රට පමණක් නොව මුළු ලෝකයම දෙදරුම් කවමින් පාස්කු ඉරිදා දිනයක් වූ 2019 අප්‍රේල් 21 වැනිදා මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් කිතුනු ජනතාව ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කර තුන්සියයකට ආසන්න පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියට ඉකුත් අඟහරුවාදා වසර හතක් පිරිණි.

එහෙත් එම ප්‍රහාර මාලාව පිටුපස සිටි මහ මොළකරු හෝ මහමොළකරුවන් කවුදැයි ආරක්ෂක අංශ බලධාරීන් මෙන්ම කිතුනු ප්‍රජාව ද තවමත් සොයති.

මේ තත්වය තුළ, ඉකුත් මාර්තු 31 වැනිදා “පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයා යෑම” නමින් පොතක් පළ කර හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා දින කිහිපයකට හෝ එක්තරා දුරකට හෝ රටේ අවධානය තමන් වෙත යොමු කරවා ගන්නට සමත් විය. එහෙත් එම පොතේ අලු‍ත් යමක් නොවූයෙන් එය බොහෝ දෙනකුගේ නොසතුටට හේතු විය.

එම පොතෙන් හා එය ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයේ දී ගම්මන්පිල මහතා අවධාරණය කළේ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කළ මහ මොළකරුවා වූයේ එම ප්‍රහාරය ක්‍රියාත්මක කළ ජාතික තව්හීද් ජමාඅත් සංවිධානයේ නායක සහරාන් හෂිම්ම බවය.

ඒ වන විටත් තමන් දන්නා සාක්ෂි අනුව හා තම තමන්ගේ දේශපාලන ළැදියාව අනුව මෙම ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් බොහෝ දෙනා යම් යම් නිගමනවලට පැමිණ සිටි නිසාත් ඒ නිගමන වෙනස් කරන්නට තරම් මෙම පොතේ කිසිවක් සඳහන් නොවූ නිසාත් එම පොත පිළිබඳව රට තුළ අලු‍තෙන් කිසිදු උනන්දුවක් ඇති වූයේ ද නැත.

එහෙත් මෙම මහ මොළකරු සම්බන්ධයෙන් ගම්මන්පිල මහතාගේ දේශපාලන කඳවුර තුළ දැනුවත් එකඟතාවක් නැති බව නම් මෙම පොත පිළිබඳ ඇති වූ සංවාදයේ දී පෙනී ගියේය. හිටපු මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා 2021 දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ජාතික තව්හීද් ජමාඅත් සංවිධානයේ ප්‍රධානියකු වූ නව්ෆර් මව්ලවි මෙම ප්‍රහාරයේ මහ මොළකරු බවය. ගම්මන්පිල මහතා එවක විෂය භාර ඇමැතිවරයා වූ වීරසේකර මහතාගේ එම මතය වෙනස් කළේ වීරසේකර මහතා කළ ප්‍රකාශය වැරැදි නිසා ද නැත්නම් එය අමතක වීමෙන් ද නැත්නම් වෙනත් හේතුවක් නිසාදැයි පැහැදිලි නැත.

කෙසේ වෙතත්, මේ වන විට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කිරීමේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇදී ඒම නොවැළැක්විය හැකිය. ඒ ඔහුගේ විරුද්ධවාදීන් මහ මොළකරු නම් ඔහු යැයි කියන්නට පෙළැඹී සිටීමත් ඔහුගේ ආධාරකරුවන් වෙනත් කෙනකු මහ මොළකරු බව කියන්නට උත්සාහ කරනවාට වඩා මහ මොළකරු ඔහු නොවේයැයි කියන්නට කරුණු ගෙනහැර පෑමත් නිසාය.

එක් අතකින් බලන විට, මෙම පොත එළිදැක්වීමේ උත්සවය නිසා ගම්මන්පිල මහතා තරම්ම හෝ ඊට වඩා වැඩියෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහජන අවධානය ඇදගත්තේයැයි කිව හැකිය. ඒ ප්‍රේමදාස මහතා ද එම දොරට වැඩීමේ උත්සවයට සහභාගි වීම හේතුවෙනි. ප්‍රේමදාස මහතාගේ පක්ෂය වන සමගි ජන බලවේගයේ නායකයන් හා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් නායකයන් මෙම මහ මොළකරු පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙතෙක් දැරූ මතය ගම්මන්පිල මහතා මෙම පොතෙන් කියන්නට උත්සාහ කළ මතයට ඉඳුරාම වෙනස් එකකි.

