“වෙන ආණ්ඩුවක් තිබුණානම් එයා හිරේ දාලා”
“භාෂණයේ නිදහස කියන්නේ ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට ඇති නිදහස නොවේ”
“මේ ආණ්ඩුව කිසිසේත්ම මර්දනීය ආණ්ඩුවක් නොවේ”
“ඇතිව තිබෙන සංහිඳියාව රැකගැනීම සාහිත්‍යකරුවන්ගේ වගකීමක්”
මේ, දකුණේ සම්මානලාභී ප්‍රවීණ, සිංහල සාහිත්‍යවේදීන් කිහිප දෙනකුගේ ප්‍රකාශවලින් ලබාගත් උදෘත ය. අපගේ හා දකුණු ඉන්දියානු දෙමළ සමාජයේ ඉහළ ඇගැයුමක් ලබන, කිලිනොච්චියේ තරුණ ගුරුවරයකු වන දෙමළ සාහිත්‍යධර දීප චෙල්වන් ප්‍රදීපන්ගේ සාහිත්‍ය නිර්මාණ කෘති හතරක පිටපත් 360 ක් මෙරටට ගෙන්වා ගැනීමේ දී රේගුව ඉකුත් මාර්තු මාසයේ අවසාන දිනෙක ඒවා රඳවාගෙන, ආරක්ෂක අංශයට යොමු කර ඇත. ඒ සම්බන්ධව සිංහල සාහිත්‍යවේදීන් කිහිප දෙනකුගේ පටු කුහකත්වය මැන ගැනීමට ඔවුන්ගේ ප්‍රතිචාර එලෙස උපුටා දක්වන්නට සිතුණි.
ඒ සම්බන්ධව අවධාරණයෙන් යුතුව කිව යුත්තේ, එම කෘති නිදහස් නොකර රඳවා තබාගෙන ඇති හෙයින්, මේ රටේ සිංහල පාඨකයන්ට පමණක් නොව දෙමළ පාඨකයන්ට ද, දීප චෙල්වන්ගේ ඒ නිර්මාණ කියවන්නට තබා ඒවායේ පිටකවරය දකින්නටවත් අවස්ථාවක් නොලැබෙන්නට ඇත. ජාතික සමගියට අහිතක් වේ යැයි සිතන්නට එනිසා රේගුවට ද හේතුවක් නැත. ඒවා රඳවා තබාගන්නට නීතියක් ඇත්තේ ද නැත. එවැනි වටපිටාවක රේගුව එම කෘති රඳවා ගැනීම අනුමත කෙරෙන ආකාරයේ ප්‍රකාශ කිරීමේ සිංහල සාහිත්‍යවේදීන් සතු සදාචාරය කුමක්දැයි නොඅසා සිටිය නොහැකිය.
“සිවිල් හා දේශපාලන අයිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය” 2007 දී නීතිගත කිරීමට දශක ගණනාවකට පෙර, එවැනි අයිතිවාසිකම් කොළඹ විද්වතුන්ගේ හා දේශපාලන ක්‍රියාකාරීන්ගේ සංවාදයට හසුවන්නටත් පෙර, 1973 නොවැම්බරයේ දී මාර්ටින් වික්‍රමසිංහ සූරීහු පිටු 206 කින් යුත් “බව තරණය” කෘතිය ලියා පළ කළහ. එය බෞද්ධ සාහිත්‍යයේ අර්ථ ගැන්වෙන සිදුහත් චරිතය ලෞකික දෘෂ්ටියකින් ප්‍රතිඅර්ථ දැක්වීමක් විය. මාර්ටින් වික්‍රමසිංහ “බව තරණය” කෘතියෙන් සිදුහත් චරිතයට හා බෞද්ධාගමට අපහාස කර ඇතැයි ඊට එරෙහිව සංඝයා අතරින් පමණක් නොව, සිංහල බෞද්ධ සමාජයෙහි ද දැඩි විරෝධයක් මතු විය. “බව තරණය” කෘතිය තහනම් කිරීමට ද ආණ්ඩුවට බලපෑම් කෙරිණ. එතෙක් සිංහල සමාජයේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ට තිබූ පිළිගැනුමට, ගෞරවයට ඉන් බරපතළ පහරක් ද එල්ල විය.
