සිංහල අලු‍ත් අවුරුද්ද සිංහලයාගේ ප්‍රධානතම ජාතික උළෙල ලෙස පොදුවේ පිළිගැනේ. මෙම පොදුවේ පිළිගැනීම කෙසේ වෙතත් අවුරුද්ද දෙස අප බැලිය යුත්තේ එය ජාතික උළෙලක්ය යන ආකල්පයෙන් පමණක්ද ? අවුරුදු උදාවල අවුරුදු සිරිත් විරිත් ඒ හා බැදුණු යාතු කර්ම මෙන්ම අවුරුද්ද පොදු ජන සමාජයට කර ඇති බලපෑම සියුම්ව පිරික්සීමේ දී අවුරුද්ද ජාතිකත්වය ඉක්මවා ගිය කරුණු රැසකින් පිරුණු උත්සව අවස්ථාවක් ලෙස හඳුනාගත හැකිය.

උත්සව පිළිබඳ කතා කිරීමේ දී ඒවා මූලිකව දෙයාකාරව හඳුනා ගැනීමට සමාජ විද්‍යාඥයෝ උනන්දු වෙති. එනම් ජීවිත ප්‍රතිසංස්කරණ උත්සව සහ සමාජ ප්‍රතිසංස්කරණ උත්සව වශයෙනි. යම් පුද්ගලයකුගේ ජීවිතය හා බැදුණු විශේෂිත සිදුවීම් අනුසාරයෙන් අදාළ පුද්ගලයා සහ ඔහු ජීවත්වන සමාජය දැනුවත් කිරීම ජීවිත ප්‍රතිසංස්කරණ උත්සව මගින් කරනු ලබන අතර සමාජ ප්‍රතිසංස්කරණ උත්සව මුළු මහත් සමාජයම එකම කාලයක මහත් වූ පරිවර්තනීය වෙනසකට බඳුන් කරන උත්සවාකාර අවස්ථා ලෙස හඳුනා ගැනේ. මේ නිසා සිංහල අලු‍ත් අවුරුද්ද සමාජ ප්‍රතිසංස්කරණ උත්සවයක් බව පළමු කොට හඳුනාගත යුතුය.

මෙහි දී සමාජය ප්‍රතිසංස්කරණ වීමක් සිදුවන්නේ කෙසේද ? එතෙක් පැවැති සමාජ ව්‍යුහය, සමාජ ආයතන හා සමාජ සබඳතා අලු‍ත් මුහුණුවරකින් නැවත සකසා ඉදිරිපත් කිරීමට මෙම උළෙලේ ක්‍රියාකාරකම් හේතුවීම මෙහිදී හඳුනාගත හැකිය. බැලූ බැල්මට මෙම අවුරුද්ද දින 365 න් තවත් එක් දවසක් පමණක් වුවත් අප එය සලකන්නේ එයට වඩා සුවිශේෂි අරුතක් සහිතව උදා වූ දිනයක් ලෙස වීම වැදගත්ය. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණෙන දිනය මෙදින බැවින් අලු‍ත් අවුරුද්දේ නිර්මාපකයා සූර්යයා යන මතය අපි සිත්හි දරා ගෙන සිටිමු. එම අදහස පෙරදිග ජන විශ්වාසය ද ප්‍රචලිත වූවකි.

දෙවැනුව මෙම සමාජ ප්‍රතිසංස්කරණය අපට හඳුනා ගත හැක්කේ අවුරුදු උදාව සමග පරිසරයේ ඇතිවන සුවිශේෂි වෙනස්කම් රැසක් අනුසාරයෙනි. අවුරුද්ද යෙදෙන අප්‍රේල් මාසය සිංහලයා හඳුන්වන්නේ භාග්‍යය රැගෙන එන බක් මාසය ලෙසය. අප්‍රේල් මාසය පමණක් භාග්‍යය රැගෙන එන මාසය ලෙස අප හඳුන්වන්නේ ඇයි ? අවුරුද්ද වෙනුවෙන්ම පිපෙන එරබඳු මල්, කොහාගේ ගී හඬ, ගම් දනව්වල පිබිදීම, ජන ක්‍රීඩා, ආදිය අප පවත්වන වෙනත් උත්සවවල දී අපට හඳුනාගත නොහැකිය. ඒ නිසාම අවුරුදු උළෙල එතෙක් පාළුවට පැවැති අවුරුද්ද තුළ මහත් ප්‍රබෝධයක් ඇති කර ඇත. එය සමාජ ප්‍රතිසංස්කරණයකි. සමාජයට අලු‍ත් බවක් නැවුම් බවක් ඇති කළ සුවිශේෂි සිදුවීම් රැසකින් සමාජය පණ ගැන්වීමකි. අනෙක් අතට සමාජ සබඳතා මුළුමනින්ම අලු‍ත්වන ක්‍රියාත්මක වන කාලය ද අවුරුදු කාලය බව සත්‍යයකි. මෙහිදී ඉතා වැදගත් සංකල්ප දෙකක් අපට හඳුනා ගත හැකිය. එනම් සමාජ ප්‍රාග්ධනය සහ මෘදු කුසලතා යන සංකල්පය.

සමාජ ප්‍රාග්ධනය යනු සමාජය තුළ දී පුද්ගලයකුට තම ඇසුර හිතවත්කම් හා සබඳතා අනුසාරීව ගොඩ නගා ගත හැකි ජන බලයයි. එය ප්‍රාග්ධනයක් වනුයේ අවශ්‍ය අවස්ථාවල පුද්ගලයාට එය අතිශයින් ප්‍රයෝජනවත් යෙදෙවුමක් ලෙස භාවිත කළ හැකි නිසයි. මානව සබඳතාවලින් ශක්තිමත් වූ මෙම ප්‍රාග්ධනය අපට එකතුවන හොඳම කාලය වන්නේ අවුරුදු කාලයයි. නෑදෑ හිත මිතුරුකම් අලු‍ත් කිරීමටත් වැඩි දියුණු කිරීමටත් හේතුවන යාතුකර්ම සහ චාරිත්‍ර විධි රැසක් අපට අවුරුද්දේ හඳුනාගත හැකි බව පැහැදිලිය. මෙම සෑම චාරිත්‍රයක්ම බැලූ බැල්මට සරල ගනුදෙනුවක් වුවත් එහි අවසානය යොමු වී ඇත්තේ එකම කාර්යයකටය. එය ඉතා වැදගත්ය. එනම් තම පවුල තුළ හෝ පවුලෙන් පරිබාහිරව අප ජීවත්වන සමාජයේ සමාජ සබඳතා වැඩි දියුණු කර ගැනීමය. ත්‍යාග පිරිනැමීම ආහාර හුවමාරුව ගනුදෙනුව සුහද කතා බහ, බුලත් හුරුලු‍ පුදා ආචාර සමාචාරය මේ හැම චාරිත්‍රයක්ම නිකම්ම නිකම් හුදු සිදුවීම් පමණක් නොවේ. එසේ නම් මේ තුළින් සමාජය යළි සකස් කිරීමත්, අවදි කිරීමත් කරමින් සදාතනික ප්‍රතිසංස්කරණයකට ලක් කෙරෙතැයි සිතිය හැකිය. එය සැබැවින්ම අවුරුද්ද විසින් කරනු ලබන සමාජ ප්‍රතිසංස්කරණයකි. දෙවැනුව අවුරුද්ද පුද්ගලයා තුළ මෘදු කුසලතා හෙවත් යහපත් ආකල්ප පණ ගැන්වීමක් කරන අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය. අප විධිමත් අධ්‍යාපනයෙන් ලබන්නේ වෘත්තිමය කුසලතා බව අපි දනිමු. වෛද්‍යවරයකු, ඉංජිනේරුවරයකු වැනි වෘත්තීන් අරමුණු කර අප ලබන පුහුණුව හා අධ්‍යාපනයෙන් සැබැවින්ම අපට ලැබෙන්නේ වෘත්තීමය කුසලතාවකි. ඒ කුසලතාව අදාළ කාර්ය කිරීම සඳහා පමණක් වැදගත් වේ.

එහෙත් සමාජයක් අඛණ්ඩව පවත්වා ගැනීමට වඩා වැදගත් වන්නේ එහි වෙසෙන්නන්ගේ යහපත් ආකල්ප පෙරදැරි කරගත් මෘදු කුසලතා, බෙදා හදා ගැනීම, සහජීවනය පොදු ආකල්ප දරාගෙන පොදු කාර්යයවලට ඉදිරිපත්වීම සේවය කිරීමෙන් සතුටක් ලැබීම, නිරන්තරව හෘද සාක්‍ෂිය පිළිබඳ සැලකිලිමත්වීම අසරණයන්ට සරණවීම ආදී ගුණාංග පදනම් කර ගත් කාර්යය කරන විට වැඩි දියුණු වන්නේ මෘදු කුසලතාය. මෙබදු මෘදු කුසලතා දියුණු කර නොගත් අධ්‍යාපනික සුදුසුකම් මත වෘත්තීය කුසලතා පමණක් ලබාගත් මිනිසුන් සැබැවින්ම සමාජයට අර්ථවත් සේවාවක් කරතැයි සිතිය නොහැකිය.

අලු‍ත් අවුරුද්ද තුළ මෙම මෘදු කුසලතා උද්දීපනය කරන අවස්ථා රැසක් හඳුනාගත හැකිය. අවුරුද්දේ අසල්වැසි නිවැසියනට කැවිලි සහිත රස ආහාර බඳුනක් රැගෙන ගොස් දීම අප විසින් මහත් ආශාවෙන් කරනු ලබන්නකි. මෙම දීම තුළ යමක් දීමෙන් ලැබෙන සතුට හඳුනා ගත හැකිය. එය කුසලතාවක් වන්නේ අපගේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී දීම පිළිබඳ උසස් හැඟීමක් අප තුළ ඇති කරමින් පරාර්ථකාමී දෘෂ්ටියකින් සමාජය තේරුම් ගැනීමට අප උනන්දු වන විටය. දන්සල් දීම ද මෙම මෘදු කුසලතාව ජීවත කාලය තුළ හුරු පුරුදු කරවන අගනා පුරුද්දකි. ලොව කිසිම රටක කිසිම ජාතියක ඔවුන්ගේ ජාතික හෝ ආගමික උත්සවයක මෙබදු සිරිත් විරිත් අපට දක්නට ලැබීමට නුපුළුවන.

අවුරුද්ද මිහිරි රසැති ආහාරපාන රැසක් සැබැවින්ම අපට සිහි ගන්වන රසවත් අවස්ථාවකි. කොතෙක් මිහිරි රසැති ආහාර පාන ඇතත් අප හදවත්වල නිරන්තරයෙන් රැඳී ඇති ආහාරය වන්නේ අන් කිසිවක් නොව කිරිබතය. අවුරුද්ද නිසා මූලිකත්වයට පත් කිරිබත ඉන් පසුව යෙදෙන සෑම සුබ අවස්ථාවකදීම නොවැරැදීම කෑම මේසයට එන රසවත්ම ආහාරය බවට පත්ව ඇත. අවුරුද්ද විසින් පෙරට ගනු ලැබූ මෙම කිරිබත පිළිබඳ ගැඹුරින් බැලීමේ දී එය සිංහලයාගේ සංස්කෘතිය හා බැඳී පවතින්නක් බව පෙනී යයි. ලොව පුරා වෙසෙන විවිධ ජාතීන් ඔවුනට ආවේණික ආහාර භුක්ති විඳින බව අපි දනිමු. ආහාරය කුමක් වුව ද එම ප්‍රධාන ආහාරය නිපදවීමට දරනු ලබන සාමුහික උත්සාහය මෙහිදී ඉතා වැදගත්ය. ලොව බොහෝ රටවල දක්නට ලැබෙන ආහාරවලට සමගාමීව ඒ රටවල සංස්කෘතිය සහ සභ්‍යත්වය ද හඳුනාගත හැකි බව මානව විද්‍යාඥයන්ගේ අදහසයි. ලොව බොහෝ රටවල දක්නට ලැබෙන “ඉරිඟු‍ සභ්‍යත්වය තිරිඟු‍ සභ්‍යත්වය“ පදනම් වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන ආහාරය පිටි මූලික කරගෙන පිළියෙළ වන බැවිනි.

එහෙත් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ සහල් සංස්කෘතියයි. සිංහල සංස්කෘතිය මූර්තිමත් කරන නිර්මාණ අපගේ සමාජ ජීවිතය පුරා විද්‍යමාන වන බව සත්‍යයකි. ඉන් එක් අංගයකි වැව්, සහල් හා බැඳුණු අනිවාර්යය අංගයක් වන වැව් සිංහල සංස්කෘතියේ ශ්‍රේෂ්ඨතම අංගය ලෙස සැලකිය යුතු බව මාර්ටින් වික්‍රමසිංහයන් නිරන්තරව පැවැසූ අදහසකි. ඒ නිසාම අපේ සංස්කෘතිය ද සහල් සංස්කෘතිය ලෙස පිළිගැනීම යුක්ති සහගත බව ඔහු පෙන්වා දෙයි. එසේ නම් අප අලු‍ත් අවුරුද්දේ දී වැඩි පුරම අනුභව කරන අනිවාර්ය ආහාරය වන කිරිබත සැබැවින්ම සංස්කෘතික නිෂ්පාදිතයකි. ඒ අර්ථයෙන් ද කිරිබතට මුල් තැනක් දුන් අවුරුද්ද අපට වැදගත්ය.

අවුරුදු උළෙල පොදු ජන සමාජය වෙතට ගමන් කිරීමේ දී හඳුනාගත හැකි තවත් අංශයකි. නැකත සහ ජ්‍යෙතිෂය නැකත ගතහොත් එය සුවිශේෂී මොහොතකි. අපේ ඉතිහාසය ගතහොත් ආරම්භයේ සිටම නැකැත් කෙළි නමින් උළෙලක් පැවැති බවට සාධක ඇත. අවුරුද්ද මේ ආශ්‍රයෙන් නොනගතය සහ පුණ්‍ය කාලය යනුවෙන් සුවිශේෂි කාලච්ජේද දෙකක් අපට හඳුන්වා දී තිබීම වැදගත්ය. නොනගතය වන්නේ නැකැත් නැති කාලයයි. එම කාලයේ අනතුරු සිදුවිය හැකි ඉඩකඩ බෙහෙවින්ම වැඩිය. ඒ නිසාම ඒවායින් ගැලවීමට ඉෂ්ට දේවතාවන් සිහි කිරීම පුරුද්දක්ව පැවැතිණි. අද අවුරුද්දේ අපි එය පුණ්‍ය කාලය ලෙසින් නම් කර ආගමික වතාවත්වල යෙදෙමු. මෙය වැදගත් ආගමික කාර්යයකි. අනෙක් අතට අවුරුද්දේ ආරම්භය බලන විට පැරැණි කෘෂි සමාජය මහ පොළොව සමග පැවැත් වූ කිට්ටු සම්බන්ධය අනුසාරයෙන් ද බොහෝ සංස්කෘතික කාරණා රැසක් මතු කර දැක්විය හැකිය. මහ කන්නය නිමා වී ඉන් ලද අස්වනු ගෙට ගැනීමේ සතුට වෙනුවෙන් ඒ සතුට ලබා ගැනීමට උදව් උපකාර කළ අයට කරනු ලැබූ යාතුකර්ම මෙහිදී හඳුනා ගත හැකිය. මෙය අවුරුද්දේ ආරම්භය පිළිබඳ ඉතා වැදගත් අදහසකි. පැරැණි සිංහලයා විසින් කරනු ලැබූ එම යාතුකර්ම තුළ පැහැදිලිවම එක්තරා “සංස්කෘතියක්“ හඳුනාගත හැකිවීම එයට හේතුවයි. හිරු පිළිබඳ විශ්වාසය ඉන් එකකි. ඒ පිළිබඳව දැවැන්ත සංස්කෘතික ඉතිහාසයක් ඇත. පොදුවේ සලකතොත් ආර්යයන් පර්සියාවේ සිට ඉන්දියාව දක්වා ගමන් කළේ මෙබදු ඇදහීම් රාශියක් ද සමග බවත් ලංකාව වැනි රටවලට එන විට එම තත්වය වෙනස් වූ බවත් කිව යුතුය. අද අප සමරන අවුරුද්ද එහි එක් වැදගත් ප්‍රතිඵලයකි.

අවුරුද්ද දෙස බලන විට කිවයුතු තවත් වැදගත් කරුණක් නම් වෙනස් වන සමාජය සමග අවුරුද්ද ද විවිධ මුහුණුවරින් විපරිණාමයට පත්වීමයි. සැබැවින්ම අද අවුරුද්ද අයිති කාටද ? එය පවත්වන්නේ කුමක් සඳහා ද යන කරුණු විවාදාපන්න කරුණු වේ. පවුලේ වෙනස්වීම මවුපියන් සහ දුවා දරුවන් අතර පවතින සංස්කෘතික පරතරය යාන්ත්‍රික මෙවලම් සංස්කෘතියක් විසින් අද තරුණ පරපුර මෙහෙයවනු ලැබීම පවුල වෙතින් කළ සමාජානුයෝජනය ඉන් ගිලිහී ගොස් සමාජ මාධ්‍ය වෙත පවරා ක්‍රියාත්මක කිරීම ආදී සමාජ කරුණු රැසක් විසින් බලවත් වෙනසකට ලක් කරනු ලැබූ සමාජයක අද අපි අවුරුදු උත්සවය පවත්වමු. එහෙත් අවුරුද්ද බරපතළ වෙනස්වීම් සහ ගිලිහී යමින් ඇති අගනාකම් සහිත උළෙලක් ලෙස අවතක්සේරුවට ලක් කළ හැකිද? අවුරුද්ද විසින් අපට හුරු කරනු ලැබූ උදාර ආකල්ප කුසලතා සහ සංස්කෘතික ඇගැයීම් ලොව වෙනත් කිසිම රටක කිසිම උත්සව අවස්ථාවක දී මෙලෙසින්ම දක්නට නොලැබීම යළි යළිත් සඳහන් කිරීම වැදගත්ය.

සමාජය තුළ සමාජීය සත්වයකු ලෙස ජීවත් වන මිනිසාට මරණය තෙක්ම අවුරුද්දෙන් ලැබුණු උසස් ආකල්ප හා ගති සිරිත් තීරණාත්මක ලෙස තම පෞරුෂයේ විසිරී පවතිනු හඳුනාගත හැකිවීම මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුතුය. අලු‍ත් අවුරුද්දක් ලෙසින් හඳුන්වන දිනයක් නොතිබුණා නම් එම ආකල්ප සහ ඇගැයුම් යළි යළිත් අප මතකයට නඟා ගන්නේ කෙසේද ? ඒ සඳහා ජීවයක් සපයන්නේ කුමන සංස්කෘතික කාරණාද ? එසේ නම් සිංහල අලු‍ත් අවුරුද්ද වෙනස්වීම් සහ විපරිණාම මැද ද අපට ජීවයක් ලබාදෙන උත්කර්ෂවත් සමාජ ප්‍රතිසංස්කරණයකි. අප එය රැක ගත යුතුය. අගය කළ යුතුය.

 

(***)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය

දයා අමරසේකර