සමගි ජන බලවේගයේ බොහෝ දෙනකු මෙතෙක් කල් සෘජුවම නොවූවත් කියන්නට උත්සාහ කළේ 2019 පාස්කු ඉරිදා දින පුපුරා ගිය බෝම්බ ප්‍රහාර මාලාව පිටුපස ගෝඨාභය රාජපක්ෂ මහතා සිටි බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවෝ එය එසේ නොවේයැයි කියන්නට උත්සාහ කරමින් සිටියහ. එසේ තිබියදී විපක්ෂ නායකවරයා ගෝඨාභය හිතවාදී රැස්වීමකට සහභාගි වීම බොහෝ දෙනකුට ප්‍රහේළිකාවක් විය.

එයින් සමගි ජන බලවේගයේ බොහෝ දෙනකු අසීරුවට පත් කර තිබිණි. එහෙයින් එම පක්ෂයේ ඇතැමෙක් ලජ්ජාව වසා ගැනීම සඳහා කිසිදු පැකිළීමක් හෝ ලජ්ජාවකින් හෝ තොරව අමූලික බොරු කියන්නට ද පෙළඹුණහ. ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේගය බොරු කියන බව නිතර කියන සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර ජයමහ මහතාගෙන් ජනමාධ්‍යවේදියකු මේ ගැන ප්‍රශ්න කළ විට ඔහු කීවේ විපක්ෂ නායකවරයා එම උත්සවයට සහභාගි නොවූ බවත් විපක්ෂ නායකවරයා මෙන් පෙනී සිටියේ කෘත්‍රිම බුද්ධියෙන් නිමවන ලද රූපයක් බවත්ය.

ඇතැම්විට තම නායකයාගේ පරස්පර විරෝධී ක්‍රියා කලාපය නිසා ජනමාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට පිළිතුරු  දී ගත නොහැකි හෙයින් විහිළුවක් කර ඇඟ බේරා ගැනීමට ජයමහ මහතා සිතුවා විය හැකිය. එහෙත් මෙය විහිළුවකට ගත හැකි හෝ ගත යුතු කරුණක් නොවේ. මෙය තුන්සියයකට ආසන්න ජීවිත ගණනක් පිළිබඳ ප්‍රශ්නයකි. ඒ ගැන කටයුතු කිරීමේ දී විපක්ෂ නායකවරයා බැරෑරුම්ව සිතා කටයුතු කළ බවක් නොපෙනේ. එසේම ඒ ගැන කතා කිරීමේ දී ජයමහ මහතා ද එය බැරෑරුම් ලෙස සැලකිය යුතුව තිබිණි.

සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා තම නායකයා මෙම උත්සවයට සහභාගි වීම සම්බන්ධයෙන් කීවේ එම උත්සවයට සහභාගි වීමෙන් පොතේ ඇතූළත් කරුණු අනුමත කරන බවක් අදහස් නොකරන බවයි. එය සැබෑවකි. එහෙත් පොතේ ඇතුළත් කරුණු කුමක් වුව ද ඒවා පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් තමන් දරන මතයට විරුද්ධ බව කල්තබා සිතාගත නොහැකි වන්නේ දේශපාලන අත දරුවකුට පමණි.

එම උත්සවය විපක්ෂ නායකවරයාට ද අදහස් පළ කළ හැකි සම්මන්ත්‍රණයක් නොවීය. එසේම එය විවාහ මංගල්‍ය උත්සවයක් මෙන් ආරාධනා ලැබුණු හෙයින් දේශපාලන වෙනස්කම් නොබලා යා යුතු ගමනක් ද නොවේ. එහෙත් විපක්ෂ නායකවරයාගේ අරමුණ උත්සවයට පාදක වූ සිද්ධියේ බැරෑරුම් බව නොතකා මහජන අවධානය ඇදගැනීම නම් එම අරමුණ ඔහු ඉතා සාර්ථකව ඉටුකර ගත්තේය.

ගම්මන්පිල මහතා 2019 පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව පොතක් ලිවීම දක්වා වූ අදාළ සිද්ධි මාලාව ද මෙහිදී සලකා බැලීම වටී.

එවක පැවැති “යහපාලන” ආණ්ඩුව යටතේ බිඳ වැටී ඇති රටේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රහාරය එල්ල වී දින පහකට පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශකර තිබිණි. එවිට රාජපක්ෂ විරෝධී පක්ෂ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වක්‍ර භාෂාවෙන් ඔහු දෙසට ඇඟිල්ල දිගු කරන්නට විය. ඔවුන්ගේ තර්කය ඔවුන් ඉදිරිපත් කළේ “දඩයම කර ගසාගෙන යන්නේ දඩයක්කරුවාය” යන උපමාවෙනි. එනම් ප්‍රහාරයෙන් ප්‍රයෝජන ගන්නට යන්නේ එය එල්ල කළ පුද්ගලයාය යන්නයි. එසේම පොදුජන පෙරමුණ ද එම ප්‍රහාරය තම ජනාධිපතිවරණය සඳහා උපරිම ලෙස යොදා ගත්තේය. එහෙත් එම තර්කය කිසිදු නීතිමය වලංගුභාවයක් නැති එකකි.

ප්‍රහාරය සිදුවී සති තුනකට පමණ පසු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ එවක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා ද මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි කීවේය. එහෙත් එය සනාථ කරන්නට ඔහු ඉදිරිපත් කළ කරුණු අතිශයින්ම දුර්වල හා කිසිදු සම්බන්ධයක් නැති ඒවා විය.

කෙසේ වෙතත් කල්යාමේ දී රාජපක්ෂ මහතාට එරෙහි එම චෝදනාව එක්තරා දුරකට සමාජගත වී එක්තරා දුරකට වලංගුභාවයක් ද ලබා ගත්තේය. හරින් ප්‍රනාන්දු මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ සඳහා විශාල දායකත්වයක් දුන්හ. මුලදී ගෝඨාභය පාලනය කෙරෙහි බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටි කතෝලික සභාව ද මෙම තර්කය පිළිගන්නා බවක් පසුව පෙනී ගියේය. මෙහිදී පොදුජන පෙරමුණේ ප්‍රති තර්කය වූයේ ගෝඨාභය රාජපක්ෂ වැනි සිංහල බෞද්ධ නායකයකු බලයට පත් කරන්නට මුස්ලිම් අන්තවාදී සංවිධානයක සාමාජිකයන් මරාගෙන මැරෙන්නේ ද යන්නයි.

ඊට පිළිතුරු දෙන්නාක් මෙන් 2023 සැප්තැම්බර් 3 වැනිදා බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය වාර්තා වැඩසටහනක් විකාශය කළේය. එය ප්‍රධාන වශයෙන්ම නැගෙනනහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමැති සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ හිටපු ලේකම් අසාද් මව්ලානා සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකි. ජාතික තව්හීද් ජමාඅත් සංවිධානයේ නායකයන් ස්වර්ගයට යාම සඳහා මරණය ගැන නිතර කතා කරන බවත් තමන් එයින් ප්‍රයෝජන ගත යුතු බවත් පිල්ලයාන් තමන් සමග කීවේයැයි මව්ලානා එහිදී ප්‍රකාශ කළේය.

ඒ අනුව ජාතික තව්හීද් ජමාඅත් සංවිධානයේ නායක සහරාන් හාෂිම් හා රාජ්‍ය බුද්ධි සේවයේ එවක ප්‍රධානී සුරේෂ් සලේ අතර සාකච්ඡාවක් සූදානම් කරන ලෙස පිල්ලයාන් තමන්ට දැනුම් දුන් බවත්, එම සාකච්ඡාව 2018 පෙබරවාරි මස පුත්තලම දිස්ත්‍රික්කයේ කරඩිප්පූවල් නම් ස්ථානයේ පැවැති බවත්, ඒ සඳහා පැමිණි සලේ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කරන්නට නම් රටේ නොසන්සුන්කාරී තත්වයක් ඇති කළ යුතුයැයි තමන් සමග කී බවත් මව්ලානා එහිදී වැඩිදුරටත් පැවැසීය. ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වීමෙන් පසු දැන් කටපියාගෙන සිටින ලෙස පිල්ලයාන් තමන්ට කී බව ද ඔහු සඳහන් කර තිබිණි.

සහරාන්ලා හා තමන් අතර සබඳතා තිබූ පිල්ලයාන් තමන්ම ලියූ “ඊස්ටර් පඩුකොලෙයි” (පාස්කු ඝාතනය) නම් පොතෙන් පිළිගෙන ඇත. එහෙත් මව්ලානා කී මේ විස්තර කිසිවක් තහවුරු කරන්නට චැනල් 4 රූපවාහිනිය කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කළේ නැත. මේ සම්බන්ධයෙන් පත් කරන ලද ඉමාම් කමිටුව ද මව්ලානාගේ කතාන්දරය ප්‍රතික්ෂේප කර තිබිණි.

එහෙත් 2024 දී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමෙන් පසු මහ මැතිවරණයට පෙර දින මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය පිල්ලයාන්ගෙන් ප්‍රශ්න කර තිබිණි. මේ අතර සලේ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නට ආණ්ඩුව කුමන්ත්‍රණය කරන බව ගම්මන්පිල මහතා පසුගිය වසරේ පෙබරවාරි මස ජනමාධ්‍ය හමුවක දී පැවැසීය.

ඉන්පසු 2006 දී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එස්. රවීන්ද්‍රනාත් මහතා අතුරුදන් වීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අප්‍රේල් 9 වැනිදා පිල්ලයාන් අත්අඩංගුවට ගනු ලැබීය. පුද්ගලයකු අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගනු ලැබුව ද ඔහු හා කතා කරන්නට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ දිනවල රහස් පොලිසියෙන් අවසර ඉල්ලා තිබිණි. එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය. එහෙත් ගම්මන්පිල මහතා නීතිඥයකු වශයෙන් පිල්ලයාන් හමුවීම සඳහා අවසර ලබා ගත්තේය.

පුද්ගලයකු අතුරුදන්වීම සම්බන්ධයෙන් පිල්ලයාන් අත්අඩංගුවට ගනු ලැබ සිටියදී පාස්කු ඉරිදා ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධයක් ඇති බව හෙළි වූයේයැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පසුදින පාර්ලිමේන්තුවේ දී කීවේය. එසේම එම ප්‍රහාරය පිළිබඳව ඔහු කල් තබා දැනුවත්ව සිට ඇති බව ඇමැතිවරයා පසුගිය වසරේ ජූනි 9 වැනිදා පාර්ලිමේන්තුවේ දී කීවේය. එම ප්‍රහාරයට පිල්ලයාන්ගේ සම්බන්ධයක් ඇති බව පරීක්ෂණවල දී හෙළි වූ බව ඇමැතිවරයා පසුගිය ඔක්තෝබර් මාසයේදී යළිත් ප්‍රකාශ කළේය. ගම්මන්පිල මහතාගේ අනාවැකියෙන් වසරකට පසු පසුගිය පෙබරවාරි 25 වැනිදා සලේ මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

ගම්මන්පිල මහතා සිය අලු‍ත්ම පොත එළිදැක්වූයේ එම පසුබිම යටතේය. ඔහුගේ අරමුණ ද පැහැදිලිය.

රහස් පොලීසියට සැකය මත පදනම්ව ඕනෑම කෙනකු අත්අඩංගුවට ගත හැකිය. එසේම ඕනෑම කෙනකුට ඊට එරෙහිව ජනමතය ද ගොඩ නැඟිය හැකිය. එහෙත් ඒ සියලු‍ දෙනාම තමන් කියන දේ අධිකරණය හමුවේ ඔප්පු කළ යුතුය. අවසාන තීරණය ඇත්තේ අධිකරණය අතේය.

(*** එම්.එස්.එම්.අයුබ්)