ඒ සියලු ගාලගෝට්ටි හමුවේ වුවද, පැවැති ආණ්ඩුව ඊට එරෙහිව කිසිදු පියවරක් ගත්තේ නැත. එහෙත් යක්කඩුවේ ප්‍රඥාරාම හිමියෝ ඊට එරෙහි “මතවාදී” ප්‍රහාරයක නිරත වූහ. වික්‍රමසිංහයන්ගේ “බව තරණය” කෘතියට පමණක් නොව, ඔහුගේ නිර්මාණකරණයට ද සාහිත්‍ය ජීවිතයටද දැඩි විවේචන හා ගැරහීම් ඇතුළත් කොටස් හතරකින් යුත් කෘති පෙළක් උන්වහන්සේ පළ කළහ. එනමුත් වික්‍රමසිංහයන්ගේ “බව තරණය” කෘතිය හෝ ඊට එරෙහිව යක්කඩුවේ ප්‍රඥාරාම හිමි ලියූ කෘති හෝ ඒ කාලයේ “බව තරණය” සම්බන්ධව පළ කෙරුණු වෙනත් ලිපි කිසිවක් හෝ සමාජයෙන් ඉවත් කර තැබීමට සංස්කෘතික අමාත්‍යාංශය හා සාහිත්‍ය අනුමණ්ඩල පියවර ගත්තේ නැත. ඒවායේ ගුණ දොස් ඇගැයීමට ලක් වූයේ “බව තරණ වාද” යැයි ලේබල් වැදුණු විවෘත සමාජ විවාද ඔස්සේය.
ඉන් වසර 14 කට 15 කට පමණ පසු 1989 දී ඉස්ලාම් ලෝකයේ සම්මුති විරහිත ගැරහුමකට හා “ෆත්වා” නියෝගයකට යටත් කෙරුණු සල්මාන් රුෂ්ඩිගේ ආන්දෝලනාත්මක “සැටනික් ව(ර්)සස්” The safanic verses නිර්මාණය රටවල් ගණනාවක තහනම් කරනු ලැබූවකි. එය මෙරටට ගෙන්වූ අවස්ථාවේ එය තහනම් කරන මෙන් ඉල්ලීම් තිබුණි. එහෙත් “සැටනික් ව(ර්)සස්” කෘතිය ලංකාවේ කෙදිනකවත් තහනම් නොවුණි.
එවැනි ඉතිහාසයක් ඇති ලංකාවේ ඉහළ පෙළේ වත්මන් සිංහල සාහිත්‍යවේදීන් දැන් එකත්පස්ව සිට කතා කරන්නේ සාහිත්‍ය කලා නිර්මාණ ඇගැයීම් ආරක්ෂක අංශයට බාරදීම පිළිගනිමිනි. ඉකුත් අප්‍රේල් 17 වැනිදා සිකුරාදා, කොළඹ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත ඇමැති ආචාර්ය සුනිල් සෙනෙවි විසින් කිලිනොච්චියේ සිට කැඳවනු ලැබූ දීප චෙල්වන්ට රේගු ප්‍රධානීන්, කලා මණ්ඩලයේ සාමාජිකයන්, රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලයේ හා තවත් සාහිත්‍යධරයන් පිරිසක් හමුවේ, දැනුම් දී ඇත්තේ, ඔහුගේ නිර්මාණ කෘති ගැන තීරණය ගනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් හෙයින් ඔවුන්ගේ තීරණය අනුව රේගුව එම කෘති නොපමාව නිදහස් කරනු ඇති බවය. ඒ වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශයට කළ හැකි කිසිත් නැති නමුත් ගැටලුව අප්‍රමාදව විසඳෙනු ඇතැයි ඔහු විශ්වාස කරන බව ඇමැති සුනිල් සෙනෙවි පවසා ඇතැයි වාර්තා විය. දීප චෙල්වන්ට පෙරළා කිලිනොච්චි යාමට සිදුවූයේ ඒ හිස් පොරොන්දුව සමගින්ය.
සාහිත්‍ය කලා නිර්මාණ ඇගැයීම ආරක්ෂක අමාත්‍යාංශයට බාරදීම සම්බන්ධව ඇමැති ඇසුරෙහි ඉන්නා කලාකරුවකු කියන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහමුලින් අහෝසි කිරීමට පොරොන්දු දී පැමිණි මේ මාලිමා ආණ්ඩුවේ නායකයන් ඇප නොමැතිව ඇතැම් චූදිතයන් එකී පනත යටතේ රඳවා ගැනීමට අත්සන් තබන නමුත් මේ ආණ්ඩුව මර්දනීය ආණ්ඩුවක් නොවේ යැයි කියාය. තවත් අයකුගේ කතාවට අනුව, ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමේ නිදහසක් නැති අතර, ප්‍රකාශනයෙහි දිග පළල ආරක්ෂක අංශය විසින් තීන්දු කිරීමේ වරදක් නැති බවය. තවත් සාහිත්‍ය විශාරදයකු ලජ්ජා නැතිව කියා තිබුණේ වෙන ආණ්ඩුවක් තිබුණා නම් දීප චෙල්වන් හිරේ දමන බවය. මේ ආණ්ඩුව එසේ නොකිරීම අගය කළ යුතු බවක් ඉන් කියන්නකි.
ඔවුන්ගේ නිවටකම් විවෘතව ඔසවා තබමින් රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලයේ සාමාජිකාවක වූ කල්පනා ඇම්බ්‍රොස් එකී අනු මණ්ඩලයෙන් ඉල්ලා අස්වූයේ “නිර්මාණකරුවාගේ ප්‍රකාශනයේ නිදහසත් පීඩිතයාගේ අයිතියත් පිළිබඳ අප සියලු කල්හි දරන මතයට, රේගුව හා ආරක්ෂක අමාත්‍යාංශය දීප චෙල්වන්ගේ කෘති ‘විමර්ශනය කිරීම’ සහ තවදුරටත් රඳවා තබා ගැනීම හරහා ලබා දෙන පණිවුඩය, පරස්පර බැවිනි” යැයි, ඇයගේ “එක්ස්” (කලින් ට්විටර්) සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තැබීමෙනි.
ඇය නිවැරැදිව සටහන් කර ඇති අයුරු, සාහිත්‍ය නිර්මාණ ඇගැයීම හා ඒවා සම්බන්ධව තීන්දු ගැනීම, රේගුව හා ආරක්ෂක අමාත්‍යාංශය සතු රාජකාරියක් හෝ වගකීමක් නොවේ. සාහිත්‍ය කෘති රඳවා ගැනීමේ කිසිදු නෛතික බලයක් නැති රේගු නිලධාරීන්ගේ “සිංහල” දේශප්‍රේමය, සාහිත්‍ය නිර්මාණ ඇගැයීමේ නිර්ණායකයක් නොවේ. රටේ සංහිඳියාව සම්බන්ධව ඇත්ත ගැටලුවක් ඔවුන්ට මතු වූයේ නම්, එම සාහිත්‍ය නිර්මාණ ඔවුන් යොමු කළ යුතුව තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයට නොව, සංස්කෘතික අමාත්‍යාංශයට යැයි මම කියමි. රටේ සංහිඳියාව සම්බන්ධව තීන්දු ගත යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශය නොවේ. ඒ සම්බන්ධව තීන්දු ගත යුත්තේ සංස්කෘතික අමාත්‍යාංශයත් අධ්‍යාපන හා ජනමාධ්‍ය අමාත්‍යාංශයත් හවුලේය. සාහිත්‍ය කලාකරුවන් ඉල්ලා සිටිය යුත්තේ අවශ්‍ය වූ විටෙක එවැනි ඒකාබද්ධ කමිටුවක් පත් කර ගැනීමේ නෛතික අවසරයක් සංස්කෘතික අමාත්‍යවරයාට ලබා දෙන ලෙසය.
ආරක්ෂක අමාත්‍යාංශය සිවිල් සමාජයේ පැවැත්මට අදාළ නොවන බැව්, 2009 මැයි මාසයේ යුද්ධය අවසන් කෙරුණු පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් “2002 සටන් විරාම ගිවිසුමේ සිට 2009 මැයි මස යුද්ධය අවසන් කෙරෙන තෙක්” ඊට හේතු වූ කරුණු කාරණා හා පැවැති තත්වය විමර්ශනය කර නැවත එවැනි අසමගි, නොරිස්සුම් හෝ ගැටුම් ඇති නොවන්නට ගත යුතු පියවර නිර්දේශ කිරීමට විශ්‍රාමික නීතිපති, ජනාධිපති නීතිඥ සී.ආර්. ද සිල්වාගේ සභාපතිත්වයෙන් පත් කළ “උගත් පාඩම් හා සංහිඳියාව” සම්බන්ධ විශේෂ ජනාධිපති කොමිසම අවධාරණය කළ ප්‍රධාන නිර්දේශයකි.
එම කමිටු නිර්දේශය වූයේ විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත් සමග සෙසු පළාත් ද නොපමාව පූර්ණ සිවිල් පාලනයකට පරිවර්තනය කළ යුතු බවය. පූර්ණ සිවිල් පාලනයක් යනු සාමාන්‍ය දෛනික ජීවිතයෙන් ආරක්ෂක අංශ ඉවත් කෙරුණු රාජ්‍ය සේවයකි. ආරක්ෂක අංශ හවුල් කර ගන්නා රාජ්‍ය සේවාවක් සමග සංහිඳියාවක් පවත්වා ගත නොහැකි යැයි ඔවුන් ඉතා දැඩිව විශ්වාස කළ බැව්, ඔවුන්ගේ අවසන් කොමිසම් වාර්තාවෙන් ද අවධාරණය වන්නකි. අවුල වූයේ සමාජය එලෙසින් “සිවිල්කරණය” කිරීමට ඒ වෙනුවෙන් සමාජ මතවාදය ද සිවිල්කරණය විය යුතු මුත්, එය ආණ්ඩු පාලනයේ දේශපාලන තීන්දුවක් නොමැතිව සිදු නොවන්නක් වීමය.
මේ සන්දර්භය තුළ සාහිත්‍ය කලාකාමීන්ගේ අද සමාජ වගකීම වන්නේ, පෞද්ගලික තනතුරු වාසි වෙනුවෙන් පාලකයන්ගේ සපත්තු ලෙව කෑම නොවේ. බාර නොගත්තත් ඔවුන්ගේ වගකීම වන්නේ අදහස් ප්‍රකාශ කිරීම සමග සාහිත්‍ය නිර්මාණ සතු විය යුතු නිදහස, සිවිල් සමාජීය අයිතියක් ලෙස තහවුරු කර ගැනීමය. සංහිඳියාව ශක්තිමත් කිරීම පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමත් සමාජයේ වාද විවාද සමගින් සිදුවිය යුත්තක් ලෙස බාර ගැනීමය. ඒ සමාජ වගකීම අතහරින්නේ නම්, සංස්කෘතික දෙපාර්තමේන්තුවක් හා සාහිත්‍ය කලා මණ්ඩලයක් අවශ්‍ය නැත. ඒ රාජකාරි ද ආරක්ෂක අංශයට බාර දිය හැකිය.
(*** කුසල් පෙරේරා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd