන ගතිකත්වයකි. බලය සොයන්නන්ගේ උපාය මාර්ගය වන්නේ ප්‍රතිපත්තිමය තරගයකට වඩා, NPP යනු තවත් එක් ‘‘සාම්ප්‍රදායයික දූෂිත දේශපාලන කණ්ඩායමක්” ලෙස හුවා දැක්වීමයි. එවැනි ආකල්පයක් ජනතාව තුළ තහවුරු වූ පසු, සැබෑ කරුණු කෙබඳු වුවත්, මහජන විශ්වාසය රඳා පවතින එම සුවිශේෂ වෙනස ක්‍රමයෙන් දියවී යාමට පටන් ගනී. NPP සෙසු පාර්ශවවලින් වෙනස් වන්නේ එහි මුල් පදනම හුදු ගනුදෙනු මත පදනම් වූවක් නොව, ඓතිහාසික හා මතවාදී එකක් බැවිනි. මෙම ව්‍යාපාරය බිහිවන්නේ දීර්ඝකාලීන මර්දනයට ඔරොත්තු දුන්, දහස් සංඛ්‍යාත ජීවිත පරිත්‍යාගයට සාක්ෂි දැරූ සහ පද්ධතිමය පරිවර්තනයක් පිළිබඳ දිගුකාලීන දැක්මක් පවත්වාගෙන ගිය දේශපාලන සම්ප්‍රදායයකිනි.
පරිත්‍යාග හා මර්දනය මැද ආ මෙම ගමන, දූෂණය සාමාන්‍යකරණය නොවූ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ඇත. එවැනි සංස්කෘතියක දූෂණය පිළිබඳ අදහස පවා අභ්‍යන්තර ආතතියක් මතු කරයි. මෙහි ඇත්තේ ආයතනික අවදානමකට වඩා සදාචාරාත්මක අවදානමකි. එබැවින් අභ්‍යන්තර විනය පවත්වා ගැනීම සඳහා NPP ලබා දී ඇත්තේ අතිශය දැවැන්ත වැදගත්කමකි. මන්දයත්, එය පළුදු වුවහොත් මුලින්ම අහිමි වන්නේ සදාචාරාත්මක විශ්වාසනීයත්වය වන බැවිනි. වත්මන් රජය පවතින්නේ මෙම පදනම මතය. එය 2022 මහජන අරගලයෙන් පසු මහජන චින්තනයේ ඇති වූ ප්‍රබලම වෙනසයි. එතැන් පටන් මහජනතාව මූලිකත්වය දෙන්නේ හුදු දේශපාලන පක්ෂවලට නොව, ප්‍රතිපත්ති රකින සහ ඒ සඳහා කැපවන ව්‍යාපාරවලට පමණි. NPP යනු වර්තමානයේ මහජනතාව එම වගකීම පවරා ඇති දේශපාලන ව්‍යාපාරයයි. ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේගවලට ඇති ප්‍රබලම අභියෝගය මෙය බැවින්, ඔවුන්ගේ ආඛ්‍යාන මගින් දුර්වල කිරීමට උත්සාහ කරන්නේ ද හරියටම මෙම පදනමයි.
පද්ධතියෙන් ලැබෙන සංඥා
දේශපාලන ප්‍රවාදයන්ගෙන් ඔබ්බට පද්ධතියේ සැබෑ වෙනස මැනිය හැකි සංඥා පවතී. ශ්‍රී ලංකා රේගුව 2026 මාර්තු මාසයේ දී ලැබූ රුපියල් බිලියන 226 ක ආදායම මීට හොඳම නිදසුනයි. එය අපේක්ෂිත ඉලක්කය (බිලියන 180) මෙන්ම පෙර වසරේ අගය (බිලියන 147) ද අබිබවා ගිය සියයට 54 ක වර්ධනයකි. මෙය හුදු උච්චාවචනයක් නොව ආදායම් රැස් කිරීමේ ‘ව්‍යුහාත්මක වෙනසකි’.
නීතිය බලාත්මක කිරීම හා භාණ්ඩවල වටිනාකම අඩුවෙන් පෙන්වීම (under-invoicing) වැනි කාන්දු වීම් වැළැක්වීම නිසා බදු අනුපාත වැඩි නොකරම බදු පදනම පුළුල් වී ඇත. මෙහිදී වර්ධනය වන්නේ හුදු ආර්ථික ක්‍රියාකාරීත්වය පමණක් නොව, මීට පෙර පද්ධතියෙන් ගිලිහී ගිය රජයේ ආදායම් යථා තත්වයට පත් කර ගැනීමයි. සැබෑ ප්‍රශ්නය වෙනස පරිපූර්ණ ද යන්න නොව, පද්ධතිය වඩාත් විනය ගරුක, විනිවිද පෙනෙන සහ ආදායම් රැස් කිරීමේ දී වඩාත් ඵලදායී වන බවට ලැබෙන පුළුල් සංඥාවයි.
ප්‍රතිසංස්කරණ සඳහා පවතින ප්‍රතිරෝධය
ප්‍රතිසංස්කරණ හුදු මධ්‍යස්ථ ක්‍රියාවලියක් නොවේ; එය පද්ධතියේ ප්‍රතිලාභ ලබන ආකාරය ප්‍රතිසංවිධානය කරයි. දුර්වල පද්ධතිවලින් වාසි ලැබූ පාර්ශව තමන්ගේ ප්‍රතිලාභ අහිමි වන විට නිෂ්ක්‍රීයව නොසිටින අතර, ඔවුහු නව තත්වයට අනුවර්තනය වෙමින් එම වෙනස්කම්වලට එරෙහිව පෙළ ගැසෙති.
බලශක්ති, සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි ඕනෑම ක්ෂේත්‍රයක ක්‍රියාපටිපාටි දැඩි කිරීමට, පුද්ගල අභිමතය පරිදි තීරණ ගැනීමට ඇති ඉඩකඩ අවම කිරීමට සහ වගවීම ශක්තිමත් කිරීමට ප්‍රතිසංස්කරණ උත්සාහ කරන විට, ඊට සමාන්තර වූ ප්‍රතිරෝධයක් මතුවීම පොදු ලක්ෂණයකි. මෙම ප්‍රතිරෝධය බොහෝ විට සෘජු නොවී සියුම් උපක්‍රම ඔස්සේ ක්‍රියාත්මක වේ. යම් මතවාද වේගයෙන් ප්‍රචාරය කිරීම, සිදුවීම් වරණීය ලෙස තෝරාගැනීම සහ සංකීර්ණ තත්වය සරල ලෙස හංවඩු ගැසීමෙන් සැබෑ කරුණු විමර්ශනයට පෙර මහජන මතය හැඩගැස්වීමට ඔවුහු උත්සාහ කරති.
ගල් අඟුරු සිදුවීම හා ජාතික ආරක්ෂාව
ගල් අඟුරු මිලදී ගැනීම් සිදු කර ඇත්තේ විවෘත ටෙන්ඩර් පටිපාටියක් යටතේ ඉදිරිපත් වූ සමාගම් 26ක් අතුරින් සුදුසුකම් සපුරාලූ සමාගම් 10ක් හරහාය. බාල ගල් අඟුරු පිළිබඳ ගැටලුව මතු වූයේ නැව්ගත කිරීමේ දී ලබා ගත් වාර්තාවලට අමතරව, ගොඩබෑමේ දී ද ප්‍රමිති පරීක්ෂා කර එම වාර්තා සංසන්දනය කිරීමේ නව ක්‍රමවේදය නිසාය. මෙය අතීතයේ බොහෝ විට නැව්ගත කිරීමේ වාර්තා මත පමණක් යැපෙමින් සිදුවූ ක්‍රියාවලියකි. දූෂණයට හෝ අතපසුවීම්වලට ඉඩ නොතබා වාර්තා දෙකෙහි වෙනස අනුව සැපයුම්කරුවන්ට දඩ පැනවීමට ගත් මෙම තීරණය පාලන තන්ත්‍රයේ සිදුවූ ඉතා අගනා පරිවර්තනයකි. එම පාඩුව පාරිභෝගිකයා මත පටවනු වෙනුවට සැපයුම්කරුවන්ගෙන් දඩ ලෙස අය කර ගැනීමට රජය පියවර ගෙන ඇති බැවින් බාල ගල් අඟුරු චෝදනා පදනම් විරහිතය.
එහෙත් ගල් අඟුරු මතභේදය හුදු මූල්‍ය අක්‍රමිකතාවකට වඩා ගැඹුරු ව්‍යුහාත්මක තර්ජනයක් ලෙස හඳුනාගත යුතුය. මෙය හුදු අහම්බයක් නොව, බලශක්ති පද්ධතිය සහ ආර්ථික ස්ථාවරතාවයට සෘජුවම බලපාන ජාතික මට්ටමේ අවදානමකි. ප්‍රසම්පාදන ප්‍රමාදය, පාලන හිඩැස් සහ ආයතනික ඝර්ෂණය එකට එකතු වන විට, එමගින් නිර්මාණය වන ‘අවස්ථා කවුළු’ මගින් අවස්ථාවාදී පාර්ශ්වවලට පද්ධතිය හැසිරවීමට ඉඩ විවර වේ. මෙය හුදු පරිපාලනමය ගැටලුවක් නොව, බලශක්ති පද්ධතිය සහ ආර්ථික ස්ථාවරතාවයට සෘජුවම බලපාන ජාතික මට්ටමේ අවදානමකි.
තීරණාත්මක ආයතනික ප්‍රතිචාරයක්
අතීතයේ පැවැතියේ අමාත්‍යවරුන් බලහත්කාරයෙන් ඉවත් කළ සංස්කෘතියක් මිස, ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වන ප්‍රතිපත්තියක් නොවේ. ස්වාධීන කොමිෂන් සභා නමට පමණක් සීමා වූ, දේශපාලන අධිකාරිය විමර්ශනවලට අත පෙවූ යුගය දැන් අවසන්ය. තම අමාත්‍යාංශයට එරෙහි චෝදනා හමුවේ, විමර්ශනයේ ස්වාධීනත්වය රැක ගැනීම සඳහා බලශක්ති අමාත්‍යවරයා සහ ලේකම්වරයා ධුරවලින් ඉල්ලා අස්වීම, බැඳියාව අතර ගැටුමක් (Conflict of Interest) මග හරවා ගනිමින් දූෂණයට එරෙහි ජනවරමට වගවීම ප්‍රායෝගිකව ප්‍රදර්ශනය කරන ශිෂ්ට සම්පන්න පාලන ප්‍රවණතාවකි. 2009 වසරේ සිට සිදු වූ සියලුම ගල් අඟුරු ආනයන විමර්ශනය කිරීම සඳහා ඉදිරිපත් කළ CID පැමිණිල්ලත්, සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගෙන් (ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ සහ මහාධිකරණ) සමන්විත පූර්ණ බලැති විශේෂ ජනාධිපති කොමිසමක් හරහා, ටෙන්ඩර් රහිත කැබිනට් අනුමැතියෙන් ගනුදෙනු වූ යුගයක සිට, වරදක දී සෘජුවම දඩ පනවන වත්මන් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පරිණාමය රටට හෙළි වනු ඇත. සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත මෙම කොමිසම පත් කිරීම, හුදු දේශපාලන සංදර්ශනයක් නොව, විමර්ශනයේ වෘත්තීය බැරෑරුම්කම සහ ස්වාධීනත්වය සහතික කරන තීරණාත්මක ආයතනික පියවරකි.
2025/2026 ප්‍රසම්පාදන චක්‍රය එහි තීරණාත්මක අවධියට ළඟා වන විට, කාලසීමාව ඒ වන විටත් සංකෝචනය වී, ක්‍රියා පටිපාටි අනුපිළිවෙළ කඩාකප්පල් වී සහ ලබා ගත හැකි විකල්ප පරාසය සැලකිය යුතු ලෙස පටු වී තිබුණි. එවැනි තත්ව යටතේ, තීරණ ගනු ලබන්නේ පරමාදර්ශී රාමුවක් තුළ ඉතා කලාතුරකිනි. ඒ වෙනුවට, එම තීරණ ගනු ලබන්නේ කාලය, සම්බන්ධීකරණය සහ ක්‍රියා පටිපාටි විනය ඒ වන විටත් පළුදු වී ඇති, ක්‍රියාවලියේ මුල් අවධීන් මගින් හැඩ ගස්වන ලද සීමිත වටපිටාව තුළය.
විමර්ශනයක් අත්‍යවශ්‍ය වන්නේ හරියටම මෙතැනදීය. වඩාත් ගැඹුරු, ව්‍යුහාත්මක ප්‍රශ්න මාලාවකට මෙහිදී පිළිතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ:
අවදානම් නිසි ලෙස හඳුනාගෙන ඒවා සන්නිවේදනය කර තිබුණේද?
පුරෝකථනය කළ හැකි ප්‍රතිවිපාක තිබියදීත් ක්‍රියා පටිපාටි කාලසීමා මග හැරීමට ඉඩ ලබා දුන්නේද?
පද්ධතිමය අවදානම ඉහළ යන ආකාරයට ආයතනික බිඳවැටීම් එක පිට එක සිදු වූයේද?
පද්ධතියක් කාලය හරහා විමර්ශනය කරන විට, වගකීම බොහෝ විට හුදෙක් තනි මොහොතක නොව, වසර ගණනාවක් පුරා සමුච්චිත වූ තීරණ, පැහැර හැරීම් සහ ව්‍යුහාත්මක දුර්වලතාවල ප්‍රතිඵලයකි. එබැවින් වැදගත් වන්නේ මුලින්ම දොස් පවරන්නේ කාටද යන්න නොව, සත්‍යයට සම්පූර්ණයෙන්ම මුහුණ දීමට පද්ධතිය සූදානම්ද යන්නයි.
අවසාන ආවර්ජනය
ජාතික ජන බලවේගයේ තිරසාරභාවය රඳා පවතින්නේ චෝදනා නොමැතිවීම මත නොව, දූෂණය පද්ධතිමය වශයෙන් දුෂ්කර සහ දේශපාලනිකව පිළිගත නොහැකි වන පාලන සංස්කෘතියක් ගොඩනැගීම මතය. එම සංස්කෘතිය රැකගතහොත්, ඕනෑම අභියෝගයක් හමුවේ පද්ධතිය තවදුරටත් ශක්තිමත් වනු ඇත. එහෙත් එය පළුදු වුවහොත්, සිදුවන පරිහානිය ක්‍රමානුකූල නොවී ඉතා වේගවත් හා තීරණාත්මක වනු ඇත. අවසාන වශයෙන්, දැනට ප්‍රකාශයට පත් කර ඇති මෙම ස්වාධීන පරීක්ෂණ ද්විත්වය (CID විමර්ශනය සහ ජනාධිපති කොමිසම) මගින් NPPය මහජන විශ්වාසය බිඳ දමා තිබේ ද යන්න පිළිබඳ සත්‍යය රටට හෙළි කරනු ඇත. සැබෑ විශ්වාසය රැකෙන්නේ දූෂණය සැඟවිය නොහැකි තරමට විනිවිද පෙනෙන සහ වගවීම සහතික කරන පද්ධතියකිනි.
(***)
රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය
චන්දික ගුණසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd